සුව හමුව | සිළුමිණ

සුව හමුව

පිළිතුරු සැපයීම :- කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක

 

පිළිකා රෝගී මව බලාගන්නේ කෙසේද?

ප්‍රශ්නය :- මගේ මවගේ වයස අවු: 94කි. මෑතකදී ඇයට කෑම ගිලීමේ අපහසුව ඇති වී කටහඬ අඩු වීමට පටන් ගත් නිසා වෛද්‍යවරයකුට පෙන්වීමි. එන්ඩොස්කොපි පරීක්ෂාවකින් පසුව ඈ උගුරේ පිළිකාවකින් පෙළෙන බව තහවුරු විය. මවගේ වයස අනුව ඇයට පිළිකා රෝගයට ලබා දෙන ප්‍රතිකාර දිය නොහැකි බවද පැවසීය. දීර්ඝායුෂ භුක්ති විඳින මගේ මවට අවසාන කාලයේ පිළිකාවක් හේතුවෙන් දුක් විඳීමට සිදු වීම අපගේ සිත්වලට උහුලා ගත නොහැකිය. දැනටමත් ඈ උගුරේ දැවිල්ල සහ ඇඟපතේ වේදනාව ගැන කියමින් කෙඳිරි ගායි. මව වෙනුවෙන් අප කළ යුත්තේ කුමක්දැයි අපට‍ නොවැටහේ. වෛද්‍ය උපදෙසක් බලාපොරොත්තු වෙමි.

නිවිතිගල - ප්‍රියන්ත වීරසේකර

පිළිතුර :- ඔබේ මවට වැළඳී තිබෙන්නේ ප්‍රතිකාර කර සම්පූර්ණයෙන් ම සුවපත් කළ නොහැකි රෝගයකි. එසේ වුවත් එවැනි අය ජීවත්වන තුරු පහසුවෙන් ජීවත් වීමට ඉඩකඩ සැලසීම වෛද්‍ය විද්‍යාවේ අරමුණයි. ආහාර ගිලීමේ අපහසුව නිසා ඉතා සුළු සැත්කමක් මඟින් බට මාර්ගයෙන් ආහාර දීමට උනන්දු වන්න. නැතහොත් සිරුරට දෛනිකව අවශ්‍ය වන පෝෂණය නොලැබීම නිසා වියපත් මාතාව තවතවත් අසීරු තත්ත්වයන්ට මුහුණපෑ හැකිය. ඇයට අවශ්‍ය පෝෂණය ලබා දීම සඳහා පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්‍ වේ. එමෙන්ම පිළිකා රෝගින්ට දරා ගැනීමට අසීරු වන අධික වේදනාව මැඬ පවත්වා ගැනීම සඳහා වෛද්‍ය නිර්දේශය මත වේදනා නාශක ඖෂධ දිය යුතුය. පිළිකා රෝගියකු නිවසේ තබා ගෙන රැක බලා ගැනීමේදී කළ යුතු දේ නිවැරදිව කිරීමටත් නොකළ යුතු දේ නොකිරීමටත් නිවසේ සිටින අය දැනුවත් විය යුතුය. පිළිකා රෝගියකු රැක බලා ගැනීම විශේෂ උපදෙස් අනුව සිදු කෙරෙනවා නම් ඉතාමත් යහපත්ය. විදේශීය රටවල්වල නම් හෙද සාත්තුව පිළිබඳව උපදේශන සේවා සපයන ආයතන ඇත. සමහරවිට මහරගම අපේක්ෂා රෝහලෙන් එවැනි සේවා ලබා ගත හැකිය. එවැනි උපදෙස් සහ පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් අනුව ඔබේ මව ජීවත් වන තුරු යහපත් ආකාරයට ජීවිතය පවත්වා ගෙන යා හැකිය.

රැවුල නැතැයි පුතුට ප්‍රශ්නයක්

ප්‍රශ්නය :- මගේ පුතුගේ වයස අවු: 16කි. ඔහු අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබයි. ඔහුගේ මුහුණේ රැවුල වැවී නැත. කටහඬ නම් වෙනස් වී තිබේ. රැවුල සහ පපුවේ රෝම වර්ධනය නොවීම ගැන ඔහු මැසිවිලි නඟයි. කාලයක් යන විට රැවුල එන බව මගේ සැමියා කොතෙකුත් පැහැදිලි කළ ද ඔහු පවසන්නේ රැවුල නැති වීම ගැන මිතුරන් විහිළු කරන බවය. රැවුල අමතක කර, අධ්‍යාපන කටයුතු නිසි ලෙස කරගෙන යෑමට උපදෙස් දුන් නමුදු ඔහු පසුවන්නේ අසහනයෙනි. සහනයක් බලාපොරොත්තු වෙමි.

නාරාහේන්පිට - ප්‍රියංගිකා කරුණාරත්න

පිළිතුර :- සමහරුන්ට ද්වීතිය ලිංගික ලක්ෂණ මතු වීමට ප්‍රමාද වේ. මෙය ස්වාභාවික තත්ත්වයකි. එය කිසි සේත් ගැටලුවක් නොවේ. එහෙත් යොවුන් වයසේ දරුවෝ මවුපියන් පවසන දේට වඩා බලයලත් පුද්ගලයකු පවසන දේ පිළිගැනීමට කැමැත්තක් දක්වති. එය තරුණ ස්වාභාවයයි. එබැවින් ඔබ පුතුව කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකුට යොමු කර, වෛද්‍යවරයා මඟින් මෙය සාමාන්‍ය තත්ත්වයක් බව පැහැදිලි කර දීම සුදුසුය. නැතහොත් මේ පිළිබඳව සිතමින් පුතුගේ අධ්‍යාපනය ද කඩාකප්පල් විය හැකිය.

 

මතට ඇබ්බැහිවූ සැමියා පුනරුත්ථාපනය කළත් පලක් නෑ

ප්‍රශ්නය :- මගේ සැමියාගේ වයස අවු: 33කි. ඔහු අධික මත්පැන් ලෝලියෙකි. ඔහු දක්ෂ මෝටර් සයිකල් කාර්මිකයෙකි. එහෙත් හම්බ කරන මුදල්වලින් උදේ සිට රෑ වන තුරු මත්පැන් පානය කරන නිසා පවුලේ අඩදබර පවා ඇතිවේ. මම තුන් හැවිරිදි පුතාව රැගෙන නිවසින් ගිය වාර අපමණය. අවසානයේදී මගේ මවුපියන් මැදිහත් වී ඔහුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කළ ද කිසිදු සෙතක් වූයේ නැත. නිවසට පැමිණ මාස 3කින් පමණ පසුව නැවතත් පෙර පරිදිම මත්පැන් පානය කරයි. මේ වන විට තුන් වරක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කර ඇත. මනෝ වෛද්‍යවරයකුගෙන් ද ප්‍රතිකාර දී ඇත. එහෙත් ඒ කිසිවකින් ඔහුගේ ඇති මත්පැන්වලට ඇබ්බැහි වීම නැවතුණේ නැත. මා කළ යුත්තේ කුමක්ද? වෛද්‍ය උපදෙසක් බලාපොරොත්තු වෙමි.

නෑදුරුපිටිය - මේනකා කපිලානි ගුණසේකර

පිළිතුර :- ඔබ ඔබේ සැමියාව මත්පැන් ඇබ්බැහි වීමෙන් මුදවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබේ. එය සතුටට කරුණකි. එහෙත් අවශ්‍ය දේ නිසි පරිදි සිදු කර තිබියදීත් ඔහු එයින් මිදී නොතිබීම නම් බරපතළ ගැටලුවකි. සමහරවිට ඔහු ඇබ්බැහි වී සිටින්නේ මත්පැන්වලට පමණක් නොව, මත්ද්‍රව්‍ය වලට ද ඇබ්බැහි වී ඇතිදැයි සොයා බලන්න. එසේ නොමැති නම් අවශ්‍ය පියවර අසාර්ථක වීමට හේතුව විමසිය යුතුය. ප්‍රථමයෙන් ම ඔබේ සැමියා මත්පැන් ඇබ්බැහිකමෙන් මිදෙන්නට සූදානම් ද කියා දැන ගත යුතුය. එයින් මිදෙන්නට ඔහු අකමැති නම් ඔබ කුමන පියවර ගත්තත් අසාර්ථක විය හැකිය. එබැවින් ඔබ මේ ගැන සාකච්ඡා කළ යුත්තේ සැමියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා සමඟිනි. ඔබේ සැමියා බෙහෙත් නොගෙන සිටීද, වෙනත් ඇබ්බැහි කාරක තිබේද, සැමියාට මෙයින් මිදීමේ වුවමනාවක් තිබේද ආදි කරුණු පිළිබඳ සොයා බැලිය හැක්කේ සැමියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාට බැවින් ඔහුගෙන් උපදෙස් පැතීම වඩාත් සුදුසුය.

 

Comments