
කොවිඩ් සමය රටේ ආර්ථිකය මුළුමනින්ම අඩාළ කළේය. මිනිස්සුන්ගේ ජීවිත බිඳ වැටුණේය. කවදාවත් ආර්ථික පීඩාවක් අත් නුදුටු මිනිස්සු මහා පීඩාවක් අත්වින්දහ. එහෙත් මේ බිහිසුණු සමයේ මස් රාත්තලම ඉල්ලන ෂයිලොක් ලා සේ හැසිරී සමාජය පීඩාවට පත් කළ ව්‍යාපාර තිබිණි. වඩාත් කැපී පෙනුනේ රජයේ නොවන පෞද්ගලික පාසල්ය.
රජයේ නොවන පාසල් පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් ලෙස ප්‍රධාන කොටස් දෙකකි. පෞද්ගලික පාසල් රජය විසින් සෘජුවම පාලනය කරනු නොලැබුවත් සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි යන භාෂාවන්ට අදාළව අධ්‍යාපන අමාත්‍යංශය විසින් සකස්කරනු ලබන නීති රෙගුලාසි අනුව ක්‍රියාත්මක වේ. ප්‍රාථමික භාෂාව හැටියට ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන අතරම විදේශීය ඉගෙනුම් පටිපාටිය අනුගමනය කරන පාසල් ජාත්‍යන්තර පාසල් ය. විශේෂ ලක්ෂණය නම් පෞද්ගලික පාසල් අධ්‍යපන අමාත්‍යංශයේ නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අකමැති වීමය. ජාත්‍යන්තර පාසල් සහ වෙනත් ජාත්‍යන්තර නොවන පාසල් ලැයිස්තු ගතකර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ නොව ආයෝජන මණ්ඩලය යටතේ වීමය. එහි අධ්‍යාපනය ලබන දරුවෝ ස්වකීය අධ්‍යාපනය වෙනුවෙන් එම ආයතනය නියම කරන මිල ගෙවති.
ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වුවත් පාසලක් යනු හුදු ව්‍යාපාරයක්ම නොවේ. පාසලක් යනු නියත සමාජ අවශ්‍යතාවක් වෙනුවෙන් බිහි කරගත් රටක අපේක්ෂාවකි. එමෙන්ම නිදහස් අධ්‍යාපනයක් පවතින රටක විශේෂ පිරිවැයක් දරමින් පෞද්ගලික පාසල්වලට දරුවන් යොමු කරන දෙමාපියන් බහුතරය මේ රටේ පවතින රාජ්‍ය අධ්‍යාපන ක්‍රමය තුළ හෙම්බත් වූවන් විනා විසිකරන්නට මුදල් ඇති පුද්ගලයන් නොවේ.
අනෙක මේ මිනිසුන් රජයට බරක් නොවී අධ්‍යාපනය නැමති විශාල රාජ්‍ය පිරිවැය තමන්ම දරාගන්නවුන්ය. වෙනත් අයෙකුට අවස්ථාවක් සලසන උන්ය. සමාජ ජීවිතයට අත්‍යවශ්‍යම ප්‍රවේශයක් රටට බරක් නොවී දරාගත් මේ පිරිස ලෝකයක් ව්‍යසනයට පත් වූ අවස්ථාවක ආරක්ෂා කරගැනීමේ වගකීමක් සමාජයට තිබේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ආණ්ඩුව විසින් සපයා ඇති පරිසරයක පුද්ගලික පාසල් හිමි කරුවන් හුදු ලාභාපේක්ෂිත කළුකඩ ව්‍යාපාරයක් කරගෙන යනවිට, ඒ අශ්ලීල කටයුත්ත නියාමනය කරන්නට කිසිවෙක් නැති වූ විට ඇතිවන තත්ත්වය සංකීර්ණය.
කොවිඩ් වසංගතය සමාජගත වූ දා සිට මේ දක්වා පුද්ගලික පාසල් සියයට අනූවක්ම පාසල් ගාස්තු අය කිරීමේදී කිසිම සහනයක් සලස්වා නොතිබිණි. අප කළ අධ්‍යයනයකට අනුව පෙනී ගියේ ලංකාවේ ප්‍රධානම පුද්ගලික පාසල්වලින් දෙකක් හැරුණු විට පාසල් ගාස්තු ගෙවීමට සහන කාලයක්වත් ලබා දී නොතිබුණ බවය. මේ පිළිබඳව දෙමාපියන් අප සමඟ පවසන කතාව බෙහෙවින්ම වේදනාකාරීය. එක් තාත්තා කෙනෙක් අප සමග ඒ අවනඩුව මෙසේ දිග හැරියේය.
“පුද්ගලික පාසල්වලට අධ්‍යාපනය සඳහා දරුවන්ව යොමු කළ අපි බොහොම දෙනෙක් මහලොකු සල්ලි කාරයො නෙමෙයි. හැබැයි අපි විධායක ශ්‍රේණිවල රැකියාව කළා. යම් සැලකිය යුතු ආදායමක් ලැබුවා. අපි අපේ දරුවන් මේ පාසල්වලට යොමු කළේ මේ පවතින අධ්‍යාපන තරගයට වැදිලා දරුවන්ව හෙබ්ම්බත් කරන්න බැරි නිසාමත් නෙමෙයි. බොරු ලේඛන හදාගෙන, බොරුවම කියාගෙන කරන මේ අනීතික වැඩ කරන්න බැරි නිසා. ඒ වෙනුවෙන් පිරිවැයක් දරන්න පුළුවන් තරමේ වත්කමක් මට තිබුණා.
ඒත් අද තත්ත්වය වෙනස්. මගෙ දරුවො දෙන්නා අධ්‍යාපනය ලබන්නෙ මාලඹේ ප්‍රධාන පෙළේ පුද්ගලික පාසලක. එක් දරුවෙක් තුන වසරෙ. අනෙක් දරුවා එක වසරෙ. මේ අය පාසල් ගියෙ නෑ. ලොකු පුතාට යම් ප්‍රමාණයක් අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ආවරණය කළා. ඒත් පොඩි දරුවට කිසිම දෙයක් නෑ. ඔවුන් ඔහු වෙනුවෙන් කිසිම පිරිවැයක් දැරුවෙ නෑ. බලන්න කල්පනා කරලා. මේ පාසල් හිමි කරුවන් ව්‍යාපාරිකයන්ට ගන්න පුළුවන් ආණ්ඩුවෙන් දෙන සියලුම සහනත් ගන්නවා. ඒ ඇරෙන්න දෙමව්පියන්ගෙන් සත පහක් අඩු නොකර පාසල් ගාස්තුත් ගන්නවා. ගුරවරුන් බොහෝ දෙනෙක් මේ පාසල්වල දැන් ලබන්නෙ දීමනා නැති මූලික පඩිය. ඒ අයට නඩත්තු වියදමක් නෑ. හිතන්න.. මේ මිනිස්සුන්ගේ ලාභයක් තියනවා නම් ඒ ලාභය මේ අවස්ථාවෙ වට්ටමක් විදිහට දරුවන්ගෙ පාසල් ගාස්තුවලින් අඩු කරන්න තිබුණා.“
බලාගෙන යනවිට මේ පිරිස් කොවිඩ් සමයේ දී සදාචාරාත්මක නොවන ආකාරයට සරු ආදායම් මාර්ගයක් උත්පාදනය කරගෙන ඇත. ආණ්ඩුව ව්‍යාපාරික සහන ව්‍යවසායකයන්ට ලබා දුන්නේ සමාජයේ යහපතට මිස පුද්ගලිකව එක් එක් ව්‍යාපාරිකයන් තෘප්ත කරන්නට නොවේ.
ඉතා අතළොස්සක් වන පුද්ගලික පාසල් යම් මානුෂික ප්‍රවේශයක් ගෙන තිබිණි. එක් පාසලක් තමන්ට පාසල් ගාස්තුවෙන් ගෙවිය හැකි මුදල ගෙවා ඉතිරිය වාරික වශයෙන් ගෙවාගෙන යන්නට අවස්ථාව සැලැස්වූයේය. එහෙත් මේ ප්‍රධාන පාසල් එකක්වත් පාසල් ගාස්තුව සඳහා කිසිම වට්ටමක් ලබා දුන්නේ නැත.
“මට දරුවො දෙන්නෙක් ඉන්නවා. මේ වකවානුව මට ඉතාම අපහසු ආර්ථික පරිසරයක් නිර්මාණය වුණේ. ඔබ දන්නවා ව්‍යාපාර ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට වෙච්ච ගැටලුව. මම සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධව රැකියාව කළ අයෙක්. සංචාරක ව්‍යාපාරයට සිද්ධ වෙච්චි දේ ගැන හැමෝටම හොඳ අවබෝධයක් තියනවා. සියලුම ආදායම් මාර්ග නැති වුණා. කවදාවත් පාසල් ගාස්තු සම්බන්ධව මම විමසලා නෑ. මේ සැරේ මම විදුහල්පතිතුමාව මුණ ගැහිලා මේ ඇත්ත ප්‍රශ්නය කියලා යම් සහනයක් දෙන්න කිව්වා. කට කොණකින් හිනා වෙලා අහක බලාගත්තා.“
“අපට වෙලා තියන ප්‍රශ්නය මේ පුද්ගලික ආයතනවල පවතින ස්වරූපය. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ප්‍රශ්න කරන මොනවා හෝ සිදුවීමක් වාර්තා වුණොත් එය ඍජුවම දරුවට බලපානවා. පාසලෙන් දරුවා ඉවත් කළොත් අපට ඒ ඉක්මනින් රජයේ පාසලකට ඔහුව යොමු කරගන්න බැරි වෙනවා. අධ්‍යාපන ධාරා දෙකක් නිසා දරුවා අතරමං වෙයි කියන බියෙන් සද්ද නැතිව ඉවසගෙන ඉන්නවා“
ඔහු කියන්නේ තමන්ට සිදුවන අසාධාරණය එළිපිට කතා කරන්නටත් බැරි යථාර්ථයක් ගැනය. මේ මිනිසුන් කතා කරන්නේ රටේ ආර්ථික ප්‍රශ්නයේ එක් මානයක් පිළිබඳවය. විරැකියාව ඉහළ ගියේය. ඌණ සේවා නියුක්තිය වැඩි වුණේය. වාණිජ හා ව්‍යාපාර ක්ෂේත්රයන්හි වෘත්තිකයන් ඉතා අසරණ අඩියකට වැටුණේය. රටේ සමස්ථ ආර්ථික යාන්ත්‍රණය බිඳ වැටෙන විට එහි පංගු ලෙස කුටුම්භයේ ආර්ථික සුරක්ෂිත තාවය බිඳවැටුණේය. රට යථාවත් කිරීමට ආණ්ඩුවෙන් ලැබෙන සහනත් සහිතව මේ අධ්‍යාපන ව්‍යාපාරිකයෝ මිනිසුන් පෙලමින් සිටිති.
පාසල් ගාස්තු පීඩනය දරාගත නොහැකි වූ මවක් අප සමඟ කීවේ මෙවැනි කතාවකි.
“මේ අය පන්ති සම්පූර්ණ කරනවා කියලා ඔන්ලයින් යම් ප්‍රමාණයක් වැඩ කළා. මේ ගැටලුවෙදි කිසිම සහනයක් ඔවුන් අපට සැලස්සුවෙ නෑ. අඩුම තරමින් මේ ව්‍යාපාරයෙන් සියයට විස්සක ලාභයක් මේ අයට තියනවා. මෙහෙයුම් වියදම්, නඩත්තු වියදම් නැති නිසා ඒ ලාභය තවත් වැඩියි. අපි කියන්නෙ අපේ පාසල් ගාස්තුවෙන් සීයට 10ක් අඩු කරන්න මේ අයට බැරි ඇයි. මේක සාධාරණ ප්‍රශ්නයක්. ලෝකෙ හැම ව්‍යාපාරයක්ම යම් පාඩුවක් දරාගන්නවා මේ ව්‍යසනයෙදි. ඒක හැමෝම බෙදාගන්න ඕන. ඇයි ඔවුන් විතරක් උපරිම ලාභයටත් වැඩි ලාභයක් විඳිමින් අපිව මේ විදිහට පීඩාවට පත් කරන්නෙ. “
“පුද්ගලික පාසල්වලට දරුවො යොමු කරපු අපි බොහෝ දෙනෙක් ව්‍යාපාර ක්ෂේත්‍රයෙ හිටපු අය. සමස්ථය බිඳ වැටිලා. දැන් අපි කාටවත් ආපහු හැරෙන්න පුළුවන් ද?. අපේ ළමයින්ගෙ අනාගතය සම්බන්ධව අපි ලොකු පීඩනයක ඉන්නෙ.“ ඇය කියන්නී ආවේගයෙනි.
දරුවන් තිදෙනෙක් පුද්ගලික පාසලකට යන තාත්තා කෙනෙක් අපේක්ෂා භංගත්වයට පත්ව කතා කරන්නේය.
“ඇත්තටම කල්පනා කරන්න. ලෝකෙ හැම ව්‍යාපාරයක්ම සංස්කරණය කරලා ගොඩනගා ගන්න තව බොහෝ කාලයක් ගතවෙනවා. ඒත් මේ අයට එහෙම කිසිම අවදානමක් නෑ. ඊළඟ පාසල් වාරයෙදි සියලුම දරුවො හිඟ මුදල් එක්ක පාසල් ගාස්තු ගෙවිය යුතුයි. එසේ නොවන්න දරුවට පාසල් අධ්‍යාපනයක් නෑ. ඒ හින්දා දෙමව්පියො කෙසේ හෝ ඔවුන්ට ඒ මුදල ගෙවනවා. ශත පහක පාඩුවක් නෑ. ඒ අය ආරක්ෂිතයි. මම කියන්නෙ ඒ අය ආරක්ෂිත වෙන්න ඕන. ස්ථාවර වෙන්න ඕන. ඒත් ඒ අය ස්ථාවර වෙන්නෙ අපි නිසා. රටේම මිනිස්සු ආර්ථිකව අස්ථාවරයි. ඇයි ඔවුන්ට අපිත් එක්ක මේ අවදානම් සහගත වෙලාව බෙදා ගන්න බැරි...“ ඔහු අසන්නේය. මේ මිනිසුන් ඉල්ලන්නේ මහා ප්‍රදාන නොවේ.
මේ උවදුරු සමයේ දී තමන් ගෙවන පාසල් වාරිකයේ වට්ටමකි. ඒ වට්ට්ම දෙන්නට බැරි තරම් මේ අධ්‍යාපන ව්‍යාපාරිකයන් සූදානම් නැත. අප විශ්වාස කන්නේ මිනිසුන් ව්‍යාපාර කරද්දී අවම සදාචාරයන් ආරක්ෂා කරගන්නවා නම් මෙවැනි විකෘති ඇති නොවන බවය.