සැණෙ­කින් පාල­නය කළ කන්ද­කාඩු කොරෝනා පොකුර | සිළුමිණ

සැණෙ­කින් පාල­නය කළ කන්ද­කාඩු කොරෝනා පොකුර

මෙතෙක් සාර්ථ­කව මර්ද­නය කර තිබුණු කොරෝනා වසං­ග­තය යළි ව්‍යාප්ත වීමේ අව­දා­න­මක් පසු­ගිය ජූලි 07 වැනිදා මතු විණි. එනම් දින 70 කට පසුව වැලි­කඩ බන්ධ­නා­ගා­ර­යෙන් කොරෝනා ආසා­දි­ත­යකු හමු වුණේය. මෙම ආසා­දි­තයා නඩු කට­යු­ත්ත­කට වැලි­කඩ බන්ධ­නා­ගා­ර­යට පැමි­ණෙන්නේ කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­න­යෙනි. මෙම ආසා­දි­තයා හමු­වී­මත් සමඟ වැලි­කඩ බන්ධ­නා­ගා­රය, වැලි­කඩ බන්ධ­නා­ගාර රෝහල, පොළො­න්න­රුව බන්ධ­නා­ගා­රය සහ ජුනි 27 තෙක් රඳවා සිටි කන්ද­කාඩු මත්ද්‍රව්‍ය නිවා­රණ ප්‍රති­කාර හා පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නයේ රඳවා සිටින අය සහ කාර්යය මණ්ඩ­ලයේ අය පී.සී.ආර්. පරී­ක්ෂ­ණ­ව­ලට ලක් කරනු ලැබීය.

මේ අත­රේදී ජූලි 09 වැනිදා නාත්ත­න්ඩිය කොට්ට­රා­මුල්ල ප්‍රදේ­ශයේ තරු­ණි­යක කොරෝනා ආසා­දි­ත­යකු වශ­යෙන් තහ­වුරු කර ගැනිණි. ඈ කන්ද­කාඩු මත්ද්‍රව්‍ය නිවා­රණ ප්‍රති­කාර සහ පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නයේ උප­දේ­ශි­කා­වකි. ඈ නිවාඩු ලබා ගෙන නිව­සට පැමි­ණියේ අස­නීප වූ නිසාය. ඇගේ පවුලේ අය සහ අස­ල්වැසි පවුල් 4ක් යුද හුම­දාවේ නිරෝ­ධා­යන මධ්‍ය­ස්ථා­න­ය­කට රැගෙන ගොස් ඇත. ඈ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රති­කාර ලබද්දී ඈ ආ ගිය තැන් සොයා ස්වයං නිරෝ­ධා­ය­න­යට ලක් කෙරිණි. ඇගෙන් කොරෝනා ආසා­ද­නය වූ අය ගැන තව­මත් වාර්තා වී නැතත්, කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නයේ සේවයේ නිරත වී නිවා­ඩු­වට ගම්ර­ට­වල් බලා ගිය කීප­දෙ­න­කු­ගෙන් ඔවුන්ගේ පවු­ල්වල කීප­දෙ­න­කුට කොරෝනා වයි­ර­සය ආසා­ද­නය වී තිබේ.

කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නයේ සේවයේ යෙදුණු යුද හමුදා උප­දේ­ශ­ක­ව­ර­යකු නිවාඩු ලබා සිය ගම වන රාජාං­ග­ණ­යට ගිය අත­රේදී ඔහු ගමේ අව­මං­ග­ල්‍ය­ය­කට සහ සත් දවසේ දාන­මය පින්ක­මට සහ­භාගි වූයේ කොරෝනා වයි­ර­සය ඔහුට ශරී­ර­ගත වී ඇති බව හාංක­වි­සි­ය­ක්වත් නොදැ­නය. එහෙත් කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නයේ කාර්යය මණ්ඩ­ලයේ අය යළි කැඳවා පී.සී.ආර්. පරී­ක්ෂණ සිදු කිරී­මේදී ඔහු කොරෝනා ආසා­දි­ත­යකු බව හෙළි විය. ඉන්ප­සුව ඔහුගේ සමී­ප­ත­ම­යන් සහ ඇසුරු කළ අය පරී­ක්ෂ­ණ­යට ලක් කිරී­මේදී ඔහුගේ බිරිඳ, 11 හැවි­රිදි පුත්‍රයා සහ අවු: 1 1/2 ක් වය­සැති පුත්‍රයා ද කොරෝනා ආස‍ා­ද­නය වූ අය ලෙස තහ­වුරු කෙරිණි. 11 හැවි­රිදි පුත්‍රයා ඒ වන විට පාසල් ගොස් තිබූ බැවින් එකී දරු­වාගේ පන්ති­වල සිසුන් හා ගුරු­ව­රුන් 70 දෙනකු නිරෝ­ධා­ය­න­යට ලක් කරනු ලැබීය. සිසු­ව­කුට කොරෝනා වැළ­ඳුණු ප්‍රථම අව­ස්ථාව ලෙස රාජාං­ග­ණයේ මෙම පාසල් සිසුවා හඳු­නා­ගෙන තිබේ. මේ වන විට රාජාං­ග­ණයේ 300 දෙනකු පමණ ස්වයං නිරෝ­ධා­ය­න­යට ලක්කර ඇත. ගිරි­බාවේ පවුල් 16ක 47 දෙනකු නිරෝ­ධා­ය­නය කර තිබේ. යාය එක, යාය තුන, නව­සි­රි­ගම හා යාය පහ ප්‍රදේශ හුද­කලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ. 12,000ක් පමණ මෙහි ජීවත් වෙති.

මීට අම­ත­රව හෝමා­ගම කැන්ද­ලන්ද සහ ගොඩ­ගම පදිංචි යුද හමුදා නිල­ධා­රින් දෙදෙ­න­කුට කොරෝනා ආසා­ද­නය වූ බවට තහ­වුරු වීමත් සමඟ ඔවුන්ගේ සමී­ප­ත­ම­යන් 35 දෙනකු ‍ස්වයං නිරෝ­ධා­ය­න­යට ලක් විය. රත්න­පුර, කුරු­විට සහ ඇහැ­ලි­ය­ගොඩ පදිංචි යුද හමුදා නිල­ධා­රීන් තිදෙ­න­කුට කොරෝනා ආසා­ද­නය වීමත් සමඟ ඔවුන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් ඇතුළු සමී­ප­ත­ම­යන් 72 දෙනකු නිවෙස් තුළම නිරෝ­ධා­ය­න­යට ලක්කර තිබේ. ඔවුන් තිදෙ­නා­ගෙන් එක් නිල­ධා­රි­යකු පැල්ම­ඩුල්ල කිරි­වැ­ල්දෙ­ණිය විහා­ර­යට ගොස් තිබූ බැවින් එම විහා­රයේ භික්ෂූ­න්ව­හ­න්සේලා පස්න­ම­කට ද ස්වයං නිරෝ­ධා­ය­නය වීමට සිදු විය. තවත් නිල­ධා­රි­යකු කහ­වත්ත ඇන්දාන ජම්බු­ග­ස්ගු­ලන ප්‍රදේ­ශයේ පිහිටි බිරි­යගේ නිවසේ දින කීප­යක් ගත කළ නිසා ඒ ප්‍රදේ­ශයේ නිවාස 4ක වෙළෙ­ඳ­සැල් 2ක පුද්ග­ල­යන් 20 දෙනකු පමණ නිරෝ­ධා­ය­න­යට ලක් කරනු ලැබීය.

ගාල්ල හබ­රා­දූවේ පදිංචි යුද හමුදා උප­දේ­ශ­ක­ව­ර­යකු නිවාඩු ලබා නිව­සට පැමි­ණී­මෙන් පසුව කොරෝනා ආසා­දි­ත­යකු ලෙස හඳු­නා­ගත් නිසා පවුලේ සාමා­ජි­ක­යන් ඇතුළු සමී­ප­ත­ම­යන් 17 දෙනකු නිරෝ­ධා­ය­න­යට ලක් කර තිබේ. ඔහුගේ බිරිඳ ගුරු­ව­රි­යක් වූ නිසා ඈ සේවය කරන පාසලේ පිරි­ස­කුත් නිරෝ­ධා­ය­නය කෙරිණි. මොන­රා­ගල ඇති­මලේ සිය­ඹ­ලා­ආ­ණ්ඩුව සහ බුත්තල පදිංචි කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නයේ සේවය කරන ආර­ක්ෂක නිල­ධා­රින් දෙදෙ­න­කුට කොරෝනා වැළ­ඳී­මත් සමඟ පුද්ග­ල­යන් 8 දෙනකු නිරෝ­ධා­යන මධ්‍ය­ස්ථා­න­ව­ලට රැගෙන ගොස් ඇත. තවත් 60 දෙනකු නිවෙස් තුළම නිරෝ­ධා­ය­නය කර තිබේ.

ගම්පහ බණ්ඩා­ර­වත්තේ සහ වැරැ­ල්ල­වත්තේ ටිකි­රි­රාජ මාවතේ පදිංචි කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නයේ සේවය කරන නිල­ධා­රීන් දෙදෙ­නකු නිවා­ඩු­වට පැමිණ සිටිය දී ඔවුන් කොරෝනා ආසා­දි­ත­යන් බව හඳුනා ගැනී­මත් සමඟ පවුල් 13කට අයත් පුද්ග­ල­යන් 50 දෙනකු පමණ නිරෝ­ධා­ය­නය කෙරිණි. උප­දේ­ශ­ක­ව­ර­යකු ලෙස සේවය කරන බණ්ඩා­ර­වත්තේ පදිංචි නිල­ධා­රියා දාන­මය පින්ක­ම­කට ද සහ­භාගි වී තිබේ. වැරැ­ල්ල­වත්ත පදිංචි රිය­දු­රකු ලෙස සේවය කරන යුද හමුදා සාමා­ජි­කයා ගම්පහ දිසා අධි­ක­ර­ණයේ පැවැ­ත්වෙන නඩු­වක සාක්ෂි දීමට ද ගොස් ඇති අතර ප්‍රිය සම්භා­ෂ­ණ­ය­කට ද සහ­භාගි වී ඇත. මේ වන විට ගම්පහ අංක 2 දිසා අධි­ක­ර­ණයේ දිසා විනි­සු­රු­ව­රිය හා අධි­ක­රණ කාර්යය මණ්ඩ­ලයේ සහ නීති­ඥ­ව­රුන් කීප­දෙ­නෙකු නිරෝ­ධා­ය­න­යට ලක් කර ඇත.

තංගල්ල පට්ටි­ය­පොළ ප්‍රදේ­ශයේ පදිංචි, කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නයේ සේවය කරන අයකු නිවා­ඩු­වට ගමට පැමි­ණී­මෙන් අන­තු­රුව කොරෝනා ආසා­දි­ත­යකු බවට තහ­වුරු විය. ඒ සමඟ ඔහු ආගිය වෙළෙ­ඳ­සැල් 17කුත් නිවෙස් 8ක 15 දෙනකු සහ ඔහුගේ නිවසේ 6 දෙනකු නිරෝ­ධා­ය­නය කෙරිණි.

කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නයේ උප­දේ­ශ­ක­ව­ර­යකු ලෙස සේවය කරන යුද හමුදා මේජ­ර්ව­ර­යකු මහ­නු­වර කුණ්ඩ­සාලේ පිහිටි නිව­සට පැමිණි පසුව කොරෝනා ආසා­ද­නය වී ඇති බව තහ­වුරු විය. ඔහු රෝහ­ල්ගත කෙරුණු අතර ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සාමා­ජි­ක­යන් නිරෝ­ධා­ය­න­යට ලක් කර තිබේ. කුණ්ඩ­සාලේ කෘෂි­කර්ම විද්‍යා­ලයේ ගුරු­ව­රුන් හා ළම­යින් ද මේ වන විට නිරෝ­ධා­ය­න­යට යොමු කර සිටින්නේ ඔහුගේ බිරිඳ එම පාසලේ ගුරු­ව­රි­යක නිසාය.

උණ­ව­ටුන ප්‍රදේ­ශයේ පදිංචි වී සිටින, කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නයේ සේවය කරන උප­දේ­ශ­ක­යකු නිවා­ඩු­වට පැමිණි පසුව කොරෝනා ආසා­දි­ත­යකු බව හඳුනා ගැනිණි. ඒ සම­ඟම ඔහු‍ගේ මව, බිරිඳ අස­ල්වා­සින් ඇතුළු 27 දෙනකු නිරෝ­ධා­ය­නය කිරී­මට පිය­වර ගැනිණි. මීට අම­ත­රව උණ­ව­ටුනේ පදිංචි කොරෝනා ආසා­දිත උප­දේ­ශ­ක­ව­රයා ඇසුරු කළ උණ­ව­ටුන දුම්රිය ස්ථානයේ ස්ථානා­ධි­පති ‍ස්වයං නිරෝ­ධා­ය­න­යට ලක් වී සිටින බැවින් උණ­ව­ටුන දුම්රිය ස්ථානය වසා දැමී­මට සිදු විය.

කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නයේ සේවය කරන යුද හමුදා සාමා­ජි­ක­යකු පිට­බැ­ද්දර සිය නිව­සට පැමිණ අසල පැවැත්වූ දේශ­පා­ලන රැස්වී­ම­කට ද සහ­භාගි වී ඇති අතර ඔහු ද කොරෝනා ආසා­දි­ත­යකු ලෙස වාර්තා වීමත් සමඟ ඔහුගේ මව, පියා ඇතුළු ඥාතින් 10 දෙනකු සහ පවුල් 25ක පුද්ග­ල­යන් 60 දෙනකු නිරෝ­ධා­යන මධ්‍ය­ස්ථා­න­ය­කට ගෙන ගොස් ඇත.

රාගම පිහිටි පුද්ග­ලික රෝහ­ලක් වසා දැමී­මට සිදු වූයේ එම රෝහලේ සාමා­න්‍යා­ධි­කා­රි­ව­රයා කොරෝනා ආසා­දි­ත­යකු බවට තහ­වුරු වීමත් සම­ඟය. රෝහල් කාර්ය මණ්ඩ­ලය සහ නේවා­සික රෝගින්ගේ පී.සී.ආර්. පරී­ක්ෂණ සිදු කිරී­මෙන් පසුව ඔවුන් කිසි­ව­කුට කොරෝනා ආසා­ද­නය වී නොමැති බවට තහ­වුරු වී ඇත.

ජූලි 15 වැනිදා වන විට කන්ද­කාඩු කො‍රෝනා පොකුර ආශ්‍ර­යෙන් පී.සී.ආර්. පරී­ක්ෂණ 3000ක් පමණ සිදු කර ඇත. ඊට රාජාං­ගණ ප්‍ර‍දේශයේ 395 දෙනකු අයත් වන අතර ඔවුන්ට කොරෝනා ආසා­ද­නය වී නැති බව තහ­වුරු වී තිබේ. කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නය කේන්ද්‍ර කර ගනි­මින් දිස්ත්‍රික් 16ක් පුරා පැතිරී ගිය කොරෝනා රෝගින්ගේ ව්‍යාප්තිය සලකා බැලී­මේදී රාජාං­ග­ණ­යෙන් වාර්තා වූ ආසා­දි­ත­යන් ගණන 16 කි. මීට අම­ත­රව කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නයේ ආරම්භ කර ඇති ප්‍රති­කාර මධ්‍ය­ස්ථා­නයේ 358 දෙනෙක් ප්‍රති­කාර ලබති.

රත්න­පුර ප්‍රදේ­ශයේ සිදු කළ පී.සී.ආර්. පරී­ක්ෂණ සංඛ්‍යාව 320කි. කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නය කේන්ද්‍ර කර ගෙන ජූලි 17 වන විට කොරෝනා රෝගින් 542ක් හඳු­නා­ගෙන ඇත. ඔවුන්ගේ පවු­ල්වල සමී­ප­ත­ම­යන් 25කි. මේ වන විට දිස්ත්‍රික් 16ක් පුරා ව්‍යාප්ත වූ කන්ද­කාඩු කොරෝනා පොකුර සිව්වැනි වළල්ල දක්වා සොයා ගෙන ති‍බේ. කොරෝනා ආසා­දි­ත­යන් හා ඔවුන්ගේ සමී­ප­ත­ම­යන් ද ඔවුන් ඇසුරු කළ අයද සොයා නිරෝ­ධා­ය­න­යට ලක් කර ඇත. ඔවුන් ආ ගිය ස්ථාන ද වසා දමා ඇත. ජන­තා­වට බිය වීමට අවශ්‍ය නොවන්නේ මේ වන විට කොරෝනා පොකුර සම්පූ­ර්ණ­යෙන් ම පාල­නය කර ඇති බැවිනි.

මේ ලිපිය ලියන ‍මොහොත වන විට ශ්‍රී ලංකාව තුළ තහ­වුරු කළ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2687කි. එයින් රෝහ­ල්වල ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 664කි. තවත් රෝගීන් 99ක් වෛද්‍ය අධී­ක්ෂණ යටතේ පසු­වෙති. කො‍රෝනා හේතු­වෙන් මෙතෙක් මර­ණ­යට පත්වූ සංඛ්‍යාව 11කි. මෙවන විට රෝගීන් 2012ක් සම්පූර්ණ සුවය ලබා රෝහ­ල්ව­ලින් පිටත්ව ගොස් තිබේ.

 

Comments