
ලෝකයේ මෙතෙක් නොසැලකිලිමත්කමින් සිදු වූ දරුණුම ත්‍රස්ත ප්‍රහාරය වන්නේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරු දින ප්‍රහාරය බව ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ සහකාර මහාචාර්ය රීටා පර්සි පසුගියදා පවසා තිබුණි. ඔහු පවසා තිබුණේ පාසල් දරුවකුට පහර දීමට තවත් පාසල් දරුවකු උත්සාහ කරන බව දැන ගන්නට ලැබුණහොත් ආරක්ෂාව පිණිස කුමන හෝ ක්‍රියා මාර්ගයක් ගැනීමට තරම් දැනුමක් තිබෙන බවයි.
නමුත් 2019 වසරේ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූයේ අනතුරු ඇඟවීමකදී පාසල් සිසුවකුට ඇති දැනුමවත් නොතිබුණු ආකාරයේ ඉතාම ඛේදනීය තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දී තිබුණි. 1983 වසරේ සිට 2009 දක්වා වූ කාලය ඇතුළත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ බෙදුම්වාදී යුද්ධය මැඬ පවත්වන්නට ශ්‍රී ලංකා හමුදාව කටයුතු කෙළේ බුද්ධි අංශ ලබා දුන් තොරතුරු මූලික කරගෙන බවත් පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූයේ බුද්ධි අංශ අනතුරු නොසලකා හැරීම නිසා බවද ඔහු පෙන්වා දී තිබුණි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ පසුගිය සතියේ ලබා දුන් සාක්ෂි අනුව හෙළිව තිබුණේ ප්‍රහාරයට පෙර අනතුරු ඇඟවීම් සියයකට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.
එසේම මේ ප්‍රහාරය සම්බන්ධව සාක්ෂි ලබාදෙමින් අන්තර්ජාතිත යුද විශ්ලේෂකයකු යෙන්ම ආරක්ෂක විෂය සම්බන්ධයෙන් ප්‍රවීණයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසා තිබුණේ ප්‍රහාරය සිදුවන දිනය සහ වේලාව පවා ඉන්දීය ඔත්තු සේවා විසින් ලබා දී තිබියදීත් ප්‍රහාරය වළක්වා නොගැනීම මෙරට ආරක්ෂක අංශ සිදුකළ වරදක් බවයි. විශේෂයෙන්ම නිශ්චිත බුද්ධි තොරතුරු බරපතළ ලෙස භාර නොගෙන කටයුතු කිරීම මේ ව්‍යසනයට මුල් වූ බව මහාචාර්ය වරයා පවසා සිටියේය.
මහාචාර්යවරයාගේ අනතුරු ඇඟවීම
මහාචාර්යවරයා ‘සිළුමිණ‘ පුවත්පතට වසර කිහිපයකට පෙර අවස්ථා දෙකකදී සම්මුඛ සාකච්ඡා ලබා දෙමින් පවසා සිටියේ අන්තවාදී සංවිධාන මෙරට ඉදිරියේදී ක්‍රියාත්මක වන බවයි. ඔහු 2016දී ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ ශ්‍රී ලංකාව තුළ අයි.එස්. සංවිධානයට සහාය දක්වන විශාල පිරිසක් සිටින බවයි.
එබැවින් එම අන්තවාදී පිරිස් කණ්ඩායමක් ලෙස සංවිධාන වී ප්‍රහාර එල්ල කරන තෙක් බලා නොසිට රජය ඒ සඳහා පියවර ගත යුතු බව මහාචාර්ය රොහාන් ගුණරත්න 2016 වසරේදී ප්‍රකාශ කර තිබුණි. ‘අයිඑස්අයිඑස්‘ සංවිධානයේ ඉලක්කයක් ලෙස ශ්‍රී ලංකාව පත් විය හැකි බවට යුද විශ්ලේෂකයකු නිල වශයෙන් ප්‍රථම වරට පවසා තිබුණේ එම සාකච්ඡාවේදීය.
ඊට පෙර ‘සිළුමිණ‘ පුවත්පතේ ‘අයිඑස්අයිඑස්‘ අවසානයක්ම වේවා! යන සිරස්තලයෙන් දක්වා තිබුණේ ගලේවෙල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයකු ‘අයිඑස්අයිඑස්‘ සංවිධානයට බැදී කටයුතු කරමින් සිටියදී සිරියාවේදී මිය යාමෙන් පසුවය. එම නිසා ‘අයිඑස්අයිඑස්‘ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් එතැනින් නැවතිය යුතු බවද එම ලිපියෙන් දක්වා තිබුණි. එසේ වුවද ඒ සම්බන්ධව පොලිසියේ හෝ බුද්ධි අංශ ක්‍රියාකාරීන්ගේ අවධානයක් යොමුව නොතිබුණි.
මාධ්‍ය මඟින් මේ අයුරින් කෙතරම් අවදානම ප්‍රකාශ කළද ඒ සම්බන්ධව අවධානයක් යොමු වූයේ නැත. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සම්බන්ධව පත් කළ ජනාධිපති කොමිසම විසින් මේ සම්බන්ධව අනතුරු ඇඟවූ මාධ්‍යවේදීන් කැඳවා කරුණු විමසන්නේ ප්‍රහාරයෙන් වසරකට පමණ පසුය. පසුගිය සතියේ ජාතික පුවත්පතක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ගෙන්වා ඔහු විසින් 2014 වසරේ ලියන ලද කෘතියක් පිළිබඳව විමසා තිබුණි. ඔහු පැය 3ක් ප්‍රකාශ ලබා දී තිබුණි.
ඊට පෙර මවිසින් 2015 වසරේ සිට අවස්ථා 8කදී පමණ මේ අවදානම සම්බන්ධව ලියන ලද ලිපි පිළිබඳව හා ප්‍රහාරය සිදු වූ කාලයේ යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා හා කළ සාකච්ඡාවකදී විමර්ශනාත්මක ලෙසින් විමසන ලද ප්‍රශ්නයක් සම්බන්ධව කරුණු විමසන ලදී. කොමිසම විසින් පසුගිය මස 27 වැනිදා ප්‍රකාශ ලබා දෙන ලෙස දන්වන ලද අතර මවිසින් පැය 5ක් (පෙ.ව. 9.30 සිට ප.ව. 2.30 දක්වා) ප්‍රකාශ ලබා දෙන ලදී. ඊට පෙරද අවස්ථා දෙකකදී මාධ්‍යවේදීන් දෙදෙනකුගෙන්ද කරුණු විමසන ලදී.
පළමු බුද්ධි තොරතුර
පාස්කු ප්‍රහාරය පිළිබඳව පළමු බුද්ධි තොරතුර රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට ලැබෙන්නේ 2019 වසරේ අප්‍රේල් 04 වැනිදාය. ඔහු එම තොරතුරු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට ලබා දෙන අතර සිසිර මෙන්ඩිස් එය පොලිස්පතිවරයාට යොමු කර තිබේ.
සහරාන් සහ ඔහුගේ කණ්ඩායම මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කරන බවත්, එම ප්‍රහාරයන්ගේ ඉලක්ක වී ඇත්තේ කතෝලික දේවස්ථාන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය බවත් සුපිරි සංචාරක හෝටල් මේ ඉලක්කයේ තවත් ඉලක්ක විය හැකි බවට තොරතුරු ලැබී තිබුණි.
එම තොරතුර නිලන්ත ජයවර්ධන විසින් රහසිගතව අප්‍රේල් 09 දින ජාතික බුද්ධි ප්‍රධානීට, පොලිස්පතිට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවා ඇති බවට වාර්තා වේ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, ආයුධ ප්‍රහාර ඇතුළු ප්‍රහාර මීට ඇතුළත් බවද එය සිදුකරන සහරාන් ඇතුළු මරාගෙන මැරෙන ත්‍රස්තයන්ගේ නම්ද එම ලිපියේ සඳහන්කර තිබීමෙන් බුද්ධි තොරතුරු කෙතරම් සූක්ෂ්ම ලෙසින් ලැබී ඇත්ද යන්න මෙයින් තහවුරු වේ.
එවන් ත්‍රස්තවාදී ප්‍රහාරයක් ගැන විශ්වසනීයත්වයෙන් යුතු බුද්ධි තොරතුරක් තිබියදීත් අප්‍රේල් 16 දා වනතුරු බුද්ධි අංශ රැස්වීමක් කැඳවා නැති බවද පාස්කු ප්‍රහාරය සම්බන්ධ වූ විශේෂ කාරක සභාවේදී අනාවරණය විය.
අප්‍රේල් 16 වැනිදා සහරාන්ගේ අනුගාමිකයින් කාත්තන්කුඩියේදී යතුරු පැදියක් පුපුරුවා හරින ලද්දේ දුරස්ථ පාලකයක් මඟිනි. ඒ අධික වැසි හා අකුණු පවතින අවස්ථාවකය. කාත්තන්කුඩියේ පොල්වත්තකදී එම අත්හදාබැලීම සිදු කළ බවට නැඟෙනහිර යුද හමුදා අනු ඛණ්ඩයක් විසින් දන්වන ලද තොරතුරු අනුව එය ආරක්ෂක අංශවල ඉහළටම ගිය තොරතුරක් බවට පත් ව තිබේ. එසේ වුවත් ඒ ගැන අවධානය යොමු කර නැත. එය විනාශකාරී ක්‍රියාවක අත්හදාබැලීමක් බවත් නුදුරු දිනකදීම විනාශකාරී ක්‍රියාවක් විය හැකි බවට එම අංශවලින් අනතුරු ඇඟවීම් ලැබී තිබුණද ඒ සම්බන්ධව කිසිදු ආකාරයක විධිමත් පරීක්ෂණයක් සිදු කර නොමැති බවද ඒ වන විට අනාවරණය වී තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහයන් (ඔහු 2019 වසරේ අප්‍රේල් මස 19 වැනිදා සිට 21 වැනිදා දක්වා බස්නාහිර උතුර දිසාව භාරව වැඩ ආවරණය කරන නියෝජ්‍ය පොලිස්පතිවරයා විය) පවසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව තොරතුරු දැක්වෙන ලේඛනයක් VPN තාක්ෂණය ඔස්සේ 2019.04.09 දින තමන්ට ලැබුණු බවයි. අදාළ ලේඛනයේ දැක්වුණේ කතෝලික දේවස්ථාන කිහිපයකට සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ස්ථාන කිහිපයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. එම ප්‍රහාරයට සම්බන්ධව සහරාන් හෂීන් හා මොහොමඩ් රිල්වාන් අයගේ නම් ගම් ඡායාරූප හා හැඳුනුම්පත් අංක පවා එහි සඳහන්ව තිබූ බවත් ඔහු පවසන ලදී.
ප්‍රහාරයට පෙර දිනත් අනතුරු ඇඟවීමක්
එසේම අප්‍රේල් 20 වැනිදා රාත්‍රී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ තමා අමතා සහරාන් විසින් ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධව ලැබී ඇති තොරතුරු තහවුරු වී ඇති බව රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ස්ථිර කළ බව පැවසීය.
එමෙන්ම මිට පෙර ප්‍රකාශ ලබා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ ඉන්දීය රෝ බුද්ධි අංශ විසින් 2019 වසරේ ජනවාරි 23 වැනිදා ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු ලබා දී තිබූ බවයි. ජාතික බුද්ධි සේවාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය මෙන්ම සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම ඒ සම්බන්ධයෙන් නොසැලකිලිමත් ලෙසින් කටයුතු කර ඇති බව ඔහු පැවසුවේය.
එවකට මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වූ චන්දන අතුකෝරළ සාක්කි දෙමින් පැවසුවේ ප්‍රහාරයක් ගැන තොරතුරු ලැබී තිබුණද මෙතරම් බරපතළ සිදුවීමක් වනු ඇතැයි අපේක්ෂා නොකළ බවත්ය.
වර්තමානයේ පොලිස් සුබසාධක කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන චන්දන අතුකෝරළගෙන් කොමිසම විමසා සිටියේ ප්‍රහාරයක් එල්ල වන බවට දැනුවත් වූයේ කවදාද යන්නයි. ඔහුගේ පිළිතුර වූයේ 2019 වසරේ අප්‍රේල් 12 වැනිදා සවස පණිවුඩකරුවකු හරහා තමන්ට ලැබුණු ලිපියක් මඟින් බවයි. එය එවා තිබුණේ එවකට කොළඹ උතුර බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බවද ඔහු පැවසීය.
එවකට කොළඹ මධ්‍යම පොලිස් කොට්ඨාසය බාරව කටයුතු කළ පොලිස් අධිකාරි ශාන්ත වික්‍රමසිංහගෙන් කොමිසමට පැවසුවේ අප්‍රේල් 12 වැනිදා තමන්ට මේ ප්‍රහාරය ගැන තොරතුරු ලැබුණු බවයි. එවක කොළඹ මධ්‍යම නියෝජ්‍ය පොලිස්පති ධුරය දැරූ ශාන්ත පතිනායකගෙන් 2019 වසරේ අප්‍රේල් 20 වැනිදා රාත්‍රී 7.30ට පමණ ප්‍රහාරය එල්ල වන බවට ස්ථිර කළ තොරතුරක් ලැබුණු බවද ඔහු පැවසීය. එදිනම රාත්‍රියේ කොටුව පොලිසියේ කාර්යභාර නිලධාරි ලෙස සේවය කළ පොලිස් පරීක්ෂක ශාන්ත වික්‍රමසිංහගෙන් ප්‍රහාරය ගැන පණිවුඩයක් ලැබුණු පවද ඔහු පැවසීය.
කොමිසම හමුවේ පෙනී සිටි එවකට බස්නාහිර බුද්ධි කොට්ඨාසය බාරව සිටි සහකාර පොලිස් අධිකාරි බී. අයි. අයි. ප්‍රසන්න පැවසුවේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කළ ‘ඉස්ලාම් අන්තවාදයක් මෙරට ක්‍රියාත්මක බව‘ ප්‍රකාශය අනුව දර්ගා නගරයේදී අබ්දූල් අමීන් නැමැත්තකු අත්අඩංගුව ගත් බවත් ඔහු ‘ඉස්ලාමයේ අඳුරු අසිපත කොළඹ අහසේ ළෙලදෙනවා‘ - මීට අයිඑස් අයි එස් ශ්‍රී ලාංකික - යනුවෙන් ඔහුගේ මුහුණු පොතේ සදහන් කර තිබු බවයි. තමා ඒ පිළිබඳව එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර දැනුවත් කළ බවයි. එමෙන්ම රාජ්‍ය බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ මෙහෙය වූ අතර ජාතික ආරක්ෂාවට ඉස්ලාම් අන්තවාදීන්ගෙන් තර්ජන එල්ල විය හැකි බවට සාකච්ඡා කෙරුණු බවද ඔහු කීවේය. ඒ අනතුරු ඇඟවීම ගැන කිසිවකු අවධානය යොමු කෙළේ නැත.
·ප්‍රහාරය දින උදෑසනත් අනතුරු ඇඟවීමක්
නිලන්ත ජයවර්ධනට අප්‍රේල් 21 වැනිදා , එනම් පාස්කු ප්‍රහාරය සිදුවුණු දිනද පෙරවරු 8.27 ටද ප්‍රහාරය ගැන පණිවුඩයක් ලැබී ඇත.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට පසුගියදා 18 වැනි අඟහරුවාදා පැමිණි හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් පැය 5ක පමණ ප්‍රකාශයක් ලබා දෙන ලදී. එදිනම කොමිසම හමුවේ 13 වැනි දිනටත් සාක්ෂි ලබා දුන් නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේ කිසිදු අවස්ථාවක බුද්ධි අංශ දුර්වල නොවූ බවයි. ප්‍රහාරයට දෙසතියකට පෙර තොරතුරු ලබා දුන් බවත් 21 වැනිදා උදෑසනද ප්‍රහාරය එල්ල වන බව දන්වා ඇතැයිද ඔහු කොමිසමට පැවසීය. එමෙන්ම බෝම්බ 6ක් පිපිරුණු විට තවත් බෝම්බ දෙකක් පුපුරුවා හැරීමට තිබෙන බවත් බෝම්බ ලොරියක් පල්ලියක් ලඟ නවතා ඇති බවත් හෙළි කළ බව ඔහු කීය. බුද්ධි අංශ ලබා දුන් එම තොරතුරු නිසා දෙවන ප්‍රහාරයක් වැළකී ගිය බවද ඔහු පෙන්වා දුන්නේය.
බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් අප්‍රේල් 8 වැනිදා තමාට පිළිතුරු ලිපියක් එවමින් සහරාන් ගැන සියලු තොරතුරු ලබා දුන් බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදී ඔහුට මන්නාරමේ සිට බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවට පලා යාමට අවස්ථාව සලසා දී ඇත්තේ හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුද්දීන්ගේ සොහොයුරකු වන රික්වාන් බද්දුය්දීන් බවත් කොමිසම හමුවේ අනාවරණය කෙළේය. ඉන්දියාවේ කාෂ්මීර් ප්‍රදේශයේ අන්තවාදී මත පතුරවමින් සිටි සහරාන් 2018 වසරේ මෙරටට පැමිණ කොම්පඤ්ඤවීදියේ රහසිගතව සැඟව සිටි බවට තොරතුරු ලැබුණු බවද ඔහු කීවේය. එදිනම රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ශානි අබේසේකරගෙන්ද කොමිසමේ පොලිස් ඒකකය විසින් පැය 6කට අධික කාලයක් ප්‍රකාශ ලබා ගන්නට කටයුතු කර තිබේ.
මේ අතර ලබන 26 වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොමිසම වෙත පැමිණෙන ලෙසද දන්වා ඇත. ඉන්දීය බුද්ධි අංශ පමණක් නොව මාධ්‍යවේදීන් මෙන්ම යුද විශ්ලේෂකයින් ඇතුළු පිරිස් විසින් මේ ප්‍රහාරය ගැන අනතුරු ඇඟවීම් 97ක් කර තිබියදී එය වළක්වා නොගැනීම ගැන මේ වන විට ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇත. එමෙන්ම සහරාන්ට පැන යාමට අවකාශ සලසා දන් අය කවුරුන්ද යන්නද මේ වන විට හෙළිවී ඇත. ජනාධිපති කොමිසම හමුවේ තව තවත් කරුණු හෙළි වනු ඇත. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බව අප අමතක නොකළ යුතුය.