
මරණ අබියස දශක තුනක් ජීවත් වූ ශ්‍රී ලාංකේය අපට ලෝකයේ යම් වෙනත් කිසිදු රටකට වඩා සාමයේ අගය පිළිබඳ අවබෝධයක් තිබේ. වත්මන් ජනාධිපති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයන්ගේ නායකත්වයෙන් එදා විජයග්‍රාහී මානුෂික මෙහෙයුම ආරම්භ කරමින් බෙදා වෙන් වන්නට තිබුණු ශ්‍රී ලංකාවට සැබෑ නිදහස උදා කළේ ලෝකයේ අති භයානකම ත්‍රස්තවාදී කණ්ඩායම යළි කිසි දිනක නැඟී සිටීමට නොහැකි ලෙස විනාශ කර දමමිනි. සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය මෙන්ම කොවිඩි 19 මාරක වසංගතය ඉදිරියේ අපගේ හමුදාවෝ “ඕනෑම අභියෝගයක් ජය ගත හැකිය; කළ නොහැක්කක් නැත” යන සටන් පාඨයෙන් ජාතිය අවදි කර දිවා රෑ නොබලා බුද්ධිමය මෙහෙවරක නොයෙදුණේ නම් ශ්‍රී ලංකාව ද මරණයේ දූපතක් වනු නිසැකය.
රණවිරුවෝ හා සාමය ගැන කතා කරන විටදී ලෝක සාමය උදෙසා ප්‍රබල අයුරින් දායක වන කුකුලේ ගඟ ජාත්‍යන්තර සාම සාධක පුහුණු අභ්‍යාස ආයතනය කිසිසේත් අමතක කළ නොහැකිය.
මෙම සුවිශේෂී සාම සාධක පුහුණු පාසල ඇත්තේ සබරගමුව, බස්නාහිර පළාත් සීමාවේ දර්ශනීය කුකුලේගඟ නිම්නයේය. පෘතුග්‍රීසි ආක්‍රමණිකයන් මරණ බියෙන් සලිත කළ කෝට්ටේ ව්‍යාඝ්‍රයා හෙවත් වීදිය බණ්ඩාර යුධ සේනාධිපතියා විසින් ඉදි කළ ඓතිහාසික පාලින්දනුවර ප්‍රදේශයේ මාකෙළි ඇල්ල හා කුකුලේ ගඟ බලාගාරය සමීපයේ පවතින මෙම අයතනයට මතුගම මොල්කාව මාර්ගයෙන් පිවිසිය හැකිය.
ලෝකයේ සාමය උදෙසා මුලින්ම අපේ සාම සාධක භට පිරිසක් ස්ථානගත වූයේ කොංගෝ රාජ්යටය. ඒ 1960 වර්ෂයේදී ය. මේ වන විට අපේ රණවිරුවන් විදේශීය රටවල සාමය උදෙසා සාම සාධක මෙහෙයුම්වලට සහභාගී වීමේ 60 වැනි අනුස්මරණය ද 2020 වසරට යෙදී තිබේ.
එක්සත් ජාතීන්ගේ සාම සාධක පුහුණු ආයතනය ශ්‍රී ලංකාවේ ආරම්භ වන්නේ වර්ෂ 2004 දී වන අතර මේ වන විට එයට වසර 16ක් සපිරේ. කුකුලේගඟ විදුලිබලාගාරයේ යටිතල පහසුකම් ඇති කිරීම සඳහා ඉදි කළ සුවිශාල ගොඩනැඟිලි සමූහයක් සහිත මෙම කලාපය බලාගාරයේ විදුලිය ජනනය කිරීමෙන් පසුව පාළුවට යමින් තිබිණ. එම භූමිය සහ ගොඩනැඟිලි හමුදාවට පවරා ගෙන 2004 දී වර්ෂයේදී මෙම ආයතනය ස්ථාපිත වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්ෂණය හා දායකත්වය ඇතිව ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් මෙය පාලනය වෙමින් පවතී. වත්මන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මෙහි අධීක්ෂකවරයා හා මාර්ගෝපදේශවරයා ලෙස කටයුතු කරනු ලබන අතර බ්‍රිග්‍රේඩියර් ඩී.එස්.එන්.කේ. සේනාධීර, බ්‍රිග්‍රේඩියර් ජේ.සී.පී. පක්ෂවීර, බ්‍රිග්‍රේඩියර් ඩී. ඒ. එල්. එස්. කේ. පෙරේරා, බ්‍රිග්‍රේඩියර් එල්.එම්. මුදලිගේ, බ්‍රිග්‍රේඩියර් ඒ. එම්. වීරසූරිය, බ්‍රිග්‍රේඩියර් ආර්.කේ.බී.එස්.කැටකුඹුර, බ්‍රිග්‍රේඩියර් පී.අයි.පතිරත්න, බ්‍රිග්‍රේඩියර් කේ. ප්‍රේමතිලක, බ්‍රිග්‍රේඩියර් එච්. පී. එන්. කේ. ජයපතිරණ, බ්‍රිග්‍රේඩියර් කේ. ඩබ්.ආර්.ද ආබෲ, මේජර් ජෙනරල් පී. අයි. පතිරත්න, කර්නල් ආර්. ඒ. සමරනායක, බ්‍රිග්‍රේඩියර් ආර්.ඒ. ඩී. එස්. ශාන්ත රණවීර යන නිලධාරීන් 2005 සිට මේ දක්වා මෙම ආයතනයේ සේනා විධායකවරු ලෙස ලෝක සාමය උදෙසා විශාල දායකත්වයක් ලබා දී තිබේ. 23782කට අධික සාම භටයන් පිරිසක් මෙම ආයතනයෙන් පුහුණු කර ලෝකයේ සාමය උදෙසා විදේශගතව සිටී. මෙම විදේශගත භටයන්ට ශ්‍රී ලංකාවේ හමුදා වැටුපට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් අමතර වැටුපක් ද ලබා දේ. ඒ අනුව මෙරට විදේශ විනිමය හිඟයට ද මෙම ආයතනය තුළින් සහනයක් සැලසේ.
විදේශීය රටවල කටයුතු කළ රණවිරුවන් 09 දෙනෙකුම මේ වන විට ලෝක සාමය උදෙසා ජීවිත පරිත්‍යාග කොට තිබේ. නි/66912 කපිතන් එච්. ඩබ්ලිව්. ජයවික්‍රම ශ්‍රිලපාහ, සෙ/551617 බනි 11 කරුණාරත්න එච්. ඒ. /103280 බනි 11 චමින්ද, එච්.එම්.එස්. සෙ/30130 සැරයන් විජේතිලක, නේට් ජේ.එස්.සී. සෙ/826637 සැරයන් රත්නායක ඒ.එම්.එම්. සෙ/310553 කෝප්‍රල් විජේසිංහ එච්.එම්.ආර්.එස්.පී. සෙ/826934 කෝප්‍රල් විජේකුමාර එස්.එස් සෙ/275678 කෝප්‍රල් ප්‍රේමසිරි එම්.පී.ඒ. සෙ/309723 ලාන්ස් කෝප්‍රල් උදය කුමාර ඩී.එම්.ජේ. එසේ ජීවිත පරිත්‍යාග කළ රණවිරුවෝය.
2004 සිට විදේශීය රටවල හමුදා නිලධාරීන් 50 පිරිසක් ද මෙම ආයතනයෙන් පුහුණුව ලබා තිබීම සුවිශේෂී කරුණකි.
ශ්‍රී ලංකා හමුදාව විදේශ රටවල සාමය සඳහා ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කරන සේවය පිළිබඳ ලොව පුරා ප්රචාරක යාන්ත්රනයක් ඇති කිරීම තුළින් ඇතැම් මානව හිමිකම් සංවිධාණ, බටහිර බලවතුන්, දෙමළ ඩයස්පෝරාව ආදී විවිධ කණ්ඩායම් ශ්‍රී ලංකාවට විරුද්ධව නඟන චෝදනාවලට ප්රබලතම පිළිතුරක් සැපයිය හැකිය. කුකුලේගඟ සාමසාධක ආයතනය එයට ප්‍රබලම සාක්ෂියක් බව මාකෙළිය කොස්ගුලන විහාරාධිපති වලකඩ මහින්ද තිස්ස, මෝල්කාව ශ්‍රී මහා විහාරාධිපති පරගොඩ සමිතතිස්ස ඇතුළු මහා සංඝරත්නයේ ද අදහසයි.
![]() |
සාම මෙහෙයුම්වල යෙදෙමින් |
පාලනයේ පහසුව සඳහා මෙම ආයතනය පාලන හා පුහුණු වශයෙන් කොටස් 2කට බෙදා ඇති අතර පුහුණු අංශය මඟින් පාඨමාලාවන්ට අදාළ පුහුණු රාජකාරී සිදුකරනු ලබයි. තුන් මසක පාඨමාලාව වන එහි අනිවාර්ය පාඨමාලා 11ක් ක්‍රියාත්මක වේ. කුකුලේගඟ සේනා විධායක බ්‍රිගේඩියර් සාන්ත රණවීර පවසන ආකාරයට එම පාඨමාලාවලට අමතරව දේශීය හා විදේශීය හමුදා නිලධාරීන් සම්බන්ධ වන එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් සිදු කරනු ලබන පාඨමාලා ද 05කි. ඒ අනුව එහි එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරී පාඨමාලාව, භකාස නිලධාරී පාඨමාලාව, සිවිල් සහ හමුදා සම්බන්ධීකරණ පාඨමාලාව, සිවිල් පුද්ගලයන් ආරක්‍ෂා කිරීමේ පාඨමාලාව සහ වෛද්‍ය ප්‍රතිචාර පිළිබඳ පාඨමාලාව පුහුණුව ලබා දෙන බව එහි ප්‍රධාන උපදේශක බ්‍රිගේඩියර් සමරනායක පැවසීය. එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති, නීති රීති සහ ඊට අනුබද්ධ වෙනත් සංවිධානවල කාර්යයන් ආදිය ද මෙම පුහුණුවට අයත්ය. මාලි රාජ්‍යය, හයිටි රාජ්‍යය, ලෙබනන්, දකුණු සුඩානය, චැඹී, බටහිර සහරාව,කොංගෝ රාජ්‍යය, අබෘ, බුරුන්ලූ, මධ්‍යම අප්‍රිකාව, ඉතියෝපියාව යන රටවල්වල සාම සාධක රාජකාරී සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වෙති. ගතවූ වසර 16 තුළ දේශීය හා විදේශීය සාම භටයන් 3002ක් මෙම ආයතනයෙන් පුහුණුව ලබා ඇති අතර සාමසාධක රාජකාරි සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් විදේශවලදී දැක්වූ විශිෂ්ට දක්ෂතාවය කුසලතාවන් උදෙසා විදේශ සේවා, සාමසාධක සේවා පදක්කම් ද හිමි කරගෙන ඇත.
වත්මන් යුද්ධ හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වශයෙන් සේවය කරන කාල සීමාවේදී විවිධ බලවේග හමුවේ එඩිතරව කටයුතු කළ අතර මෙම පුහුණු ආයතනය වෙත අවශ්‍ය ජාත්‍යන්තර පිළිගැනීම ලබා දීම සඳහා ද කටයුතු කළේය. තවද දැනට ක්‍රියාත්මක වන මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරි සඳහා භට පිරිස් යොමු කරවීමට ද ඔහු මුලිකත්වය ගෙන කටයුතු කළේය.
පසුගිය කාලයේ කුකුලේගඟ කලාපයේ සිදු වූ හදිසි ආපදාවන් රැසකදීම මෙම ආයතනයේ නිලධාරීන් ක්ෂණිකව ඉදිරිපත්ව ජනතාවගේ දුක සැපෙහිදී සිදු කළ මෙහෙවර ද සදා අනුස්මරණීයය. මීමැස්මොර රෝගයෙන් පෙළෙන මාකෙළිය ප්‍රදේශයේ ජීවත් වන දෙදරු පියකු වන කේ. උපාලි ජීවත් වූයේ කටු මැටි පැල්පතකය. අව්වට, වැස්සට පින්නට ගොදුරු වෙමින් ජීවත් වූ පැල්පත වෙනුවට එම පවුලට සියලු ගෘහ භාණ්ඩ ද සමඟ කාමර හතරකින් යුත් අංග සම්පූර්ණ නිවසක් ලැබුණේ සාමසාධක හමුදාවේ මානුෂික ගුණාංග නිසාය. වරින්වර කඳු කඩා වැටීමෙන් කුකුලේගඟ මාර්ගය අවහිර වෙද්දී එම බාධක ඉවත් කොට ජනතාවට හා වාහනවලට ගමන් කළ හැකි ලෙස යථා තත්ත්වට පත් කළේ ද අපේ රණවිරුවෝය. එපමණක් නොව කඩා වැටුණු පස් කඳුවලට බිලි වූ අසරණ ජීවිත ගොඩ ගන්නට සාම භටයන් හා නිලධාරීන් ප්‍රමුඛත්වය ගෙන සිදුකළ කාර්යයන් මෙන්ම විපතට පත් ජනතාව සොයා ගොස් ඔවුන්ට ආහාරපාන ලබා දෙමින් සිදුකළ සේවාව ද විශිෂ්ටය. “හතර පේරුවේ දායකයන්ට වඩා අපිට සාම හමුදාවෙන් විශාල ශක්තියක් ලැබෙනවා” යැයි පාලින්දනුවර ශාසනාරක්ෂක බල මණ්ඩලය ප්‍රකාශ කළේ ඒ නිසාමය. 2007 මහ ජල ගැල්මේදී සියලු මාර්ග අවහිර වී දරුවෙකු බිහි කිරීමට සූදානම්ව සිටි ගැබිණි මවකට රෝහලට යාමට නොහැකිව වේදනාවෙන් සිටියදී ආයතනයේ හමුදා වෛද්‍යවරුන් පිහිට වීම නිසා එම මවගේ ජීවිතය ද ආරක්‍ෂා වී දරුවා නිරුපද්‍රිතව බිහි විය. එම ආයතනය තිඹිරි ගෙයක් වීම අනුස්මරණය කරමින් ඒ දරුවාට ‘සාම සම්පත්’ යනුවෙන් නම් තැබිණ.
“අපේ වගකීම රට අභ්‍යන්තරයේ මෙන්ම ලොව පුරා ඇතිවන යුධ ගැටුම්වලදීත් ආපදා ආදියේදීත් ජනතාවට පිහිට වීම සහ සාමය ඇති කිරීමයි” පිළිසඳර අවසන් කරමින් වත්මන් සේනාවිධායක බ්‍රිගේඩියර් ශාන්ත රණවීර පැවසීය. කුකුලේගඟ සාමසාධක පුහුණු ආයතනය විවෘත කරමින් එදා හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක සිදු කළ කතාව මේ මොහොතේදී ද සිහි වේ. “මනුෂ්‍යයා ජාති, ආගම්, කුල, වර්ණ, දේහ සීමා අතර කොටු වෙලා ජීවත් වීමට දරන විවිධාකාර උත්සාහයන් නිසා යුධ ගැටුම් ඇති වෙනවා. එසේ දැල්වෙන යුධ ගිනි දැල් නිවා සාමයේ අමා වැසි වස්වන සැබෑ සාමයේ දූතයන් පිරිසක් ශ්‍රී ලංකාවෙන් බිහි කිරීමට මෙම ආයතනය සමත් වන බව මාගේ විශ්වාසයයි. ” එදා හිටපු අගමැතිවරයා පැවසූ එම අදහස සදාකාලි සත්‍යයක් වෙමින් පවතින බව කුකුලේගඟ සාම සාධක ආයතනයේ ක්‍රියාකාරීත්වය තුළින් පැහැදිලි වේ.