
රටේ මොන ප්‍රශ්න තිබුණත් පොත් ලෝලීන්ට පොත් අමතක වන්නේ නැත. ඔවුන්ට ඇති ලොකුම ප්‍රශ්නය මෙවර ස්වර්ණ පුස්තක සම්මානය කාට හිමිවේදැයි කියාය. එමෙන්ම එළැඹෙන සැප්තැම්බරයේ පොත් ප්‍රදර්ශනය පැවැත්වෙයිද කියාය. කෙසේ වුවත් පසුගිය දිනවල ස්වර්ණ පුස්තක සම්මාන සඳහා පළමු වටයේ නිර්දේශිත පොත් 12 කවරේදැයි යන්න හෙළි කීරීමත් සමඟ පාඨකයන් ලේඛකයන් අතර යළිත් පොත් ගැන තිබූ උනන්දුව වැඩි විය.
ඇතැමුන් සතුටු වන අතර ඇතැමුන් දුක් වන්නේ තමන් කියැවූ තම සිත් ගත් නවකතා පොත් දොළහ අතරට නොආවේ මන්දැයි කියාය.
මේ සියල්ලටම පිළිතුරු සෙවිය නොහැකි වුවත් වසර දොළහක් තිස්සේ ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත කෘති තේරීපත් වූ ආකාරය පිළිබඳ අප තොරතුරු ඇසුවේ ස්වරණ පුස්තක තේරීම් කමිටුවේ පාදක මණ්ඩලයේ මුල්තැන ගෙන කටයුතු කරන ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස් මහතාගෙනි.
“පළමු වරට ස්වර්ණ පුස්තක සම්මාන පිරිනැමිම ආරම්භ කළේ 2008 වසරේ. 2007 වසරේ පළ වූ නවකතා පොත් හැට දෙකක් පළමු ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ සඳහා තිබුණා. 2008 වසරේ එළිදැක්වු පොත් 68 ක්, 2009 වසරේ පොත් 76 ක්, 2010 වසරේ පොත් 72 ක්, 2011 වසරේ පොත් 72 ක්, 2012 වසරේ පොත් 78 ක්, 2013 වසරේ පොත් 116 ක්, 2014 වසරේ පොත් 123 ක්, 2015 පොත් 124 ක්, 2016 වසරේ පොත් 136 ක්, 2017 වසරේ පොත් 99 ක් 2018 වසරේ පොත් 125 ක් , 2019 වසරේ පොත් 108 ක් ආදි වශයෙන් විනිශ්චය මණ්ඩල වලට ලබා දී තිබෙනවා. මෙවර පාදක මණ්ඩලය විසින් පළමු වටය සඳහා පොත් දොළහක් තෝරා දී තිබෙනවා. පසුගියදා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් එ් තෝරා ගැනීම ප්‍රකාශයට පත්කෙරුවා. 2008 වසරේ සිට අද දක්වා බලන විට අපට පෙනෙන්නට තිබෙන දෙයක් තමයි පසුගිය කාලය තුළ හොඳ පොත් පළ වෙලා තියෙනවා. ඒ වගේම හොඳ පොත් වලට වෙළෙඳපළක් සකස් වී තිබෙනවා.
නාලන් මෙන්ඩිස් මහතා පවසන්නේ එදා මෙදාතුර ස්වරණ පුස්තක සම්මාන උලෙළට ඉදිරිපත් වූ පොත් සංඛ්‍යාව ගැනය.
2019 ප්‍රකාශයට පත් වූ නවකතා කෘති 108 අතුරෙන් තෝරා ගන්නා ලද අවසන් පොත් දොළහ මෙසේය.
නිම්නාගේ ඉතිහාසය - කෞශල්‍ය කුමාරසිංහ,
පන්හිඳ -සාගර විජේසිංහ, අතකින් අම්මාය අතකින් මෙරමාය -පී. බී ජයසේකර, කන්ද උඩ ගින්දර- ජැක්සන් ඇන්තනී, පේත- එරික් ඉලයප්පආරච්චි, බලන් පුර සිරි නෙත් පුරා- රූපා ශ්‍රීයානි ඒකනායක, රුදු රොන් සුනු- කීර්ති වැලිසරගේ, පොල්මට්ටා - ප්‍රේමකීර්ති රණතුංග, නිෂ්ක්‍රාන්තිය- සුනේත්‍රා රාකරුණා, තී හා තා -සුරත් ද මැල්, කුමර කොබෙයි- ශමෙල් ජයකොඩි, රතු ඉරි අඳින අත - ලියනගේ අමරකීර්ති.
පොත් දොළස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මේ දෙස විමසිල්ලෙන් බලා සිටිය ඇත්තේ නගන ප්‍රශ්න රැසකි. ඇතැමෙක් තමන් කැමති පොත කියවා එය සම්මාන සදහා නිර්දේශ වේයැයි බලා සිටියහ. එහෙත් එය එසේ නොවන කළ ලේඛකයන් මෙන්ම පාඨකයන්ද සිතන්නේ මේ සිදු වුයේ කුමක්ද කියාය.
“ පාදක මණ්ඩලයේ පහළොස් දෙනකු සිටිනවා. අපි පහළොස් දෙනා මේ කාර්යය පටන් ගත්තේ මේ වසරේ ජනවාරි 31 වැනිදා. අපට ලැබී තිබුණ පොත් 108 අපි පොත් 22 කොටස් වලට බෙදා ගත්තා. සෑම මසකම අපි හමු වුණා. පොත් විසිදෙක ගැනම කතා කළා. අපේ අදහස් විවිධයි ඒ විවිධ අදහස් මතින් තමයි පොත් ගැන කතා කළේ. අතහරින්නේ මොන පොතද ඉදිරියට ගෙන යන්නේ මොන පොත ද කියන එක ගැන අපි සාකච්ඡා කළා. අපේ කණ්ඩායමේ කෙනෙක් කියනවා නම් මේ පොත මේ හේතුව නිසා ඉදිරියට ගෙනියන්න බැහැ කියලා අනෙක් සාමාජිකයෝ ඔහුගේ අදහස සමඟ එකඟ වෙනවා. එහෙම කරන්නේ කරුණු විමසලා බලලා. පෙබරවාරි මාසේ හමු වුණ අපිට කෝවිඩ19 නිසා මාර්තු මාසයේ හමු වීමට බැරි වුණා. පෙබරවාරි 31 අපි වට්ස් ඇප් ගෘෘප් එකක් හදා ගත්තා. කොරෝනා කාලයේ එය අපට බොහෝම උදව් වුණා. පොත් කියවපු සාමාජිකයෝ වට්ස් ඇප් හරහා ඔවුන්ගේ අදහස ලිව්වා. එලෙසයි අපි මේ කටයුත්ත කෙරුවේ. පසුගියදා පොත් 12 ප්‍රකාශයට පත් කළේ එලෙසයි. “
නාලන් මෙන්ඩිස් එලෙස කියන විට අප ඇසුවේ පොත් 12 තේරීම සඳහා
ඔවුන්ගේ නිර්ණායක කුමක්ද? කියාය.
අපි විශේෂයෙන්ම අවධානය යොමු කළේ පොතේ අන්තර්ගතය සහ භාෂාව ගැන. අන්තර්ගතය ඔස්සේ මේ කරුණු ගැන සැලකිලිමත් වුණා. කතාවේ ගැළපුම, නවකතාකරුගේ පණිවුඩය, කතා වින්‍යාසය, කලාත්මක බව, චරිත නිරුපණය. ඒ වගේ ම තමයි භාෂාවේදි මුල් තැන දුන්නේ භාෂාවේ නිරවද්‍යතාව, චරිත නිරුපණය කිරීමේදී උපයෝගි කර ගන්නා භාෂාව, සංකල්ප රූප ආදි දේ ගැන. තවත් පොත් පොත් පහළොවක් තෝරන්න තිබුණා මේ පොත් දොළහ ඇරුණ විට තවත් පොත් දහයක් මෙයට එකතු කරන් අපට තිබුණා.
අපි මෙහිදි ලේඛකයාගේ නම නොවෙයි පොත දිහා බැලුවේ; පොතේ නමින්. පාදක මණ්ඩලටය කිසිම දවසක පොත් ප්රකාශකයින්ගේ සංගමය බලපෑම් කරන්නේ නැහැ. අපට ස්වාධීනව කටයුතු කරන්නට පුළුවන්කම තිබෙනවා ඒ නිසා. “
පාදක මණ්ඩලය විටින් විට වෙනස් වේ. මෙවර ස්වර්ණ පුස්තක පාදක මණ්ඩලයේ නාලන් මෙන්ඩිස් හා රෝහිත වනිගසේකර හැරුණ විට සෙසු සාමාජිකයෝ ප්‍රථම වරට මේ සඳහා සහභාගි වුවෝය.
“මම 2018 වසරේ මෙයට සහභාගි වුණේ නෑ. ඒ හැරෙන්න 2008 වසරේ සිට මම දිගටම මෙයට සහභාගි වුණා. මෙවර පාදක මණ්ඩලයේ ආචාර්ය ධම්මික බණ්ඩාර, කැනිෂියස් පළිහවඩන, හේමපාල ජයවර්ධන, තිලකා දමයන්ති සූරියආරච්චි, කෞෂල්‍යා පෙරේරා, ක්‍රිස්ටි ප්‍රනාන්දු, මංජුලා රණතුංග, ඇම්. බී. අයි. එස් ගුණතිලක, නන්දලාල් මාලේගොඩ, නන්දනී ගුණසේකර, පාලිත අරවින්ද වීරක්කොඩි, සුසන්ත ආරියරත්න, වරුණි ගඟබඩආරච්චි, රෝහිත වනිගසේකර යන අය කටයුතු කළා. පාදක මණ්ඩලයේ සිටින සාමාජිකයන් මා දකින්නේ ඔවුන් මේ සමාජයේම හරස්කඩක් ලෙසයි. විචාරකයන් නොවන ඔවුන් නිරන්තරවම පොත් කියවන අය. ඇතැමුන්ට පෞද්ගලික පුස්තකාල , එහෙමත් නැත්නම් පොත් එකතුවක් තිබෙනවා. තවත් අය පුස්තකාලවල පාඨක සමාජ වල ක්‍රියාකාරියෝ. මේ අය ජනප්‍රිය පොත් වගේම සෙසු පොත පතත් කියවන අය. මේ හැම දෙනාටම පොත් ගැන උසස් මෙන්ම විවිධ රුචිකත්වයන් තිබෙනවා. ඒ නිසා මෙවර මා ඇතුළු පාදක මණ්ඩලය විසින් තේරූ පොත් දොළහ ගැන සෑහිමකට පත් වෙනවා.
මාස ගණනාවක් තිස්සේ තම කණ්ඩායම විසින් කරන ලද බැරෑරුම් කාර්යය ගැන ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස් පවසන්නේ එලෙසය.
ස්වර්ණ පුස්තක සම්මාන වලට අමතරව පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සිංහල කෙටිකතාව, කවිය හා යොවුන් සාහිත්‍ය නඟා සිටුවීම සඳහා පවත්වනු ලබන රජත පුස්තක සම්මාන සදහා නිර්දේශිත පොත් ද මේ වන විට ප්‍රකාශයට පත්කර ඇත. ඒවා මෙසේය.
රජත පුස්තක අවසන් වටය සඳහා නිර්දේශිත කෙටිකතා, යොවුන් සාහිත්‍ය හා කාව්‍ය සංග්‍රහයන් මෙසේය.
කෙටි කතා
අපරාදේ ඒ නොවැම්බර්- කපිල එම් ගමගේ, විශ්‍රාමික පෙම්වතිය- එරික් ඉලයප්පාරච්චි, මැරීන් ඩ්‍රයිව්-අනුරසිරි හෙට්ටිගේ, සිතුවමෙන් නෙරපු කිඳුරිය- සුමුදු නිරාගී සෙනෙවිරත්න
යොවුන් සාහිත්‍ය,
බැලුම්ගල පාමුල- වසන්තා මාලනි දෙනිපිටිය, හත එෆ් කර්තෘ- බුවනෙක වන්නිඅච්චි, ඒත් අපි පියාඹමු- සුජාතා අලහකෝන්, රන් කුඹලා- ස්ටැන්ලි පතිරාජ
කාව්‍ය සංග්‍රහ
රිඳුම් පිරි පිරිමැදුම්- අනුරාධා නිල්මිණි, ප්රදීපාගාරයක ඇස් බැල්ම-රවී සිරිවර්ධන, සන්තාන ගීතිකා-මංජුල වෙඩිවර්ධන, ක්වොන්ටම් භෞතික සංඛාරා- කුමාර හෙට්ටිආරච්චි