
සුනේත්‍රා වීරසිංහ ගොඩකවෙල පල්ලේබැද්ද ඔඹරගල ප්‍රදේශයේ පදිංචිව සිටි දහතුන් හැවිරිදි පාසල් සිසුවියකි. වයසට වඩා වැඩුණු පෙනුමකින් යුතු වූ ඇය මවුපිය ඔවදන් පවා තුට්ටුවකටත් මායිම් නොකළ හිතුවක්කාර දැරියක ද වූවාය. මීට වසර දෙකකට පමණ ඉහතදී සුනේත්‍රා රත්නපුර රෝහලට යන්නේ කිසියම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමටය. රෝහලේ ගේට්ටුවේ රාජකාරියේ නිරතව සිටි තරුණ ආරක්ෂක නිලධාරියකුගේ දෑස් සුනේත්‍රා වෙත යොමුවද්දී ඇය ද ඔහු දෙස බලා සිනහවකින් සංග්‍රහ කළාය. “නංගි මම ඔයා හඳුනා ගන්න කැමතියි” සුනේත්‍රාට එසේ කී ආරක්ෂක නිලධාරියා ඔහුගේ ජංගම දුරකථනයේ අංකය සුනේත්‍රාට දුන්නේය. ඔහු 22 වැනි වියේ පසුවූ රත්නපුර කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
රෝහලේ සිට නිවෙසට ගිය සුනේත්‍රා ඇයගේ ජංගම දුරකථනයට අලුතෙන් සිම් කාඩ් පතක් දමා තරුණයාට දුරකථන ඇමතුමක් ගත්තාය. ඒ 2018.09.28 වැනි දිනය.
“අයියේ, ඔයා අද මාව හමුවෙන්න එන්න” සුනේත්‍රා කීවාය. ඒ අනුව රත්නපුරයේදී දෙදෙනා හමුවූ අතර පසුව ඔවුහු තිරුවානා කැටිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක් වෙත ගියහ. බාලවයස්කාර දැරියක වූ සුනේත්‍රා නිවෙසින් පැමිණෙන විට තම වැඩිමහල් සහෝදරියගේ ජාතික හැඳුනුම්පත රැගෙන විත් තිබුණු අතර හෝටලයේ නතර වීම සඳහා ඔවුන් ඉදිරිපත් කොට තිබුණේ එම ජාතික හැඳුනුම්පතයි. එදින රාත්‍රිය අඹුසැමියන් ලෙස එම හෝටලයේ ගත කර තිබේ. එහෙත් එසේ පැමිණි ඔවුන්ට කිසිදු අරමුණක් හෝ බලාපොරොත්තුවක් නොවීය. ජීවත් වීම සඳහා ඔවුන් සතුව මුදල් ද නොතිබිණ.
“මගේ කරාබු ජෝඩුවයි මුද්දයි උකස් කරලා අපි කීයක් හරි ගමු ” සුනේත්‍රාගේ ඒ යෝජනාව ඔවුන් දෙදෙනා රත්නපුර නගරයේ පිහිටි උගස් මධ්‍යස්ථානයකට ගොස් කරාබු ජෝඩුව හා මුද්ද උකස් කොට රුපියල් 11000ක මුදලක් ලබාගෙන තිබේ. ඉන්පසු තරුණයා සුනේත්‍රා ද කැටුව රත්නපුරයේ සිට කොස්ගම හරහා මොරටුව කඳවලට පැමිණ එම ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් කාමරයක් කුලියට ගෙන ඇය සමඟ දින දෙකක් එහි ගතකර තිබේ. කාමර කුලිය ලෙස එහි හිමිකරුට රුපියල් 6000ක මුදලක් ලබා දී තිබේ. පසුව ඔවුහු නැවත ගාල්ල මහ මෝදර රෝහල වෙත පැමිණ තිබේ.
“ඔයාගේ වයස අඩු නිසා කසාද බඳින්නත් බැහැ. අපි මොකද කරන්නේ” තරුණයා ඇසුවේය.“ මට නම් ආපහු ගෙදර යන්න බැහැ” සුනේත්‍රා කීවාය. ඒ කියූ පරිදිම ඇයට යළි නිවසට යෑමට නොහැකි විය. ඇගේ මළ සිරුර ගාල්ල දඩැල්ල කනත්ත ඉදිරිපිට වැටකෙයියා ගසක එල්ලෙමින් තිබියදී හමුවිය. ඒ, 2018 වසරේ ඔක්තොබර් මස 02 වැනිදාය. දැරියගේ අභිරහස් මරණය පිළිබද විවිධ කට කථා පැතිරී යන්නට විය. ඇතැම්හු ඇය සියදිවි හානි කරගන්නට ඇති බව පැවසූහ. ඇය ඝාතනය කොට වැටකෙයියා ගසේ එල්ලා දමන්නට ඇති බවට ද ප්‍රචාරයක් ගියේය. ඒ සියල්ල අතර එම බාලවයස්කාර දැරියගේ අභිරහස් මරණය අවුරුද්දකුත් මාස දහයක් යනතෙක් කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් තිබිණ.
![]() |
ඝාතනයට ලක්වූ දැරිය සියදිවි හානි කරගැනීමක් ලෙස
පෙන්වීමට වැටකෙයියා ගාලේ එල්ලා තිබුණේ මෙසේය
|
අපරාධකරුවන් පසුපස හඹාගොස් ඔවුන් කොටුකර ගැනීමට සමත් දක්ෂ නිලධාරියකු වන පොලිස් පරීක්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා මහතා ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස පත්ව ආවේ මීට මාසයකට පමණ ඉහතදීය. ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම්ගිණිගේ මහතා සුනේත්‍රා දැරියගේ අභිරහස් මරණය පිළිබඳ නැවත විමර්ශන කටයුතු ආරම්භ කිරීමට උපදෙස් ලබාදීමත් සමඟ පොලිස් පරික්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා මහතා ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කළේ අදාළ පැරණි විමර්ශන ලිපිගොනුව අකුරක් නෑර කියවමිනි. අනතුරුව දැරියගේ මව සහ වැඩිමහල් සහෝදරිය පොලිසිය වෙත කැඳවා යළි ඔවුන්ගෙන් විමසීම් කෙරිණ. “නංගි ගෙදරින් ගියාට පස්සේ මට පස් වතාවක් විතර ඇයගේ ජංගම දුරකථනයෙන් කථා කළා ” යැයි වැඩිමහල් සහෝදරිය කී නිසා එම දුරකථන අංකය ඔස්සේ පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ලැබිණ. දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව කළ විමර්ශනයකින් පසු මියගිය බාලවයස්කාර දැරිය සමඟ සබඳතාවක් පැවැත් වූ තරුණයකු පිළිබඳ හෝඩුවාක් පොලිසියට ලැබිණ. එපමණක් නොව දැරිය අභිරහස් ලෙස මිය යෑමට පෙර එම තරුණයා දැරිය සමඟ කතාකළ දුරකථන අංකය මෙන්ම දැරිය මිය යෑමෙන් පසු ඔහු විසින් භාවිතා කළ අංකය ද පොලිසිය විසින් සොයා ගනු ලැබීය. දැරිය මිය යෑමෙන් පසු ඔහු නව සිම් කාඩ් පතක් ලබාගෙන ඇති බව ද අනාවරණය විය.
පොලිස් පරික්ෂක දිනේෂ් ඇතුළු නිලධාරින් දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ දිගින් දිගටම කළ විමර්ශනවලින් පසු ඔවුන් දෙදෙනා 2018.09.28 වැනි දින දෙදෙනා එදින එක් ස්ථානයක සිට ඇති බව සනාථ කරගැනීමට සමත් විය. දැරියගේ මළ සිරුර හමුවන්නේ 2018. 10. 02 වැනි දිනය. තරුණයාගේ දුරකථන වාර්තා අනුව 01 වැනි දින ඔහු සිටි ස්ථානය දඩැල්ල ලෙස හෙළිවද්දී ගාල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිණිගේ මහතාගේ උපදෙස් මත පො.කො 78828 ගීතප්‍රිය හා පො.කො 84371 ප්‍රියබන්දු යන පොලිස් නිලධාරීන් එම තරුණයා පිළිබඳ තොරතුරු සෙවීමට රත්නපුර ප්‍රදේශයට පිටත් කර යැවිණ. වැඩි දිනක් ගතවීමට පෙර එම තරුණයා පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරගැනීමට ඔවුහු සමත් වූහ. ඒ අනුව පොලිස් පරික්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා ඇතුළු කණ්ඩායමක් කිරිඇල්ල ප්‍රදේශයේ පිහිටි තරුණයාගේ නිවසට ගියහ.
දෙමහල් නිවසක් වූ එහි යට තට්ටුවේ සිල්ලර කඩයක් පවත්වාගෙන යමින් තිබූ අතර පොලිස් පරීක්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා මහතා විසින් පරික්ෂණවලදි අනාවරණය කරගත් දුරකථන අංකයට ඇමතුමක් ගත් අතර නිවසේ සිටි තරුණයකු අත වූ ජංගම දුරකථනය නාදවන්නට විය. එම දුරකථනය පොලිස් විමර්ශනවලින් අනාවරණය කරගත් තොරතුරුවලට සමාන වූවා පමණක් නොව එම තරුණයාගේ නම ද සිම්පත ලබාගැනීමේදී ඉදිරිපත් කර තිබූ ජාතික හැඳුනුම්පතේ නම විය. එහෙත් තරුණයාගේ පෙනුම වෙනස් වී තිබුණු අතර ඔහුගේ හිසේ සහ මුහුණේ වෙනසක් දක්නට ලැබුණි.
“සර් මෙයා රිය අනතුරකට ලක්වෙලා ගොඩක් කල් එක්තැන් වෙලා හිටියා. මොලයට ශල්‍යකර්මයක් කළා. පුතා කෙට්ටුවට හිටියේ. අනතුරෙන් පස්සෙ ගොඩක් මහත් වුණා” තරුණයාගේ මව පොලිස් පරීක්ෂක වරයාට එසේ කීවාය. පොලිස් අත්අඩංගුවට පත්වූ තරුණයා පසුව පොලිසිය ඉදිරියේ සියල්ල පාපොච්චාරණය කළේය. බාලවයස්කාර දැරියගේ අභිරහස් ඝාතනයේ තොරතුරු අනාවරණය වූයේ ඉන්පසුවය.
තමා සුනේත්‍රා සමඟ ගාල්ල මහමෝදරට පැමිණ කළ යුත්තේ කුමක්ද යන්න දස අතේ කල්පනා කළ බවත් පසුව එකම විසඳුම දෙදෙනාම එකට මියයෑම බව තමා කී බවත් ඔහු කීවේය. දැරිය ද ඊට එකඟ වූ නිසා ඔහු මහමෝදර ප්‍රදේශයේ වෙළෙඳසැල් කිහිපයකට ගොස් පැනඩොල් 12 කාඩ්පත් 05ක් මිලදී ගෙන විත් ඒවා කුඩු කර වතුර බෝතල් භාගයකට දමා දියකර සුනේත්‍රා ළඟ තිබු ප්ලාස්ටික් බෝතලය කපා ඉන් කොප්පයක් සාදාගෙන සාදාගත් පැනඩෝල් වතුර එයට දමා පානය කර තිබේ. එහෙත් තරුණයා පානය කොට ඇත්තේ ඉතා අඩු ප්රමාණයකි. ටික වෙලාවකින් සුනේත්‍රා සිහිසුන්ව ඇද වැටුණු පසු ඔහු ඇයගේ බෑගයේ තිබු සායක් ඉරා රෙදි පටියක් සාදා තොණ්ඩුවක් දමා වැටකෙයියා ගසක ගැට ගසා ඇත.
ඉන්පසු සුනේත්‍රා ඔසවාගෙන වැටකෙයියා ගස මතට නැඟීමට යෑමේදී පය ලිස්සා බිම ඇද වැටී අතර දෙවැනි වර ඔහු ඇය කර මත තබාගෙන වැටකෙයියා ගසට නැඟ ඇය තොණ්ඩුවට දමා තල්ලු කර තිබේ. දැරියගේ දෙපා බිම වැදීම වැළැක් වීමට ඔහු බිම පස් ද ඉවත් කර තිබේ. පසුව ඔහු කොළඹ බලා යන බසයක නැඟී රත්නපුරය බලා පිටත්ව ගොස් ඇත. අප්‍රේල් මස නිවාඩුවට ගමට ගොස් සිටියදී යතුරු පැදියක යමින් සිටියදී අනතුරකට ලක්වීමෙන් හිසට බරපතළ තුවාල ලබා ඇති මොහුගේ හිසට කරන ලද ශල්‍යකර්මයකින් පසු ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ.
බාලවයස්කාර දැරියක් නිත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැක පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ එම තරුණයා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණ.