යක්ෂයකු පෝෂණය කර ඌටම ගොදුරු වූ දෙමළ දේශපාලකයන්ගේ ඛේදවාචකය | Page 3 | සිළුමිණ

යක්ෂයකු පෝෂණය කර ඌටම ගොදුරු වූ දෙමළ දේශපාලකයන්ගේ ඛේදවාචකය

කොටි ත්‍රස්තවාදීන් හිටපු විරුද්ධ පක්ෂ නායකයකු මෙන්ම දෙමළ එක්සත් පෙරමුණේ නායක සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වූ අප්පාපිල්ලේ අමිර්තලිංගම් ඇතුළු පිරිසක් ඝාතනය කර ජුලි 13 දාට තිස් එක් වසරක් සපිරුණි. සිංහල පොලිස් නිලධාරියකුගේ වීරත්වය ලොවට පෙන්වූ එම සිද්ධියේ ඉතාමත්ම සවිස්තර වාර්තාව පළමු වරට සැපයුවේ ප්‍රවීණ ඉංග්‍රීසි මාධ්‍යවේදියකු වන ඩී. බී. එස්. ජෙයරාජ්ය. (ඉන්දියන් සාම හමුදාව සහ කොටි සංවිධානය අතර සටන් පැවති සමයේදී ආරක්ෂාව පතා පිටරට ගිය ජෙයරාජ්ට කැනඩාවේදී කොටි ක්‍රියාකාරිකයන් පහරදී බරපතළ තුවාල සිදු කලහ. ඒ ඔහු එරටදී පළ කළ මධ්‍යස්ථ දෙමළ පුවත්පතක් නිසාවෙනි).

මේ ඝාතනවල සම්පූර්ණ විස්තරය සහ පසුබිම මීට වඩා බොහෝ දීර්ඝ වන අතර මෙය එහි සංක්ෂිප්තයකි.

ඒ 1987-1990 භීෂණ සමයයි. එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය ඇතුළු සන්නද්ධ කල්ලි සහ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වූ ‘දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය’ එකිනෙකාට විරුද්ධව දකුණේ තරඟයට මිනී මරමින් සිටියහ. ඉන්දීය සාම සාධක හමුදාව සහ කොටි ත්‍රස්තවාදීන් එකිනෙකාට විරුද්ධව සටන් වැද සිටියේ උතුරේ සහ නැගෙනහිරයි.

දිනය 1989 ජුලි 13දාය. එදින සවස 6.40ට කොටි සංවිධානයේ සාමාජිකයන් තිදෙනෙක් කලින් කතා කරගත් සාකච්ඡාවක් සඳහා බව කියමින් කොළඹ බෞද්ධාලෝක මාවතේ අංක 342/2 දරණ අමිර්තලිංගම් මහතාගේ දෙමහල් නිවසට කුලී රියකින් පැමිණියහ. ඔවුන් නම් රාසයියා හෙවත් විසු, පීට ලියොන් ඇලෝසියස් හෙවත් විග්නා සහ සිවකුමාර් හෙවත් අරිවූ ය. නිවසේ සිටි අයගේ ආරක්ෂාව පිණිස මහවැලි අමාත්‍යාංශයේ ආරක්ෂක නිලධාරීන් සය දෙනෙක් සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් එම නිවස පිටත රැකවලෙහි යෙදී සිටියහ. අමිර්තලිංගම් මහතා සහ ඔහුගේ බිරිය වූ මන්ගයියාර්ක්කරසි ට අමතරව යාපනේ හිටපු පාරිමේන්තු මන්ත්‍රී වෙට්ටිවේලු යෝගෙස්වරන්, ඔහුගේ බිරිය සරෝජිනී සහ හිටපු පාර්ලිමේන්තු නියෝජ්‍ය කතානායකවරයකු සහ පසුව දෙමළ එක්සත් පෙරමුණේ නායකත්වයට පත් මුරුගේසු සිවසිත්තම්පරම් සහ මාවයි සේනාතිරාජාද එදා එම නිවසේ සිටියහ. මේ දිනවලම කොටි සංවිධානයේ දේශපාලන අංශ නායක නරේන්ද්‍රන් හෙවත් යෝගි සහ ඔවුන්ගේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ඇතුළු කොටි නියෝජිත පිරිසක් ජනපති ප්‍රේමදාස රජය සමඟ කොළඹදී සාකච්ඡා පවත්වමින් සිටියහ. අමිර්තලිංගම් නිවසේ ‘සාකච්ඡාවට’ද යෝගි සහභාගී වන බව කලින් දන්වා තිබු නමුත් ඔහු පැමිණියේ නැත.

එම නිවසට පැමිණෙන කොටි නියෝජිතයන් අපහසුවට පත්විය හැකි බැවින් ඔවුන්ව සෝදිසි නොකරන ලෙස යෝගෙස්වරන් මහතා නිවෙසේ ආරක්ෂාව බාරව සිටි උප පොලිස් පරීක්ෂක තම්බිරාජා කන්දසාමිට උපදෙස් දී තිබිණි. තම්බිරාජා ඊට එකඟ වුයේ කැමැත්තකින් නොවේ. ඔහු පැවසුවේ, "සර් මුන්ව විශ්වාස කරන්න බෑ" යනුවෙනි. එහෙත් කිසි කරදරයක් විය නොහැකි බවට විශ්වාසය පළ කළ යෝගෙස්වරන් පොලිස් නිලධාරියාගේ සැකය දුරු කරන්නට තැත් කළේය.

“අපි මේ අයට සැලකිය යුතුයි. එසේ නොකොළොත් ඉදිරි සාකච්ඡා වලට ඔවුන්ව ගෙන්වා ගන්න බැරිවේවි” යෝගෙස්වරන් වැඩි දුරටත් පැවසීය.

ඒ අනුව කොටි තිදෙනා සෝදිසි නොකරන ලෙස කන්දසාමි අකමැත්තෙන් වුවද සෙසු ආරක්ෂක නිලධාරීන්ට දැන්වීය. ඒ උපදෙසට අනුව නිවසට ඇතුළු වන දොරටුව අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරි සත්‍යමූර්ති කොටි පිරිසට සෝදිසියකින් තොරව නිවසට ඇතුළු වීමට ඉඩ දුන්නේය. යෝගෙස්වරන් මුණගැසීමට විසු සහ ඇලෝසියස් උඩුමහලට ගිය අතර සිවකුමාර් හෙවත් අරිවූ පඩි පෙළ පාමුල සිට ගත්තේය.

යෝගෙස්වරන් ඒ අවස්ථාවේ සිය බිරිය සමඟ රූපවාහිනිය නරඹමින් සිටියේය. ඔහු කොටින් දෙදෙනා උණුසුම්ව පිළිගත් අතර සරෝජිනී ඔවුන්ට සංග්‍රයක් සූදානම් කිරීමට නැගිට ගියාය. පහළ මහලේ අමිර්තලිංගම්, ඔහුගේ බිරිය, සිවසිත්තම්පරම් සහ සේනාතිරාජාද රූපවාහිනි නරඹමින් සිටියහ.

ඒ අවස්ථාවේ ඉන්දියානු මහකොමසාරිස්වරයාගේ ඇරයුමට අනුව ඔහුගේ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වීම සඳහා ඇඳ පැළඳගෙන සූදානමින් සිටි අමිර්තලිංගම් සහ සිවසිත්තම්පරම්, යෝගෙස්වරන්ගේ දැනුම් දීමෙන් පසු කොටි නියෝජිතයන් හමුවීමට උඩුමහලට පැමිණියහ. ඔවුන් දුටු කොටි තිදෙනා ගරු සරු දක්වමින් සිටගත්හ. අමිර්තලිංගම් ඔවුන්ගෙන් එක් අයකුගේ පිටට තට්ටුවක් දමා සතුටින් ඒ අසල වේවැල් පුටුවක හිඳගත්තේය.

සිවසිත්තම්පරම් ඊට තරමක් එහායින් හිඳගත්තේය. යෝගේස්වරන් අමුත්තන්ට සංග්‍රහයක් පිළියෙල කිරීම සඳහා සිය බිරියට උදව් කිරීමට ගියේය. ඔවුන් සඳහා තක්කාලි සැන්විච් පාන් සහ විස්කෝතු ගෙනා සරෝජිනී ඔවුන් බොන්නට කැමති මොනවාදැයි විමසුවාය. කොටි දෙදෙනා සිසිල් බීමකට කැමැත්ත පළ කළහ. අමිර්තලිංගම්ට වුවමනා වුයේ තේ බීමටයි. ඒ අනුව ඇය පළතුරු බීම වීදුරු දෙකක් සහ තේ කෝප්පයක් ගෙනවුත් ආපසු සිය කාමරයට ගියාය. සිවසිත්තම්පරම්ට සහ යෝගේස්වරන්ට කිසිවක් බීමට අවශ්‍ය වුයේ නැත.

යෝගේස්වරන් කළ හඳුන්වා දීම් වලින් පසු දෙමළ එක්සත් පෙරමුණු නායකයන් හමුවීමට ලැබීම ගැන කොටි දෙදෙනා සතුට ප්‍රකාශ කළහ. අමිර්තලිංගම් සහ සිවසිත්තම්පරම්ද එලෙසම ප්‍රතිචාර දැක්වුහ. දෙමළ සටන්කාමීන්ගේ උද්‍යෝගය සහ කැපකිරීම් ගැන පැසසූ අමිර්තලිංගම් සහ සිවසිත්තම්පරම් දැන් අවශ්‍යව ඇත්තේ ඒ සියලු කණ්ඩායම් එක්සත් වී පොදු අරමුණක් කරා යාම බව කියා සිටියහ. එසේ නොකළහොත් ඉන්දු-ලංකා ගිවිසුමෙන් ලබා ගත් ජයග්‍රහණ නැතිවිය හැකි බවට අවධාරණය කලහ. දේශපාලන විසදුමකදී කොටි සංවිධානයට මුල් තැනක් ලබා දෙන බවටද දෙමළ එක්සත් පෙරමුණු නායකයෝ පොරොන්දු වූහ. එම පොරොන්දුව කොටි නායකත්වයට දැනුම් දීමට විසු එකඟ විය . සාකච්ඡාව සුහද අයුරින් කෙරෙන බවක් පෙනුණි. වැඩිපුරම කතා කළේ අමිර්තලිංගම්, සිවසිත්තම්පරම් සහ විසුය. යෝගෙස්වරන් සහ ඇලෝසියස් නිශ්ශබ්දව සිටියහ.

මුලදී දෙමළ එක්සත් පෙරමුණ, විශේෂයෙන්ම අමිර්තලිංගම්, දෙමළ බෙදුම්වාදයට මතවාදීව නායකත්වය සැපයු නමුත් ඒ මතය ඔස්සේ යමින් දෙමළ තරුණ පිරිස් අවි අතට ගැනීම දෙමළ නායකයන්ට පසුව ගෙන දුන්නේ බියකි. දෙමළ ඊළමයක් වෙනුවට ඉන්දියානු රජයේ බලපෑම මත ඒකීය නොවන එහෙත් එක්සත් ලංකාවක් තුළ බලය බෙදීමකට අනුගතව උතුරු නැගෙනහිර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට දෙමළ එක්සත් පෙරමුණ එකඟ වීම ප්‍රභාකරන් සැලකුවේ සිය අරගලය පාවා දීමක් ලෙසටයි.

එහෙත් අමිර්තලිංගම් සිය නිවසට පැමිණි කොටි නියෝජිතයන්ට පැවසුවේ සන්නද්ධ අරගලය අතහැර ප්‍රජාතන්ත්‍රවාදී මගට එළැඹීමට කොටි සංවිධානයට කාලය පැමිණ ඇති බවය.“ප්‍රජාතන්ත්‍රවාදය යල්පැනගිය මගක් ලෙස ඔබ වැනි තරුණයන්ට පෙනිය හැකි නමුත් අප වැනි වැඩි හිටියන් කියන දේද ඉවසීමෙන් අසන්න" සිවසිත්තම්පරම් කොටි නියෝජිතයන්ට පැවසීය.

ඒ දිනවල පැවැත්වෙමින් තිබු ප්‍රේමදාස රජය සහ කොටි සංවිධානය අතර සාකච්ඡා ගැන විමසු විට ඔහු කීවේ දෙපැත්තම එකිනෙකා රවටමින් සාකච්ඡා කරගෙන යන බවයි. මේ පිළිතුර එතැන සිටි සැම දෙනාම මහා හඬින් සිනහ ගැන්වීමට හේතු විය.

කොටි ඉන්දියාවේ අවි පුහුණුවීම් ලැබුවද ලංකාව සම්බන්ධයෙන් එරට විදෙස් පිළිවෙතේ යථාර්ථය ප්‍රභාකරන් පැතු දෙමළ ඊළාමය පිහිටුවීම නොවන බව ඔවුහු කල්තියාම දැන සිටියහ. ඉන්දියාවට සැබැවින්ම වුවමනා වුයේ තමන්ට හිතවත් ලංකාවේ දෙමළ පක්ෂවල නායකත්වයෙන් සීමිත ස්වයං පාලනයක් මෙරට වැඩි ජනමතය නොතකා උතුරු-නැගෙනහිරට ලබා දීමයි. දිවයින පුරා ඇඳිරි නීතිය පනවා 1987 දී බලෙන් අස්සන් කරවාගත් ඉන්දු-ලංකා ගිවිසුමේ පදනම එය විය. මෙය, ඒ වනවිට තහනමට ලක්ව තිබු ජනතා විමුක්ති පෙරමුණට රට අරාජක කිරීමට කදිම නිමිත්තක් විය.

ගිවිසුමට විරුද්ධව මෙරට මතු වූ දැඩි ජන විරෝධය සමනය කිරීමට 1988 දී බලයට පත් ජනපති රණසිංහ ප්‍රේමදාසට තිබු දැඩි වුවමනාව එවකට දුර්වලව සිටි කොටි ත්‍රස්තවාදීහු සිය වාසියට හරවා ගන්නට තීරණය කළහ. මේ නිසා පරස්පර විරෝධී හේතු මත වුවද ප්‍රේමදාස රජයේ සහ කොටි සංවිධානයේ අරමුණ එකක් බවට පත්විය.

එනම් ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්කර ගැනීමයි. ඊට විරුද්ධ මතයක් දැරුවේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, ඉන්දියාවට හිතවත් අනෙක් දෙමළ පක්ෂ, මහවැලි සංවර්ධන ඇමති ගාමිණි දිසානායක සහ පැරණි වාමාංශික පක්ෂ නායකයින් ඇතුළු පිරිසයි. මේ ස්ථාවරය කවදා හෝ තමන්ට මරණීය තර්ජනයක් විය හැකි බව දෙමළ එක්සත් පෙරමුණු නායකයන්ට නොවැටහුණා නොවේ. එහෙත් එය වැළැක්වීමට ඔවුන් ප්‍රමාද වුවා වැඩිය.

ඉහළ මහලේ කතාව පැවැත්වෙන අතරේ පහළ මහලේ සිටි සිවකුමාර් කලබලකාරී ස්වභාවයක් පෙන්වීය. ඒ වනවිට සවස 7 පසු වී තිබිණි. ඔහු වරින් වර සිය අත් ඔරලෝසුව දෙස බලමින් නොඉවසිල්ලෙන් මෙන් එහාට මෙහාට ඇවිදිමින් උඩුමහල දෙසට සිය අවධානය යොමු කිරීම එහි සිටි සිංහල පොලිස් නිලධාරියකුගේ සැකයට පාත්‍ර විය. එම නිලධාරියා මහවැලි අමාත්‍යංශයෙන් අමිර්තලිංගම් මහතාගේ ආරක්ෂාවට පත් කරනු ලැබ සිටි නිශ්ශංක තිබබොටුමුනුවය.

ඔහු කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙට්ටිමුල්ල අකිරියගල උපන්නෙකි. සිවකුමාර් ගේ හැසිරීම පිලිබඳ ඇතිවූ සැකය නිසා තිබබොටුමුනුව සහ පොලිස් නිලධාරී සත්‍යමූර්ති බලහත්කාරයෙන් ඔහු සෝදිසි කර සඟවාගෙන සිටි ග්‍රනේඩ් අත්බෝම්බයක් සහ ජීව උණ්ඩ කිහිපයක් සිය භාරයට ගත්හ. ඔහු සත්‍යමූර්තිගේ අත්අඩංගුවේ තැබූ උප පොලිස්පරීක්ෂක කන්දසාමි සහ තිබබොටුමුනුව ඉක්මනින් එහෙත් නිශ්ශබ්දව උඩුමහලට ගියහ. කන්දසාමි පඩිපෙළ මුල සිටගත් අතර තිබබොටුමුනුව බැල්කනියට ගොස් සූදානමින් සිටියේය. ප්‍රධාන කාමරයේ කෙරෙමින් තිබු කතාබහට බාධා කිරීම නුසුදුසු බැවින් නිලධාරින් දෙදෙනා සිටියේ කාමරයේ සිටි අයට නොපෙනෙන අයුරිනි.

රාත්‍රී 7.30 පමණ වනතෙක් කතාබහ ඉතා සුහද අන්දමින් කෙරුණි. ඉන් පසු විසු සිසිල් බීම පානය හිස් වීදුරුව මේසය මත තැබීමට අසුනින් නැගිට්ටේය. ඊළඟ මොහොතේ ඔහුට මාරයා ආරූඩ විය. අමිර්තලිංගම් දෙසට හැරුණු ඔහු, " හැම දෙනාම හිතනවා අපි මිනී කන යක්කු කියල; නමුත් උඹල තමයි නියම යක්කු" යයි පැවසීය. දෙමළ එක්සත් පෙරමුණු දේශපාලකයන් තිදෙනා සිතුවේ විසු විහිළු කරන බවයි. යෝගේස්වරන් මහ හඬින් සිනාසුණු අතර අමිර්තලිංගම් සහ සිවසිත්තම්පරම් ද සිනහ පළ කළහ. ඒ අමිර්ගේ සහ යෝගේස්ගේ අන්තිම සිනාවන් විය.

එකෙණෙහිම විසු තුවක්කුවක් එළියට ගෙන අමිර්තලිංගම්ට වෙඩි තබන්නට පටන්ගත්තේය. යෝගෙස්වරන් කෑගසමින් සිය අසුනින් නැගිට්ටේය. එවිට අලොයිසියස්ද එතෙක් සඟවාගෙන සිටි ගිනි අවියකින් යෝගෙස්වරන්ට වෙඩි තැබීය. සිවසිත්තම්පරම් හිඳගෙන සිටියේ ඊට තරමක් ඈතිනි. බියෙන් තිගැස්සුණු ඔහු සිය අසුනින් නැගිට "එපා" "එපා" කියමින් දෙමළෙන් කෑගැසීය. විසු ඔහුටද සිය අවිය එල්ලකර වෙඩි තැබීය. වෙඩි උණ්ඩය සිවසිත්තම්පරම් ගේ උරහිසට වැදිණි.

වෙඩි ශබ්ද ඇසුණු පොලිස් නිලධාරි තිබබොටුමුනුව සිය අවිය අතට ගෙන කාමරය දෙස බැලීය. සිදුවන දේ දැක ඔහු එහි වීදුරු කවුලුවෙන් විසුට සහ අලෝයිසියස්ට වෙඩි තබා තුවාල කළේය. වෙඩි ශබ්දය ඇසුණු උප පොලිස් පරීක්ෂක කන්දසාමිද පැන යන්නට තැත් කරමින් සිටි ඝාතකයන් දෙසට වෙඩි තැබීය. තුවාල ලත් කොටි දෙදෙනාද පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තබමින් පඩි පෙල දිගේ පහළට දිවයන්නට තැත් කලහ.

අමතර තුවක්කුවකින්ද සන්නද්ධව සිටි තිබබොටුමුනුව නොනවත්වාම උන් දෙදෙනාට වෙඩි තබා කර දෙදෙනාම මරා දැමීය. ඒ අතර පොලිස් නිලධාරි සත්‍යමූර්ති වෙඩි හඬ ඇසී පැන යන්නට තැත් කරමින් සිටි සිවකුමාර් සමග පොර බදන්නට විය. ඔහු තැත් කළේ තමා සතුව තිබී පොලිස් අත් අඩංගුවට පත් ග්‍රනේඩ් බෝම්බය නැවත උදුරා ගැනීමටය. ඔහු එය උදුරාගෙන ආරක්ෂක නිලධාරින් දෙසට එය වීසි කරන්නට පළමු තිබබොටුමුනුව ඔහුටද වෙඩි තබා තුවාල කළේය. සිවකුමාර් වෙඩි කාගෙන දුවන්නට තැත් කළ නමුත් තිබබොටුමුනුව නැවත වෙඩි තබා ඔහුද මරා දැමීය. කොටින් තිදෙනාම මැරුම් කෑවේ තිබබොටුමුනුව අතින්ය.

වෙඩි හඬ ඇසුණු අමිර්තලිංගම්ගේ බිරිය මන්ගයියාර්ක්කරසි, යෝගෙස්වරන්ගේ බිරිය සරෝජිනී සහ මාවයි සේනාතිරාජා තවත් පඩිපෙලක් දිගේ ඉහළ මාලයට දිව ගියහ.

අමිර්තලිංගම් ලේ වගුරුවමින් සිය අසුනේම සිටියේය. ඔහු මියගොස් ඇති බව නොදැන සිටි මන්ගයියාර්ක්කරසි ඔහුගේ හිස පිටුපසට කොට්ටයක් තබා හිස කෙලින් කළාය. ලේ විලක පණ අදිමින් සිටි යෝගෙස්වරන් ඉංග්‍රීසියෙන් ‘bastards, bastards’ (පාහරයෝ, අවජාතකයෝ) යනුවෙන් ඉංග්‍රීසියෙන් මුමුනන්නට විය. කිසිවක් කතා කරගත නොහැකිව වික්ෂිප්ත වී සිටි සිවසිත්තම්පරම් තුවාල සහිතව බිත්තියට හේත්තුවී සිටියේය. ගිලන් රිය පැමිණ වෙඩි කෑ තිදෙනාම රෝහල් ගත කළහ.

පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වුයේ එවකට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එස්. එල්. සල්ගාදු සහ නියෝජ්‍ය වෛද්‍ය නිලධාරී එල්. බී. එල්. අල්විස්ය. අමිර්තලිංගම් ගේ මරණය හිසට සහ පපුවට වෙඩි වැදීමෙන් සිදුවී තිබූ අතර යෝගෙස්වරන් මියයෑමට හේතුවී තිබුණේ පපුවට සහ අක්මාවට වෙඩි වැදීම නිසාය. අපරාධයේ එකම ඇසින් දුටු සාක්කිකරු වුයේ තුවාල ලබා නොමැරී බේරුණු සිවසිත්තම්පරම්ය. (ඔහු මියගියේ ඉන් වසර එකොළහකට පසු 2000 වසරේය).

මේ ඝාතන නිසා දේශපාලනිකව ඉතාම අපහසුතාවයට පත්වුයේ ඒ දිනවල කොටි සමග එකතුව ඉන්දියන් හමුදාව මෙරටින් ඉවත් කරගැනීමට සාකච්ඡා කරමින් ඔවුනට ගිනි අවිද සැපයු ප්‍රේමදාස රජයයි. සිද්ධියේ එකම වීරයා වුයේ සිංහල පොලිස් නිලධාරී නිශ්ශංක තිබබොටුමුනුවයි.

අමිර්තලිංගම් ඝාතනයෙන් 21 වසරකට පසු සබරගමුව පළාතේ හැඟුම්බර හමුවක් සිදුවිය. ඒ අමිර්තලිංගම් මහත්මිය අමිර්තලිංගම් ගේ පුත් වෛද්‍ය බහීරතන් අමිර්තලිංගම් කෑගල්ලේ තිබබොටුමුනුව ගේ නිවසට පැමිණීමයි. ඒ වනවිට විශ්‍රාම ගොස් සිටි තිබබොටුමුනුව සහ ඔහුගේ බිරිය ශ්‍යාමලා ප්‍රමිලා කුමාරි ඉතා උණුසුම් අයුරින් ඔවුන් පිළිගත්හ. නිශ්ශංකව දුටු අමිර්තලිංගම් මහත්මිය සහ පුත් බහීරතන් ඔහුව වැළඳ ගෙන හැඬුවේය.

Comments