
රුහුණු පුරවරයේ උතුරු ගිරුවා පත්තුවේ බෙලිඅත්ත නගරයට පැමිණ මිද්දෙණිය පාරේ මුල්ගිරිගල හන්දියේ සිට කිලෝ මීටරයක් පමණ ගමන් ගත්විට මුල්ගිරිගල රජමහා විහාරයට පිවිසිය හැකිය.
දකුණු පළාතේ ඓතිහාසික විහාරස්‌ථාන අතර ප්‍රමුඛත්වයක් මුල්ගිරිගල රජ මහා විහාරයට හිමි වේ. මෙම විහාරස්ථානයට විවිධ නම් භාවිතා කොට ඇති අතර ඓතිහාසික මෙන්ම ජනප්‍රවාදගත තොරතුරු වලින්ද ඒ පිළිබඳ කරුණු හඳුනා ගැනීමට හැකිය. ක්‍රි.ව. 12 වන සියවසට අයත් සෙල්ලිපියකට අනුව “මූලපබ්බතල මුහුදුගිරිය” හෙවත් “මුහුන්ද්‍රගිරි විහාරය” යනුවෙන් අතීතයේ දී මෙම විහාරය හඳුන්වා ඇත. එමෙන්ම ජනප්‍රවාදගත තොරතුරු අනුව විවිධ කාල වකවානුවල දී “මුකිව්ගල”, ”මුවතිරිගල”, “මූකිරිගල”, “මූකිරිගල්ල”, “මූලගිරිය” යනාදි ලෙස මෙම වෙහෙර ගැන කියැවේ.
මුල්ගිරිගල විහාරය කාවන්තිස්ස රජු විසින් කරවන ලද විහාරස්ථාන 64 න් එකක් යැයි සැලකේ. මෙම විහාරය කරවන ලද්දේ කවුරුන්ද යන්න විවිධ මත පවතින අතර සී. ඩබ්. නිකුලස් ඇතුළු බොහෝ වියතුන්ගේ මතය වූයේ කාවන්තිස්ස රජු විසින් කරවන ලද බවය. මෙහි ඉතිහාසය ක්‍රි. පූ. 2 වන සියවස තෙක් දිව යයි. කාවන්තිස්‌ස රජු විසින් කරවන ලද 'සමුද්‍රගිරි විහාරය' මෙය වන්නට ඇතැයි වංශකතාගත තොරතුරු අනුව පැහැදිලි වේ. විවිධ කාල වකවානුවලදී රාජ්‍ය අනුග්‍රහය ලද මෙහි ඉතා සංවර්ධිත අවදියක් ලෙසට ජෙට්‌ඨතිස්‌ස රාජ්‍ය (ක්‍රි. ව. 3 වන සියවස) කාලය සඳහන්ය.
මුල්ගිරිගල විහාරයේ ඇති සුවිශේෂිත්වය වනුයේ ඉතා අලංකාර බිතුසිතුවම් වලින් මෙහි විහාර ගෙයි බිත්ති සැරසී තිබීමය. මෙම සිතුවම් මහනුවර යුගයේ දී රාජ්‍යත්වයට පැමිණි නරේන්ද්‍රසිංහ රජුගේ අවසන් රාජ්‍ය කාලයේ දී කරවන්නට ඇතැයි සැලකේ. විහාරයේ උන්නතිය ඇති වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව 1747-1780) රජු කලය. මෙහි අධිපතීත්වය වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන් විසින් දැරීම හේතුවෙන් නිරන්තරයෙන්ම උඩරට ප්‍රභූන්ගේ අවධානය යොමු විය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් විහාර සීමා නම් කොට මහාසීමාවක් බඳවා සෙමෙර වාලධියක් හා ඇත්දළ සඟලක් ද රනින් කළ ප්‍රතිමාවක් ද පූජා කළ බව සඳහන්ය. වැලිවිට සංඝරාජ හිමි අතින් උපසම්පදාව ලැබූ වටරක්ගොඩ ධර්මපාල හිමියන් මෙහි වැඩම කොට විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කළ බව ප්‍රකාශ වේ.
මහාවංශයේ දැක්වෙන පරිදි මෙම විහාරයේ උපසම්පදා විනය කර්මය සඳහා රජු සිය දායකත්වය සපයා ඇති බවත් විහාරවාසී භික්‌ෂූන්ට වැදගත් දවස් හි මහාදාන දහසක් දුන් බවත් දැක්වේ. එසේම විහාරයෙහි එක්රැස් වෙන පරමල් ඉවත් කිරීම, විහාර භූමිය අතුපතුගා පිරිසිදු කිරීම හා විහාර තේවා කටයුතු සඳහා පුද්ගලයන් පත් කොට ඔවුන්ට ඒ වෙනුවෙන් ගම්වර ප්‍රදානය කළ බවත් කියැවේ.
මෙහි ඇති බ්‍රහ්මී අක්ෂර වලින් යුත් සෙල්ලිපි ඇසුරින් විහාරයේ පෞරාණිකත්වය පිළිබිඹු කිරීමට සමත් වේ. එසේම විහාර මළුවේ පිහිටි පොකුණක සතර පියගැට කරවූ රාල්මහල්ලන් යැයි නමින් වාසගමක් පැරණි අක්ෂර වලින් සටහන් කොට ඇති අතර එය “මුහුන්දිගිරිය කහවැල්ගිය රාල්මහල්ලන් විසින් කළ සතර පියගැට” යනුවෙන් දක්වා ඇත.
ලන්දේසි යුගයේ දී මෙරටට සම්ප්‍රාප්ත වූ ජර්මන් ජාතික ජොහාන් වුල්ෆ්ගැන්ග් හෙයිත් (Johann Wolfgang Heydt) ක්‍රි.ව.1732 දී මෙහි පැමිණ මුල්ගිරිගල බිතුසිතුවම් දැක වශීකෘතව එම සිතුවම් ගැන වාර්තාවක් සකසා විදේශීය සිත්තරකු ලවා සිතුවම් කිහිපයක් පිටපත් කළ බව සඳහන්ය. ඔහු ලියූ එම සටහන Heydt’s Ceylon නැමැති කෘතියෙහි අන්තගර්ගත කොට ඇත. මුල්ගිරිගල පිළිබඳ රූ සටහන් සහිතව පරිපූර්ණ විස්තරයක් වාර්තා කළ පළමු යුරෝපීය ජාතිකයා ලෙස ඔහු හැඳින්වේ. ඉංග්‍රීසි ජාතික චිත්‍ර ශිල්පියකු වූ William Daniell (1769 – 1837) විසින් ද මුල්ගිරිගල ආශ්‍රිතව අඳින ලද සිතුවමක් යටත්විජිත සමයේ ආණ්ඩුකාරයාගේ නිවසේ තිබූ බව කියැවේ. එසේම වැලන්ටයින් නමින් වූ තැනැත්තා මුල්ගිරිගල, Moekerhalle ලෙසින් සඳහන් කර ඇති අතර 1800 අගෝස්තු මස මෙම ස්ථානයට පැමිණි ස්කොට් ජාතික ජේමිනස් පියතුමා ගල මුදුනට නැගීමට ගල් පඩි 545 ක් තිබුණු බව තම වාර්තාවේ සටහන් කොට ඇත.
මුග්ලිරිගල පර්වතය තංගල්ල අවට මුහුදු තීරයෙහි යාත්‍රාකරන්නවුන්ගේ අවධානයට යොමුව තිබූ බැවින් ලන්දේසි නාවිකයන් විසින් මෙම පර්වතය 'සමනළ කන්ද' (Adam's Peak) ලෙස වරදවා වටහාගෙන එයට ඇඩම්ස් බර්ග් (Adam's Berg) යනුවෙන් භාවිතා කරන්නට විය. මෙම විහාරයෙහි තිබෙන විශාල සැතපෙන බුදුරුව ආදම්ගේ රුව ලෙස සැලකීමෙන් ඔවුන් කෙතරම් මෙම කරුණ විශ්වාස කළාද යන්න වටහාගත හැකිය.
මෙම විහාරස්‌ථානයේ විවිධ ග්‍රන්ථයන්ගෙන් යුත් පොත්ගුලක් තිබුණු අතර ඉංග්‍රීසි පාලන සමයේ දී රත්නපුර දිසාපතිව සිටි ජෝර්ජ් ටර්නර් 1826 දී මෙහි පැමිණි බව සඳහන්ය. ඔහු පාළි භාෂාව පිළිබඳ හසළ දැනුමක් ඇති වියතෙක් වූ බැවින් මෙහි තිබූ පාළි මහාවංශ ටීකා ග්‍රන්ථයෙහි පිටපතක්‌ද ලබා ගත් අතර එය ඉංග්‍රීසියට පරිවර්තනය කොට ප්‍රසිද්ධ කරනු ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස විදේශීය උගතුන් මෙරට පැරණි ලංකා ඉතිහාසය, පාලි සාහිත්‍ය හා කලාව කෙරෙහි විශේෂ ලෙස අවධානය යොමු කරවීය.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලන සමය තුළදී විවිධාකාරයෙන් නිලයන් දැරූ පුද්ගලයන් විසින් මුල්ගිරිගල සම්බන්ධව අවස්ථා කිහිපයකදීම සටහන් තබා ඇත. ආණ්‌ඩුකාර රොබට් බ්‍රවුන්රිග් (Robert Brownrig), ඩොනල්ඩ් ෆර්ගසන් (Donald Fergusson) මේජර් ෆෝබ්ස් (Major Forbes) තෝමස් ස්‌ටීල් (Thomas Steele) යන පුද්ගලයන් ඉන් ප්‍රමුඛත්වයක් දරයි.
1868 සිට 1875 දක්වා කාල වකවානුවේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ උප දිසාපතිවරයකු ලෙස කටයුතු කළ තෝමස් ස්‌ටීල් (Thomas Steele) කුසජාතක කාව්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කොට තිබේ. මුල්ගිරිගල විහාරය හා පැවතුණු සම්බන්ධය ඊට හේතු වූ බව අදහසයි.
අභාවයට ගොස් තිබූ මුල්ගිරිගල විහාරස්ථාන බිතුසිතුවම් 18 වන සියවස මැද භාගයේ දී වටරක්ගොඩ ධර්මපාල හිමි විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදී. දෙවරගම්පොල සිල්වත්තැන මෙම විහාරයේ චිත්‍ර අදින ලදැයි කියැවේ. එමෙන්ම කටුවන සිත්තර පරම්පරාවේ ද සහය ඇතිව මෙම සිතුවම් කර ඇත.
විහාර කුටි සකස් කිරීමේ දී ස්වභාවිකව පිහිටි ලෙන් භාවිත කර ඇති අතර බාහිරින් ආවරණය කොට අභ්‍යන්තරයෙන් බිත්ති බැඳ තිබේ. බිත්තියක් සෙ.මි. 70 ක් පමණ ඝනකමින් යුතුව සකසා එහි සිතුවම් අදිනු ලැබිණි. එම සිතුවම් බිත්ති මත සහ සිවිලිම මත නිමවා තිබේ. උඩරට සම්ප්‍රදාය, පහතරට සම්ප්‍රදාය හා යුරෝපීය සම්ප්‍රදාය මුසු වූ සිතුවම් මෙහි නිරූපිතය. උඩරට සම්ප්‍රදායට අයත් මිනිස් රූප සඳහා බහුල ලෙස යොදා ගන්නා කොළ සහ දුඹුරු පැහැයට වඩා පහත රට ශිල්පියා ස්වභාවික මිනිස් රූප මෙහිදී භාවිතයට ගෙන ඇත. මෙම සිතුවම් පළමුව පහතරට සිතුවම් ශෛලියට අනුව නිර්මාණය වී පසුව මහනුවර ශෛලය බලපා ඇති බව මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන්ගේ අදහසයි. ඒ පිළිබඳ The Rock and Wall Paintings of Sri Lanka යන ඔහුගේ ග්‍රන්ථයේ අන්තර්ගතය.
පහතමළුව, බෝ මළුව, රජමහ විහාර මළුව, උඩ බෝධි මළුව, චෛත්‍ය මළුව වශයෙන් මෙහි විහාරාංග පිහිටා ඇත. විශාල ගල් පව්ව මත ලෙන් විහාරාරාම හතක් දක්නට ඇති අතර ඉන් දෙකක් පහත මළුවේ ද හතරක් රජමහා විහාර මළුවේ ද ඉතිරිය බෝ මළුවේද දක්නට ලැබෙයි. ලෙන් විහාර හතක් දාගැබ් තුනක් බෝධීන් තුනක් සහ කටාරම් කොටන ලද ලෙන් 11 ක්, ශිලා ලේඛන මෙන්ම පැරැණි ගල් කණු සහ ශෙලමය මල් ආසන වලින් යුක්ත පෞරාණිකත්වයෙන් හෙබි මුල්ගිරිගල, සුවිශේෂි විහාර සංකීර්ණයකි.
පළමුවන ලෙන් විහාර බිත්තියේ ස්‌තරය ප්‍රථමව රළු වැලි සහිත මැටි බදාමයකින් සකසා ඇති මුත් දෙවන බදාමය හුණු වැලි සහිතව සියුම් මතුපිටකින් මනාව පිරි මදින ලද්දක් විය. මෙහිදි වර්ණාලේප කිරීමට උචිත පරිදි හුණු මිශ්‍ර නොකොට පෘෂ්ඨය සුමට කර ගැනීමට සුදු මකුළු මැටි බදාමයක් භාවිතා කොට ඇත. ඇතැම් බිත්තිවල මුල් සිතුවම් මත එම සිතුවම් නැවත ප්‍රතිනිර්මාණය කොට ඇත.
සියුම් අංශු ලෙස අඹරා සකසා ගත් මැටි බදාමය පාෂාණ පෘෂ්ඨයේ ව්‍යුහය අනුව ඝනකම් කොට සිවිලිම් සිතුවම් සඳහා භාවිතා කොට ඇති අතර පුළුන් කෙඳි මිශ්‍ර කර පිරවුම් කාරක ලෙස උපයෝගී කොට ගෙන ඇත. පළමුව අදින ලද සිතුවම් නැවත මෝස්තර වෙනස් කොට ඇදීම සිදුකොට තිබෙන බැවින් මෙහි වර්ණ ස්ථර දෙකක් ඇතැම් ස්ථාන වල දක්නට ලැබේ.
අගනා බිතුසිතුවම් වලින් සුසැදි මෙම ලෙන් විහාර අතර 'රජ මහා විහාරය' හා 'පදුම රහත් විහාරය' සඳහා වස්‌තු විෂය වී ඇත්තේ පෙර බුදුවරුන්ගේ ජීවන චරිත දැක්වෙන සිතුවම්ය. මුල්ගිරිගල සිතුවම් පෙළ මහනුවර සම්ප්‍රදායේ රුහුණු ආභාෂය ලද කලා කෘතීන් ලෙස සඳහන්ය. කලා විචාරකයන්ගේ මතය වූයේ තේලපත්ත ජාතකය පෙරහර ජවනිකාව හා බෙරකරුවන් ගේ සිතුවම් විශේෂ බවය. එහි බෙරයක් වයන කාන්තා රුවට ප්‍රමුඛත්වයක් ලැබේ. තේලපත්ත ජාතකය මෙම ලෙන් දෙකෙහිම නිරූපණය කර ඇති අතර දකුණේ සිත්තරුන් මෙම ජාතක කථාව උදෙසා විශේෂ සැලකිල්ලක් දක්වා තිබේ. එසේම වෙස්සන්තර ජාතකය හා සිවි ජාතකය සඳහා ද සුවිශේෂීත්වයක් දක්වා ඇත. රහතන් වහන්සේලා පිරිවරා ගත් බුදුන් වහන්සේ සෑම ප්‍රතිමා ගෘහයකම නිරූපණය කොට තිබේ. වර්තමානයේ දකින්නට ලැබෙන මුල්ගිරිගල සිතුවම් 18 වන සියවසෙන් පසුව අඳින ලද ඒවා යැයි සඳහන් අතර පදුම රහත් විහාරයේ නිරූපිත තේලපත්ත හා වෙස්‌සන්තර යන ජාතක කතා 19 වන සියවසේ මැද භාගයේ පමණ සිතුවම් කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
ඇතැම් සිතුවම් යුරෝපිය අභාෂය අනුව සිත්තම් කර ඇති ඇති බවට පැහැදිලි වන්නේ එකී සිතුවම් වල දක්නට ලැබෙන සංකීර්ණ වර්ණාවලිය, සිතුවම් වල දැක්වෙන ගොඩනැගිලි, තාත්වික ත්‍රිමාන දර්ශන, මල් සහිත කොළවලින් සැදි රටා, රාමුවකට සීමාවූ සිතුවම් යානාදිය හේතුවෙනි. එමෙන්ම මෙම සිතුවම් නිර්මාණයේ දී සත්ත්ව රූ, මිනිස් රූ, වෘක්‌ෂලතා සහ ගොඩනැගිලි අභ්‍යන්තර දර්ශන ආදිය සිය අභිමතය පරිදි නිදහස් ව සිත්තරුන් විසින් ඇද ඇති බව පැහැදිලිය. මහනුවර යුගයේ දේවරූප වලට ආවේණික වූ වස්‌ත්‍රාභරණයෙන් සිතුවම් කර තිබුණ ද හිස පැළඳි ඔටුන්න බටහිර ආභාෂය ගෙන ඇත. මෙහි දැක්වෙන රහතන් වහන්සේලා අතෙහි එක නටුවකින් යුත් රෝස මල් කිනිත්තක් දක්නට ලැබේ. මෙම රෝස මල් යුරෝපීය ආභාසය ගනු ලැබූවකි. විහාරගෙයි ආරුක්‌කුවෙහි දැක්වෙන තුන් පෙති හැඩය හා එහි සිතුවම් කොට ඇති අන්නාසි මල් මෝස්‌තරයද යුරෝපීය ලක්ෂණ විදහා දක්වයි.
මහනුවර යුගයේදී අඳින ලද ඇතැම් මුල්ගිරිගල සිතුවම් තුළින් මහනුවර සම්ප්‍රදාය ඉක්මවා ගොස් ඇති බවක් දක්නට ලැබේ. ඉතා තාත්විකව හා සෞන්දර්යාත්මක අගය ඉස්මතුවන ආකාරයෙන් මිනිස් රූපවල ඉරියව් සිතුවම් කොට ඇත. මුල්ගිරිගල ශිල්පින් විසින් මීට ප්‍රථම යුග වලදී අදින ලද සිතුවම් තුළ දකින්නට නොලැබූ තේමා වලින් යුතුව තම නිර්මාණකරනයේ යෙදී ඇති බව දැක්වේ. උඩරට සම්ප්‍රදායෙන් බැහැරව රුහුණට විශේෂිතවූ වර්ණ රටාවකින් මෙම සිතුවම් අලංකාර කොට තිබේ. රුහුණට ආවේණික ආහාර වූ කිරි පැණි, කෙසෙල් ආදී වර්ග හා නැටුම් ශිල්පීන්ගේ ඇඳුම් මෙම සිතුවම් අතර දක්නට ලැබෙන සුවිශේෂි ලක්ෂණයකි.
1972 දී ඉතාලි ජාතික ලුසියානෝ මරන්සි (Luciano Maranzi) විසින් මුල්ගිරිගල බිතුසිතුවම් සංරක්‌ෂණ කරනු ලැබීය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විටින් විට මෙහි සංරක්‌ෂණ කටයුතු සිදු කරන ලද අතර 2007 සිට 2009 වර්ෂය දක්‌වා මධ්‍යම සංස්‌කෘතික අරමුදල මගින් පුරාවිද්‍යා අධීක්ෂණය යටතේ මෙහි සංරක්‌ෂණ කටයුතු සිදු කෙරිණි. මෙහි දී අවධානය යොමු කරන ලද ප්‍රධාන කරුණු ලෙස බදාම ස්‌ථර බොල්වීම, වර්ණ ස්‌ථර පෙති ගැලවීම, ආගන්තුක ද්‍රව්‍ය තැන්පත්වීම, වේයන්ගේ ක්‍රියාකාරීත්වය හා මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වූ සිතුවම් සංරක්‌ෂණ යනාදි දැක්විය හැකිය. මෙම සිතුවම් ඇදීමට ඉතා සියුම් තෙලි කූරු භාවිත කර ඇති බව හඳුනාගෙන ඇත. එමෙන්ම උඩරට සිතුවම් කලාව පහතරට මුල්ගිරිගල දක්වා පැතිරුණු ආකාරය පිළිබඳ සාධක රැසක් මෙම සංරක්ෂණ කටයුතුවලදී අනාවරණය කර ගැනීමට හැකිවිය.