
මානව දයාවෙ උල්පත් බොහොමයක් පාදා දුන්නේ ලෝකය වෙනස් කිරීම උදෙසා අරගල කළ කලාකරුවන්ය. ඒ කලාකරුවන් අතර පෙරමුණේ රාලලා සේ ගමන් කළේ ලේඛකයන්ය. ඉතිහාසය දිහාට ආපහු හැරිල බලන විට ලෝකය වෙනස් කිරීමේ අරමුණින් පැන නැඟුණු හැම සමාජ අරගලයකදීම පාහේ ලේඛකයන් ප්‍රමුඛ කලාකරුවන් විසින් අති දැවැන්ත කාර්යභාරයක් ඉටු කර තිබෙන සැටි පැහැදිලිවම දකින්නට හැකිය.
මානව දයාව වෙනුවෙන් හඬක් නඟනවා සේම ජාතිය, ආගම නැත්නම් වර්ණය ආදී සමාජ විෂමතා පදනම් කරගෙන අනෙකා පහත් කොට සැලකීමේ සමාජ පිඩක මනෝභාව පරාජය කිරීමත් කලාකරුවාගේ වගකිමකි. යුක්තිය හා සාධාරණය සහිත සමාජ පරිසරයක් ගොඩනගනු පිණිස විප්ලවවාදි ව්‍යාපාරත් සමඟ අත්වැල් බැඳගත් එවැනි කලාකරුවන් නව පරපුරට හඳුන්වා දීමට මිතුරු පවුර විටින් විට ඉදිරිපත් වන්නේ ඒ හේතුව නිසයි.
කියුබානු ලේඛක ජෝසෙ මාටිත් එවන් කලාකරුවෙකි; කියුබානු විප්ලවයේ පුරෝගාමියෙකි. ඔහුගේ කාර්යභාරය පෑනට පමණක් සිමා වුණේ නැත. ඔහු ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදීන්ගෙන් කියුබාව මුදා ගැනීමේ අරගලයට සක්රියවම දායක වුණ විප්ලවවාදි ලේඛකයෙක් හැටියට වඩාත් ප්රකටය.
මිනිසකු අතින් තවත් මිනිසෙක් පීඩාවට ලක් නොවිය යුතුය කියන හැඟීම මාටිගෙ සිතේ තදින්ම කාවැදුණේ ළමා වියේදිමය. දිනක් ඔහු අසකු පිට ගම්බද පෙදෙසක් නරඔන්න යද්දී ගසක එල්ලා සිටින වහල් මිනිසෙක් මර බියෙන් විලාප නගන සැටි දැක්කේය. මේ දර්ශනය තමා සමාජ සාධාරණය වෙනුවෙන් අරගල කිරීමට යොවුන් වියේදීම ඔහුට උත්තේජනයක් සැපයුවේය. ඒ වගේම ජොසේ මාටිට පහන් තරුවක් වගේ මග පෙන් වූ ගුරු භවතෙකුත් සිටියේය. රෆිල් මාරියා නම් ඒ ගුරුවරයත් කවියෙක් හා දේශප්‍රේමියෙකි. දුප්පත්කම නිසා මාටි අධ්‍යාපනය අතහැර දමන්න සැරසෙන විට ඔහු මාටි වෙනුවෙන් වියදම් කරන්න ඉදිරිපත් වෙයි.
ගුරුතුමාගෙ පුස්තකාලය මාර්ටිට ඕනම වෙලාවක විවෘත වුණේය. 1869 වසර ජොසෙ මාර්ටිගෙ සාහිත්‍ය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සටහන් වෙන්නේ පාසලේ පුවත් පතට ලිපි හා නිර්මාණ ලිවීම ඇරඹීමත් සමඟයි. ABDALA නමින් නව ශෛලියක දේශප්‍රේමි නාට්‍ය පිටපතකුත් ඒ කාලෙම ඔහු අතින් ලියවෙනවා. ඒත් ජොසෙ මාටිගෙ මේ විප්ලවීය ලේඛන කලාවට වැඩි දුර යන්න ඉඩ ලැබෙන්නෙ නැහැ. රාජ්‍ය විරෝධි ලියවිල්ලකුත් සමඟ ස්පාඤ්ඤ පොලීසිය ඔහු අත් අඩංගුවට ගන්නවා. ඒ වෙනකොට මාටිට අවුරුදු 16 සම්පූර්ණ වුණා විතරයි.
හිරගෙදරදී ඔහුගෙ දෙපයට දැමූ විලංගු හේතුවෙන් පා දෙකම වණ වේ. පසුව අධිකරණය ඔහු ස්පාඤ්ඤයට පිටුවහල් කරන්නේ යෞවනයකුට මෙසේ වද දීමට එරෙහිව නීතිවේදීන් කළ මැදිහත්වීම්වල ප්රතිඵයක් හැටියටයි. මාටි මේ අවස්ථාවෙන් ඵල නෙළා ගන්නේ මැඩ්රිට් හා සරාගෝසා විශ්වවිද්‍යාල වලින් උපාධි යුගළක් දිනා ගනිමින්. 1871දී පිටුවහලෙන් නිදහස්ව තම ගමට එන මාටිට අසන්න ලැබෙන්නේ සිය සොයුරියගේ හදිසි මරණය පිළිබඳ දුක්මුසු පුවතයි. ඔහුගේ මුල්ම කවි පොත ලියවෙන්නේ ඇය වෙනුවෙනි.
1880 දශකය ජොසෙ මාටි ලේඛකයකු හා සටන්කාමියකු ලෙස පරිණතභාවයට පත් වූ කාල වකවානුව හැටියට හැඳින්වේ. 1882 දී හා 1891 දී පළ කළ Simple Verses හා Isamaelillo නම් පද්‍ය ප්‍රබන්ධ ජීවිතයත් මරණයත් අතරට මැදිවෙමින් කළ අවදානම්සහගත අරගලය මැද රචිත ලිපි ලේඛන අතර කැපී පෙනෙන කෘති 2කි.
දරුවන් වෙනුවෙන් ලිවීමත් ලේඛකයකුගේ බරපතළ වගකීමක් බව පැවසූ මාටි නිර්මාණය කළ රත්තරන් යුගයක් යන තේරුම ඇති La Edad de Cro නමැති ළමා පොත එකල දරුවන් අතර මහත් ප්‍රසාදයක් දිනාගති. මේ සියලු කාරණා සැලකිල්ලට ගනිමින් කියුබානු නිදහස් අරගලයේ නියමුවකු සේම කියුබානු නව සාහිත්‍යයේ පුරෝගාමියා වශයෙනුත් ජොසේ මාටිගෙ නම අදත් බුහුමනට ලක් වේ.
1895 මැයි 19 ජොසේ මාටිගේ අමිල ජීවිතය වංශාධිපතියන්ගේ කුලී හේවායන්ගේ වෙඩි උණ්ඩයකින් අවසන් වන්නේ කියුබානු ජනතාවගේ නෙත් කඳුළින් නහවමිනි. ඝාතකයෝ මාටිගේ දේහය එතැනම වළලා දමති. තම ඉරණම පෙර දුටු කලෙක මෙන් ජෝසේ මාටි ලියූ මේ කවිය ඔහුගේ සොහොන් ස්මාරකයේ සටහන් කරනුයේ පසු කලෙක මාටිගේ දේහය යළි ගෞරවණීය ලෙස මිහිදන් කරන ලද විප්ලවීය සගයන් විසිනි.
මරා දමා උන් මා යම් දිනෙක
අඳුරු මුල්ලක වළලා දමනු ඇත
හංවඩු ගසා ද්‍රෝහියකු ලෙස...
යහපත් මිනිසෙක් ලෙස දිවි ගෙවූ මම
එසඳ නිදමි හිරු දෙසම බලාගෙන ...,