
දකුණු පළාතේ හිනිදුමපත්තුවේ සිංහරාජ වනාන්තරය ආශ්රිත ගම්මානවල ගැමියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ කිතුල් මල් මැදීමයි. හිනිදුම, නෙළුව, ලංකාගම, වාරුකන්දෙණිය, මිල්ලව, මේදේරිපිටිය, පල්ලේගම, දෙනියාය ප්‍රදේශවල සහ සිංහරාජය කන්නෙලිය, කළුබෝවිටියන, දෙල්ලව වැනි පහතරට නිවර්තන වැසි වනාන්තර ආශ්රිත ගම්මානවල ජීවත්වන ගැමියෝ පාරම්පරිකව කිතුල් කර්මාන්තයේ නියැළෙති.
අතීතයේ ගෘහ කර්මාන්තයක් ලෙස පවත්වාගෙන ගිය කිතුල්පැණි සහ හකුරු කර්මාන්තය පසුකාලීනව වාණිජමය පදනමක් මත සිදු කිරීමේ අරමුණින් කිතුල් කර්මාන්තයේ නොයෙදෙන පිරිස් ද කිතුල් පැණි, හකුරු අලෙවි කිරීමෙන් සාම්ප්‍රදායික කිතුල් කර්මාන්තයට මරු පහරක් එල්ලවී ඇත. සාම්ප්‍රදායික ලෙස කිතුල් මල් මැදීමේ නිරත වූවන් තම ගෙවත්තේ පිහිටි කිතුල් ගස මැද ලබාගන්නා පිරිසුදු තෙලිදිය නිවසේදීම උණුකර පොල්කටුවල දමා හොඳ පිරිසුදු කිතුල් හකුරු මුලක් සකස් කරගෙන පුවක්ගසෙන් ලබාගත් කොළ පතකින් සකස් කළ පැසක දමා (පැණි මුල) පැණි කල් තබා අලෙවි කිරීමට පුරුදුව සිටියහ. වර්තමානයේ කිතුල් මල් මදින උදවිය තම පහසුව මෙන්ම වැඩි ආර්ථික ලාබ ඉපැයීමේ අරමුණින් නිවසේ උණු කරන කිතුල් පැණි බාහිර පුද්ගලයන්ට අලෙවි කර ආදායමක් ලබාගැනීමට පුරුදුව සිටීම නිසා පැණි මිලදී ගන්නා ගැණුම්කරුවන් නිවෙස්වලින් ලබාගන්නා කිතුල් පැණිවලට වෙනත් ආදේශකයන් මිශ්‍ර කිරීමෙන් ප්‍රමිතියෙන් තොර කිතුල් පැණි හකුරු නිෂ්පාදනය කර වෙළෙඳපොළට බෙදාහැරීම ද සිදු කරයි. අතීතයේ පොල් කටු භාවිත කරමින් කිතුල් හකුරු නිෂ්පාදනය කළ අතර වර්තමානයේ ප්ලාස්ටික් කෝප්ප සහ පැණි කල් තබා ගැනීමට ප්ලාස්ටික් බැරැල් ආදිය යොදාගනී. අතීතයේ පැසුණු කිතුල් මලක් සකස් කිරීමට ප්‍රදේශයෙන් සොයාගත් අත් බෙහෙත් යොදාගත්තද වර්තමානයේදී පැසුණු කිතුල් මලක් පදම් කිරීමට රසායනික බෙහෙත් ද්‍රව්‍ය යෙදීමට පුරුදුව සිටිති.
වර්තමානයේදී කිතුල් හකුරු හා පැණි නිෂ්පාදනය කර්මාන්තයක් වශයෙන් පවත්වාගෙන යෑමේදී බාධක රැසකට මුහුණපෑමට සිදුව ඇත. කැලෑ එළිපෙහෙලි කිරීම හේතුවෙන් කිතුල්ගස වඳවී යෑම, කිතුල් මල පදම් කිරීමට උපයෝගි කරගන්නා දේශීය ක්‍රමවේද අභාවයට යෑම සහ එම දේශීය ක්‍රමවේද පැරැන්නන් විසින් ඊළඟ පරපුරට ලබාදීමට උනන්දු නොවීම නිසාත් මෙම පිරිහීම සිදුවූ බව කර්මාන්තයේ යෙදෙන පැරැණි අයගේ මතය වී ඇත.
මේ ගැටලුවලට පිළියමක් ලෙස කිතුල් කර්මාන්තයේ නියැළෙන පිරිස් නංවාලීමට රජය මඟින් ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. දිවයිනේ විසිරී සිටින කිතුල්මල් මදින්නන් ලියාපදිංචි කිරීම ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කිරීම, ඔවුනට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම කිතුල් කාර්මිකයන් ලියාපදිංචි කිරීම, පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, කිතුල් පැණි හකුරු සඳහා හොඳ වෙළෙඳපොළක් හඳුන්වා දීම මේ අතර ප්රමුඛ වේ.
පහතරට තෙත් කලාපයේ කිතුල් වගාව ව්‍යාප්තව පවතින්නේ සිංහරාජ වැනි රක්ෂිත වනාන්තර තුළ බැවින් වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කිතුල් මදින්නන්ට වනාන්තරය ඇතුළට යෑම තහනම් කර තිබීම සහ කිතුල් රා මැදීම සහ කිතුල් රා ළඟ තබාගන්නා අයට එරෙහිව පොලිසිය මඟින් නඩු පැවැරීම යන නීතිමය ගැටලු හේතුවෙන් කිතුල් කර්මාන්තය පවත්වාගෙන යෑමට බාධා මතුව ඇති බව කිතුල් කර්මාන්තකරුවෝ පෙන්වා දෙති.
2018/ අංක 04 දරන සුරාබදු (සංශෝධන පනත) ප්‍රකාරව බලපත්‍ර නොමැතිව කිතුල් ගස් මැදීම හෝ කිතුල් ගසකින් රා නිස්සාරණය කිරීම මෙම පනතේ සඳහන් පහත වගන්තිය අනුව කිතුල් ගස් හැර රා නිපදවන වෙනත් ගසක් මැදීම නොකළ යුතුය. කිතුල් ගස් හැර රා නිපදවන වෙනත් කිසිදු ගසකින් රා නිස්සාරණය කිරීම හෝ බෑම නොකළ යුතුය. මෙම පනත අනුව කිතුල් මල් මදින්නන්ට තම කර්මාන්තය පවත්වාගෙන යෑමට බාධා පැවැති අතර ඇතැම් කිතුල් කාර්මිකයන්ට තම වෘත්තිය නතර කිරීමට ද සිදුවිය.
ඉකුත් ජූලි මස 23 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නෙළුව ප්‍රදේශයේ සිදු කළ සංචාරයේදී නෙළුව ප්‍රදේශයේ ජනතාව මුහුණපාන ගැටලු සම්බන්ධව පැවැති ජනහමුවේදී කිතුල් පැණි කර්මාන්තයේ යෙදෙන ගම්වැසියකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ කිතුල් රා මැදීම සහ එය ළඟ තබා ගැනීමට බලපත්‍ර ලබාගැනීම ගැටලු සහගත බැවින් එම බලපත්‍ර ලබාගැනීම ඉවත් කර දෙන ලෙසටය.
එම ගැමියාගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පසුබට නොවීය. ඒ සම්බන්ධව වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට නියෝගයක් කර රා මැදීම සහ රා නිස්සාරණය සඳහා වූ මෙතෙක් පනවා තිබුණු එම නීතිය වහාම ඉවත් කිරීමට පියවර ගත්තේය. ඒ අනුව 2020.07.23 දින වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට 2018/ අංක 04 දරන සුරාබදු සංශෝධන පනත ප්‍රකාරව බලපත්‍ර නොමැතිව කිතුල් ගස් මැදීම හෝ කිතුල් ගසකින් රා නිස්සාරණය කිරීමට අවසර දීම සහ චක්‍ර ලේඛනය පහත සඳහන් ආකාරයට සංශෝධනය කර ඇත. ඒ අනුව ඉහත සංශෝධන පනත ප්‍රකාරව රා නිස්සාරණය කිරීම හෝ බෑම සඳහා කිතුල් ගස් මැදීමට බලපත්‍ර ලබාගැනීමක් අවශ්‍ය නොවන බැවින් 2018/09/27 දිනැති RTM/863/CRTM/1961 මගින් කිතුල් කර්මාන්තය බාධාවකින් තොරව කරගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට දැනුම් දී ඇත. එබැවින් මින් ඉදිරියට කිතුල් ගස් මැදීම හෝ කිතුල් ගසකින් රා නිස්සාරණය කිරීම සිදු කරන තැනැත්තන්ට එරෙහිව නඩු ලබා ගැනීමක් සිදු නොකරන අතර තවදුරටත් එලෙස ඉහත තැනැත්තන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති බවට අනාවරණය වුවහොත් අදාළ නිලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගැනීමට ගන්නා බව ද සඳහන් වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ට ඉදිරිපත් කළ නෙළුවේ ගැමියාගේ ගැටලුව අදාළ චක්‍රලේඛන වෙනස් කිරීමට සමත් විය. සිංහරාජ වනාන්තරය ආශ්රිත ගම්මානය වන නෙළුව ලංකාගම ප්‍රදේශයේ ගැමියන් කිතුල් කර්මාන්තය සම්බන්ධයෙන් ඔවුන් මෙතෙක් මුහුණ පෑ ගැටලු ගැන මෙසේ කීහ.
නෙළුව ලංකාගම පදිංචි නිල්වැලිගමගේ ගුණදාස (70) කීවේ මෙවැන්නකි. “මේ වනවිට කිතුල් මල් මැදීමෙන් මාසයකට රුපියල් 50,000 - 75,000 ආදායමක් ලබාගන්නවා. එදා අපි ඒ කාලයේ කිතුල් මල් සෑදීමට ගමේ අත් බෙහෙත් තමයි තිබ්බේ. අද රසායනික බෙහෙත් භාවිතා කිරීම නිසා කිතුල් පැණිවල ප්‍රමිතිය වෙනස් වී තිබෙනවා. නවීන ක්‍රම භාවිතා කරගෙන ගමේ වටිනා සම්පත අහිමි කරගන්න එපා කියා ඉල්ලා සිටිනවා”
“මල් මැදීමට කැලෑවට යෑම තහනම් කර තිබුණු නිසා අපේ ඉඩම්වල තිබෙන කිතුල්ගස් තමයි මදින්නේ. කිතුල් මල් මදින්න අවසර පත ගන්න ඕනෑ. රා ටිකක් දමා ගන්නත් බලපත්‍ර ගන්න සිදු වුණා. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපි ඒ ගැටලු ඉදිරිපත් කළ අවස්ථාවේදීම පැවැති නීතිය ඉවත් කිරීමට කටයුතු කිරීම ගැන අපි ජනාධිපතිතුමාට ප්‍රශංසා කරනවා.එසේ පැවසුවේ ඩබ්ලිව්.ජී. විමලසේන(53)ය.
ලංකාගම පදිංචි නිල්වැලිගමගේ තිලකාවතී ( 47) ද මෙසේ කීවාය. “ලංකාගම දේශීය විදේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන නිසා හකුරු අලෙවි කිරීමෙන් හොඳ ආදායමක් මාර්ගයක් තිබුණත් නීතිරීති නිසා අපි විවිධ ගැටලුවලට මුහුණපෑවා. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් නෙළුවට පැමිණි අවස්ථාවේදී කිතුල් කාර්මිකයන් මුහුණපාන ගැටලු සම්බන්ධව ඉදිරිපත් කළ ගැටලුවලට විසඳුම් ලබාදීම ගැන අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. අපට දැන් නිදහසේ මේ කර්මාන්තය පවත්වාගෙන යන්න පුළුවන්.”
නෙළුව ප්‍රාදේශීය ලේකම් චතුරංග ගුණසේකර පැවසුවේ “නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිතුල් කාර්මිකයන් 547ක් ලියාපදිංචි කර තිබෙනවා. හොඳ කිතුල් පැණි හකුරු මිලදී ගැනීමේ අලෙවි මධ්‍යස්ථානයක් සහ කිතුල් පැණි උපයෝගී කරගෙන දේශීය ආහාර සැකසීමේ අලෙවි සැලක් ඉදිකරනවා නම් කිතුල් වගාවේ නිරත අයට එය විශාල උපකාරයක් වෙයි” කියාය.
පැරණි දේශීය කර්මාන්තයක් වන කිතුල් කර්මාන්තය නඟා සිටුවීමට රජය ගත් වැඩපිළිවෙළ ඉතා අගය කරන බවත් ඒ සම්බන්ධව පවතින අඩුපාඩුකම් හඳුනාගෙන කිතුල් කර්මාන්තය වැඩි දියුණු කිරීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතු බව නෙළුව ලංකාගම ගම්මානයේ කිතුල් කර්මාන්තයේ යෙදෙන ගම්වැසියන් වැඩිදුරටත් පැවසූහ.