මේ දිනවල රටේ බොහෝ පෙදෙස් වල පැවැත්වෙන මැතිවරණ රැස්වීම් අමතන කථිකයන්ගේ වාග් ප්‍රහාර වලින් අපගේ දෙසවන් පිරීගොස් තිබේ. ඒ අතරින් වැඩිපුරම ඇසෙන්නේ ඔවුනොවුන්ට එරෙහිව නගන අවලාදයන්ය. නැතහොත් චෝදනා ය.
ඊටත් අමතරව එක් එක් පක්ෂ නායකකාරකාදීන් විසින් දෙනු ලබන ඡන්ද පොරොන්දු ද ටොන් ගණනින් අසන්නට ලැබේ. සිතන පතන හැම සම්පතක්ම ලබාදිය හැකි කප් රුකක් තමන්ගේ ගෙවත්තේ තිබුණත් ඉටුකළ නොහැකි අන්දමේ පොරොන්දු රාශියක්ම ඒ අතර ඇති බවක් ද පෙනෙන්නට ඇත. අප මෙතෙක් අත්දැක තිබෙන අන්දමට නම් එම පක්ෂ නායකකාරකාදීන් එලෙස ගජබින්න දෙසාබාන්නේ තනිකරම ජනතාව ගොනාට ඇන්දවීමේ අදහසිනි. ඔවුන් එසේ කරන්නේ ජනතාවගේ කරපිටින් මැතිසබයට යාමේ අසහස පෙරදැරි කරගෙනය.
ඔවුන් එසේ සිතන්නේද? ඒ අනුව කිසිම දිනෙක ඉටුකළ නොහැකි පට්ටපල් බොරු ඇදබෑමට පෙලඹී සිටින්නේ ද ජනතාවගේම වැරැද්ද නිසාය. එනම් මෙරට පාර්ලිමේන්තු පාලන ක්‍රමය ඇරඹුණ දා පටන් රටේ බහුතර ජනතාව මේ කපටි දේශපාලනඥයන්ට දිගින් දිගටම රැවටුණු නිසාය.
දහසක් බොරු පොරොන්දු දී ජනතාව මුලා කර ඔවුන්ගේ වටිනා ඡන්දය ඩැහැගන්නා මේ දේශපාළුවන් ඊළඟට කරන්නේ තමන් විසින් ජනතාවට දෙන ලද ඡන්ද පොරොන්දු අමතක කරදමා තමන්ගේ මඩිය තරකර ගැනීමය. රුපියල් මිලියන ගණනින් සහ බිලියන ගණනින් මහජන මුදල් ගසාකෑම ඔවුන් සිතන්නේ තමන්ට ජනතාවගෙන් ලැබුණු වරප්‍රසාදයක් ලෙසිනි.
කෙසේ හෝ ජනතාව රවටා ඡන්දය ලබාගෙන ආණ්ඩු බලය ලබා ගන්නා දේශපාලනඥයන් ඉන් අනතුරුව වලිකන්නේ එම වරප්‍රසාද දිගින් දිගටම තමන්ගේ අත රඳවා ගැනීමටය. විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයන්ගේ උත්සාහය වී ඇත්තේ ආණ්ඩු බලය දරන්නන් පන්නා දමා එම බලය තමන් වෙත ලබා ගැනීමටය. මෙරටට නිදහස ලැබුණු දා සිට මේ දක්වා වූ කාලය ගෙවීගොස් ඇත්තේ මෙම දේශපාලන බලු පොරය සඳහා නොවේදැයි දැන්වත් සිතාබැලිය යුතුය. එසේම එක් එක් නම්වලින් හැඳින්වෙන දේශපාලන පක්ෂ කරපින්නාගෙන කාලයෙන් කාලයට ජනතාව හමුවට පැමිණෙන මෙම දේශපාළුවන් මෙරට ජනතාවගේ යහපත වෙනුවෙන් සිදුකර ඇත්තේ මොන කෙංගෙඩියක්දැයි දැන්වත් සිතා බැලිය යුතුය.
බලය ලබා ගැනීමෙන් පසු තමන් වෙතින් ඉටුවිය යුතු ජාතික මෙහෙවර සිතාමතාම අමතක කරන මේ බලලෝභී දේශපාලනඥයන් ඊළඟට මුල්තැන දෙනු ලබන්නේ මහජන මුදල් හැකිතාක් යටිමඩි ගසාගෙන තමන්ගේ වරිගය තර කර ගැනීමේ කර්තව්‍යය වෙනුවෙනි. තමන්ට පාලන බලය ලබාදුන් මහජනතාවට පසුව කොකා පෙන්වන මේ දේශපාලනඥයන්ගේ ඊළඟ අභිප්‍රාය වී ඇත්තේ බලය දිගින් දිගටම තමන් අත රඳවා ගැනීමට පිඹුරුපත් සැකසීමය.
විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයන් නිරතුරුව දත කන්නේ ආණ්ඩුව ගෙදර යවා මස් කෑල්ල කෙසේ හෝ තමන් අතට ගැනීමටය. මෙම දෙපිරිස බලය වෙනුවෙන් ඇණකොටා ගන්නවා විනා රටේ පොදු යහපත වෙනුවෙන් යමක් කිරීමට කිසිදු උනන්දුවක් නොදැක්වීම කනගාටුදායක සිද්ධියකි.
මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් ආසන්නයේ දී ඔවුන් හැම දෙනෙකුටම ඡන්ද පොරොන්දු දෙනු ලබන්නේ ද තම ප්‍රතිවාදින්ගේ ප්රතිඥාවන් අබිබවා යන අයුරිනි. එක් පක්ෂයක් එකක් කියන විට ප්‍රතිවාදී පක්ෂ නායකයන් කියන්නේ තමන් බලයට පත්වූ විට ඊට වඩා දෙගුණයක් දෙන බවය. එහිදී එම දෙපාර්ශ්වයටම අවශ්‍ය වී ඇත්තේ එකිනෙකා අබිබවා යන පරිදි ආකර්ෂණීය ඡන්ද පොරොන්දු ලබාදීම විනා ඒ පිළිබඳව යථාර්ථය පෙන්වාදීම නොවේ. එවැනි දෑ ගැන අසන අපේ තකතීරු ඡන්දදායකයන් විසිල් ගසමින් හුරේ දමන්නේ රටක් රාජ්‍යයක් ලැබුණටත් වඩා සතුටකිනි.
අප ඉහතින් දක්වන ලද්දේ කවර අන්දමේ ඡන්ද විමසීමක් හෝ පැවැත්වෙන කාලසීමාවකදී දකින්නට සහ පෙනෙන්නට තිබෙන පොදු යථාර්ථයයි. මෙතෙක් මේ රටේ බහුතර ජනතාව හුරුපුරුදුවී සිටියේ කපටි දේශපාලනඥයන් ගේ බොරු පොරොන්දුවලට මුළාවී වැඩිපුරම පොරොන්දු ලබාදෙන දේශපාලන පක්ෂ නායකයන් රජ කරවීමටය. ඔවුන් එසේ කරන්නේ ෙමදා හෝ තමන්ට යහපතක් සිදුවෙතැයි යන අහිංසක අදහසිනි. එහෙත් අන්තිමේදී සිදුවන්නේ ජනතා අභිමතාර්ථයන් යටපත්වී කෛරාටික දේශපාලනඥයන් ඉස්මතු වීමය. කාලාන්තරයක් තිස්සේ පැවති මේ දේශපාලන සෙල්ලම හෙවත් ජනතාව රැවටීම දැන්වත් නතර කළ යුතුය. එසේ නොමැතිවුවහොත් සිදුවන්නේ ජනතාව සදහටම දුකට පත්වීමය. එහෙයින් මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් වැනි තීරණාත්මක ඡන්ද විමසීමකදී ජනතාව තීරණ ගත යුත්තේ හදවතින් නොව බුද්ධියෙන් සිතා බලමිනි. දැනුදු එළඹ ඇත්තේ එවන් අවස්ථාවකි.
බොරුව කනට ඉතාමත් මිහිරිය. එහෙත් සත්‍යය අමිහිරිය. එහෙයින් අප විසින් කළ යුතුව ඇත්තේ කනට මිහිරි බොරුවට වඩා අමිහිරි සත්‍යය පිළිගැනීම ය.
ඒ අනුව මෙකල විවිධ පක්ෂ වලට අයත් දේශපාලන වේදිකාවලින් කනට ඉතාමත් මිහිරි හා රසවත් ඡන්ද පොරොන්දු ගැන අසන්නට ලැබේ. එහෙත් අප ඒවා පිළිගත යුත්තේ එහි ඇති තාරබර අඩුකර බුද්ධිමත්ව සලකා බැලීමෙන් පසුවය. අප අතර සිටි සහ සිටින දේශපාලනඥයන් වැඩි දෙනෙකු හුරුපුරුදුවී සිටින්නේ තමන්ගේ ඡන්ද පොරොන්දු එකට හතකින් වැඩිකර ආලවට්ටම් දමා ජනතාව හමුවේ තැබීමටය. එහෙත් අප ඒවා පිළිගත යුත්තේ හදවතින් නොව බුද්ධියෙන් සිතාබලා එහි ඇති තාරබර ද හතට එකේ අනුපාතයට අඩුකරමිනි.
එහෙයින් කෛරාටික දේශපාලනඥයන් තමන්ගේ ඇට නැති දිවෙන් කොතෙකුත් බොරු පොරොන්දු දෙනුලැබුවද ඡන්දදායකයන් ඒවා පිළිගත යුත්තේ ඒවායේ ගැබ්වී ඇති යථාර්ථය හඳුනාගැනීමෙන් පසුවය. එසේ සිදු නොකරන තාක් අපේ ජනතාවට සිදුවන්නේ කරවටක් මඩෙහි ගිලීගෙන කපටි දේශපානඥයන්ගේ බොරු පොරොන්දු ගැන අසා විසිල් ගසමින් හුරේ දැමීමට ය. කාලයක් තිස්සේ එකදිගට ප්රතිරූපණය වෙමින් පවතින මේ මුළාවට දැන්වත් තිත තැබිය යුතුය.