අකාලයේ මිලින වූ දීපිකා මලවිආරච්චි | Page 3 | සිළුමිණ

අකාලයේ මිලින වූ දීපිකා මලවිආරච්චි

ප්‍රිය­යන් නික්ම යන කල හදට නැඟෙන ළතැ­වුල වද­න්ව­ලට පෙර­ළ­න්නට සම­තෙක් අප දැක නැත. ඒ ශූන්‍ය සාංකාව දින සති ඉක්මවා සම් මස් විනි­විද ගොස් ඇට මිදු­ළු­ව­ලට කාවැදී රිදුම් කන්නට වෙයි. මේ සංසා­රය පුරා හමු­වෙන අනේ­ක­විද මිනි­සුන් අතර සහෘ­ද­යන් ඇත්තේ අත­ළො­ස්සකි. හද­වත සෙමෙන් ආද­ර­යෙන් පිරි­ම­දින ඒ සහෘ­ද­යන්ගේ නික්ම යෑම ඇට මිදු­ළු­ව­ල­ටම දැනෙන්නේ ඒ නිසාය. දීපිකා චාන්දනී මල්ලවාරච්චි සොයු­රි­යද මේ දීර්ඝ සංසාර ගමනේ හමුවූ ළෙන්ගතු සහෘ­දි­නි­යකි. ඇය සහෘ­දි­නි­යක බව කිය­න්නට බලපෑ හේතු කාරණා ඔබ හමුවේ මා කෙටි­යෙන් සට­හන් කරන්නේ සහෘ­දය සිත්  කෙත­රම් විරල දැයි අප සැමට අත්දැ­කීම් ඇති නිසාය.

සුදු ඇඳුම ඇඳ එයට මුවා වී දහ­ස­කුත් එකක් මැර­කම්, දූෂි­ත­කම් කරන බොහෝ පිරි­සක් අතර, ඇය ඇඳි සුදු ඇඳුමේ ප්‍රභා­වත් බව සේම මන­සින් පිරි­සුදු වූවාය. ඇගේ ප්‍රභා­වත් යෞව­න­යට ගිනි අවු­ළ­මින් පෙම්බර සැමියා වසන්ත ජය­ව­ර්ධන අකල්හි දිවි­යෙන් නික්ම ගිය කල තෝරා ගත් ඒ වර්ණයේ අර්ථ­යට ඇය බෙහෙ­වින් පර්යාය ය. ඒ වර්ණය විසින් ඇයට අන­න්‍ය­තා­වක් සේම තේජ­සක් එක්කර තිබිණි. සිය දිවි සැරි­යෙන් නික්ම යන මේ මොහොත දක්වාම දිවි සැරසූ සුදු වස්ත්‍රය සේම, සිය හද­වතේ වූ ශ්වේත­යද වියැකී යන්නට ඇය ඉඩ නොදු­න්නාය. අප විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය­යන් කල ලේක්හ­වුස් පුස්ත­කා­ලය පරි­ශී­ල­නය කර­න්නට එන හැම මොහො­ත­කම අප වෙනු­වෙන් සිය ශ්‍රමය කැප කර­න්නට බලා සිටි දෙදෙ­නෙක් විය. එක් සහෘ­ද­යෙක් කලින් ලේක්හ­වුස් ආය­ත­න­යෙන් විශ්‍රාම ගිය  එස්. කේ. කේ සිරි­සේ­න­යන්ය. අනෙක් තැනැ­ත්තිය මේ දීපිකා චාන්ද­නිය ය. මේ දෙදෙ­නාම කිසිදු ලෝබ කම­කින් තොරව අපට අවශ්‍ය සෑම තොර­තු­රක්ම, දත්ත­යක්ම යුහු­සු­ළුව සොයා දුන්හ. ඉදින් ශාස්ත්‍රය සොය­න්නන්ට නොපැ­කි­ලව උදව් කරන එවන් අයට සහෘ­ද­යන් කියා ඇම­තීම ඒ වද­නට කරන ගෞර­ව­යකි.

දීපිකා චාන්දනී මුවඟ නිර­න්ත­ර­යෙන් සැර­සුණේ මඳ සිනා­ව­කිනි; ඇය මුදු ය; අන­ලස් ය; නොපැ­කි­ළ ය; අන් අය කෙරෙහි ගෞරව සම්ප්‍ර­යුක්ත ය; එනි­සාම පෙරළා ඒ ගෞර­ව­යෙන්, ආද­ර­යෙන් ඇය ද පිදුම් ලැබු­වාය. මේ ලියැ­වෙන අකු­රක් පාසා ඇත්තේ ඇය කෙරෙහි වූ අප්‍ර­මාණ ආද­රය ය; ගෞර­වය ය.

විජය පුව­ත්පත් ආය­ත­නයේ සහ­කාර පුස්ත­කා­ල­යා­ධි­ප­ති­ව­රි­යක ලෙස සිය වෘත්තීය ගම­නට පිළි­පන් ඇය ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ උපා­ධි­ධා­රි­ණි­යකි; ලේඛ­කත්ව සන්නි­වේ­දන ඩිප්ලෝ­මා­ධා­රි­ණි­යකි. නික්ම යන මේ මොහොතේ ඇය ලේක්හ­වුස් ආය­ත­නයේ ඩී. ආර්. විජේ­ව­ර්ධන අනු­ස්ම­රණ පුස්ත­කා­ලයේ සහ­කාර පුස්ත­කා­ල­යා­ධි­ප­ති­නිය ය. ඒ සැම­ටත් වඩා සිය වෘත්තීය නිපු­ණ­ත්වය විසින් ඇයට මහා දැනු­මක් එක් කර තිබිණි. පුස්ත­කා­ලයේ අප සොයන දෑ අදාළ ලිපි­ගො­නුවේ නැති වුව­හොත් අප හමු වන්නේ ඇය­වය. ඇය අපට ඒ කරුණු අඩංගු විය හැකි විවිධ මූලා­ශ්‍රය සප­යයි; නොප­මාව ඒවා සොයා දෙයි. එන­යින් බලන කල ඇගේ වියෝව අපට ඉම­හත් පාඩු­වකි. ඊටත් වඩා සහෘ­දය සිතක් අහිමි වීමකි.

ඈ ගෙවූ දිවි­සැ­රිය වසර 54 කි. එය මහ ලොකු කාල­යක් නොවේ. එහෙත් ඒ කාල­යට වඩා කාල­යක් ඈ ජීවත් වූ බවට වන සහ­ති­කය ඇගේ මේ නික්ම යෑම අබි­යස සංතා­ප­යට පත් හද­වත් විඳි­න්නේය; අහිමි වීමේ වේද­නා­වෙන් විඳ­ව­න්නේය. ජීවි­තය යනු කාලය ගෙවා දැමී­මක් නොව යුතු­කම් ඉටු කර­න්නට ලැබුණු වේදි­කා­වක් බැව් ඇගේ දිවි­සැ­රි­යෙන් ඈ නිහ­ඬව පෙන්වූ­වාය. ඒ යුතු­කම් ඉටු කරනා විට පැමිණි අනේ­ක­විද දුක් කම්ක­ටො­ළුද ඇය මල් සේම ආද­ර­යෙන් පිළි­ග­ත්තාය. ආද­රය කර­න්නන්ට සේම නොතකා හරි­න්න­න්ටද මඳ සිනා­වෙන්, සම­සි­තින් සැල­කු­වාය. අක­ලට මුත් ජීවි­තය අත­හැ­රෙන විට ජීවත් වූ අයුරු ගැන ඇයට ළතැ­වි­ල්ලක් නොවූයේ එබැ­විනි. එවැනි අම­ර­ණීය මතක ගොන්නක බර සිතේ දරා­ගෙන අප ඇයට අකා­ලික සුවය පතන්නේ රිදුණු සිත්වල බර දරා ගනි­මිනි.

 

Comments