
පාසලක් වැසී යෑම සිරගෙවල් දහසක් ඇරීමක් යැයි කතාවක් අප ජන ව්‍යවහාරයේ ඇත්තේය. ඒ පාසලක් වැසීමෙන් විය හැකි පසු විපත් බොහෝමයක් ඇති හෙයිනි. ලංකාවේ සමස්ත පාසල් සංඛ්‍යාව 10,194 ක් ඇති අතර ඉන් පාසල් අඩක් එනම් පාසල් 5,161 ක ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු පාසල් වීමත්, පාසල් සැලකිය යුතු ප්‍රමානයක් වැසී යෑමත් මේ වන විට කාගෙත් අවධානයට යොමු විය යුතු කරුණක් වී ඇත. ඒ සියල්ල අතරින් වඩාත්ම දුක්මුසු පුවතක් වන්නේ පසුගිය කාලයේ පාසල් 200 කට ආසන්න ප්‍රමාණයක් වැසී යෑමයි.
ජාතික විගණන කාර්යාලයේ කාර්ය සාධන විගණන අංශය විසින් නිකුත් කළ ‘ ශිෂ්‍ය සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් අවම වූ රජයේ පාසල්වල කාර්ය සාධනය ‘වාර්තාවට අනුව 2013 වසරේ සිට 2017 වසර දක්වා පාසල් 93 ක් වැසී ගොස් ඇත්තේ සිසුන් නොමැතිවීම නිසා හා රටේ පැවැති වාතාවරණය නිසාය. එසේම 2018 වසරේදි පමණක් මේ ආකාරයෙන් පාසල් 101 ක් වසා දමා හෝ ස්වභාවික හේතුන් මත ඉබේම වැසීගොස් තිබුණි. ලංකාවේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 4,165,964 ක් හා ගුරුවරු සංඛ්‍යාව 241,591 ක් වන අපේ පාසල් පද්ධතියේ ගුරු සිසු අනුපාතය 1: 17 කි. නමුත් මේ අනුපාතය 1: 20 ක් දක්වා යන අවස්ථාද ඇත්තේය. ඒ සිසුන් ඉතා අඩු පාසල්ද පැවතීම හේතුවෙනි.
ඉහත වාර්තාවේ සඳහන් වන ආකාරයට ලංකාවේ සිසුන් 200 ට අඩු පාසල් වර්ග කර ඇත්තේ මේ අයුරිනි. සිසුන් 1-50 ඇති පාසල් සංඛ්‍යාව 1486 ක් එනම් 14.5% ප්රතිශතයකි. සිසුන් 51 -100 ඇති පාසල් සංඛ්‍යාව 1560 ක් එනම් 15% ක්ද, සිසුන් 101- 150 ඇති පාසල් සංඛ්‍යාව 1138 ක් එනම් 11.2% ක්ද, සිසුන් 151- 200 ඇති පාසල් සංඛ්‍යාව 977 ක් එනම් 9.6% ක්ද වෙයි. ඒ අනුව සිසුන් 200 ට අඩු පාසල් සංඛ්‍යාව 5161 ක් වන අතර මෙය මුළු පාසල් සංඛ්‍යාවෙන් සියයට 50.5 කි. ලංකාවේ පාසල් සිසුන් පිළිබඳ කර ඇති මෙම විගණන වාර්තාවට අනුව සිසුන් 200 ට අඩු පාසල් පළාත් 9 පුරාම විසිරී ඇති අතර පාසල් 5161 න් වැඩිම පාසල් ප්‍රමාණයක් විසිරී ඇත්තේ මධ්‍යම පාසල් (812), සබරගමුව (පාසල් 650), උතුරු (පාසල් 641) හා වයඹ (පාසල් 614) පළාත්වල බව පෙන්නුම් කර ඇත. බස්නාහිර පාසල් 449 කි. අඩුම ප්‍රමාණයක් ඇත්තේ උතුරු මැද පළාතේ වන අතර ඒ ප්‍රමාණය පාසල් 419 කි.
2000 වර්ෂයෙන් පසුව ආරම්භ කරන ලද ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු පාසල් 373 ක් තිබී අතර එයින් සියයට 50 ක්ම ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත්වලය. මේ පළාත් දෙකේ 2000 වසරින් පසුව ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 10 ට අඩු පාසල් එම කලාප දෙකේ 6 ක් විය. සිසුන් 1 පමණක් වූ පාසල් 1 ක්ද, සිසුන් 5 ක් වූ පාසල් 1 ක්ද, සිසුන් 6 ක් සහිත පාසල් 1 ක්ද, සිසුන් 8 ක් හා 9 ක් සහිත පාසල් 3 ක් ද විය. මෙවැනි පාසල්වල තත්ත්වය පිළිබඳව දෙවරක් නොව සියවරක් අවධානය යොමු කළ යුතු වන්නේ මේ පාසල් ඉදිරියේදි යම් ආකාරයක වැසී යාමේ තර්ජනවලට මුහුණ දීමට හැකි නිසාය.
ඉතා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත පාසල් පවත්වාගෙන යාම අධික වියදම් දැරීමට සිදුවන කටයුත්තකි. එම නිසා ඒ තත්ත්වය පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතු බව පාසල් ව්‍යූහ කටයුතු පිළිබඳ උපදෙස් සංග්‍රහයේ සමන්විතය. සාමාන්‍යයෙන් පාසලක සිසුන් 10 කට අඩු වුවහොත් එය මෙම නීති උල්ලංඝණය නොවන පරිදි, කිලෝ මීටර දෙකක් ආසන්න දුරකින් සිසුන් වෙනත් පාසලකට අනුයුක්ක කළ හැකි නම් පමණක් එම පාසල වසා දැමීමේ හැකියාව පවතියි. බස්නාහිර පළාතේ පසුගිය වසර කිහිපය තුළ පළාත් පාසල් ගණනාවක්ම මේ වැසී යාමේ තර්ජනයට මුහුණ දී තිබුණි. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සැලසුම් අංශය විසින් ලබා දී ඇති වාර්තාවන්ට අනුව 1995 වසරේ සිට 2013 වසර දක්වා මේ පළාත තුළ පාසල් 73 ක් වැසී ගොස් ඇත්තේය. ( මේ වන තෙක් ඉඩම ප්‍රාදේශීය ලේකම්ට බාර දි ඇති පාසල් පමණි). අධ්‍යාපන කලාප වශයෙන් හෝමාගම පාසල් 4 ක් වැසී ගොස් ඇත්තේ 2001 වසරට පෙරය.
ගම්පහ අධ්‍යාපන කලාපයේ පාසල් 13 ක් වැසි ගොස් ඇත්තේ 2012 වසරට පෙරය. මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 14 ක් පමණ වැසී ගොස් ඇත්තේ 2013 වසරට පෙරය. කළුතර අධ්‍යාපන කලාපයේ පාසල් 9 ක්ද, හොරණ අධ්‍යාපන කලාපයේ පාසල් 14 ක්ද වැසී ගොස් ඇත්තේ විවිධ කාල වකවානු තුළය. ( දත්ත බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙනි)
මේ පාසල් වැසීයාම පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සැලසුම් අංශය පවසන්නේ සිසුන් 50 ට අඩු පාසල් පවත්වා ගෙන යාමේදි සම්පත් උපයෝජනය පිළිබඳ ගැටලු මතුවෙන හෙයින් ඒ පිළිබඳව නැවතත් සිතා බලන්නට අධ්‍යාපන බලධාරීන්ට සිදුවන බවයි. විශේෂයෙන් එම පාසල වැසීමට නොදී ආසන්න පාසල් සමඟ ඒකාබද්ධ කිරීම කෙරෙහි හෝ යම් විකල්පයකට යාමට නොහැකි වු අවස්ථාවකදි මෙවැනි තීරණයකට පිවිසීමට සිදුවන බවයි.
කෙසේ වෙතත් සම අධ්‍යාපන අවස්ථා දරුවන්ට උරුම කර දීම මුලික අරමුණ වන හෙයින් පාසලක් වසන්නට පෙර දෙවරක් නොව සිය දහස්වරක් සිතා බලන හෙයින් මුලින්ම කෙරෙන්නේ ඒ පාසල තාවකාලිකව වසා දැමීමකි. ඒ යම් අවස්ථාවක ගැටලු පියවා පාසල යළි සිසුන්ගෙන් සම්පූර්ණ කළ හැකි යැයි යන අපේක්ෂාවෙනි. මේ ආකාරයෙන් 2011 වසරේදි වසා දැමුණු මතුගම වලල්ලාවිට දොඩම්පාපිටිය ප්‍රාථමිකය 2017 දිත්, 2011 දී වැසුණු මාරපොළ ප්‍රාථමිකය 2017 දීත් නැවත ආරම්භ වූයේ සිසුන් ගණන සම්පූර්ණ කිරීම නිසාය. ඌරාගොඩ කණිෂ්ඨ විදුහල වසර 14 කට පෙර වසා දමා තිබුණේ සිසුන් නැති වීම නිසාය. නමුත් අවට ගම්මානවල කිසිදු පාසලක් නොවූයෙන් දෙමවුපියන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ ඉල්ලිම මත 2016 වසරේදී සිසුන් 20 කගෙන් යළි ආරම්භ විය. අද සිසුන් 57 දෙනෙකි.
නමුත් පාසල් වැසීයාම පිළිබඳ අධ්‍යනයේදි පාසල් වැසීයාමට විවිධ හේතු ගණනාවක් බලපා ඇත. අති දුෂ්කර ගම්මානවල සේම දුෂ්කර හුදකලා ගම්මාන බොහෝමයක්ම පාසල් වැසී ගොස් ඇත්තේ ප්‍රවාහන පහසුකම් නිසි පරිදි නොතිබීම නිසා බව කියැවෙයි. දුෂ්කර ගම්මානවලට උරුම වූ පාසල්වලට නිසි ප්‍රවාහන පහසුකම් නොතිබීම නිසා කාලයකට පසු මේ පාසල්වලට පැමිණෙන සිසුන් ප්‍රමාණය සිඝ්රයන් පහත බසියි. අවසානයයේ ළමුන් අතේ ඇඟිලි ප්‍රමාණයකට සීමා වන නිසා මේ පාසල් කෙසේ හෝ වසා දමන්නට සිදු වෙයි.
බොහෝමයක් දුෂ්කර ගම්මාන වල මෙම පහසුකම් නොතිබිමේ ගැටලුව නිසා අවසානයේ ගමේ ඉතිරි වන්නේ වැඩිහිටි පරම්පරාව පමණි. දරුවන් කෙසේ හෝ ගමෙන් නගරයට සංක්‍රමණය වීම, නගරයෙන් විවාහ විම් හා රැකියාවන් නගරයෙන් සොයාගැනීම් නිසා ගමේ නව දරු උපත් සිදු වන්නේ අහඹු වශයෙනි. මේ නිසා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ සිට මේ පාසල් දිනෙන් දින වැසෙන්නට පටන් ගනියි. තෙල්දෙනිය හසලක වැල්ගහවාඩිය පාසලට මේ ආකාරයේ හේතු මත කාලයකට පෙර වැසී ගිය පාසලකි.
තවත් පැත්තකින් ගුරු හිඟය මේ පාසල්වලට බලපා ඇති තවත් මූලික කරුණක් වි තිබේ. බොහෝ ගුරුවරු සිය පළමු පත්වීමේ සිටම උත්සාහ කරන්නේ සිසුන් වැඩි පාසලකට හෝ ජනප්‍රිය පාසලකට හෝ පහසුකම්වලින් පිරි පාසලකට ඇතුළු වන්නටය. මේ නිසා මෙවැනි පාසල්වලට අද පැමිණෙන ගුරුවරයා හෙට පැමිණෙන්නේ නැත. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හදුන්වා දී ඇති නිර්ණායකයන්ට පටහැනි ආකාරයෙන් විවිධ පාසල් ආරම්භ කිරීම ද පාසල් වැසීමට තවත් හේතුවකි. කිසිදා විභාග ප්‍රතිඵල පිළිබඳ යහපත් තත්ත්වයක් අපේක්ෂා කළ නොහැකි වීම මෙන්ම මෙවැනි පාසල් පවත්වාගෙන යෑම රජයට අතිරේක වැය බරක් හිමිවීමද හේතුවකි.
දුෂ්කර ගම්මාන රැසක් නියෝජනය කරන වයඹ පළාතින්ද මෙවැනි උදාහරණ රාශියකි. වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සැලසුම් අංශය විසින් නිකුත් කළ දත්ත වාර්තාවන්ට අනුව වයඹ අධ්‍යාපන කලාපය තුළ 1990 සිට 2019 වසර දක්වා පාසල් 119 ක් වැසි ගොස් ඇත්තේය. ඒ සියල්ලම වැසි ගොස් ඇති හේතුව ලෙස සඳහන් කර ඇත්තේ ප්‍රමාණවත් සිසුන් පිරිසක් නොමැකි විම හේතුවෙනි.
අධ්‍යාපන කලාප වශයෙන් කුලියාපිටිය පාසල් 30 ක්ද, නිකවැරටිය පාසල් 25 ක්ද, කුරුණැගල පාසල් 13 ක්ද, හලාවත පාසල් 11 ක්ද, පුත්තලම පාසල් 8 ක්ද වශයෙනි. එම පළාත් අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේ මෙම ගොඩනැගිලි මේ වන විට පන්සල්, පල්ලි, සමෘද්ධි, මරණාධාර සමිති, සංස්කෘතික මධ්‍යස්ථාන, ආයුර්වේද මධ්‍යස්ථාන මෙන්ම තරුණ සේවා සභාවන් සඳහා ලබා දී ඇති බවයි. එසේම මේ පළාත තුළ මේ වන විටත් සිසුන් 200 ට අඩු පාසල් 60 ක් පමණ ඇති බවයි. මේ නිසා මෙම අධ්‍යාපන බලධාරීන්ට සිදුව ඇත්තේ මෙම පාසල්ද වැසෙන්නට නොදී රැක ගැනීමේ දැඩි සටනක් කරන්නටය. ( දත්ත වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙනි)
අධ්‍යාපන බලධාරීන් සඳහන් කරන අන්දමට මේ පාසල් බොහෝමයක්ම වැසී ගොස් ඇත්තේ සිසුන් නැති වීම නිසාය. අධ්‍යාපන හා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙවැනි පාසල් රැක ගන්නට මහත් වෙහෙසක් ගන්නේය. ඒ පාසලේ ව්‍යුහය වෙනස් කිරීම, ආසන්න පාසලකට අනුබද්ධ කිරීම වැනි උපක්‍රමය.
පාසලක් වැසීමේදි එක් සිසුවකුට හෝ අසාධාරණයක් සිදු නොවන ආකාරයෙන් කළ යුතු අතර පිළිගත හැකි හේතු මත පාසලක් වැසුවේ නම් එම ඉඩමේ භාරකාරත්වය හිමි විය යුත්තේ අදාළ පළාතේ ප්‍රාදේශීය ලේකම්ටය. ඒ අනුව පාසල අදාළ ප්‍රාදේශීය ලේකම්ට බාර වෙයි. නමුත් යළිත් පාසල විවෘත කිරීමට සිදු වන්නේ නම් ඒ සඳහා වන පොරොන්දු පත්‍රයද මේ බාරදීමට ඇතුළත්ය.
මධ්‍යම පළාතද දැඩි දුෂ්කර ගම් රැසක් නියෝජනය කරන්නේය. එහි අති දුෂ්කර ගම්මාන කිහිපයක් වන ගල මුදුන, උඩගල දෙබොක්ක මෙන්ම මී මුරේ වැනි අති දුෂ්කර පළාත්වල කොතෙක් දුෂ්කරතා මැද මේ පාසල් පවත්වා ගෙන යන්නේ දැඩි වෙහෙසක් දැරීම නිසාය. කෙසේ වෙතත් 2005 සිට 2019 වසර දක්වා මධ්‍යම පළාතේ පාසල් 46 ක් වැසී ගොස් ඇත්තේය. අධ්‍යාපන කලාප වශයෙන් මහනුවර 9 ක්ද, කටුගස්තොට 6 ක්ද, මාතලේ 7 ක්ද, නාවුල 6 ක්ද, විල්ගමුව 4 ක්ද, වලපනේ 4 ක්ද ආදි වශයෙනි.
මෙයිනුත් පාසල් 11 ක් යළි විවෘත කර ඇත්තේය. මධ්‍යම පළාතේද මේ ආකාරයෙන්ම විවිධ කාල වල පාසල් වැසී ගොස් ඇත්තේ ස්වභාවික විපත් හේතුවෙනි. කෙසේ වෙතත් මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරින් පවසන්නේ මේ කිසිදු පාසලක් වැසීමට ඉඩ නුදුන් බවත්, වැළැක්විය නොහැකි ස්වභාවික හේතුන් මත සිසුන් අඩු වීමෙන් මේ පාසල් ඉබේම් වැසි ගොස් ඇති බවත්ය. නමුත් පාසල් දහස වැඩ සටහන යටතේ මෙසේ වැසි ගිය පාසල් යළිත් ආරම්භ කරන්නට හැකි වී ඇත. උදාහරණයක් ලෙස වසර 19 වැසීගොස් තිබූ කටුගස්තොට වටගොඩ ආදර්ශ ප්‍රාථමිකය, වසර 8 ක් පමණ වැසී ගොස් තිබූ ගම්පළ කඩියන්ලෙන ප්‍රාථමිකය, වසර 5 ක් පමණ වැසි ගොස් තිබු කිඹුලාඇළ ප්‍රාථමිකය වසර 5 ක් වැසි ගොස් තිබූ දෙනුවර අධ්‍යාපන කලාපයට අයත් හෙක්ටර් කොබ්බැකඩුව විදුහල මේ වන විට නැවතත් විවෘත කර ඇත්තේ දරුවන් වෙනුවෙන් වැසුණු පාසල් යළිත් දරුවන්ගේ අයිතියට ලබා දිය යුතු නිසාවෙනි. ( දත්ත මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙනි)
(ජාතික විගණන කාර්යාලයේ කාර්ය සාධන විගණන අංශය විසින් නිකුත් කළ ‘ ශිෂ්‍ය සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් අවමවූ රජයේ පාසල්වල කාර්ය සාධනය ‘නම් වූ වාර්තාව පදනම් කර ගනිමින් හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු දත්ත වාර්තාවන්ට අනුව ලිපිය සැකසුණි)
සේයාරූ -විමල් කරුණාතිලක,
මීගහතැන්න සමුහ සෝමරතන පොද්දෙනිය,
කොටදෙනියාව සමූහ එම්.පී කුමාර