නීතිය අතට ගත් පොලිස් නිල­ධා­රීන් නිසා අඟු­ලා­නම කැල­ඹෙයි | Page 2 | සිළුමිණ

නීතිය අතට ගත් පොලිස් නිල­ධා­රීන් නිසා අඟු­ලා­නම කැල­ඹෙයි

පොලිස් දෙපා­ර්ත­මේ­න්තුවේ අසූ­හ­තර දහ­සක් පමණ වන නිල­ධා­රින් අතු­රින් අත­ළො­ස්ස­කගේ අව­මන් සහ­ගත හැසි­රීම නිසා­වෙන් මේ දින­වල පොලි­සිය පිළි­බ­ඳව ජන­තාව දක්වන්නෙ එත­රම් 'හොඳ' ප්‍රති­චාර නොවේ.

පසුගිය කාලයේ පොලීසියෙන් වූ අව­මන් සහ­ගත සිදු­වී­ම්වල දිගු­වක් ලෙස සමස්ත පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­ව­ටම අව­මා­න­යක් ගෙන ආ ශෝච­නීය සිදු­වී­මක් වාර්තා වූයේ පසු­ගිය 10 වැනි­දායි. ඒ, මොර­ටුව, ලුනාව ප්‍රදේ­ශ­යේදී පොලිස් නිල­ධා­රි­යෙක් සිදු­කළ වෙඩි ප්‍රහා­ර­ය­කින් සිවු­දරු පියකු මිය යාමේ ඛේද­වා­ච­ක­යයි. එලෙස සිවිල් වැසි­යකු වෙඩි තබා ඝාත­නය කිරීම නිසා­වෙන් අඟු­ලාන පොලි­සි­යට අනු­යු­ක්තව රාජ­කාරි කළ පොලිස් සැර­යන් (15186) දිසා­නා­යක, කොස්තා­පල් (92434) පොතු­පි­ටිය සහ කොස්තා­පල් රියැ­දුරු (94742) නිරෝෂ් යන නිල­ධා­රින්ගේ වැඩ තහ­න­ම­ක­ටද ලක්කොට විම­ර්ශ­න­යක්ද සිදු කිරී­මට මේ වන විට පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව පිය­ව­ර­ගෙන ඇත.

එම කතා­න්ද­රය පෙළ ගැසෙන්නෙ මෙලෙ­සිනි. මොර­ටුව, ලුනාව, හත්වැනි පටු­මගේ, අංක 143/7 නිවෙසේ විසූ 39 හැවි­රිදි කස්තු­රි­ආ­ර­ච්චිගේ අමිත් කරු­ණා­රත්න වයස අවු­රුදු 21, 16, 12 සහ 09 යන වය­ස්වල පසු­වන දරු­වන් සිවු දෙනෙ­කුගේ පියෙකි. වසර 15කට අධික කලෙක සිටම ධීවර රැකි­යා­වෙන් සිය දරු පවුල රැකි අමිත් ලුනාව, අඟු­ලාන ප්‍රදේ­ශයේ කා අත­රත් හොඳ­හිත දිනා­ගෙන ජීවත්වූ අයෙකි. මේ දින­වල වාර­කන් හෙයින් මුහු­දට ගොස් ධීවර රැකි­යාවේ යෙදී­මට තිබූ අප­හ­සුව නිසා­වෙන් අමිත් ඇතුළු පිරිස තීර­ණය කොට තිබුණේ රාජ­ගි­රිය ඇළට ගොස් 'බට්ටා' මාළු අල්ලා­ගෙන ජීවන වෘත්තිය කිරී­ම­ටයි. ඒ අනුව පසු­ගිය 10 වැනිදා මධ්‍යම රාත්‍රිය ආසන්න වෙද්දී අමිත් වැඩි­ම­හල් පුත් අසිත නිලංක සහ අමිත්ගේ සහෝ­ද­ර­යෙක් වන අමිල මනෝජ් සමඟ තවත් දෙදෙ­නෙක් එක්ව ත්‍රිරෝද රථ දෙක­කින් රාජ­ගි­රිය ඇළෙහි මාළු ඇල්ලී­මට යාමට පිටත් විය.

එසේ ත්‍රිරෝද රථ දෙකෙන් පිටත්වූ පස්දෙ­නාට වැඩි දුරක් යාමට නොහැකි විණි. හරි­ය­ටම ලුනාව සහ අඟු­ලාන දුම්රිය ස්ථාන අතර ලුනාව පාලම අස­ලදී ත්‍රිරෝද රථ දෙක නත­ර­කර තිබුණේ පොලිස් නිල­ධා­රින් විසිනි. ඒ, මේ දින­වල මත්ද්‍රව්‍ය සහ අප­රා­ධ­කා­ර­යන් කොටු­කර ගැනී­මට පොලි­සිය සිදු­ක­රන වැට­ලීම්හි නිර­තව සිටි අඟු­ලාන පොලි­සියේ ජංගම රාජ­කා­රියේ නිරත නිල­ධා­රින් තිදෙ­නෙකි. ඔවුන් මාර්ග බාධ­ක­යක් යොදා රථ­වා­හන පරී­ක්ෂාවේ යෙදී සිටි බවකි. වේලාව හරි­ය­ටම මධ්‍යම රාත්‍රිය පසු වූවා පමණි.

නතර කෙරුණු ත්‍රිරෝද රථ දෙක පරී­ක්ෂා­කොට බැලූ පොලිස් නිල­ධා­රින්ට දැක­ග­න්නට ලැබී ඇත්තේ එක් රථ­ය­කට ආදා­යම් බල­පත්‍ර නොමැති බවයි. ඒ, අමිත් පැදවූ ත්‍රිරෝද රථ­යට බව සැලවේ. ඉන් අන­තු­රුව සිදුවී තිබුණේ ඛේද­නීය තත්ත්ව­යකි. ඒ පොලිස් නිල­ධා­රින් සහ අමිත්ලා අතර වූ බහි­න්බස් වීමක් දුර­දිග ගොස් නිල­ධා­රි­යෙක් විසින් සිදු­කළ වෙඩි ප්‍රහා­ර­ය­කින් අමිත්ව මර­ණ­යට පත්වී­මයි. එම ශෝච­නීය සිදු­වීම දුටු අයෙක් මාධ්‍ය­යට කීවේ,

"රාත්‍රී 12.10ට විතර ඇති. අපි දැල් බේර­මින් හිටියේ. පොලිස් ජිප් එකේ තුන්දෙ­නෙක් ආවා. ජීප් එක නතර කරලා ඒ අය ටිකක් ඉස්ස­ර­හට ගියා. ඒත් එක්කම ඔය ත්‍රිවිල් දෙක ආවා. බල­පත්‍ර ඇහුවා. එකක බලපත්‍ර අහෝසි වෙලයි කිව්වා. ඊට පස්සෙ ඔය මැරිච්ච කෙනාට පොලි­සියෙ කෙනෙක් ගැහුවා. එයා ඇහුවා ඇයි රාල­හාමි නිකන්ම ගහන්නෙ. එහෙම ගහන්න අයි­ති­යක් නෑනේ. ඊට පස්සෙ ඔහුව ආපු කෙනෙක් අල්ල­ගත්තා. ඊට පස්සෙ පොලි­සියෙ කෙනෙක් වෙඩි තිබ්බා."

එම සිදු­වීම පිළි­බ­ඳව පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කළේ පොලිස් නිල­ධා­රින්ට ගල්ව­ලින් පහර දීමට උත්සාහ කිරී­මේදී එක් නිල­ධා­රි­යෙක් රාජ­කාරි ගිනි­අ­වි­යෙන් සිදු­කළ වෙඩි තැබී­මක් හේතු­වෙන් වෙඩි වැදුණු එක් අයෙක් මිය­ගිය බවයි.

2009 අගෝස්තු 12දා අඟුලානේ සිදුවූ මෙවැනිම ඝාතනයකින්  එවකට අඟුලාන පොලිස් ස්ථානාධිපති නිව්ටන් සහ තවත් නිලධාරීන් තිදෙනෙකු 
පෝරකයට නියමව රැගෙන ගිය අයුරු.

එහෙත් රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරී­මට සිටින පොලිස් නිල­ධා­රින්ට එලෙස මඟ­තොට යනෙන සාමාන්‍ය වැසි­යන්ට වෙඩි තබ­න්නට දී ඇත්තෙ කුමන බල­යක් ද? ඉන් මේ වන විට අහිං­සක දරු පවු­ලක් අස­රණ වී හමා­රය. එක කුස උපන් අමිත්ගේ සහෝ­ද­රයා වන 36 හැවි­රිදි අමිල මනෝජ්ද සිය පණ මෙන් ආද­රය කළ සහෝ­ද­ර­යාට පාප­තර පොලිස් නිල­ධා­රි­යෙක් අතින් සිදුවූ වෙඩි ප්‍රහා­රය වූ මොහොතේ එම ස්ථානයේ සිටි අයෙකි. ඔහු වාවා­ගත නොහැකි දුකින් යුතුව පව­ස­න්නට වූයේ,

"අපි මාළු අල්ලන රස්සාව කරන්නෙ. ත්‍රිරෝද රථ දෙක­කින් සිද්ධිය වූ ස්ථානය පසු­කර යාම­ටයි ගියේ. පොලි­සිය එතැ­නදි අපිව නතර කළා. පොලිස් නිල­ධා­රින් මත්පැන් පානය කරලා හිටියේ. අපේ එක ත්‍රිවිල් එකක බල­ප­ත්‍රය කල් ඉකුත් වෙලයි තිබු‍ණේ. ඒ වෙලාවෙ තමයි ඔය පොලිස් නිල­ධා­රියා අපේ අයි­යට ගැහුවේ. අන්ති­මට වෙඩි තියලා මරලා දැම්මා. මටත් වෙඩි තිබ්බා. අයි­යගෙ පුතා­ටත් වෙඩි තිබ්බා. ඔක්කොම වෙඩි හත­රක් තිව්වා. පස්සෙ ඒ වෙඩි උණ්ඩත් අර­ගෙ­නයි මේ අය එතැ­නින් ගිහින් තියෙන්නෙ."

අමිත් සමඟ ඔහුගේ පුත්‍ර­යාද ධීවර රැකි­යා­වට ගොස් තිබු­ණේය. පොලිස් නිල­ධා­රින් තිදෙ­නා­ගෙන් අයෙක් ආදා­යම් බල­පත්‍ර නොමැති රථ­යට දඩ කොළ­යක් දීම සඳහා අමිත්ව පොලිස් ජංගම රථය අස­ලට රැගෙන ගොස් තිබේ. ඒ අතරේ එක් පොලිස් නිල­ධා­රි­යෙක් 'කෝ උඹලා ළඟ තියෙන කුඩු... ගංජා ගනින්' යැයි දැඩි ස්වර­යෙන් පව­ස­මින් අමිත්ගේ කලි­සම් සාක්කු­වට අත දැමී­මට තැත් කළ බව අමිත්ගේ වැඩි­ම­හල් පුත් 21 හැවි­රිදි අසිත නිලංක කීවේය. “සාක්කු­වට අත දාන්න එපා... එයා සාක්කුව පෙන්න­න්නම් කියලා. පස්සෙ සාක්කු­වල තිබුණු ෆෝන් එකයි සල්ලියි ඒ නිල­ධා­රි­යාට දුන්නා. එත­කොට ඒ නිල­ධා­රියා 'උඹේ කට වැඩියි...' කියලා අසභ්‍ය වච­න­යෙන් බැණ වදි­මින් තාත්තට ගැහුවා. එත­කො­ටම තාත්තා කිව්වා, 'සර් කතා කරන්න දැන­ගන්න... අපි වැරැ­ද්දක් කළේ නෑනේ...' ඊට පස්සෙ තවත් නිල­ධා­රි­යෙක් ඇවිත් 'උඹේ කට වැඩියි... ඔළුව කුඩු­වෙන්න තිය­නවා කියලා තාත්තගෙ ඔළු­වට තුව­ක්කුව තිබ්බා... තාත්තා එතැ­නින් රැගෙන යන්න හද­ද්දිම පොලි­සි­යෙන් කෙනෙක් පිටු­ප­සින් ඇවිත් තාත්තගෙ ඔළු­වට වෙඩි තිබ්බා... ඊට පස්සෙ තාත්තට තව වෙඩි­ල්ලක් තිබ්බා. මටයි බාප්ප­ට­යිත් වෙඩි තිබ්බා." යැයි අසිත කීවේය. කළු­බෝ­විල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය­ව­රයා සිදු­කළ මරණ පරී­ක්ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වී ඇත්තෙ අමිත්ගේ හිසට වෙඩි වැදී­මෙන් වූ බර­ප­තළ හානි හේතු­වෙන් මර­ණය සිදුව ඇති බවයි.

මෙකී ඛේද­නීය සිදු­වී­මත් සමඟ කුපිත වූ ලුනාව සහ ඒ අවට ගම්මු අඟු­ලාන පොලි­සි­යට එරෙ­හිව දැඩි විරෝ­ධ­යක් පළ කර­න්නට වූහ. ඒත් සමඟ අඟු­ලාන පොලි­සිය සහ අවට තත්ත්වය සැල­වුණු බස්නා­හිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා විසින් පොලිස් විශේෂ කාර්ය බළ­කායේ කැරලි මර්දන ඒක­ක­යද කැඳවා තිබුණේ තත්ත්වය පාල­නය කිරී­ම­ටයි.

අමිත්ගේ පවුලේ සාමා­ජි­ක­යන්ට වූ අසා­ධා­ර­ණ­යට පොලි­සිය පැත්තෙන් ඉටු­විය යුතු සියලු යුතු­කම් සහ නීතිය අප­ක්ෂ­පා­තිව ක්‍රියා­ත්මක කොට සර්ව සාධා­ර­ණය ඉටු­ක­රන බව පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා අමිත්ගේ කුඩා නිවෙ­සට දින දෙක­ක­දීම ගොස් සපථ කළේය. ඔහු එහිදී නිවැ­සි­යන්ට සමස්ත පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වේම කන­ගා­ටුව ප්‍රකාශ කර­මින් පැවැ­සුවේ,

පසුගිය 16 වැනිදා අඟුලාන පොලීසියට ජනයා ගල් මුල් ප්‍රහාර එල්ල කළ ආකාරය.

"මේ සිද්ධි­යට අඟු­ලා­නේ­වත් ශ්‍රී ලංකා පොලි­සි­යේ­වත් සැවොම සම්බන්ධ නෑ. මේකට සම්බන්ධ තුන්දෙ­නයි. වෙඩි තැබීම සිදු­ක­රලා තියෙන්නෙ එක් අයෙක්. මේ සිද්ධිය වසං කර­න්න­වත්... වර­දක් කරලා තියෙ­න­වා­නම් ඔවුන් බේර­ග­න්න­වත් අපි කිසිම විටෙක උත්සාහ ගන්නෙ නෑ. පොලි­සිය බාර ඇමැ­ති­තුමා ලෙස චමල් රාජ­පක්ෂ ඇමැ­ති­තු­මාත් මට කතා කරලා උප­දෙස් දුන්නෙ කිසිම ප්‍රශ්න­යක් නොවන විදි­හට සාධා­රණ පරී­ක්ෂ­ණ­යක් සිදු­ක­රන ලෙසයි."

ඒ අනුව වැඩ­බ­ලන පොලි­ස්පති සී. ඩී. වික්‍ර­ම­ර­ත්නගේ නියෝග මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාගේ උප­දෙස් මත ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි රොහාන් ප්‍රේම­ර­ත්නගේ ප්‍රධා­න­ත්ව­යෙන් මේ පිළි­බ­ඳව පුළුල් විම­ර්ශ­න­යක් සිදු කෙරෙ­මින් තිබෙන අතර පසු­ගිය 16 දා මෙකී ඝාත­නයේ අධි­ක­රණ කට­යුතු මොර­ටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ පැවැති දින­යයි.

එදින පාන්දර පොලි­සිය විසින් මෙහි ප්‍රධාන සාක්ෂි­ක­රු­වන් දෙදෙ­නෙකු ඔවු­නගේ නිවෙ­ස්ව­ල­ටම පැමිණ රැගෙන යාම පිළි­බ­ඳව අඟු­ලාන ජන­තාව අතර කසු­කු­සු­වක් ඇතිවී තිබිණි. අන­තු­රුව එදින මොර­ටුව ප්‍රධාන මහේ­ස්ත්‍රාත් දමින්ද රාම­නා­යක මහතා විසින් මෙකී විම­ර්ශන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට බාර දීමට නියෝග කෙරිණි.

එම අධි­ක­රණ ක්‍රියා­දා­ම­යෙන් පසු සවස 2.30ට පමණ අඟු­ලාන පොලි­සිය අවට රැස්වූ ගම්මු පොලි­සි­යට ගල්මුල් ප්‍රහාර එල්ල කර­මින් කල­හ­කාරි ලෙස හැසි­රෙ­න්නට වූහ. ඉන් පොලි­සි­යට දැඩි හානි සිදු­විණි. ඒත් සමඟ එම ස්ථාන­යට පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා මිය­ගිය අමිත්ගේ නිවෙ­ස­ටද ගිය අතර ජන­තා­වට අව­ධා­ර­ණය කර සිටියේ, කල­හ­කාරි ලෙස හැසි­රීම කිසි­සේත්ම අනු­මත නොක­රන බවයි. පොලි­සිය පැත්තෙන් යම්කිසි අඩු­පා­ඩු­වක් සිදුව තිබේ නම් ඒ පිළි­බ­ඳව විම­ර්ශ­න­යක් සිදු­ක­රන බවත් ජන­තාව මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්කා­ර­යන්ට, කොල්ල­ක­රු­වන්ට නොරැ­වටී කට­යුතු කරන ලෙසද ඉල්ලා සිටි­යේය.

අඟු­ලාන පොලි­සියේ දේපො­ළ­ව­ලට දැඩි හානි සිදු­කොට පොලිස් නිල­ධා­රින් නව­දෙ­නෙ­කුට තුවාල කිරීම හේතු­වෙන් පුද්ග­ල­යන් පස්දෙ­නෙකු සහ කාන්තා­වන් නව­දෙ­නෙකු අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය සඳ­හන් කළේය.

අඟු­ලාන පොලි­සි­යට අනු­යුක්ත රාජ­කාරි කළ නිල­ධා­රින්ගේ අතින් මෙලෙස මිනිස් ඝාත­න­යක් වූ පළමු අව­ස්ථා­වද මෙය නොවේ. 2009 අගෝස්තු 12 වැනි­දාද සුළු වර­ද­කට අඟු­ලාන පොලි­සියේ අත්අ­ඩං­ගු­වට පත් අඟු­ලානේ තරු­ණ­යන් දෙදෙ­නෙක් වූ දිනේෂ් තරංග සහ ධනුෂ්ක උද­යංග දෙදෙනා වෙඩි තබා ඝාත­න­ය­කොට මළ­සි­රුරු ස්ථාන දෙකක තිබී හමු විණි. 2009 අඟු­ලාන ද්විත්ව ඝාත­නය ලෙසින් රටේම මහත් ආන්දෝ­ල­න­යක් ඇති­කළ එම සාහ­සික අප­රා­ධය කළ බවට එව­කට අඟු­ලාන පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ විනී නිව්ටන් සහ තවත් නිල­ධා­රින් තිදෙ­නෙ­කුට මරණ දඬු­වම් නියම ‍විණි.

මෙලෙස පොලි­සිය සහ ජන­තාව අතර සහ­ස­බ­ඳ­තාව පළුදු වන ආකා­ර­යෙන් හැසි­රෙන පොලිස් නිල­ධා­රින්ට එරෙ­හිව පොලි­සිය පැත්තෙන් දැඩි තීන්දු තීරණ ගත යුතුය. එසේම මින් ඉදි­රි­යට හෝ මෙවැනි අප­රාධ පොලිස් නිල­ධා­රින් අතින් සිදු නොවී­මට වග බලා ගනි­මින් පොලි­සිය 'සුද්ධ' කළ යුතු කාලය එළැඹ ඇති බව පෙනේ. එසේම ජන­තා­වද කුඩු­කා­ර­යන්ට, කොල්ල­ක­රු­වන්ට නොරැ­වටී බුද්ධි­මත්ව හැසි­රිය යුතු බව අව­ධා­ර­ණය කර­න්නෙමු.

 

ඡායා­රූප - සමීර අබේ­සිංහ (නුගේ­ගොඩ සමූහ)

Comments