ගම්මිරිස් වගාවේ ප්‍රවර්ධනයට ජනපතිගෙන් සහන් එළියක් | Page 2 | සිළුමිණ

ගම්මිරිස් වගාවේ ප්‍රවර්ධනයට ජනපතිගෙන් සහන් එළියක්

ගම්මිරිස් වගාව සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අය වැය යෝජනා මඟින් ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු යොදන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි

හාර රස කිරීමට යොදා ගන්නා කුළුබඩු වර්ග අතර ගම්මිරිස් ප්‍රමුඛයෙකි. ලෝකයේ වැඩි වශයෙන්ම පරිභෝජනය වන කුළුබඩු වර්ගය වන්නේද මේ කියන ගම්මිරිස්මය.

අප රටද ගුණාත්මක ප්‍රමිතියෙන් යුත් ගම්මිරිස් නිෂ්පාදනය සදහා කීර්තියක් උසුලයි. වාර්ෂිකව ගම්මිරිස් මෙට්‍රික් ටොන් 30,000ක් පමණ මේ වන විට අප වගා කර නිෂ්පාදනය කරන අතර සංඛ්‍යා දත්ත වලින් අනාවරණය වන ආකාරයට දිවයින පුරා විවිධ ප්‍රදේශවල අක්කර 75,000 කට අයත් වගා බිම් ප්‍රමාණයක මේ වන විටත් ගම්මිරිස් වගාව සිදු කෙරේ.

කෙසේ වුවත් වසර කීපයක සිට මෙරට ගම්මිරිස් වගාවට ඉතා නපුරුම, අපල කල දසාවක් උදා වී තිබේ. ඊට බලපා ඇති ප්‍රධාන හේතුව වන්නේ මෙරට නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස් නිෂ්පාදනයන්හි අලෙවි මිල ගණන් ඉතා සීග්‍රයෙන් පහත වැටී තිබීමයි.

2015 වසරට පෙර මෙරට නිෂ්පාදිත අපනයන තත්ත්වයේ ගම්මිරිස් කිලෝවකට රුපියල් 1,300 ත් 1,500ත් අතර ගොවි ජනතාව සතුටු වන ඉහළ මිලක් ලැබී තිබුණි. එහෙත් මේ වන විට එම මිල ගණන් රුපියල් 450ත් – 500ත් අතර මිල ගණන් වලට පහත වැටී තිබේ. එපමණක්ද නොව අමු ගම්මිරිස් කිලෝවකටද ලැබෙනුයේ රුපියල් 150ත්- 175ත් අතර මිල ගණන් වීමද කණගාටුවට කරුණකි.

ගම්මිරිස් මිල පහත වැටී මෙපමණ කලක් එම වගාවේ නිරත වී සිටි පිරිස අන්ත, අසරණ වී සිටින අවස්ථාවක ගම්මිරිස් මිල ප්‍රමාණවත් පරිදි ඉහළ නැංවීමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ගොවීන් ආරක්ෂා කරන ලෙසත්, ඔවුනට හනික සහන ලබා දෙන ලෙසත් එම ගොවීන් දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටින ලදී. මහා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සදහා පසුගිය දිනවල රටේ විවිධ ස්ථාන වල සංචාරය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවට පැමිණි ගොවීහූ මෙම ප්‍රශ්නයට කඩිනමින් මැදිහත්ව විසදුමක් ලබා දෙන්නැයි ඉල්ලා සිටි අතර ඒ සදහා ජනාධිපතිතුමාගෙන් යහපත් ප්‍රතිචාරයක් මේ වන විට හිමිව තිබේ.

ඒ අනුව ගම්මිරිස් වගාකරුවන් මුහුණ දී සිටින මිල ගණන් පහත වැටී වෙළදපොළ කඩා වැටී තිබීමේ ප්‍රශ්නයට දීර්ඝකාලීන විසඳුමක් සෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ද උනන්දු වී ඇති අතර එම ප්‍රශ්නය කඩිනමින් විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලිම සදහා වන විශේෂිත සාකච්ඡාවක් ද පසුගිය ජූලි 20 වැනි දින ජනාධිපති කාර්යාලයේ දී පවත්වන ලදී.

මෙම විශේෂ සාකච්ඡාවේදී දැනටත් ලොව ඉහළම ගුණාත්මක අගයක් සහිත ගම්මිරිස් නිෂ්පාදකයා ශ්‍රී ලංකාව බවට අවධාරණය වුණු අතර මෙරටින් අපනයනය කෙරුණු ගම්මිරිස් සඳහා ලෝක වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් පැවතුණ බවද අනාවරණය විය. එම අපනයනයෙන් 75% පමණ ගැනුම්කරු වූයේ ඉන්දියාව බවත් ඇමරිකාවෙන් සහ යුරෝපා රටවලින් ද ඉහළ ඉල්ලුමක් පැවැති බවත් මෙහිදී සාකච්ඡාවට බදුන් විය.

එවැනි සුවිශේෂ වෙළෙඳපොළක් මෙරට ගම්මිරිස් සදහා නිර්මාණය වී තිබියදීත් පසුගිය යහපාලන රජයේ අදූරදර්ශි ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ප්‍රමිතියෙන් හා ගුණාත්මක භාවයෙන් අඩු ගම්මිරිස් වියට්නාමයෙන් මෙරටට ආනයනය කර දේශීය ගම්මිරිස් සමග මිශ්‍ර කිරීමට සළස්වා ලෝක වෙළෙඳපොළට ප්‍රති අපනයනය කිරීමේ කටයුත්තක් පසුගිය වසර කිහිපය පුරා මහා පරිමාණයෙන්ම සිදු වී ඇති බවත් එම හේතුව නිසා ඉන්දියාව ඇතුළු අපෙන් ගම්මිරිස් අපනයනය කරන ලද අනෙකුත් රටවලින් ගම්මිරිස් සඳහා ඒ වන තෙක් තිබුණු එම ඉහළ ඉල්ලුම ඉතා වේගයෙන් කඩා වැටුණු බවත් එම සාකච්ඡාවට සහභාගී වී සිටි ගම්මිරිස් වගාවට හා නිශ්පාදනයට සම්බන්ධව සිටි විවිධ පාර්ශ්ව විසින් ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරන ලදී.

එහිදී එම සියලු පාර්ශ්වයන් විසින් තම අවධානයට යොමු කරන ලද එම කරුණු, කාරණා පිළිබදව සංවේදී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සඳහන් කර සිටියේ තමන් බලයට පත්වීමෙන් පසු දේශීය ගම්මිරිස් ගොවියා රැක ගැනීමේ අරමුණින් එතෙක් මහා පරිමාණයෙන් සිදු වුණු මෙම ගම්මිරිස් ප්‍රති අපනයනය කිරීමේ ජාවාරම වහාම නතර කර දැමීමට පියවර ගත් බවයි. එම තීරණයත් සමග ගුණාත්මක බවින් ඉහළ ගම්මිරිස් අපනයනයට නැවතත් අවස්ථාව උදා වී ඇති බවද සදහන් කළ ජනාධිපතිතුමා මෙරට තුළ ක්‍රියාත්මක සියලු තානාපති කාර්යාල මගින් මේ පිළිබඳව ගැනුම්කාර රටවල් දැනුවත් කර විදේශීය වෙළෙඳපොළ දිනාගත යුතු බවද ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉන්දියාව සමග තවදුරටත් සාකච්ඡා පවත්වමින් දැනට එරටට අපනයනය කෙරෙන ගම්මිරිස් ප්‍රමාණයට වැඩි ගම්මිරිස් ප්‍රමාණයක් අපනයනය සඳහා උනන්දු විය යුතු බවද මෙහිදී තීරණය විය. එමෙන්ම අගය එකතු කළ නිෂ්පාදන ලෙස ගම්මිරිස් ලෝක වෙළෙඳපොළට සැපයීම ප්‍රධාන උපාය මාර්ගයක් විය යුතු බවටද මෙම සාකච්ඡාවේදී තීරණය වුණු අතර නව අපනයනකරුවන් බිහි කරමින් මෙරට ගම්මිරිස් සඳහා ලෝක වෙළෙඳ පොළෙහි ඉල්ලුම වැඩි කිරීම සදහා වන උපක්‍රම ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබදවත්, පසු අස්වනු තාක්ෂණික ක්‍රම දියුණු කිරීම සඳහා පියවර ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී ඉතා දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. මේ ආකාරයෙන් කාලයක් තිස්සේ කිසිදු පිහිටක් නොලැබ, අසරණව කලකිරී වගාවෙන් පවා ඈත්වීමට හිත හදාගෙන සිටි ගොවි ජනතාවට අලුත් බලාපොරොත්තු පොදි බැඳ ගනිමින් යළිත් වඩා සක්‍රීයව මෙම වගාවේ නිරත වීමට අවශ්‍ය සුබදායි වාතාවරණයක් නිර්මාණය කර දී ඇත.

මෙරට ගම්මිරිස් වගාවේ හා ඒ ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදනයන්හි ප්‍රමිතිය හා ගුණාත්මක භාවය තවදුරටත් ඉහළ නංවමින් ගම්මිරිස් වියළීම, විෂ බීජ හරණය පමණක් නොව දිස්ත්‍රික් මට්ටමින් සැකසුම් මධ්‍යස්ථාන ස්ථාපනය කර ගම්මිරිස් සඳහා ඉහළ අගයක් එකතු කිරීමට අවශ්‍ය පියවර කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන එක්ව සැලසුම් කරන්නැයිද ජනාධිපතිතුමා මෙම සාකච්ඡාවට සම්බන්ධව සිටි නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදී මීට අමතරව ගම්මිරිස් වගාව සාර්ථක කර ගැනීම සදහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අය වැය යෝජනා මගින් ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු යොදන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කරන ලද්දේ දේශීය ගම්මිරිස් වගාකරුවන්ගේ අනාගත බලාපොරොත්තු තව තවත් ඉහළ නංවමිනි

 

Comments