
කොරෝනා වංසගතයෙන් රටම අක්‍රීය වී තිබූ සමයයි. ඇති-හැකි අය නැති-බැරි අයට හැකි පමණ උදවු කරද්දී රජය ද සමස්ත ජනයා කෙරෙහි විවිධාකාර සහනදායී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළේය. ඒ දිනවල තිබූ තත්ත්වයෙන් ඇතැම් කූට ජාවාරම්කාරයන් ද ප්‍රයෝජන ගෙන ඇති බව දැන් දැන් හෙළි වෙමින් තිබේ. ඒ, ඒ දිනවල ෆෙස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ දැන්වීමක් පළ කරමින් සිදුකළ මහා පරිමාණ මූල්‍ය වංචාවක සුලමුල අනාවරණය කරගැනීමට පසුගියදා කිරුළපන පොලිස් නිලධාරින් සමත් වූහ. එම කතාන්දරය දිග හැරෙන්නෙ මෙලෙසිනි.
පසුගිය පෙබරවාරි, මාර්තු කාලය අතර ෆෙස්බුක් මාධ්‍ය ඔස්සේ දැන්වීමක් පළ කර තිබිණි. ඒ කූට ජාවාරම්කාර පිරිසකගේ 'වැඩක්' බව කිසිවෙක් දැන නොසිටියේය. ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂය යොදා ස්ථාවර සහ ජංගම දුරකථන අංක දෙකක් ද ඇතුළත්ව ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයක් ලෙස එම දැන්වීම පළ කොට ඇත්තේ, "කොවිඩ් වසංගතය නිසාවෙන් අසරණව සිටින විදේශගත ශ්‍රමිකයන්ට 2.7%ක සහනදායි ණය පොලී අනුපාත යටතේ ණය ලබා ගැනීමට හැකි බවත් අවැසි අය අමතන ලෙසත්" සඳහන් කරමිනි.
කොරියාවේ රැකියාවේ නිරත කළුබෝවිල තරුණ යුවළක් ද ඒ දැන්වීම දුටුහ. චමින්ද නමැති එකී තරුණයා රජයෙන් සිදු කරන කාර්යයක් නිසාවෙන් ක්ෂණිකවම එම දුරකථන අංකයකට ඇමැතුමක් ගෙන තිබිණි. ඊට පිළිතුරු දුන් පුද්ගලයා පවසා ඇත්තේ, "ණය ලබා දෙනවා... කොවිඩ් නිසා අසරණ ඔබලා වැනි අයට මේ ණය දෙන්නෙ... සම්පූර්ණයෙන්ම රජයෙන් කෙරෙන වැඩක්” කියාය. රජයේ ව්‍යාපෘතියක් කී සැණින් ඇමැතුම දුන් චමින්දට ඇතිවී තිබුණේ දැඩි විශ්වාසයකි.
"හැබැයි පොඩි දෙයක් කරන්න ඕනෙ... අවශ්‍ය ණය ප්‍රමාණයෙන් සියයට 10ක මුදලක් ලංකාවේ ඕනෑම බැංකුවක ගිණුමක් ඕපන් කරලා ඒකේ ඩිපොසිට් කරන්න. මං කියන්නම් කරන විදිහ... ඔයාටම පුළුවන් ගිණුම ඔන්ලයින් ඕපන් කරන්න... ලංකාවේ කෙනෙකුට කියන්න මුදල් ඩිපොසිට් කරන්න කියා..." යැයි ඔහු කී විට කොරියාවේ සිට ඔන්ලයින් මඟින් කිරුළපන රාජ්‍ය බැංකුවක ගිණුම විවෘත කළ චමින්ද, කළුබෝවිල වෙසෙන සිය බිරියගේ මවට පවසා ඇත්තේ අදාළ ගිණුමට රුපියල් ලක්ෂ පහක මුදලක් තැන්පත් කරන ලෙසයි. ඊට සතියකට පමණ පසු මෙරට සිටින ණය ලබා දෙන පවසමින් රාජ්‍ය නිලධාරියෙකු ලෙස පෙනී සිටි කූට ජාවාරම්කාරයා නැවතත් චමින්ද ඇමතීය.
"ඔයාගේ ලෝන් එකේ වැඩේ ඉක්මනින්ම කෙරෙනවා... කිසිම අවුලක් නෑ... ඒත් ගැටලුවකට තියෙන්නෙ... ලෝන් එකේ ඉදිරි වැඩවලට ඕපන් කළ ගිණුම අපි පරීක්ෂා කර බැලිය යුතුයි... ඕපන් කළ ගිණුමට අදාළව 'පින්' නම්බර් එකක් ඇතිනේ අංක හතරක... අන්න ඒ නම්බර් එක අපට අවශ්‍ය වෙනවා."
ඔහු කී එම රහස් අංකය බැංකුවෙන් දී ඇත්තේ ගිණුමට මුදල් තැන්පත් කළ චමින්දගේ බිරියගේ මවටයි. ජාවාරම්කාරයන් කොරියාවේ සිටින චමින්දට කියා ඇත්තේ එම පින් අංකය තමනට දෙන ලෙස බිරියගේ මවට පවසන ලෙසයි. ඒ අනුව චමින්දගේ බිරියගේ මව අමතා ඔවුහු පින් අංකය ද ලබා ගත්හ. එම අංකය ලබාගෙන තත්පර 10කටත් අඩු කාලයක් ගතවීමට පෙර එම ගිණුමේ තිබූ ලක්ෂ පහම ඔන්ලයින් හරහා වෙනත් ගිණුම්වලට මාරු කිරීමට තරම් ජාවාරම්කාරයන් සූක්ෂ්ම වී ඇති බව බව මේ වන විට පොලිසිය අනාවරණය කරගෙන තිබේ. එහෙත් බැංකුවේ කළමනාකාරවරයා ඇතුළු කිසිදු පුද්ගලයෙක් එලෙස ගිණුමකින් ගිණුමකට මුදල් මාරුවන බවක් ඒ වනවිට දැන සිට නැත.
එහෙත් මුදල් ගනුදෙනුවක් සිදුවූ බවට චමින්දගේ බිරියගේ මවගේ ජංගම දුරකථනයට එස්.එම්.එස්. පණිවිඩයක් මඟින් තහවුරු වීමත් සමඟ ඇය කලබලයට පත්වූවාය. ඒ අනුව ඇය සැණින් බැංකුවට ගොස් අදාළ ගිණුමේ බැංකු පොත යාවත්කාලීන කළ විට තහවුරු වී ඇත්තේ ගිණුමේ කිසිදු මුදලක් නොමැති බවයි. තුෂ්ණිම්භූත වූ ඇය සැණින් කොරියාවේ සිටින දරුවන් ඇමතුවාය. ජාවාරම්කරුවන් පිරිසකට හසුවී ඇති බව සියලුදෙනාට වැටහුණේ ඉන්පසුවය. චමින්දගේ බිරියගේ මව එම වංචාව පිළිබඳ පොලිස් මූලස්ථානයේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළාය. එකී පැමිණිල්ලට අනුව අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂවරයා විසින් බැංකුව පිහිටි පොලිස් බලප්‍රදේශය වන කිරුළපන පොලිසියට යොමු කෙරුණේ පසුගිය මැයි 25 වැනිදාය.
කිරුළපන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කළුආරච්චි මහතා විසින් ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත කඩිනම් විමර්ශනයක් ආරම්භ කෙරිණි. ඒ අනුව කිරුළපන අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරවීර සිය කණ්ඩායම සමඟ ජාවාරම්කරුවන් පළ කළ ජනාධිපති කාර්යාල ලිපි ශීර්ෂය සහිත ව්‍යාජ දැන්වීමේ වූ දුරකථන අංක දෙක ඔස්සේ ඉතා සියුම් විමර්ශනයක් ඇරඹිණි. ඒ අතරේ එම ජාවාරමටම හසුවූ තවත් කොරියාවේ සිටින අයකුගේ සහෝදරයකු වන නිශාන්ත නමැති පුද්ගලයකු ලක්ෂ හතරක මුදල් වංචාවක් ගැන මාතර පොලිසියට පැමිණිලි කර තිබිණි. දුරකථන විශ්ලේෂණ වාර්තා මත මාස දෙකක් පුරාවට සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස පොලිස් පරීක්ෂක ප්‍රදීප් ඇතුළු කණ්ඩායමට මෙකී ජාවාරමට සැකපිට ගාල්ල, පිටබැද්දර ප්‍රදේශයේ සැකකරුවකු හඳුනා ගැනීමට හැකිවිය. විවාහකයෙකු වන 37 හැවිරිදි දිනේෂ් නමැති එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවෙස පරීක්ෂාවේදී මෙකී ජාවාරමට හසුව මාතර පොලිසියට පැමිණිලි කළ අයගේ නමට සැකකරුගේ රුව යොදා සකස් කළ රියැදුරු බලපත්‍රයක් ද හමුවිය. ඒ වන විට විමර්ශන නිලධාරින්ට මාතර පැමිණිලිකරු හමුවී තිබූ හෙයින් එම රියැදුරු බලපත්‍රය සැකකරුගේ නොවන බවට තහවුරු විය.
"සර්... මේ වැඩේ ප්‍රධානියා වෙන කෙනෙක්. ඔහු තමයි අපට මේ ලයිසන් හදලා ගෙනත් දෙන්නෙ. එයා කියන දේවල් තමයි අපි කරන්නෙ. ඔහු ඉන්නෙත් මේ ළඟ."සැකකරු එසේ පැවසීමත් සමඟ මෙකී ජාවාරමේ ප්‍රධානම පුද්ගලයා බවට සැක 30 හැවිරිදි ජනක නමැත්තා ද එදිනම පිටබැද්දරදි අත්අඩංගුවට ගැනිණි. ඔහු සතුව තිබී මුහුණුපොතේ පළ කළ දැන්වීමට අදාළ සියලු ලිපිලේඛන, පරිගණක, දැන්වීමේ පළ කළ දුරකථන අංකවලට අදාළ දුරකථන ඇතුළු සියල්ල පොලිස් බාරයට ගැනිණි. ඊට අමතරව ඔහු පිටබැද්දර මූල්‍ය ආයතනයක පසුගිය මැයි 29 වැනිදා තැන්පත් කළ ලක්ෂ 20ක ස්ථාවර තැන්පතුවක සහතිකයක් ද හමුවිය. කලෙක සිටම මෙකී ජාවාරමේ නිරතව උපයා ගත් මුදල්වලින් ඔහු නවීන පන්නයේ මෝටර් රථයක් මිලදීගෙන තිබුණු අතර එය ද පොලිස් බාරයට ගැනිණි. මෙම ජාවාරමට පිටබැද්දරම සිටින තවත් පුද්ගලයෙක් ද හවුල් බවත් 39 හැවිරිදි විවාහකයෙකු වන ඔහු ද දිනේෂ් නමැත්තකු බව ද පොලිසිය අනාවරණය කරගත්තේය. උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඇති මෙකී සැකකරුවන් තිදෙනා පරිගණක තාක්ෂණය පිළිබඳ හසළ දැනුමක් සහිත වසර තුනකට පෙර රැකියා නොමැතිව නන්නත්තාර දිවියක් ගතකළ වූවන් බව ද මේ වන විට හෙළිවී තිබේ.
තෙවැනියට අත්අඩංගුවට පත් දිනේෂ් සතුව තිබූ ඔහුගේ රුව යොදා වෙනත් නමකට සැකසූ රියැදුරු බලපත්රයක්ද පොලිසියට හමුවිණි. ඔහුගෙන් කළ විමසීමේදී මෙකී ජාවාරමට අමතර තවත් ජාවාරමක සුලමුල ද හෙළිකරගන්නට පොලිසියට හැකිවිය. "සර්... මේවා අපිට හදලා දෙන්නෙ නාරාහේන්පිට දාබරේ මාවතෙ පුද්ගලයෙක්. එයාව අපි දැකලා නෑ..."
එම හෝඩුවාවත් සමඟ පිටබැද්දරදී අත්අඩංගුවට පත් තිදෙනා රැගෙන කිරුළපන පොලිස් නිලධාරින් පැමිණියේ නාරාහේන්පිට, දාබරේ මාවතේ අදාළ පුද්ගලයා කොටුකර ගැනීමටයි. 42 හැවිරිදි සුමිත් නමැති ඔහු පොලිසියට පවසා ඇත්තේ, "මං මුකුත් දන්නෙ නෑ සර්... මං අතරමැදියෙක්... මෙයාලා මට රුපියල් පහළොස්දාහක් දෙනවා එකකට... මං රුපියල් පන්දාහක් තියාගෙන වැඩේ කරලා දෙනවා. මේ කට්ටිය මට වට්ස්ඇප් මාර්ගයෙන් තොරතුරු එවනවා. මගේ යාළුවෙකුට කියලා හදලා කුරියර් කරලා යවනවා..."කියාය.
![]() |
අත්අඩංගුවට ගත් රථ වාහන |
එකී ව්‍යාජ ගමන් බලපත්‍ර සකසන්නා සිටින්නේ වැල්ලම්පිටියෙ බව සුමිත් හෙළි කිරීමත් සමඟ පොලිසිය ඔහු සොයා ගියේය. අදාළ නිවෙසේ එම ජාවාරම සිදු කරන්නෙ මුස්ලිම් ජාතික පිය-පුතු දෙපළක් බවට හෙළි විය. පියා ඒ වන විටත් පලා ගොස් සිටි අතර 18 හැවිරිදි අන්වර් නමැති පුත්‍රයා අත්අඩංගුවට පත්විය. පිය-පුතු දෙපළ සිය නිවෙස ඉදිරිපිට දෙමහල් නිවෙසේ ඉහළ මහළ කුලියට ගෙන ව්‍යාජ කච්චේරියක් සේ මහා පරිමාණයෙන් එම ජාවාරම කරගෙන ගොස් තිබිණි. එහි තිබී පරිගණක හතරක්, ව්‍යාජ රියැදුරු බලපත්‍ර සැකසීමට යොදාගන්නා ප්‍රින්ටර්, මෙමරි චිප් සහිත නවීන පන්නයේ ව්‍යාජ රියැදුරු බලපත්‍ර 61ක්, මෙමරි චිප් කාඩ් 920ක්, ව්‍යාජ බලපත්‍ර සඳහා යොදාගැනීමට තිබූ ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් ද පොලිසිය බාරයට ගැනිණි. අත්අඩංගුවට පත් පිටබැද්දර සැකකරුවන් කලෙක සිටම විදේශවල සිටින අයගේ මුදල් වංචාව සිදුකර ඇති බවත් ව්‍යාජ රිය බලපත්‍ර සැකසූවන් මෙරට පමණක් නොව විදෙස් ජාතිකයන්ගේ හැඳුනුම්පත්, රිය බලපත්‍ර ද සකසා ඇති බවත් හෙළිවිය.
මෙකී සැකකරුවන් පසුගිය 27 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලැබිණි. මේ වන විට පිටබැද්දර සැකකරුවන් තිදෙනා විසින් කෝටි ගණනක මුදල් වංචාවක් කර ඇති අතර බොහෝ දෙනෙක් කොවිඩ් සමයේ ඊට හසුවී තිබේ. මෙකී ජාවාරම්කරුවන්ගේ උගුලට හසුවූ ලක්ෂ 50කට වැඩි මූල්‍ය වංචාවන්ට අදාළ පැමිණිලි හතරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද, තවත් පැමිණිලි රැසක් මාතර, මිරිහාන, කුරුණෑගල ඇතුළු රටේ විවිධ පළාත්වල පොලිස් ස්ථානවලටත් ලැබී ඇති බව පොලිසිය සඳහන් කළේය. ව්‍යාජ රිය බලපත්‍ර සැකසීමේ නිරත වූ සැකකරුවන් ඇතුළු මෙකී ජාවාරම්වලට හවුල් සියලු දෙනා එක්ව ත්‍රස්තවාදී ක්‍රියාවන්ට ද මුදල් යොදවා ඇත්ද යන්න පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක නිරත වෙමින් සිටී.
රටේ ප්‍රධානම පුරවැසියාගේ ලිපි ශීර්ෂ යොදාගෙන අහිංසක ජනයාගේ මුදල් කොල්ලකෑ මෙකී ජාවාරමේ සුලමුල අනාවරණය කරගැනීමේදී බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ කොළඹ දකුණ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රිගේ සහ කොළඹ දකුණ කොට්ඨාස අංක 02 සහකාර පොලිස් අධිකාරි පර්සි මයිකල් යන මහත්වරුන්ගේ උපදෙස් මත කිරුළපන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කළුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර ඇතුළු උපපොලිස් පරීක්ෂක චාමික ජයවීර, සැරයන්වරුන් වන (9233) ජයවීර, (37060) සනත්, (61413) සුරංග, (66151) කරුණානායක), කොස්තාපල්වරුන් වන (70225) කපිල, (71943) බණ්ඩාර, (78686) අරුණ, (30574) චන්දික, (37783) විජේතුංග, (68485) සමීර, (82458) බණ්ඩාරනායක සහ කාන්තා කොස්තාපල් (10133) දිල්ෂානි විමර්ශනවලට එක්වූහ.