
පසුගිය වසර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව මත්ද්‍රව්‍ය වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් වර්ෂය ලෙස සැලැකේ. එම වර්ෂයේ මාර්තු 23 වැනිදා කොල්ලුපිටිය මංසන්ධියේ සුප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින් සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව මෙහෙයුමක් සිදු කළහ. එහිදී එම වෙළෙඳ සංකීර්ණයේ රථගාලේ නතර කර තිබූ ‘එව්රි’ වර්ගයේ මිනි වෑන් රථ දෙකක විශාල ගමන් මලු දහයක පාර්සල් 272ක අසුරා තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 294යි ග්‍රෑම් 490ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට එම නිලධාරිහු සමත් වූහ. එම මත්ද්‍රව්‍ය තොගයත් සමඟ පාණදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවාස ඉදිකිරීම්හි නිරත කොන්ත්‍රාත් ව්‍යාපාරිකයෙක් වූ මුස්ලිම් ජාතික මොහොමඩ් රිලා අහමඩ් සහ ඔහුගේ රියැදුරා වූ මොහොමඩ් බසීර් මොහොමඩ්ද අත්අඩංගුවට ගැනිණි.
එදින අත්අඩංගුවට පත් හෙරොයින් තොගය එදා-මෙදා තුර මෙරට තුළදී අත්අඩංගුවට පත් විශාලම හෙරොයින් තොගය ලෙසද සැලැකිණි. අනතුරුව එම හෙරොයින් තොගය එවකට ජනපති මෛත්‍රිපාල සිරිසේනද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ගොස් නැරැඹිණි. එකී මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින්ට හිටපු ජනපතිවරයා ඇතුළු සැමගෙන් බොහෝ පැසසුම් සහ ප්‍රශංසාද ලැබිණි.
එම මත්ද්‍රව්‍ය තොගය ඩුබායිහි සිටින රහිම් නමැති මත් ජාවාරම්කරුගේ මෙහෙයවීමෙන් මෙරටට එවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් ලෙසටද ඒ දිනවල වාර්තා විණි.
කෙසේ හෝ එම විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමද මේ වන විට මත් ජාවාරම්හි නිරත වූ බවට සැලවන අත්අඩංගුවේ පසුවන නාකොටික් මත් ජාවාරම්කරුවන්ගේ තවත් එක් ‘නාටකය‘ක් බව හෙළි වෙමින් තිබේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අනාවරණය කරගෙන තිබෙන ජාත්‍යන්තර මුහුදු කලාපයේ සිට බළපිටිය ප්‍රදේශයට හෙරොයින් කිලෝග්‍රෑම් 243ක ප්‍රමාණය රැගෙන ආ බවට සැක කරන බෝට්ටුකරුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදියි.
ඒ අනුව එම බෝට්ටුකරු විසින්ම මෙකී මත්ද්‍රව්‍ය තොගය ඇතුළුව විශාල මත්ද්‍රව්‍ය තොගයක් දකුණු මුහුදු කලාපයට ගෙනැවිත් ඇති බවත් ඒ අනුව නාකොටික් නිලධාරින් විසින් එම මත්ද්‍රව්‍ය තොගයද ඔවුනගේ බාරයට ගෙන ඇති බවයි.
පසුව කිලෝග්‍රෑම් 294ක ප්‍රමාණයක් මලු 272කට අසුරා කොල්ලුපිටිය රථගාලට ගෙනැවිත් නාකොටික් මත් ජාවාරම්කරුවන් විසින් වෙලේ සුදා හරහා ගැනුම්කරුවකු යවා පසුව එම ගැනුම්කරුවන් දෙදෙනා සමඟ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
මේ අනුව නාකොටික් මත් ජාවාරම්කරුවන් වසර කිහිපයක සිටම මෙරට මහා පරිමාණ මත් ජාවාරම්කරුවන් සහ විදේශීය මත් ජාවාරම්කරුවන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවටද සැලවේ. එහිදී මරණ දණ්ඩනයට නියමව වත්මනෙහි බූස්ස බන්ධනාගාරයේ පසුවන විදාන පතිරණගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සහ නාකොටික් ජාවාරම්කරුවන් අතර බොහෝ සබඳතා තිබී ඇති බව අත්අඩංගුවේ පසුවන සිවිල් පුද්ගලයන් තිදෙනාගෙන් අනාවරණය වී ඇති බවකි.
එලෙස නාකොටික් ජාවාරම්කාරයන් අපරාධකාරයන් සමඟ පැවැත්වූ සබඳතා හෙළි වෙද්දී ඊට දැනට රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින ‘පරවි සුදා‘ නමැත්තාගෙන්ද ප්‍රකාශ සටහන් කරගැනීමට අවැසි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට පසුගියදා අධිකරණය අවසර දුන්නේය.
මේ අතර දැනට වැඩ තහනමකට ලක්ව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිටි දක්ෂ නිලධාරියෙක් වූ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ද ඇතැම් නාකොටික් නිලධාරින් සහ වෙලේ සුදා අතර වූ සබඳතා පිළිබඳව හඬ පට ඇතුළත් සීඩී පටද ඉදිරිපත් කරමින් විශේෂ හෙළිදරව් කෙරිණි.
එසේම පසුගිය අඟහරුවාදා මෙකී නාකොටික් මත් ජාවාරම් පිළිබඳව රහස් සාක්ෂි ලබාදීමට ස්වාධීන සාක්ෂිකරුවන් ලෙස සිවිල් පුද්ගලයන් සිවුදෙනෙකුද කොළඹ ප්‍රධාන මහෝස්ත්රාත් ලංකා ජයරත්න මෙනවියගේ නිල මැදිරියට කැඳවා තිබුණාය.
ඔවුහු අත්අඩංගුවේ පසුවන නාකොටික් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හවුල් බෝට්ටුකරු සමඟ සබඳතා තිබූ අය බවට සැලවේ. ඔවුන් සිවුදෙනා විසින් මහේස්ත්‍රාත්වරියට ලබා දුන් රහස් සාක්ෂිද මෙකී මත් ජාවාරම්වල ඉදිරි අධිකරණ කටයුතු කෙරෙහි බොහෝ සේ ඉවහල් වනු ඇති බවකි.
නාකොටික් මත් ජාවාරම්කරුවන් සමඟ එක්ව සමීප සබඳතා පවත්වා ඇති බවට හෙළි වන වෙලේ සුදාගේ සමීපතම ගෝලයෙක් වන බඩෝවිට රජිත හෙවත් කොට්ටාවේ ලොකු නමැත්තා සොයා සීඅයිඩීය සිදුකරන මෙහෙයුම්වලදී රජිතට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් සොයා ගැනීමට හැකිවී තිබිණි.
ඒ ගල්කිස්සෙ බඩෝවිට, රජිත පදිංචිව සිටි තෙමහල් නිවෙස සෝදිසියේදියි.
පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරවූ නාකොටික්හි උප පොලිස් පරීක්ෂකවරයා විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 243ක ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් සහ ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගෙන් ලැබුණු නීතිවිරෝධි ගිනිඅවි පහෙන් හතරක්ද දී ඇත්තෙ රජිතට බව හෙළි වී තිබේ. එවැනි තත්ත්වයක් තුළ එම ගිනිඅවි භාවිත කොට මෙකී අපරාධකාරයන් මහත් විනාශ සිදු කිරීමට පෙර ඔහුව සොයා එම ගිනිඅවි පොලිසිය බාරයට ගැනීම අත්‍යවශ්‍යම කාරණයකි. රජිත අත්අඩංගුවට ගත් සැණින් එම ගිනිඅවි සහ නාකොටික් ජාවාරම්කාර නිලධාරින් අතර වූ මත් ජාවාරම්හි තිරය පිටුපස බොහෝ රහස් හෙළි වනු ඇති බව පොලිසිය පැත්තෙන් ඇසෙන කතාවයි.
දිගින් දිගටම මත් ජාවාරමට සම්බන්ධ නාකොටික් නිලධාරින්ගේ නිවෙස් පීරා සිදුකරන පරීක්ෂා කිරීම්හිදී පසුගිය දිනෙක අත්අඩංගුවේ පසුවන උපපොලිස් පරීක්ෂක උදාර චතුරංගගේ මිනුවන්ගොඩ නිවෙසද නැවත වරක් සෝදිසි කර තිබිණි. එහිදී ඔහුගේ නිවෙසේ තිබී මහ මුහුද මැද සන්නිවේදන සබඳතා පවත්වාගෙන යා හැකි සැටලයිට් දුරකථනයක්ද විමර්ශන නිලධාරින්ට හමුවී තිබිණි.
එම දුරකථනයේ දත්ත විශ්ලේෂණයේදී ඉදිරියේදී බොහෝ තොරතුරු හෙළිවෙතැයි අනාවරණය වේ. එසේම අවසන් වශයෙන් අත්අඩංගුවට පත් නාකොටික් නිලධාරියා වන ආඬිගම පදිංචිකරුවකු වන කොස්තාපල් දිනේෂ් නිර්මල නමැත්තා අධිකරණ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් බාරයේ සිට මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කෙරිණි. සාජන් වීරසිංහ නමැත්තාගේ පාපොච්චාරණ අනුව අත්අඩංගුවට පත් එම පොලිස් කොස්තාපල්වරයාගේ වත්කම් බැරකම් පිළිබඳවද පුළුල් ලෙස විමර්ශනය කෙරෙන බවකි. ඔහු 2018 වසරේ මිලට ගත් මෝටර් රථයක් පිළිබඳව පුළුල්ව සොයා බලන බවකි. ඒ, ඔහුට මෝටර් රථය මිලදී ගැනීමට මුදල් ලැබුණු ආකාරය පිළිබඳවයි.
ගෙවී ගිය සතියේ පොලිස් මූලස්ථානයේ නව මහලේකම් ගොඩනැඟිල්ලෙ තුන්වන මහලේ පිහිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සියලු අස්සක්-මුල්ලක් නෑරම පූර්ණ සෝදිසියකට ලක්කෙරිණි.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසිනි.
පැය පහකට ආසන්න කාලයක් සිදු කළ එම සෝදිසිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නව අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා විසින් පොලිස්පතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව සිදුකර තිබිණි. ඊට පෙර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නඩු භාණ්ඩ ගබඩාවද අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවද පුළුල් විමර්ශනයක් කෙරිණි.
එම විමර්ශනයෙන් අනතුරුව එකී නඩු භාණ්ඩ ගබඩාවේ මලු අටක බහා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 205ක ප්‍රමාණයක් රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් විසින් රැගෙන ගියේ නාකොටික් මත් ජාවාරම්කරුවන් විසින් එම නඩු භාණ්ඩවලට කිසියම් දේ මිශ්‍ර කොට ඒවායේ හෙරොයින් සංයුතිය වෙනස් කර ඇද්දැයි යන්න වැඩිදුර පරීක්ෂාව සඳහායි.
මේ අතර නාකොටික්හි මත් ජාවාරම්හි යෙදුණු සැකකරුවන්ට එරෙහිව නීතිය කඩිනම්ව ක්‍රියාත්මකකොට වැරැදිකරුවන් වන සියලු දෙනාට මරණ දඬුවම පමුණුවීමට පොලිසිය පැත්තෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව පසුගියදා නිති හා විනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණද පවසා සිටියේය. ඒ අනුව මෙකී මත්ද්‍රව්‍ය ජාවාරම්හි නිරත පොලිස් නිලධාරින්ට එරෙහිව විමර්ශන කඩිනම්ව සිදු කෙරෙන බවක් දිස්වේ.
නාකොටික් මත් ජාවාරම් විමර්ශන එලෙස සිදුවෙද්දී පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව රටපුරා සිටින මත් ජාවාරම්කාරයන් ඇතුළු අපරාධකාරයන් සොයා දිවා රෑ නොබලා වැටලීම් සිදු කරමින් සිටී.
එහිදී කොරෝනා වසංගතය හේතුවෙන් රටපුරා පනවා තිබූ ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ගෙවී ගිය දින කීපය තුළදී හෙරොයින්, ගංජා, අයිස් වැනි මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 17301 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. ඒ අතර ගිනිඅවි 176ක් ජීව උණ්ඩ 838ක්ද, පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 367ක ප්‍රමාණයක්ද වන බවකි.
අත්අඩංගුවට පත් මෙකී අපරාධකාරයන් අතර පසුගිය දිනෙක බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු තොරතුරකට අනුව ආදුරුප්පුවීදිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද ඇතුළු කණ්ඩායමක් විසින් රොහාන් ප්‍රදීප් හෙවත් කළු මල්ලි නමැති කලක් යුද හමුදා කොමාන්ඩෝ බළකායේ සිටි අයෙක් අංගොඩ මිහිර පෙදෙසේදී අත්අඩංගුවට ගැනිණි.
ඔහු කොස්ගොඩ තාරක නමැති අපරාධකාරයාගේ සමීපතම මිතුරෙක් මෙන්ම කළුතර එතනමඩලදී බන්ධනාගාර බස්රථයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය රණාලේ සමයං නමැත්තාගේ ප්‍රබල ගෝලයෙක්ව සිටි අයෙකි.
හෙරොයින් ග්‍රෑම් තුනක ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට පත් මුල්ලේරියාව අංගොඩ පදිංචි කළු මල්ලිගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරින්ට අනාවරණය වී තිබුණේ රුපියල් හාරකෝටි විසිඅටලක්ෂයකට අධික මුදලක් මාස තුනක් වැනි කෙටි කාලයක් තුළදී එම ගිණුම හරහා සංසරණය වී ඇති බවයි.
සිදුකළ අපරාධ රැසක් සම්බන්ධයෙන් අධිකරණවල නඩු කටයුතු පවතින කළු මල්ලි කළ පාපෝච්චාරණ අනුව කොස්ගොඩ තාරකගේ මත් ජාවාරමේ මූල්‍ය පරිපාලන කළ 34 හැවිරිදි ලක්මිණි නමැති කාන්තාවක සහ 43 හැවිරිදි රංජන නමැත්තාද හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනිණි.
ලක්මිණි අතුරුගිරියේදීත් රංජන මාකොළදීත් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් සන්තකයේ තිබී මෝටර් රථ තුනක් සහ මුදල් ගණින යන්ත්‍රයක්ද පොලිසිය බාරයට ගත්තේය.
මෙලෙස අපරාධකාරයන් සහ මත් ජාවාරම්කාරයන් රටෙන් තුරන් කරන තුරුම අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවත් ඒ සඳහා ජනතාවද හැකි සෑම විටෙකදීම තොරතුරු ලබා දෙමින් සහාය වන්නැයි පොලිසිය ඉල්ලා සිටී.