මැතිවරණ වේදිකාවේ රස කතා | සිළුමිණ

මැතිවරණ වේදිකාවේ රස කතා

දා අපේ මැතිවරණ වේදිකාවේ අසන්නට ලැබු දේශපාලන රසකතා කියුම් කෙරුම් රට්ටුන් අසාගෙන හිටියේ ඉතා ආශාවෙනි. අදටත් අපේ පැරැන්නෝ ඒ රසවත් සිද්ධින් රස කර කර සිහිපත් කරති. සැබවින්ම අපේ රටේ දේශපාලනඥයන්ගේ චරිත හා බැඳී ඇත්තේ හරි අපුරු හා රසවත් කතන්දරය.

ගාල්ලේ උණවටුණේ පදිංචි කලාශූරි කලාභූෂණ කොට්ටව සිරිසේන රාළහාමිද දේශපාලන රසකතා කීමට රුසියෙකි. හේ ප්‍රබල දේශපාලන චරිත සමීපව ඇසුරු කළ හා කරන අයෙකි. 1947 වර්ෂයේ පැවති මහ මැතිවරණයේදී කවිකොළ මැතිවරණ සටනේ ප්‍රබල මාධ්‍යයක් බවට පත්ව තිබුණි.

“1947 මහමැතිවරණය සඳහා බිබිලේ මහජන මන්ත්ත්‍රීව සිටි ආචාර්ය විජයානන්ද දහනායක මහත්තයා ගාල්ල අසුන සඳහා නාම යෝජනා බාර දුන්නා. දහනායක මහත්තයාගේ ප්‍රතිවාදියා වුණේ ගාල්ල මන්ත්‍රීව සිටි එච්. ඩබ්ලිව් අමරසුරිය. අමරසුරිය මහත්තයා දකුණු පළාතේ සිටි කීර්තිමත් වැවිලිකරුවෙක් නිසා කරට කර සටනක් තිබුණා. ගොක් කොළයක් අදින තැනක, බෙරපදයක් ගහන තැනක, බණපදයක් කියන තැනක, දහනායක ඉදියි එතන කියලා කවි පත්තර ගහලා බෙදාහැරලා තිබුණා. අමරසුරිය මහත්තයාගේ නුගුණ ගැන සඳහන් කවි කෙළයක්ද ගසා දහනායක මහත්තයාගේ අධාරකරුවන් විසින් බෙදාහැරලා තිබුණා. අමරසුරිය මැතිතුමාට බිලිපිත්ත සුරතට දී, කොළඹුරුවන් බාන ලෙසට පිටත් කරමු උනවටුණට.... දහනායක මහත්තයා ඉදිරිපත් වෙලා තිබුණේ බොල්ෂෙවික් ලෙනින් පක්ෂයේ අපේක්ෂකයා විදිහට. අමරසුරිය මහත්තයා එජාපයෙන් ඉදිරිපත් වෙලා තිබුණා. ජය හිමිවුණේ දහනායක මහතාට. බොල්ෂෙවික්වරුන් හෝ ලෙනින් ගැන ගාල්ලේ අය දැනගෙන හිටියේ නැහැ.”

යක්කලමුල්ල කොට්ටව ප්‍රදේශයේ පැවති මැතිවරණ රැළියකදී වු අකරතැබ්බයක් ගැනද ‍ කොට්ටව රාළහාමි කීවේ සිනහවෙමිනි.

‘ඒ කාලයේ කොට්ටව ගමේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට ආචාර්ය ඇන් එම් පෙරේරා, රොබට් ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන, විජයානන්ද දහනායක ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඒ කාලයේ අපි පොඩි කොල්ලෝ බද්දේගම මන්ත්‍රී නීල් ද අල්විස් මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තමයි රැස්වීම සංවිධානය කරලා තිබුණේ. ‍ ඒ කාලයේ පොල්කොටවලින් තමයි වේදිකාව හදලා තිබුණේ. රොබට් ගුණවර්ධන මහත්තයා කතා කරන කොට වේදිකාව කඩාගෙන වැටුණා. නමුත් ප්‍රශ්නයක් වුණේ නැහැ යළි වේදිකාව ඉදිකරලා රැස්වීම පැවැත්වුවා‘

‘මගේ මතකය හැටියට 1953 වර්ෂයේ ඒ කාලයේ මගේ වයස අවුරුදු 17යි. වාසුගේ වයස අවුරුදු 11යි. වාසුගේ පියා විසින් දේවගිරි තේ කම්හල ඉදිකිරීමට ගෙපල ඇඳීමේ කොන්ත්‍රාත්තුව ලබාදිලා තිබුණේ මගේ පියාට හා ජොන් අප්පු කියන අයෙකුට. දැන් කාලයේ වගේ ගෙපල් කපන්න යන්ත්‍රසුත්‍ර තිබුණේ නැහැ. මිනිස් ශ්‍රමයෙන් තමයි හැම දෙයක්ම කළේ. වාසුත් ඇවිත් හිටියා ගෙපල කපනවා බලන්න. මම වාසු හා ගමේ කොලුපැටව් එකතුවෙලා කොළපොත් අරගෙන පස් කණ්ඩියේ ඉහළ සිට පහළට රූටා එමින් සෙල්ලම් කළා. අපි සෙල්ලම් කරන විට වාසුදේව වැඩකරන මිනිසුන්ගේ දෑත්වල ඇති කරගැට බලමින් දුක්වුණා. දිනක කුලිය වශයෙන් ලැබුණේ සොච්චම් වැටුපක්. ඒ වැටුප මදි බව වාසු කිවා. මේ අතර ගෙපල කපමින් සිටි ගැමියෙකු ගල් ඉන්නක් ඇනී මිය ගියා. ඔහු පස් කණ්ඩියේ උඩ සිට වැටුණේ එරිලා තිබුණු යකඩ ඉල්ලම් කුරක් මතට. අත්වැරදීමක් බව කවුරුත් පිළිගත්තා. නමුත් වාසු නිකන් හිටියේ නැහැ ‘මියගිය ගැමියාට ලොකු වන්දි මුදලක් ලබාදෙන්න කියලා වාසු තාත්තාට හා බාප්පාට බලකර සිටියා. එදා සිටම වාසුදේව දුප්පතා වෙනුවෙන් පෙනී සිටි බව කොට්ටව රාළහාමි අතීත කතාවක් සිහිපත් කරමින් කීවේය.

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන කේ. පී. අමරපාල සිය ඉපැරණි මතකයන් අවදිකරමින් මෙසේ කීවේය.

දහනායක මහත්තයා 56 මැතිවරණයෙන් ජයග්‍රහණය කළාට පසු ගාල්ලේ වෙ‍ළෙඳ සංගමයෙන් ඔස්ටින් කෙම්බ්‍රජ් කාර් රථයක් අරන් දුන්නා පාර්ලිමේන්තු යන්න. ඒ කාලයෙත් ආධාරකරුවන් අතර ගැටුම් තිබුණට විශාල වශයෙන් ගැටුම් තිබුණේ නැහැ. හොර ඡන්ද දැමීමත් සිදුවුණා. ඒ කාලයේ පෝස්ටර් ගැසුවේ නැහැ. ඒ ඒ පක්ෂවල ආධාරකරුවන් නිවාසවල කොඩි දමලා සහයෝගය පළ කළා. බද්දේගම ආසනය තරග කළ නීල් ද අල්විස් මහත්තයා මැරබලයට මුහුණ දීලා ජයග්‍රහණය කළා. එජාපයෙන් තරග කළ ඇතැම් අපේක්ෂකයන් ඡන්දය ගන්න ජනතාවට මුදල් පවා බෙදා දුන්නා. ඡන්ද ප්‍රථිඵල අහන්න ආධාරකරුවන් එක් ආධාරකරුවකුගේ නිවසකට රැස්වෙනවා. කඩල, මයියොක්කා තම්බලා කකා තමයි වයර්ලස් එකෙන් ඡන්ද ප්‍රථිපල ඇසුවේ.77 මැතිවරණ තමයි නරකම මැතිවරණය. යු.එන්.පිය ජයග්‍රහණය කළාට පසු ඉතා කැත විදියට විරුද්ධ පාක්ෂිකයින්ගෙන් පළිගත්තා” අමරපාල කීවේය.

කේ.එම්.ඒ චන්ද්‍රසිරි මහතා (පාල අයියා) අතීත සිද්ධින් සිහිපත් කරමින් මෙසේ කීවේය.

ඒ කාලයේ දැන් වගේ මැතිවරණයට තරග කරණ අපේක්ෂකයන් බොරු කීවේ නැහැ. විහිලු ස්වරුපයෙන් බොරුවක් කීවා මිසක් දේශපාලන ප්‍රතිපත්ති ගැන තමයි කතා කළේ. බොරුවලට රැවටුණු ඡන්ද දායකයන් හිටියෙත් නැහැ. දේශපාලන වේදිකාවල පොරොන්දුත් දුන්නා. නමුත් 77න් පසු තමයි මේ රටේ ඡන්ද ක්‍රමය දුෂිත තත්වයට පත්වුනේ 1958 දි ගාල්ලේ පාසල් පාපන්දු දහනායක කුසලානය කියලා පාපන්දු තරගාවලියක් පැවැත්වූවා. මා ඒ කාලයේ ඕල්සෙන්ස් විද්‍යාලයේ පාපන්දු කණ්ඩායමේ නායකයා. දහනායක මහත්තයා ඇවිත් තමයි කුසලානය ලබා දුන්නේ.. එදා 17 වසරක එජාප පාලනය පෙරලා දැමීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග රිචඩ් පතිරණ, අමරසිරි දොඩංගොඩ පෙරමුණ ගත්තා. 93 පළාත් සභා මැතිවරණයේදී ශ්‍රි. ල. නි. පක්ෂය වෙනුවෙන් අපි වැඩ කළේ නොයෙකුත් තර්ජන ගර්ජනවලට මුහුණ දෙමින් බව පාල අයියා කිවේය.

70 දශකයේ මැද භාගයේ දී පැවති කලා වැව අතුරු මැතිවරණයේ දී වු ඉතා රසවත් සිද්ධියක් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ සිහිපත් කළේ සිනහ වෙමිනි.

ඒ සමගි පෙරමුණ රජයේ පාලන කාලයයි. කලා වැව අතුරුමැතිවරණය පැවතියේ මේ කාලයේදිය. අගමැති සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය විදේශතව සිටි බැවින් කලාවැව ආසනයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ වගකීම බාරවී තිබුණේ වැඩබලන අගමැති මෛත්‍රීපාල සේනානායකටය. එවකට පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම මන්ත්ත්‍රීවරයා වු වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයන්ද රත්නමලල මහතාට සහයෝගය පිණිස කලාවැව ආසනයේ ගම්මානයක පැවති ප්‍රචාරක රැළියකට එක් වූයේ බැසිල්, විලී ගමගේ ඇතුළු පිරිස සමඟය. වේදිකාවක් ගසා නිල් කොඩි ඇද රැස්වීම් භූමිය සරසා තිබුණි. රැස්වීම සඳහා පැමිණ සිටියේ 20කටත් වඩා අඩු අධාරකරුවන් පිරිසකි. එවකට සමගි පෙරමුණු රජයේ මන්ත්‍රීවරයකු වු මහින්ද රාජපක්ෂයන්ද මෙම රැස්වීම ඇමතුවේය. මැතිවරණ ප්‍රචාරක රැස්වීමේ ආධාරකරුවන් සුළු පිරිසක් සිටිම මහින්ද රාජපක්ෂයන්ගේ හිතට ඇල්ලුවේ නැත. හේ වේදිකාවෙන් බැස විලී ගමගේ අසලට පැමිණියේය. විලී උඹත් මොනවා හරි කතා කරපන් මහින්ද රාජපක්ෂ කීවේය; අවශ්‍ය නැහැ විලී කිවේය. නැහැ නැහැ වචන දෙක තුනක් කතා කරපන් මහින්ද රාජපක්ෂ කීවේය. මහින්ද රාජපක්ෂයන්ගේ පෙරැත්තය නිසාම විලී ගමගේද වේදිකාවට ගොඩවී කතාවක් කළේය. ඒ වන විට රැස්වීමේ ආධාකරුවන් තුන් හතර දෙනෙකුට වඩා නොසිටියහ. හිටපු අධාරකරුවන්ද යන්නට ගියහ.

මහින්ද රාජපක්ෂයන් කොළඹ ඇවිත්, කලාවැව රැස්වීමේ විලී කතා කරන කොට හිටියේ තුන් හතර දෙනයි. ඒ අයත් ඇවිත් හිටියේ මේස පටු ගෙනියන්න කියලා මහා ප්‍රචාරයක් කරලා තිබුණා. එතුමා ඉතින් මේ වගේ වැඩ කරනවා ආණ්ඩුකාර විලී ගමගේ සිනහවෙමින් කිවේය. මේ අතර විලී ගමගේ අකරතැබ්බයකට මුහුණ දුන්නේය. යළි කොළඹ බලා ඒ සඳහා විලී ගමගේ පැමිණි ජිප් රථයේ ඩිසල් ප්‍රමාණවත් නොවීය. ඔහු අත මුදල්ද නොවීය.

“පස්සේ අපි කලා වැව තිබු මැතිවරණ කාර්යාලයට ගිහින් ඉතිරි වෙලා තිබු පොස්ටර් ජිප් රථයට පටවා ගෙන එ්වා පත්තර කඩයකට විකුණලා ඒ සල්ලිවලින් ඩීසල් ගහගෙන කොළඹ ආවා.” යැයි ඔහු කීවේය.

 

Comments