
ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය එළඹෙන අගෝස්තු මස 20 වැනිදා ආරම්භ වෙයි. පසුගියදා පැවැති මහා මැතිවරණයෙන් තරග වැද ජයග්‍රහණය කළ හිටපු හා නවතම මන්ත්‍රී මුහුණු රැසකින් මෙදා මැති සබයේ අලුත් ආරම්භය සටහන් කරන්නේය. කථානායකවරයා සමඟ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනෙක් මෙදා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත අතර එයින් 12 දෙනෙක් කාන්තාවන් වෙති. පළමු සැසි වාරයේ පළමු දින පාර්ලිමේන්තු ඉතිහාසයට සුවිශේෂි දිනයක් වන්නේ විශේෂ රාජකාරි කටයුතු රැසක් එදිනට සිදු කිරීමට නියමිතව ඇති හෙයිනි.
පාර්ලිමේතුවේ පළමු දින සභා ගර්භයේ රාජකාරී වලින් වැඩිමනත් කොටසක් පැවරෙන්නේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාටය. වෙනදා මෙන් පාර්ලිමේන්තු ආරම්භක දින මන්ත්‍රිවරුන්ට අසුන් පැනවීමේදි විශේෂත්වයක් නොකරන අතර එය නව කථානායකවරයා පත් වීමෙන් අනතුරුව විධිමත්ව සැකසෙන තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට එදින රිසි සේ වාඩී වි සිටීමේ හැකියාව උදා වෙයි.
එදින පාර්ලිමේන්තු රැස්වීම සාමාන්‍ය රැස්වීම් ක්‍රමයට පවත්වන බැවින් ගණ පූර්ණ සීනුව නාද කරන්නේ විනාඩි පහෙන් පහටය. ඉන් අනතුරුව කතානායක තේරීමට ප්‍රථම පාර්ලිමේන්තු වේත්‍රධාරී විසින් සෙංකෝලය සබා ගැබට රැගෙන ගොස් තැන්පත් කරන්නේ පහළ ආධාරකයේය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු මහ ලේකම් විසින් ගැසට් පත්‍රය කියවනු ලබයි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ පළමු රාජකාරිය වන්නේ නව කතානායකවරයා පත් කර ගැනීමේ කටයුතුය. මෙහිදි එක් අයකුගේ නම පමණක් යෝජනා වී ඇත්තේ නම් ඡන්ද විමසීමක් නොකරන අතර කිහිප දෙනෙකුගේ නම් යෝජනා වී ඇත්නම් රහස් ඡන්ද විමසීමකට යෑමට සිදු වෙයි. යම් කෙනෙකුගේ නම කතානායකවරයා ලෙස යෝජනා වීමට නම් ඊට පෙර ඔහුගේ කැමැත්ත විමසා තිබීම අනිවාර්ය වෙයි. බොහෝවිට තෝරාගත් කතානායකවරයා සිය අසුන වෙත ගෙන එන්නේ ඔහුව යෝජනා කළ හා ස්ථීර කළ අය විසින් දෙඅතින් අල්ලාගෙන ඇද ගෙන යෑම අනුකරණය කරමිනි. අතීත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය තුළ කතානායක තනතුර එතරම් සිත් ගන්නා සුලු තනතුරක් නොවීම නිසා මේ දර්ශනය අදටත් දිස් වන්නේ එම මන්ත්‍රීවරයා අකමැත්තෙන් අසුන වෙත ඇඳ ගෙන යන දර්ශනයකිනි. අනතුරුව කතානායවරයා විසින් සිය නිල ප්‍රතිඥාව ලබා දෙයි.
කතානායක තේරීමේ පළමු රාජකාරිය අවසන් වු පසු කතානායකවරයා සිය නිල අසුනේ වාඩී වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු වේත්‍රධාරී විසින් පහළ ආධාරකයේ ඇති සෙංකෝලය ඉහළ ආධාරකයේ තැන්පත් කරයි. ඉන් අනතුරුව නව කතානායකවරයා හා පාර්ලිමේන්තු මහ ලේකම් ඉදිරියේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය නිල ප්‍රතිඥාව ලබා දෙති. ඉන් අනතරුව නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති පත් කිරීම සිදුවෙයි.
![]() |
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු |
පාර්ලිමේන්තුවේ ආසන වෙන් කිරීමද සුවිශේෂි කටයුත්තකි. මෙය සිදු වන්නේ කතානායකවරයාගේ අභිමතය පරිදිය. මේ වන විට කැබිනට් මණ්ඩලය පත් කර තිබුණේ නම් නිල නොවන මට්ටමින් මුල් පේළි දෙකක් ඔවුන් සඳහා වෙන්වෙයි. පාර්ලිමේන්තුවේ දකුණුපස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු වාඩි වන අතර එයින් 8 වැනි අසුන ජනාධිපතිවරයාටත්, 7 වන අසුන අගමැතිවරයාටත් වෙන් වෙයි. 5 වැනි හා 6 වැනි ආසන පිළිවෙළින් සභානායකටත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකටත් වෙන් වෙයි. ඉන්පසු කැබිනට් ඇමැතිවරුන්ගේ ජ්‍යෙෂ්ඨතාව අනුව ආසන වෙන් වෙයි. පසුව කැබිනට් නොවන ඇමැතිවරුන්ට, නියෝජ්‍ය ඇමැතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට ආසන හිමි වෙති. පාර්ලිමේන්තුවේ එක් පසෙක ආසන ඇත්තේ 116 කි. මෙවර විශේෂත්වයක් වන්නේ ආණ්ඩු පක්ෂයට මෙවර මැතිවරණයෙන් ආසන 145 ක් හිමි වීමය. මේ නිසා එක් පසෙක ආසන හිඟවිම නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 30 කට ආසන්න පිරිසක් විරුද්ධ පක්ෂයේ අසුන් ගැන්වීමට සිදු වෙයි.
විරුද්ධ පක්ෂයේ 8 වැනි ආසනය වෙන් වන්නේ විපක්ෂ නායකවරයාටය. එම පක්ෂයෙන්ම විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක පත්වේ නම් 7 වැනි අසුන වෙන් කිරීමක් කෙරෙයි. පක්ෂ නායකයන්ට ඉදිරිපෙළ අසුනකට හිමිකම් කියයි. ආණ්ඩු පක්ෂයෙන් නියෝජ්‍ය කතානායක පත් වුවහොත් 21 වැනි ආසනය ඔහු වෙනුවෙන් වෙන් වෙයි. නියෝජ්‍ය කාරක සභා සභාපති ආණ්ඩු පක්ෂයෙන්ම පත් වුවහොත් ආසන අංක 41 ඔහුට හිමි වෙයි. විපක්ෂයේ පත්වුවද ආසන වෙන්වීම ඒ ආකාරයෙන්ම සිදු වෙයි. ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකටත් කතානායකට අසුන් පිළිබඳ යම් යම් ඉල්ලිම් කළ හැකියි. සබා ගැබේ අසුන් පැන්වීමේ නිසි බලධාරීයා වන්නේ කතානායකවරයාය. කතානායකවරයා හැරුණු විට සබා ගැබේ මන්ත්‍රිවරුන්ට ආසන අවශ්‍ය වන්නේ 224 ක් පමණි.
පාර්ලිමේන්තුවට තේරී පත්වන සියලු මන්ත්‍රිවරුන් සිය පළමු දිනයේදිම අත්සන් තැබීමේ ලේඛනයේ අත්සන් තැබිය යුතුයි. මෙහිදි මුලින්ම අත්සන් තබන්නේ කතානායකවරයා වන අතර සම්ප්‍රදායානූකූලව අගමැතිවරයා අත්සන් කිරීමෙන් අනතුරුව අනිකුත් මන්ත්‍රිවරු අත්සන් තැබීම සිදු කරති. මෙම අත්සන් ලේඛනය ඉතා සුරක්ෂිත ලේඛනයක් ලෙස පසුව ආරක්ෂිතව තබා ගනියි.
කොවිඩ් වසංගතයෙන් අනතුරුව පාර්ලිමේන්තුව නැවතත් ආරම්භ වන්නේ එළඹෙන අගෝස්තු 20 වැනිදාය. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් 19 මාර්ගෝපදේශ සියලු මන්ත්‍රිවරුන්ගේ දැන ගැනිම පිණිස නිකුත් කර ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය පැවැත්වෙන දින සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සභා ගර්භයට පැමිණීමට පෙර දෑත් පිරිසුදු කරන ද්‍රව්‍ය භාවිත කළ යුතුය. එසේම තම අසුනේ වාඩී වි නොසිටින සෑම අවස්ථාවකදිම එකිනෙකා අතරේ මීටරයක දුරස්තතාව තබා ගනිමින් කටයුතු කළ යුතුව ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා මුඛ ආවරණ පැලඳ සිටිය යුතු අතර පාර්ලිමේන්තුව අමතන විටද මන්ත්‍රීවරු මුඛ ආවරණ ඉවත් කිරීම හෝ පහත් කිරීම නොකළ යුතු බව දක්වා ඇත. එසේම සැම මන්ත්රිවරයකුම මැති සබයේ තමන්ට හිමි ආසන වලට වාඩී වි සිටීමට වග බලා ගත යුතු බව සඳහන් කර ඇත. අතට අත දීම, වැලඳ ගැනීම වැනි සමාචාර කිරීමෙන් වැළකිය යුතු බව සඳහන් කර ඇති අතර ඒ සඳහා ස්පර්ශ නොවන වෙනත් ක්‍රම භවිතා කළ යුතු වෙයි. ජංගම දුරකතන, හෙඩ් ෆෝන් එකිනෙකා අතර හුවමාරු නොකළ යුතු අතර සබා ගැබ තුළ එහා මෙහා යෑමද අවම කළ යුතු බව සඳහන් කර ඇත.
පාර්ලිමේන්තුවේ ගැලරිය භාවිත කිරීමේදීද එවැනිම ක්‍රමවේද ඇති අතර නැවත දැනුම් දෙන තුරු ගැලරියේ අමුත්තන් සඳහා අවසර ලබා නොදීමට තීරණය කර ඇත. මන්ත්‍රිවරුන්ගේ පවුලේ සමීපතමයන්ට පමණක් අවසර ඇති අතර එහිදීද කොවිඩ් නිරෝධායන නීති අනුගමනය කළ යුතුව ඇත. මීට අමතරව පාර්ලිමේන්තු ආලින්දයේද අවම වශයෙන් මීටරයක දුරස්තතාව තබා ගත යුතු අතර එහිදි පොදු උපකරණ වන පොදු දුරකතන, ෆැක්ස් යන්ත්‍ර ආදිය භාවිතය අවම කළ යුතුය. භාවිත කරන්නේ නම් එවැනි උපකරණ භාවිත කිරීමට පෙර හා පසු දෑත් පිරිසිදු කිරීම කළ යුතු බව සඳහන් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැලඳුම් කාමර භාවිත කිරීමේදීද මන්ත්‍රීවරුන්ට යම් කොවිඩ් නීති මාලාවක් ඇතුළත් කර ඇත. වෙනත් අය භාවිත කළ තුවා, සනීපාරක්ෂක ද්‍රව්‍ය, හා වෙනත් නාන අයිතම භාවිත කිරීමෙන් වැළකිය යුතු අතර අවම වශයෙන් මීටරයක දුරස්තතාව ලබා ගත යුතුය. එසේම හාන්සි පුටු භාවිත කිරීමෙන් හැකිතාක් වැළකෙන ලෙස අවවාද කර ඇත. පාර්ලිමේන්තු කාරක සභා කාමර භාවිතයේදීද එවැනිම නීති මාලාවක් ඇතුළත් කර ඇත. කාරක සභා අමතන විට සෑම මන්ත්රිවරයකුම මුව ආවරණ පැලඳ සිටිය යුතු අතර එකිනෙක් අතර මීටරයක දුරස්තතාව තබා ගත යුතුය. එසේම කාරක සභා කාමරය තුළ ඔබ මොබ ගමන් කිරීමෙන් වැළකිය යුතුයි. මීට අමතරව සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පිවිසීමට පෙර උෂ්ණත්වය මැන බැලීමට සහය දැක්විය යුතු වෙයි.
මේ නිසා පාර්ලිමේන්තු ඉතිහාසයේ එළඹෙන නව පාර්ලිමේන්තු සැසි වාරය වඩාත් සුවිශේෂී දිනයක් වනු ඇත.