රටම වෙළා­ගත් මත් රකු­සා­ගෙන් මිදෙ­න්නට නම්... | Page 2 | සිළුමිණ

රටම වෙළා­ගත් මත් රකු­සා­ගෙන් මිදෙ­න්නට නම්...

 

වර්තමානය වන විට මුළු මහත් සමාජ ක්‍රමයට ම හානිදායක වන අයුරින් මත්ද්‍රව්‍ය භාවිතය මිනිස් ප්‍රජාව හරහා ව්‍යාප්තව ගොස් අවසන්ය. එය දුප්පත් පොහොසත් මෙන්ම ගමද නගරයද යන කිසිවක තැකීමක් නොකර විනාසකාරී ලෙසින් අතුපතර විහිදී ගොස් අවසන්ය. නීති රකින අය මෙන්ම නීති කැඩූවන්ට අච්චු කරන ආයතනවල ඉහළ නිලධාරීන්ද මේ ජාවාරමේ කොටස් කරුවන් වීමම මෙහි පුළුල් බව සනාථ කරයි. එනිසාම බූවල්ලකු මෙන් රටම වෙළාගත් මේ වසංගතය කෙසේ හෝ දූරිභූත කිරීමේ වගකීම රජයට පමණක් නොව අප සැමටම පොදු වගකීමකි.

මේ මොහොත වන විට ශ්‍රී ලංකාව පමණක් නොව ගෝලීය වශයෙන් ගත් කළ මුළු ලෝකයම මත් රකුසාගේ ග්‍රහණයට ලක්ව අවසන්ය. අද ලෝකයේ බහුතරයක් අඩු -වැඩි වශයෙන්, වක්‍රාකාරයෙන්, නොදැනුවත් කමින් මත්ද්‍රව්‍ය මගින් පීඩා ලැබුව ද මෙහි විනාශය මුළු මහත් සමාජ ක්‍රමය පුරාම පැතිර යන බව හඳුනා ගත්තේ මත්ද්‍රව්‍ය පිළිබඳ පැවති ප්‍රථම සැසිවාරයේ දී ය. එම සමුළුව පැවතියේ 1909 දී චීනයේ ෂැංහයි නුවර වන අතර සමුළුව තුළ දී ඉදිරිපත් කළ වාර්තාවන් අනුව ඔවුන් ගේ සෘජු නිගමනය වූයේ මෙම උවදුර ගෝලීය ගැටලුවක් වශයෙන් වැඩි කලක් නොගොස් මතුව එන බවය.

මීට කලකට පෙර හෙරොයින් මිනිසුන් නොමරා ජීවිතය විනාශ කරන්නට තරම් සමත්කම් දක්වන භයානක මත්ද්‍රව්‍යක් ලෙසින් පිළිගෙන තිබුණද මේ වන විට හෙරොයින් වලටත් වඩා භයානක මත්ද්‍රව්‍ය ලෝකය පුරා සංසරණය වෙමින් පවතී. 1874 වසරේදී සී. ආර්. ඇල්ඩර් රයිට් විසින් සොයාගනු ලැබූ හෙරොයින් මිනිස් ජීවිත හානි කරනු ලබන මත්ද්‍රව්‍යයක් ලෙසින් නම් කරනු ලැබුවේ 1971 වසරේදීය. එතෙක් එය වෛද්‍යවරුන් පවා විවිධ රෝග සඳහා ඖෂධයක් ලෙසින් නිර්දේශ කර තිබුණි.

මීට අමතරව ස්කොපොලැමින්, ක්‍රිස්ටල් මෙත්, කීටමින්,පර්පල් ඩ්‍රෑන්ක් යන මත්ද්‍රව්‍ය ද ලෝකය පුරා මේ වන විට ව්‍යාප්තව පවතී. ක්‍රිස්ටල් මෙත් එසේත් නොමැති නම් අයිස් මත්ද්‍රව්‍ය ලංකාවේ මේ වන විට නාගරිකව පමණක් නොව ග්‍රාමීය වශයෙන් ද ව්‍යාප්තව ගොස් අවසන්ය. දුම මගින් සහ එන්නත් කටු මගින් ශරීරයට ඇතුල් කර ගන්නා මෙම මත්ද්‍රව්‍ය, භාවිතයට ගෙන වැඩි කලක් යාමට මත්තෙන් ශරීරය කෘෂව ගොස් ජීවිතයේ අවසානය කරා ළඟා වේ.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යන කරුණක් වන්නේ එය 1505 දී ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසීන් විසින් අබිං කෑම මගින් ලංකාවට හඳුන්වා දුන් බවයි. ඉන්පසු අබිං සහ ගංජා ක්‍රමයෙන් ව්‍යාප්ත වූ අතර 70 දශකයේ අවසානයත් සමඟ ශ්‍රී ලංකාව හෙරොයින් මත් උවදුරට ගොදුරු වන්නට විය. එය වඩාත් තීව්‍ර වූයේ 1977 න් පසු විවෘත ආර්ථිකයක් සමගිනි. මත් උවදුර විවෘත ආර්ථිකයේ අනියම් දායාදයක් ලෙසද හැඳින්විය හැකිය.

ලංකාව වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වීමට බලපෑ මූලික සාධකයක් වශයෙන් සඳහන් වන්නේ ලාඕසය, තායිලන්තය, බුරුමය යන රටවල ගොඩනැගුණු ස්වර්ණමය ත්‍රිකෝණයත් චන්ද්‍රවංකය ලෙසින් හැඳින්වෙන ඇෆ්ගනිස්තානය, ඉරානය, පාකිස්ථානය යන රට වලට මැදිව පිහිටා තිබීමත් නිසා බවය.

කෙසේ වෙතත් මෙහි ආදීනව මතුව ආවේ කලක් ගත වූ පසුවය. එක්සත් ජාතීන්ගේ අපරාධ හා මත්ද්‍රව්‍ය පිළිබඳ සංවිධානය 2019 වර්ෂයේ ඉදිරිපත් කළ වාර්තාවට අනුව 2017 වසරේ ලෝක ජනගහනය ගත් විට වයස අවුරුදු 15-64 වයස් කාණ්ඩවල පසුවන්නන් එක්වරක් හෝ මත්ද්‍රව්‍ය භාවිතය කරන ලද්දන් මිලියන 271 සිටින බැව් සඳහන් වේ. එම වයස් කාණ්ඩය ප්‍රතිශතයක් ලෙසින් ගතහොත් ලෝක ජනගහනයෙන් 5.5% කි.

මේ හා සම්බන්ධ පර්යේෂණ වලින් පෙනී ගිය කාරණාවක් වන්නේ මිලියන 11 ක පමණ ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය එන්නත් කර ගන්නා පිරිස අතරට එක්වන බවයි. එම නිසා මේ ආශ්‍රයෙන් 50% ක පමණ ප්‍රමාණයක් හෙපටයිටීස් වයිරසයට ගොදුරුව ඇති බව මෙන්ම සෑම පුද්ගලයන් අට දෙනකුගෙන් එක් අයකුම එච්.අයි.වී. ආසාදිතයන් බවත් සොයා ගෙන තිබේ.

බොහෝ ළමුන් මේ සඳහා ඇබ්බැහි වීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ දුම්වැටි මත්පැන් හා අනිකුත් මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝජ් ෆනෑන්ඩු මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ මේ සඳහා ළමුන් යොමු වීමට කරුණු කීපයක් බලපාන බවයි.

දුම්වැටි මගින් ආරම්භ වන වෙළඳ ප්‍රචාරණ ක්‍රම ඔවුන් සූක්ෂමව රූපවාහිනි හා චිත්‍රපට වෙළඳ දැන්වීම් තුළටද ගෙන ඒමත් එමෙන්ම මත්ද්‍රව්‍ය මගින් සිදුවන ආදීනව පිළිබඳ දැනුවත් කිරීමට ක්‍රමවේදයක් නැති වීමත් සම වයසේ සිටින පිරිස් මාර්ගයෙන් ළමයින් මත්ද්‍රව්‍ය සඳහා පොලඹවා ගැනීමට උත්සාහ කිරීමක් හැඳින්විය හැකිය. තවද මේ මගින් සිදුවන විනාශය ළමයාට ඒත්තු ගැන්වීමට අප රට තුළ කිසිදු ක්‍රමවේදයක් නැති බවත් පවසන ඹහු බොහෝ දෙනෙක් ඉදිරිපත් ව සිටින්නේ ඒ මගින් ලබන විකෘති වින්දනය පැවසීමට මිස යථාර්ථය පෙන්වාදීමට නොවන බවයි.

තව දුරටත් කරුණු දක්වමින් ඔහු පවසන්නේ ලංකාවේ මේ සම්බන්ධයෙන් පවතින පුනරුත්ථාපන කඳවුරු බොහොමයක් නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවත් ඔවුන් මුදල්මය පරමාර්ථය මත පිහිටා කටයුතු කරන බවත්ය. එම නිසා මෙම කඳවුරු සඳහා නිවැරදි ක්‍රමවේදයකට අනුව ඉදිරිපත් කරනු ලබන මනෝවිද්‍යාත්මක වැඩසටහන් පිළිබඳව අධ්‍යාපනයක් ලබා දිය යුතු බවත් ඔහුගේ මතයයි.

කෙසේ වෙතත් වත්මන වන විට 2019 වර්ෂයේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසන පරිද්දෙන් 2018 වර්ෂයේදී හෙරොයින් වැරදි සඳහා 42%ක්ද 55%ක ප්‍රමාණයක් ගංජා ආශ්‍රිත වැරදි සඳහා ද අත්අඩංගුවට ගෙන සිටින අතර මින් බහුතරයක් බස්නාහිර පළාතට අයත් වේ. තවත් ලෙසකින් කිවහොත් 2018 වර්ෂයේදී හෙරොයින් සම්බන්ධයෙන් පුද්ගලයන් 40,998 ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම 10% ක ප්‍රමාණයක් වයඹ පළාතෙන් ද 8%ක ප්‍රමාණයක් මධ්‍යම පළාතෙන් ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙයින් දැක්වෙන සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරන ආකාරයට වයස අවුරුදු 15-64 අතර ජනගහනයෙන් ලක්ෂයකට පුද්ගලයන් 485ක් අත්අඩංගුවට පත්වන බවත් සඳහන් වේ.

ලංකාව තුළ රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන පුනුරුත්ථාපන කඳවුරු මධ්‍යස්ථාන කිහිපයක්ම තිබෙන අතර මිතුරු මිතුරෝ නමින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන හතරක් පවත්වා ගෙන යන කුප්පියවත්තේ බෝධානන්ද හිමි පවසන ආකාරයට වර්තමානය වන විට ලක්ෂයකට අධික පිරිසක් හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවත් තවත් කතා කළ යුතු මට්ටමේ සංඛ්‍යාවක් වෙනත් දෑ භාවිතයට යොමු ව ඇති බවයි. මේ මොහොත වන විට පුනුරුත්ථාපන මධ්‍යස්ථාන 30 කට වැඩි ප්‍රමාණයක් පවතින බැව් පවසන උන්වහන්සේ ඒ ආකාරයට ඒවා තිබුණ ද නිසි ආකාරයෙන් එහි කටයුතු සිදු නොවන බව පවසන අතර ඒ සම්බන්ධයෙන් රජය වඩාත් මැදිහත් විය යුතු පවසයි.

එමෙන්ම බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය ගෙන එන්නන්, අලෙවිකරන්නන් සහ එය භාවිතා කරන්නන් දෝෂාරෝපණය කරනවා හැරෙන්නට ඊට එපිටින් ඇති කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන බව පෙනේ. විශේෂයෙන්ම නිවස තුළින් ගැටලු සමඟින් ඇතිවන හිස් බව මේ සඳහා වැඩි වශයෙන් ම බලපාන බව උන්වහන්සේගේ අදහසයි.

බොහෝවිට මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පෙළඹෙන්නේ පාසල් යන වයසේ හෝ හා ආශ්‍රිත වයස් වල ජීවත්වන තරුණ කොට්ඨාසයන්ය. ඔවුන් මේ සඳහා යොමු වීමට නම් අනිවාර්යයෙන්ම එක් කරුණක් හෝ කරුණු කීපයක් මේ සමඟ ඈඳී තිබිය යුතුය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මාධ්‍යවේදී නාරද බක්මීවැව මහතා කරුණු දක්වන ආකාරයට බොහෝ තරුණයන් මත්ද්‍රව්‍ය කෙරෙහි නැඹුරු වීමට කරුණු කිහිපයක් මතුව එන බව පවසයි.

ඒ අතරින් බොහෝ දෙනෙක් අත්හදා බැලීම් වලට ගොස් මේ සමග අතරමං වන බවත් මේ නිසා එම අවධියේදී නිවස තුළින්ම ඔවුන් පිළිබඳ විමසිලිමත් විය යුතු බව පවසන ඔහු ඔවුන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වීමට තවත් ගැටලුවක් ලෙසින් සඳහන් කරන්නේ පවුල් ප්‍රශ්න, රැකියාවේ ගැටලු නිසා ඇතිවන ශූන්‍ය බවයි.

එමෙන්ම නිවස තුළම රැකබලා ගන්නා දරුවන් සමාජයට යොමු කළ විට ඔවුන් නිවැරදිව සමාජය හඳුනා නොගන්නා තත්ත්වයක් තුළ මේ ආකාරයට මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොමුවන බවද ඔහුගේ අදහසයි. ඔහු පවසන ආකාරයට බොහෝ රටවල් වල සිදුවන මත්ද්‍රව්‍ය මාෆියාවට යම් යම් අවස්ථාවලදී ප්‍රති අපනයන මධ්‍යස්ථානයක් ලෙසින් ලංකාව ද ක්‍රියාත්මකව පවතින බවයි.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාව තුළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව මත්ද්‍රව්‍ය සැපයුම පාලනය කිරීම හා මත්ද්‍රව්‍ය ඉල්ලුම අවම කිරීම රජයේ මූලික ඉලක්කය වී තිබේ. මේ හා සමඟම මතින් නිදහස් ජාතියක් - සෞභාග්‍යවත් දේශයක් උදා කිරීම 1984 අංක 11 දරන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පනත යටතේ පිහිටුවා ඇති අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේද අරමුණ වී තිබේ. එම නිසා මතින් තොර සෞභාග්‍යවත් රටක් බිහිකිරීමේ උදාර මෙහෙවර වෙනුවෙන් හැකි පමණින් දායක වීම අප සතුව පවතින යුතුකමකි.

Comments