රිවස්ටන්වලින් නව තුඩැල්ලෙක් හමු වෙයි | Page 2 | සිළුමිණ

රිවස්ටන්වලින් නව තුඩැල්ලෙක් හමු වෙයි

ව සර්ප විශේෂයක් මෙරටට හඳුන්වාදීමට ලන්ඩන් ස්වාභාවිද්‍යා කෞතුකාගාරයේ (NHM) උරග හා උභයජීවී පර්යේෂකයකු හා පරිණාමික ජීව විද්‍යාඥ හා සුබෙදුම් විද්‍යාඥයෙක් වන ඩේවිඩ් ගොවර්ට හැකි විය. ඒ මේ වසරේ හඳුනා ගත් සිව්වන සර්ප විශේෂයයි. අතීතයේදී එකතු කරන ලද කෞතුක නිදර්ශක විශ්ලේෂණය කිරීම මඟින් ඔහු මෙම සොයාගැනීම සිදු කර ඇත. විද්‍යාත්මකව Rhinophis mendisi නමින් හඳුන්වන මෙම සර්ප විශේෂය ශ්‍රී ලංකාවේ උරග හා උභයජීවී විද්‍යාව සම්බන්ධ කීර්තිමත් ජෛව විද්‍යාඥයකු වන ජේෂ්ඨ උරග හා උභයජීවී විද්‍යාඥ මෙන්ඩිස් වික්‍රමසිංහට ගෞරව පිණිස නම් කර ඇත. හෙළ බසින් මෙන්ඩිස්ගේ තුඩුල්ලා හා ඉංග්‍රීසි බසින් Mendis' Shieldtail ලෙසින් නව විශේෂය පොදු ව්‍යවහාරයට පැමිණ තිබේ. මෙම නව සොයාගැනීම ඇතුළත් විද්‍යා පත්‍රිකාව zootaxa විද්‍යා සඟරාවේ (ජර්නලයේ) පසුගියදා (2020-07-13) වෙළුම් අංක 4810 හි තෙවන කලාපයේ පළ විය.

වසර 28 වැඩි කාලයක් අප රටේ විවිධ ප්‍රදේශ හා වනාන්තරවල කටයුතු කරමින් සර්පයන් පිළිබඳව පොදුජනතාව දැනුවත් කරමින් නව විශේෂ 30කට අධික සංඛ්‍යාවක් විද්‍යාඥ මෙන්ඩිස් විසින් සොයාගෙන ඇත. ලොවින්ම තුරන් වී ගියා යැයි සැලකුණු විශේෂ නැවත සොයගනිමින් සොබාදාහම හා වනජීවීන් පිළිබඳ පර්යේෂණ පත්‍රිකා 50 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමටද හෙතෙම සමත් විය. පසුගියදා ඔහු විසින් සොයාගත් නව තුඩුල්ලා නම් කළේ සමන්ත ගුණසේකරගේ නමිනි. මේ ඒ කතාවය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘති (UNDP) ආයතනයෙන් නකල්ස් කඳුකරයේ ආරක්ෂාව වෙනුවෙන් සංරක්ෂණ කටයුතු සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබුණි. මෙන්ඩිස් ඇතුළු පිරිස එකී සංරක්ෂණ කටයුතු සඳහා සඳහා ඉල්ලුම් කළ අවස්ථාවේ මුදල්ප්‍රතිපාදන ලබාදීමට අනුමතිය හිමි විය. ඒ අනුව නකල්ස් රක්ෂිතයේ දැනට අප නොදන්නා ජීවින් හඳුනා ගනිමින්, ඔවුන් නාමකරණය කිරීම තුළින් මෙහි තිබෙන ජෛව විවිධත්වය වැඩි කර ‍ඒ තුළින් සංරක්ෂණ ක්‍රමවේද තවතවත් තහවුරු කිරීමත්, ඒ තුළින් ජනතාව දැනුවත් කිරීමත් මේ ව්‍යාපෘතියේ අරමුණ විය. මේ ආකාරයට පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටින අතරවාරයේ මෙන්ඩිස් ඇතුළු පිරිසට මේ අපූරු සත්වයා හමු විය. පරික්ෂා කර බැලීමෙන් අනතුරුව ඔවුන් මෙතෙක්කල් හඳුනාගෙන සිටි තුඩැල්ලන්ට වඩා මෙම නව තුඩැල්ලාගේ විශේෂත්වයක් ඇති බව පෙනී ගියේය. ඒ අනුව මේ සතා පිළිබඳව අධ්‍යයනය කටයුතු ආරම්භ කෙරිණි.

මුලින්ම මේ තුඩැල්ලා ඔවුන්ට හමු වූවිට මෙම සත්වයා ගැන කිසිදු තැකීමක් නොකළේය. ඒ මීට ප්‍රථම රිවස්ටර්න්වල ගම්මඩුව ස්ථානයේ සිට මේ හා සමාන තුඩැල්ලකු හඳුනාගෙන සිටි නිසාය. ඉරි වකුටුල්ලා හෙවත් පිලිප්සිගේ තුඩැල්ලා (Rhinophis phillipsi) ලෙස නම් ලද එකි තුඩැල්ලා මීට බෙහෙවින් සමාන විය. එනිසා තුඩැල්ලා දුටුගමන් සියලු දෙනා විශ්වාස කළේ පිලිප්සිගේ තුඩැල්ලා කියාය. එනිසා මේ සත්වයාට ‘Rhinophis phillipsi’ කියා සටහනක්ද යොදා තිබුණි. නමුත් පසුව ඔවුන්ට මෙම සත්ත්වයා රයිනොසිප් පිලිප්සිට වඩා කොට තුඩැල්ලෙක් බව වැටහිණි. කොට නම් මෙම සත්වයාගේ අෂ්ථි සැකැස්ම පවා වෙනස් විය යතු විය. එසේ නම් කොඳු ඇට ප්‍රමාණය, ඉළඇට ප්‍රමාණය හා කොරල ප්‍රමාණය අනිවාර්යයෙන්ම අඩු විය යුතුය. එ් අනුව සත්වයා පරික්ෂා කෙරිණි. එවිට වැටහී ගියේ මේ සත්වයා වෙනත්සතකු බවයි. ඒ අනුව රූප විද්‍යාත්මකව බාහිර දේහයේ පිහිටීම නිරීක්ෂණය කෙරිණි. ඒ අනුව වසර එකහමාරක් පමණ දිගැදුණු පරීක්ෂණවලින් අනතුරුව මෙම තුඩැල්ලා කිසිදු ලෙසකින් වෙනත් තුඩැල්ලකු හා සමාන නොවන බව තහාවුරු විය.

තුඩුල්ලන්ගේ ගහණය කොපමණ සංඛ්‍යාවක්ද යන්න ගණනය කිරීම ඉතාම අසීරු කැරුණකි. ඊට ප්‍රධානතම හේතුවක් වන්නේ මොවුන් පස් යටට වී සිටින ජීවීන් කොට්ඨාශයක් වීමයි. මීටර් 1000ට වඩා උසින් වැඩි කඳු මුදුන් ආශ්‍රිත ප්‍රදේශවල මෙම සත්වයා දකින්න ලැබේ. එසේම මෙම මුදුන් පසු කර බෑවුමට එනවිට වළාකුළු වනාන්තර නොවන වියළි අන්තර්මැදි කලාප වේ. ඒ දෙසට ගමන් කළ සත්වයකුට නැවත කඳු මුදුන් ප්‍රදේශවලට යා නොහැකිය. එසේ බලනවිට බොහෝදුරට හුදෙකලා වූ පිරිසක් මෙම ස්ථානයේ සිටින බව අනුමාන කළ හැකිය.

මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයකුට මේ සත්වයා දැකගැනීමට නම් රිවස්ටර්න් කඳු මුදුනටම පැමිණිය යුතුය. එසේ පැමිණියද ඔවුන් දැකගැනීම එතරම් ලෙහෙසි කාර්යයක් නොවේ. මන්ද ඔවුන් පොළොව මතුපිටට පැමිණෙන්නේ රාත්‍රී කාලයට පමණි. එසේ පැමිණ මේ සතුන් පණුවන් වැනි කුඩා සතුන් ආහාරයට ගනී. මෙම සත්ත්ව විශේෂය දහවල් කාලයට පොළොව මතු පිටට නොපැමිණෙන අතර, අව්වට නිරාවරණය වූ විට විජලනය හේතුවෙන් මරණයට පත් වේ. එසේම රාත්‍රී කාලයේ සැරිසරන බස්සන් වැනි විලෝපිකයන්ගෙන්ද මේ සත්වයන්ට තර්ජන එල්ල වේ. එනිසා පස් හා කොළරොඩු යට සැඟව ඉන්නා මේ සත්ත්ව විශේෂය බැලීම තරමක් දුෂ්කර කාර්යයක් වී තිබේ. වැසි කාලයට අඟල් හයක් පමණ පොළව යට සැඟව ගන්නා මොවුන්, වියලි කාලයේදී ඊටත් වඩා ගැඹුරට ගමන් කරයි. ඊට හේතුව වන්නේ ඔවුන්ගේ සම නිරන්තරයෙන් තෙත්ව පවත්වා ගැනීමට අවැසි නිසාය. උෂ්ණත්වයට විවෘත්ත වූ විට විජලනය හේතුවෙන් වුන් මිය යන බැවිනි.

කෙනෙකුට මේ සත්ත්වයා බැලීමට කොතරම් අවැසි වුවත් විශේෂ අවසරයක් නොමැතිව මෙම සත්වයා බැලිය නොහැකිය. මන්ද යත් මෙම රක්ෂිතයේ පොළොව හැරීම සපුරා තහනම්ය. මේ ජීවීන්ගේ පැවැත්මට වනවැස්ම මේ ආකාරයෙන් අඛණ්ඩව පැවතීම ඉතාමත් වැදගත්ය. රක්ෂිතයට ජලය ලැබෙන්නේ හෝ ජලය රුඳී තිබෙන්නේ එසේ වුවහොත් පමණි. මෙනිසා අප දන්න නොදන්න බෝහොමයක් සත්ව විශේෂයන්ට වන වැස්ම ඉතාම වැදගත්වේ. එසේ නොමැති වුව හොත් අලියාගේ සිට මෙවැනි කුඩා සත්වයන්ගේ පවා ජීවිත තර්ජනයට ලක්වේ. මෙනිසා මෙහි සංචාරයක නිරත වන්නේ නම් වනසංරක්ෂණ නිලධාරියකු කැටව යාම ඉතාම වැදගත් වේ. එවිට අහම්ඹෙන් හෝ මේ සත්වයා දැකගැනීමට අවස්ථාවත් ඔබටත් සැලසේ. එසේ වුවද එය 100% ස්ථීර නැත.

‘මේ වනවිට නකල්ස් රක්ෂිතයේ එයටම ආවේණික උරගයන් හා උභය ජීවින් වර්ග 23ක් පමණ සිටිති. මීට අමතරව අප නොදන්නා තව සතුන් බොහෝමයක් මෙහි සිටිය හැකි බවට අප අනුමාන කරනවා. මෙතනදි වැදගත්ම දේ වෙන්නේ මේ සත්වයින් මෙම ප්‍රදේශයටම පමණක් ආවේණික වීමයි. ඒ නිසා අප මෙහි කිසියම් කාර්යයක් සිදුවන විට එකී පාර්ශ්වයන් හා කතිකා කර එකඟතාවකට පැමිණ මේ ජෛව විවිධත්වයට හානිනොවන ආකාරයට ඒ කටයුතු සිදු කිරීමට උපදෙස් ලබාදේ. මෙම තීන්දු තීරණ ගැනීමේදී වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව අපට බොහෝසෙයින් මේ සඳහා සහයෝගය ලබාදුන් බව සිහිපත් කළ යුතුය‘

යම් ප්‍රදේශයක් මිනිසුන්ගේ සුබ සිද්ධිය සඳහා සංවර්ධනය කිරීමේදී මෙවැනි විද්‍යාත්මක කාරණා පිළිබඳව සැලකිලිමත් වීම ඉතාම වැදගත් වේ. ඒ සඳහා මෙවැනි ජෛව විද්‍යාත්මක දත්ත බෙහෙවින් මහෝපකාරී වේ. මේ නිසා මේ ප්‍රදේශයට තිබෙන වටිනාකම පවා ඉහළ යයි. මේ සංරක්ෂණ කාර්යයේදී සිදු වූ වැදගත්ම දේ ලෙස විද්‍යාඥ මෙන්ඩිස් සඳහන් කර සිටියේ “අපි මෙතෙක් නොදැනුවත්ව සිටි සත්ව කොට්ටාශයකට ජීවත් වෙන් අවශ්‍ය වපසරිය සකස් කර දීමට තමනට හැකි වූ බවයි.

සමන්ත ගුණසේකර මේ රටේ ජෛව විවිධත්වය රැකගැනීමින් පරිසරය සුරක්ෂා කිරීම උදෙසා තත්පර වූවෙකි. මෙරටින් පිටරටවලට නීතිවිරෝධී ආකාරයට සතුන් රැගෙන යාම වළකාලන්නට විශාල වැඩ කොටසක් ඔහු අතින් සිදු විය. රේගු නිලධාරියකු වශයෙන් සිටියදී මේරටින් පිටට නීතිවිරෝධී ආකාරයෙන් සතුන්, සත්ව කොටස් සහ ජාන රැගෙන යාම වැළැක් විය හැකි ක්‍රමවේදය නිර්මාණය කළේ ඔහුය. ජෛව විවිධත්ව හා දේශීය උරුම ආරක්ෂා කිරීමේ අංශය ලෙස එය අද රේගුව සහ ගුවන්තොටුපළේ ස්ථාපිතව පවතී. මෙවැනි ඒකකයක් ලොව ප්‍රථම වතාවට හඳුන්වා දුන් තැනැත්තා වන්නේද ගුණසේකරය. එනිසා මේ අපුරු සත්ත්වයා ඔහුගේ නමින් නම් කිරීම ඉතාම ප්‍රශංසනීය කටයුත්තකි.

හෙතෙම මෙරටට ආවේණික උඩවැඩියා ශාක, මිරිදිය මසුන් හා අනෙකුත් සතුන් පිළිබඳව ප්‍රමාණික පර්යේෂකයකු මෙන්ම විද්‍යාඥයකුද වේ. මේ කටයුතු සඳහා විශාල කැපකිරීමක් ද ඔහු විසින් කර ඇත. එමෙන්ම ලංකාවේ තිබෙන පරිසර ගැටලු විසඳීම සඳහා සිය ජීවිත කාලය කැප කළ අයකු වූ නිසා මේ නව සත්ත්වයා එතුමාට ගෞරව පිණිස ඔහුගේ නමින් නම් කිරීමට මෙන්ඩිස් ඇතුළු පර්යේෂණ කණ්ඩායම පියවර ගැනීම අපගේද පැසසුමට ලක්වේ. මේ හා සමඟාමීව තැපැල් සේවා දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශයෙන් මේ සත්වයාගේ රුව ඇතුළත් කරමින් මුද්දරයක්ද නිකුත් කිරීමට කටයුතු කිරීමද ප්‍රසංශනීය වේ.

Comments