
නැගෙනහිර පළාතේ වර්ග කි.මි. 2727 ක් පුරා දිවෙන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සේරුවිල රජමහා විහාරයේ සිට තෝපූර් දෙසට කි.මී. 3 ක් ගමන් කළ විට විල්ගම්වෙහෙර රජමහා විහාරයට හැරෙන මංසන්ධිය හමුවේ. එම මංසන්ධියෙන් වමට හැරී කිලෝ මීටරයක් පමණ ගමන් ගත් විට විල්ගම්වෙහෙර රජමහා විහාරයට පිවිසිය හැකිය. මහාවංශයේ හා චූලවංශයේ දැක්වෙන පරිදි ගෝකණ්ණ, ගෝණගාමක හා ගෝකර්ණ ලෙස අතීතයේ දී ත්‍රිකුණාමලය හඳුන්වා ඇත.
පළාත් පාලන ආයතන යටතේ ගත්කල එහි ප්‍රධාන වශයෙන් නගර සභා දෙකක් ලෙස ත්‍රිකුණාමලය හා කින්නියා දැක්වේ. ඒ යටතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ක් හා ග්‍රාමනිලධාරී කොට්ඨාස 230 කින් පරිපාලන ව්‍යුහය සමන්විතය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලෙස ත්‍රිකුණාමලය (නගර කඩවත්), පදවිශ්‍රීපුර, ගෝමරන්කඩවල, කින්නියා, මූතූර්, සේරුවිල, කන්තලේ, කුච්චවේලි, මොරවැව, තඹලගමුව හා වෙරුගල් යනාදි වශයෙන් දැක්විය හැකිය.
උතුරින් මුලතිව් දිස්ත්‍රික්කය ද බටහිරින් අනුරාධපුර දිස්ත්‍රික්කය ද දකුණින් මඩකලපුව හා පොළොන්නරු දිස්ත්‍රික්ක වලින් ද මායිම්ව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පිහිටා ඇති අතර ස්වභාවික වරායකින් යුතු, ඓතිහාසික පසුබිමක් ඇති කෘෂිකාර්මික හා ධීවර වැනි ආර්ථික කටයුතු වලින් සමන්විත ස්වභාව සෞන්දර්යයෙන් අනූන ස්ථානවලින් යුක්තය.
බුදුන් වහන්සේගේ දකුණු දළඳාව නිධන් කර ඇතැයි විද්වතුන් විසින් අනුමාන කරන වල්බිහිව උස් ගොඩැල්ලක් ලෙස පැවතුණු විල්ගම්වෙහෙර, පුරාවිද්‍යා දෙපාර්ත්මේන්තුව විසින් 2015 දී සංරක්ෂණය කිරීම පිණිස කැණීම් කටයුතු ආරම්භ කළ අතර මහමෙව්නා අසපුවෙ මූලිකත්වයෙන් එම ස්තූපය 2016.01.26 වන දින බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා ප්‍රතිසංස්කරණය කිරීමට මුල්ගල තැබීය.
ස්තූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන අතරතුර ස්තූප මළුවේ කැණීම මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් 2018 වර්ෂයේ ජනවාරි මසදී ආරම්භ කෙරිණි. මෙම කැණීමෙන් අවදි කිහිපයකට අයත් පුරාවිද්‍යා සාධක රැසක් සොයා ගැනීමට හැකි වූ බවත් එහි දී හමු වූ පුරාවස්තු පිළිබඳවත් 2020.07.12 වන දින පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි අදිකාරී හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ උතුරු පළාතෙ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය අර්ජුන තන්තිලගේ යන විද්වතුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කරනු ලැබීය.
ස්තූපයේ මළුව ගඩොල් භාවිත කොට ඉදිකර තිබීම සුවිශේෂීය. එවැනි ගඩොළු භාවිත කොට තනා ඇති ස්තූපමළු මෙරටින් හමු වන්නේ ඉතා ස්වල්ප වශයෙනි. පුරාවිද්‍යා දෙපාර්ත්තමේන්තුවේ අධීක්ෂණය යටතේ 2018 වර්ෂයේ දී මෙහි කැණිම් කටයුතු ආරම්භ කළ ද විටින් විට ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය මත හා විවිධ කරුණු හේතුවෙන් එහි කැණීම් කටයුතු අපේක්ෂිත කාල වකවානුවේ දී අවසන් කිරීමට නොහැකි විය. කැණීම් කටයුතු නැවත 2020 දී ආරම්භ කළ අතර වර්තමානයේ දී ද මළුවේ කැණීම් සිදු කරනු ලබයි.
කන්තලේ සේරුවිල මංගල මහා විහාරයට සැතපුම් දෙකක් පමණ දුරින් පිහිටි විල්ගම්වෙහෙර මළුවේ සිදු කළ කැණීම්වලින් හමුවු සාධක අතර ලංකාවේ පැරණිම ඇත් පවුරක් යැයි විශ්වාස කෙරෙන නටබුන් හමු වී ඇත. එමෙන්ම ඉපැරණි ශෛලමය ඡත්‍ර 4 ක් ඇතුළු පුරාවස්තු රැසක් මතුකර ගැනීමට හැකිවිය.
ක්‍රි.පූ. 2 වන සියවස දක්වා මෙහි ඓතිහාසිකත්වය විහිද යන බැව් දැක්වේ. ස්තූපය විටින් විට විශාල කොට සාදා ඇතැයි යන්න, ස්තූපයේ පේසා වළලු, පැරණි බදාම කොටස්, පාදමේ ඇති බොරදම් හා ගඩොල්වල අවශේෂ තුළින් සනාථ වේ.
විල්ගම්වෙහෙර ස්තූප කැණීමේ දී සහස්සමල්ල රජු සමයේ යැයි අනුමාන කරන කාසි, කළු රතු (Black & Red Wear) මැටි බඳුන් කැබලි, වර්ණාලේපිත රතු මැටි බඳුන් කැබලි, මයිකා මිශ්‍රිත මැටියෙන් යුතු වළං කැබලි 02 ක්, වළලු, යබොර , අඟුරු මිශ්‍රිත පස් නියැදි හා මැටි, වීදුරු, අර්ධ මාණික්‍ය පාෂාණ යනාදි අමුද්‍රව්‍යයන්ගෙන් නිර්මිත පබළු යනාදි වශයෙන් විවිධ පුරාවස්තු රැසක් හමු වී ඇත. මෙහි මළුවට පිවිසීම සඳහා සතර දිශානුගතව දොරටු සතරක් පිහිටා ඇති අතර මල් ආසන හතරක සාධක ද දක්නට ලැබේ. ස්තූප විකාශනයේ මුල්ම කාලීනව දක්නට ලැබෙන ඡත්‍ර හා යූප ගලක්, පුන්කලසක් සහිත සිරිපතුල් ගලක්, මළුව කැණීම් කිරීමේ දි හමුවී ඇත.
සේරුවිල, නෙළුම්ගම පිහිටි මෙම විල්ගම්වෙහෙර රජමහා විහාරය ගාමිණී අභය (දුටුගැමුණු) මහරජුගේ පියාණන් වූ කාවන්තිස්ස රජු සමයේ ගිරි අභය නම් ප්‍රාදේශීය රජු විසින් ඉදි කරවනු ලද බව සඳහන්ය. මෙම පුදබිම මහ රහතන් වහන්සේලාගේ වැඳුම් පිදුම් වලට බඳුන් වූ විහාරයක් වූ බව ද කියැවේ.
ධාතු වංශයේ දැක්වෙන පරිදි සේරුවිල කෙළවර පැරණි සෝම නුවර, ගිරි අබා රජතුමා විසින් බුදුන් වහන්සේගේ දකුණු දළඳාව නිධන් කොට ස්තූපයක් කර වූ බව දැක්වේ. ඒ අනුව සේරුවිල කෙළවර සෝම නුවර පවතින්නට ඇතැයි යන්න විද්වතුන්ගේ මතයයි. සේරුවිලේ ජලය දකුණු දිසාවෙන් ඇතුළුව උතුරු දිසාවෙන් පිටවන බැවින් සේරුවිල කෙළවර, උතුරු කෙළවර විය හැකිය යන්න ආචාර්ය අර්ජුන තන්තිලගේ අදහසයි. විල්ගම්වෙහෙර යනු සේරුවිල උතුරු දිසාවේ පවතින එකම ස්තූපයයි.
කාවන්තිස්ස රජු සේරුවිල මංගල මහා සෑය ඉදි කොට එහි ධාතු තැන්පත් කර අවසානයේ සඟ සතු කිරීම උදෙසා සෝම නුවර සිට පෙරහැරකින් සේරුවිල ස්තූපය දක්වා පැමිණි බවත් රජු සන්ධ්‍යා භාගයේ ඇතුන් පිරිවරාගෙන සෝම නුවරින් පිටත්ව සේරුවිල ස්තූපයට කරුවල වැටෙන්නට පෙර පැමිණි බවත් ධාතු වංශයේ දක්වා ඇත. ඒ අනුව සෝම නුවර යනු සේරුවිල ස්තූපයට ඉතා සමීපව පිහිටන්නට ඇතැයි යන්න අවබෝධ වේ. ධාතුවංශයේ දැක්වෙන භූමි දර්ශනය අනුව ප්‍රධාන අවස්ථා දෙකක් මෙම ස්තූපය හා සම්බන්ධ වෙන බව කියැවේ. එනම් සේරුවිල කෙළවර ගිරි අබා රජතුමා සහ සෝමාවතී බිසව විසින් දකුණු දළඳාව නිධන් කොට ස්තූපයක් කරවීම හා සෝමනුවර සිට කාවන්තිස්ස රජු පෙරහැරකින් සන්ධ්‍යා භාගයේ කළුවර වැටෙන්නට මත්තෙන් වැඩි කාලයක් ගත වීමට පෙර පැමිණිමයි. මේ අනුව අනුමාන කළ හැක්කේ පැරණි සෝම නුවර ලෙස හැඳින් වූ ස්ථානයේ විල්ගම්වෙහෙර නමින් වත්මනේ කැණිම් කරන මෙම සේරුවිල ස්තූපය පිහිටා ඇති බවය.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායකයන් ප්‍රකාශ කරන්නේ මෙම ස්තූපය ඉතාම වැදගත් දාගැබක් බවට පැහැදිලිව පෙනෙන බවත් අවදි තුනකදි මේ ස්ථානය විකාශනය වන්නට ඇති බවය. පූජ්‍ය අළුදෙනියේ සුබෝධ හිමි වත්මන් විල්ගම්වෙහර විහාරාධිපති ලෙස කටයුතු කරනු ලබනු අතර උන් වහන්සේගේ අපරිමිත කැපවීම මෙහි දියුණුවට හේතු වී තිබේ. එසේම බුදුන් වහන්සේගේ ලලාට ධාතුන් නිධන් කළ සේරුවිල මංගල මහා ස්තූපය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පෞරාණික බෞද්ධ සිද්ධස්ථානයක් වන අතර පැරැණි රෝහණ ජනපදයේ උතුරු දෙසින් සේරුවාවිල සමීපයෙහි පිහිටි දාගැබකි. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ තුන්වැනි ගමනේ දී මෙම පුදබිමට වැඩම කර නිරෝධ සමාපත්තියට සමවැදී වැඩසිටි බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්ය. එමෙන්ම දෙතිස්ඵල බෝධින්ගෙන් එක් බෝධින් වහන්සේ නමක් මෙම පුදබිමෙහි රෝපණය කරන ලද බව සිංහල බෝධිවංසයෙහි දැක්වේ.
සේරුවිල ආශ්‍රිතව භූ විද්‍යාත්මක පසුබිම පිළිබඳව අවධානය යොමු කිරීමේ දී තඹ නිධියක් සම්බන්ධ සාධක ගැන සඳහන් වේ. සේරුවිල යකඩ, තඹ නිධිය අරිප්පු, කොල්ලකුලම්, බ්ලොක්-සී කලාපයේ වර්ග කිලෝ මීටර සියයක පමණ ප්‍රදේශයක පිහිටා ඇත.
දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය ඉදිකිරීමට සේරුවිල නිධියෙන් රත්රන් ලබාගෙන ඇති බවට මහාවංශයට අනුව තහවුරු වේ. එවකට භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් වත්මන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය මගින් 1971 දී මෙම නිධිය පිළිබඳ පළමු ගවේෂණය ප‍්‍රංශ රජයේ ආධාර ව්‍යාපෘතියක් යටතේ සිදුකර ඇත. මීටර් සීය, එකසිය පනහ යනාදි වශයෙන් ගැඹුරට කැණීම් කර, පාෂාණ නිධියෙන් ලබාගත් නියැදි ප්‍රංශයට යවා, එරට රසායනාගාරවලදී විශ්ලේෂණය කොට යකඩ, තඹ නිධියක් තිබෙන බව තහවුරු කරගැනිණි. එම පර්යේෂණ වාර්තාව 1979 අවුරුද්දේ අවසාන මාස කිහිපයේ දී ලැබී ඇත.
එසේම සේරුවිල යකඩ, තඹ නිධියේ රත්රන් ඇති බවට තහවුරු වී තිබේ. මෙහිදී සිදු කළ නිරීක්ෂණවලට අනුව එම නිධිය මෙට්‍රික් ටොන් මිලියන තුනකින් සමන්විත බව හඳුනාගෙන තිබේ. ඉන් 40% ක් යකඩ ද 1% ක් තඹ ද පවතින බව, වාර්තා වේ. දශක හතරකට ඉහත දී ලබාගත් නියැදි යක්කල, හරවිදුම් ගබඩාවේ ආරක්ෂිතව තිබුණු අතර ඉන් අහඹු නියැදි 25 ක් කාර්යාංශයේ විද්‍යාගාරයේ දී විශේලේෂණයට ලක් කෙරිණ. එහි රත්තරං අඩංගු බව විදෙස් විද්‍යාගාරයක දී කළ විශ්ලේෂණයක දී තහවුරු විය. පෘථිවි පෘෂ්ඨයේ සාමාන්‍යයෙන් රත්රන් පවතිනුයේ මුළු කොටස් බිලියනයකට රත්රන් කොටස් හතරක් වශයෙන් වුවද සේරුවිල නිධියේ රත්රන් කොටස් දාහ ඉක්මවා පවතින බව සඳහන්ය. දැනට කර ඇති පර්යේෂණ මගින් අනාවරණය කර ගැනිමට හැකිව ඇත්තේ වර්ග කිලෝ මිටර් 100 ක ප්රමාණයකි. එමෙන්ම කිලෝ මිටර් පහක් පමණ පළල ප්‍රදේශයක මෙම රත්තරන් නිධි ව්‍යාප්තව ඇතැයි යන්න විද්වතුන්ගේ මතයයි.
මෙහි දී සිදුකළ පර්යේෂණවලට අනුව සේරුවිල ප්‍රදේශයේ පවතින ආගාධවලින් මැග්නටයිට් අඩංගු පස් හමු වී ඇත. ශ්‍රී ලංකාවේ ආදි වැසියන් ලෝහ නිස්සාරණ තාක්ෂණය පිළිබඳව නිසි අවබෝධයක් ලබා තිබුණු බව මෙයින් පැහැදිලි වන කරුණකි.
සේරුවිල තඹ නිධිය ඇසුරින් ලංකාවේ අතීත ලෝහ තාක්ෂණය පිළිබඳව විමසීමේ දී විද්‍යාත්මක දත්ත හා ඉතිහාසයමය සාක්ෂි රැසක් සපයයි. ශ්‍රී ලංකාවේ මූල ඵෙතිහාසික ජන කොටස් ක්‍රි.පූ. 6 වැනි සියවසට පෙර මෙම තඹ නිධිය උපයෝගි කොට ගත් බැව් මින් අවබෝධ වේ. මහාවංශයේ දැක්වෙන පරිදි දුටුගැමුණු රාජ්‍ය කාලයේ දී අනුරාධපුරයට නැඟෙනහිර දෙසින් පිහිටි තම්බපිට්ට ගම් පියසෙන් ද ඛනිජ සම්පත් ලැබී ඇත.
මේ අනුව අවසාන වශයෙන් පැහැදිලි වන්නේ විල්ගම්වෙහෙර පිහිටි භූමි දර්ශනය ඓතිහාසිකමය වශයෙන් මෙන්ම අතීතයේ දී තාක්ෂණික වශයෙන් ද ඉතා සුවිශේෂි වූ බවය.