නොහි­ක්මුණු රිය­දුරා උදු­රා­ගත් තරුණ පොලිස් නිල­ධා­රි­යාගේ ජීවි­තය | Page 2 | සිළුමිණ

නොහි­ක්මුණු රිය­දුරා උදු­රා­ගත් තරුණ පොලිස් නිල­ධා­රි­යාගේ ජීවි­තය

රු­වොත් එක්ක සතු­ටින් ඉඳල මගේ මහ­ත්තයා ගියේ පැය දෙක­කින් එනව කියල. අනේ මගේ රත්ත­රන්ට මෙහෙම දෙයක් වෙයි කියල කවුද හිතුවේ. මගේ දරුවො දැන් තාත්තා කියන්නෙ කාටද? දෙවි­යනේ, මගේ දරුවො තාත්තා ආයේ කවදා දකින්ද?" නොහි­ක්මුණ රිය­දු­ර­කුගේ ආකා­රු­ණික බවට ගොදු­රක්වූ හක්මණ පොලී­සියේ පොලිස් සැර­යන් මාලිත විතා­රණ ගේ බිරිය එස්. පී. නිරෝ­ෂිකා කඳුළු සල­මින් පැව­සු­වාය.

මාලිත විතා­රණ මෙම ඛේද­නීය ඉර­ණ­මට මුහුණ දුන්නේ පසු­ගිය 13 දින රාත්‍රියේ හක්මණ කෝංගල මාර්ග බාධ­ක­යේ­දීය. වල­ස්මුල්ල මොද­ර­වාන පල්ලෙ­වාව්ව පදිං­චිව සිටි මාලිත තිස් හය­වැනි වියේ පසුවූ දෙදරු පියකි.

වෙනදා දරු­වන්ගේ කෙළි සෙල්ලම් හඬින් ගිඟුම්දුන් මහ ගෙදර අද කඳු­ළින් බරව ඇත්තේය. සුදු කොඩි, ශෝක ප්‍ර­කාශ බැලූ බැලූ හැම තැනම දක්නට ලැබී­මෙන් පෙනී­යන්නේ මුළු ප්‍රදේ­ශ­යම මාලි­තගේ වෙන්ව යාමෙන් දුකට පත්ව ඇති බවයි. අහස් කුස­ටද මාලි­තගේ වෙන්ව යාම දරා­සි­ටිය නොහැ­කිව ඇත්තේය. විටින් විට ඇද­හැ­ලෙනා වැසි බිඳු අහස හඬන විට වැටෙවා කඳුළු බිඳු වැනිය.

මාලි­තගේ නිසල දේහය

"අනේ මගේ මහ­ත්තයා එදා හවස පහ­හ­මා­රට විතර ඇවිත් දරු­වොයි මමයි එක්ක සතු­ටින් හිටියා. පොලී­සි­යෙන් කැඳ­වී­ම­කට තමයි අටයි තිහට විතර ආපසු ගියේ. අනේ මගේ දරු­පැ­ටව් දෙන්නා ඉඹල පැය දෙක­කින් එනවා කියල ගියේ. හොඳට ගියපු මගේ මහ­ත්තයා ආපසු ආවෙ මෙහෙ­මයි. මගේ දරු­වන් දැන් තාත්ත කියන්නෙ කාටද? මෙහෙම අප­රාධ කරන්නේ අයි දෙවි­යනේ" නිරෝ­ෂිකා මහ­ත්මිය යළි­ ය­ළිත් විලාප නග­න්නීය.

මාලිත පැය දෙක­කින් එන බව පවසා හක්මණ පොලී­සි­යට ගිය ද නැවත නිය­මිත වේලා­වට නොපැ­මි­ණි­යෙන් නිරෝ­ෂිකා දරු­වන් දෙදෙනා ද සමඟ රාත්‍රිය ගත­කි­රීම සඳහා තම නිවස ආස­න්නයේ ඇති දෙමා­පි­යන්ගේ නිව­සට ගොස් ඇත්තේ වැඩි ආර­ක්ෂාව සඳ­හාය. එලෙස මහ ගෙදර සිටි­යදී මෙම කනගා­ටු­දා­යක පණි­වු­ඩය ලැබී ඇති අතර ඒ මොහොතේ පටන් සිය­ලු­දෙ­නාගේ නෙත් සිත් කඳු­ළින් බරව ඇත්තේය.

වීර­කැ­ටියේ ඉපිද ඇති මාලිත උස­ස් පෙළ දක්වා අධ්‍යා­ප­නය හදාරා පොලී­සි­යට බැඳී ඇත්තේ 2008 වර්ෂ­යේ­දීය. නික­වැ­ර­ටිය පොලිස් අභ්‍යාස විද්‍යා­ලයේ පුහු­ණුව ලබා පළමු පත්වීම ලෙස කොල්ලු­පි­ටිය පොලී­සි­යට පත්වන මාලිත එහි ටික කලක් සේවය කර හක්මණ පොලී­සි­යට ස්ථාන මාරු ලැබ පැමි­ණි­යේය. පසුව යළි යාප­නය අච්චු­වේලී පොලී­සි­යට ස්ථාන මාරු ලබා එහි කෙටි කාල­යක් සේවය කර මේ වර්ෂයේ ජන­වාරි මස සිට යළි හක්මණ පොලී­සි­යට පැමිණ සේවය කර­මින් සිටි­යදී මෙම ඛේද­නීය ඉර­ණ­මට මුහු­ණදී ඇත.

මාලි­තගේ බිරිඳ නිරෝ­ෂිකා හා දරු­වන් දෙදෙනා

"මගේ පුතා ගෙදර අයට හරිම ආද­රෙයි. ගෙදර ඉන්න කාලෙ මමත් එක්ක හරි­හ­රි­යට ගොවි­තැන් වැඩ කළා. මම අස­නීප වුණාට පස්සේ ගොවි­තැන් වැඩ ඔක්කොම බලා­ගත්තෙ මගේ මේ පුතා තමයි. ඒත් අනේ" මාලි­තගේ පියාවූ ගුණ­පාල විතා­රණ ට කියා­ගත හැකි­වූයේ එප­ම­ණකි. දෙනෙත් කඳු­ළින් පිරී ගියේය.

පොලි­සීයේ සේව­ය­ ක­ර­මින් සිටි­යදී නිරෝ­ෂිකා සමඟ ඇතිවූ ප්‍රේම සබ­ඳ­තා­වක් මත 2011 දී විවා­හවී ඇති මාලිත, සෙනුජ සෙන්සිත් (07) පුංචි පුතුගේ හා සෙනුජි තිහාරා පුංචි දිය­ණි­යගේ ආද­ර­ණීය පියා­ව­න්නට වාස­නා­වන්ත විය. එහෙත් දරු­වන් දෙදෙනා අද තම පියා නැති සොවින් නිසො­ල්මන්ව සිටිති.

"අපේ පුතා අපිට හරි ආද­රෙයි. උස­ස්පෙළ කරල බාහිර උපා­ධි­යත් කරන්න උත්සාහ ගත්තා. ගෙවල් වලට තියෙන ආද­රය නිසාම සේවය ගැන ගොඩාක් උන­න්දු­වෙන් හිටියේ. අපේ පුතා අපිට දැන් නෑ. හිතක් පපු­වක් නැති මිනි­හෙක් පුතා අපිට නැති­කළා." මාලි­තගේ මව වූ ලතා ගමගේ මාතාව හැඬූ කඳු­ළින් පැව­සු­වාය.

දඩ­ප­තක් ලබා­දී­මට උර­ණවූ ටිපර් රථ රිය­දුරු මාලිත ඇතුළු පොලිස් නිල­ධා­රීන් යට­කර පළා ගොස් සැඟව සිටි­යදී පොලිස් අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රුට මනුෂ්‍ය ඝාත­නය, මනුෂ්‍ය ඝාත­න­යට තැත් කිරිම, අන්ත­රා­දායි ලෙස රිය පැද­විම සහ අන­තු­රක් සිදු කොට පළා යෑම ආදි කරුණු යටතේ චෝදනා ගොනු කො⁣ට 15 දින මාතර අති­රේක මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු ජූලි 23 දින දක්වා රක්ෂිත බණ්ධ­නා­ගාර ගත කර ඇත.

මිය­ගිය පොලිස් කොස්තා­පල් මාලිත විතා­ර­ණගේ දේහය පිළි­බඳ අව­සන් කට­යුතු අද (16) දින පවුලේ අය මෙන්ම ප්‍රදේ­ශ­වා­සීන්ගේ ද සෝ සුසුම් මැද මොද­ර­වාන ප්‍රදේ­ශ­යේදී සිදු­කෙ­රිණි.

මාලි­තගේ මව සහ පියා.
මාලි­තගේ දේහය තබා ඇති නිවස.

 

Comments