
නඩුවකදී තාක්ෂණිකව සිදු වූ අත් වැරද්දක් නිසා කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විභාග නොකර අත්හැර දැමූ ඝාතන නඩුවක් නිසා පසුගියදා කැනඩාව කම්පනයට පත්විය. එය අපට වඩාත් සංවේදී සිදුවීමක් වන්නේ එම සිද්ධියේ වින්දිතයා මෙන්ම චූදිතයා ද ශ්‍රී ලාංකිකයන් වීම නිසාය.
කැනඩාවේ ජීවත් වූ ශ්‍රී ලාංකික ද්‍රවිඩ සරණාගත යුවලක් මෙම සිදුවීමට මුල් වී තිබේ. චූදිතයා සිවලෝගනාදන් තනබාලසිංහම්ය. වර්ෂ 2012 අගෝස්තුවේදී සිදුවූ ඔහුගේ බිරිය වන අනූජා බාස්කරන් ඝාතනයට සැක පිට සිවලෝගනාදන් අත්අඩංගුවට ගනු ලැබිණ. මොන්ට්‍රියල් නුවර සිය නිවස තුළම ඝාතනය වනවිට අනූජාගේ වයස අවුරුදු 21 කි.
සිවලෝගනාදන් එම ඝාතනය කළ බවට සැක කෙරෙන සාධක ගණනාවක් නඩුවට ගොනු වී තිබුණි. 2011 සහ 2012 වර්ෂවලදී සිදුවීම් තුනකට අදාළව ඔහු දණ්ඩනයට ලක් වී සිටි අතර අනුජා බාස්කරන්ට පහරදීමේ චෝදනාව මත ඔහු සිවු මසක් බන්ධනාගාරගත විය. පිටුවහල් කිරීමේ නියෝගයක් ද ඔහුට එරෙහිව තිබුණි.
කැනඩාවේ ක්විබෙක් අධිකරණය විසින් වර්ෂ 2012 දී සිවලෝගනාදන් අත්අඩංගුවට ගෙන මූලික නඩු විභාගය පවත්වා සාක්ෂි ගොනු කරන්නේය. ඔහුට එරෙහිව නඩුව ආරම්භ කරන්නට සැලසුම් වන්නේ වර්ෂ 2017 අප්‍රේල් මාස 10 දාය. එහෙත් මේ කාලය වනවිට රටේ අධිකරණය මානුෂික අයිතීන් පදනම් කරගනිමින් ස්වකීය අධිකරණ ක්‍රියාවලිය පුළුල් කිරීමක් සිදු විය. මේ වෙනස සිදු වන්නේ එක්තරා නඩු තීන්දුවක් මුල් කරගනිමිනි. වර්ෂ 2016 දී ආර්.වී.ජොර්දාන් වෙත ලබා දුන් එම තීන්දුව ප්‍රකාරව කියැවුණේ යම් අපරාධ නඩුවක් ප්‍රාදේශීය අධිකරණයක ගොනුවන්නේ නම් එම අධිකරණ ක්‍රියාවලිය මාස 18ක් ඇතුළත සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නඩුව ගොනු වන්නේ නම් මාස 30ක් ඇතුළත එම නඩුව විභාග විය යුතු බවය.
මේ වකවානුව වනවිට තනබාලසිංහම්ගේ නඩුව ක්විබෙක් අධිකරණයේ ගොනුකර මාස 60කට වඩා වැඩි කාලයක් ගත වී තිබුණි. මේ නෛතික ප්රතිපාදනය දක්වමින් තනබාලසිංහම් තමන්ගේ නඩු කටයුත්ත ප්‍රමාද වී ඇති අයුරු පෙන්වා තමන්ට අගතියක් වී යැයි දක්වමින් නඩුව ඉවත් කරගැනීමට අභියාචනයක් ඉදිරිපත් කළේය. ඔහු ඉන් ප්‍රකාශ කර සිටියේ සාධාරණ කාලයක් තුළ ස්වකීය නඩු කටයුත්ත සිදු නොවුණ බවය.
අභියාචනය සලකා බැලූ අධිකරණය 2016 - ආර්.වී.ජොර්දාන් තීන්දුව ප්‍රකාරව සාධාරණ කාලයක් තුළ නඩුව විභාගයට නොගැනීම හේතුවෙන් අධිකරණය සිවලෝගනාදන්ගේ නඩුව විභාගයට නොගෙන නවත්වා දැමීමට තීන්දු කළේය. ඒ අනුව සාධාරණ කාලයක් තුළ නඩු විභාග කිරීමට ඔහුට ඇති අයිතිය උල්ලංඝණය වී ඇති බව තීන්දු කරමින් ක්විබෙක් අධිකරණය සිවලෝගනාදන්ට පක්ෂව තීන්දුව ලබා දී නඩු විභාගය අත්හිටුවා වහාම ඔහු මෙරටට පිටුවහල් කිරීමට නියම කළේය. ඒ අනුව ඔහු 2017 ජූලි 5 වන දින විරෝධතාවයකින් තොරව ශ්‍රී ලංකාවට එවනු ලැබිණ. ක්විබෙක් අධිකරණ විනිසුරුවරයා තීන්දු කළේ තනබාලසිංහම් අත්අඩංගුවට ගෙන මාස හැටකට ආසන්න කාලයක් ගත වී ගියත් නඩු කටයුත්ත නොපැවැත්වීම නිසා චූදිතයාට සිදුවූ අගතිය ය. ජොර්දාන් නෛතික තහවුරු කිරීමට අනුව නඩු පැවරීමෙන් පසු නඩුවක් ඇසීමට පළාත් අධිකරණයකදී මාස 18ක් හා ශ්‍රේෂ්ඨාධිකරණයේ මාස 30ක් දක්වා කාලයක් නිර්ණය කර ඇත්තේය. කඩ වී තිබුණේ මේ කාල සීමාවය.
අධිකරණය කීවේ ජොර්දාන් තීන්දුවෙන් ඉතා පැහැදිලි පණිවිඩයක් අධිකරණ පද්ධතිය වෙත ලබා දී ඇති බවය. ඒ නඩු විභාග ක්‍රියාවලියේ සෑම අදියරකදීම තාර්කිකව නඩුව ඉදිරියට ගෙන යෑම සහ චූදිත පුද්ගලයන් නිශ්චිත කාලයකදී නඩු විභාගයට ඉදිරිපත් කිරීම සම්බන්ධවය.
“ මෙම නෛතික ප්‍රතිපාදන චූදිත පුද්ගලයන්ගේ යහපතට පමණක් නොව, වින්දිතයින්ගේ සහ සමස්තයක් වශයෙන් සමාජයේ යහපත උදෙසා බලපාන අයිතියකි.“ අධිකරණය තව දුරටත් ප්‍රකාශ කළේය. එම තීන්දුව ක්‍රියාත්මක විය. තනබාලසිංහම් තවදුරටත් කැනඩාවේ සිටියේ නැත. එහෙත් ක්විබෙක් රජය දිගින් දිගටම මේ අපරාධ නඩුවේ වින්දිතයන් සම්බන්ධව අභියාචනා ඉදිරිපත් කළේය.
“2016 - ආර්.වී.ජොර්දාන් තීන්දුව මේ සිද්ධිය අරභයා වැරදි අර්ථකථනයක් ලබා දුන්නා. ජෝර්දාන් තීන්දුවේ උපමාන වැරදියට යොදා ගත් බව අපට හැඟුණා. මේ ගණනය කිරීම්වලට වෙන්නෙ කොහොම ද?. තනබාලසිංහම් නඩුවේ සියයට 80ක් ගොනු වූයේ 2016 ජෝර්දාන් තීන්දුව ප්‍රකාශ කරන්න පෙරයි. මූලික නඩු විභාගය පැවැත් වීමට වසරක් ගතවුණා. නඩු වාර්තා ඉංග්‍රීසි ප්‍රංශ හා දෙමළ භාෂාවලට පරිවර්තනය කරන්නට සිදුවුණා. “ රාජ්‍ය නීතිඥ මවුඩ් පයෙට් පැවසීය.
මේ හේතු දක්වමින් ක්විබෙක් රජය ජෝර්දාන් තීන්දුවට ව්‍යතිරේකයක් බලාපොරොත්තු විය. ඔවුන් පළමුවෙන්ම ඉල්ලා සිටියේ තනබාලසිංහම්ට යළි මිනීමරුම් චෝදනා ගොනු කිරීමය. රජය ක්විබෙක් අධිකරණයෙන් නැවත මිනීමැරුම් නඩු විභාගයක් පැවැත් විය හැකිදැයි විමසුවේය. නමුත් පළාත් මහාධිකරණය මේ නඩුව විභාග කළේ නැත. ඒ, තනබාලසිංහම්ගේ නඩුව මේ වනවිට නෛතික උපමානවලට අනුව න්‍යායාත්මක නොවන බව තහවුරු වී තිබූ නිසාය. අධිකරණ ගණනාවකින් මෙම නඩුව ප්‍රතික්ෂේප වීමත් සමඟ ක්විබෙක් රජය සිද්ධිය ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන ගියේය. එහෙත් සිද්ධිය විමසීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ මෙම නඩුව නැවත විමසීමට පදනමක් නොමැති බවය.
මේ තාක්ෂණික අත්වැරැද්ද සිවලෝගනාදන් තනබාලසිංහම් කැනඩා නීතියෙන් නිදහස් කළේය. ඒ නඩුව පවත්වාගෙන යෑමට ඇති අවකාශ අහුරා දමමිනි. දැන් මේ නඩුව ඇසෙනු ඇත්තේ ලෝක ධර්මතා තුළය. කැනඩා අධිකරණයේ සිදුවූ මේ තාක්ෂණික අත්වැරැද්ද හරහා හෙළිදරව් වන විශේෂ දියුණු ලක්ෂණ ගණනාවක් තිබේ. එනම් අධිකරණ ක්‍රියාවලියක පැවති යුතු දියුණු මානවවාදී ගුණයයි. නඩුවක් පවරන්නේ නම් සියලු සාධක ගොනු කර නිශ්චිත කාලයක් තුළ විසඳුමක් කිරීමේ වගකීම අධිකරණ පද්ධතියට පැවරෙන ආකාරය ද මින් හෙළි වේ.
සිද්ධිය වී අවුරුදු විසි පහකට පසු ඝාතන නඩුවලට මරණීය දණ්ඩනය නියම වන ආකාරය වාර්තා වන රටක, බාල වයස්කාර දැරියක් අපයෝජනය වීමේ නඩු තීන්දුව ඇය විවාහ වී දරුවන් ද ලැබුණු පසු ප්‍රකාශයට පත්වන රටක ජීවත් වන අපට දියුණු රටවල අධිකරණ පද්ධති ක්‍රියාත්මක වන ආකාරය එක් අතකින් අරුමයකි. ඒ අරුමය අපට කියන්නේ අපේ අධිකරණ පද්ධති සංස්කරණය විය යුතු ආකාරයයි.