
ශ්‍රී ලංකාවේ නව වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා රාජකාරි ආරම්භ කළ මහින්ද යාපා අබේවර්ධන 1978 ව්‍යවස්ථාව ස්ථාපිත කර ගැනීමෙන් පසුව මෙරට ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුවේ 11 වැනි කථානායකවරයාය. ඉතා නිහතමානි සහ චාම් ගතිගුණ ඇති නව කථානායකවරයාගේ පැටිකිරිය රටේ ජනතාවට කියන්නට සිතාගෙන අප පෙරේදා කොළඹදී මහින්ද යාපා හමුවන විට බොහෝ රෑ බෝ වි තිබුණද අපේ අවශ්‍යතාවට ඇහුම්කන් දුන් නව කථානායකවරයා වෙහෙස මහන්සිය නොබලාම පැය දෙකකට ආසන්න කාලයක් අප සමඟ සතුටු සාමීචියේ යෙදුණේය. එවෙලේ අප ඔහු සමඟ කතා කළ බොහෝ දේ අතුරෙන් මහින්ද යාපාගේ අතීතය, වර්තමානය හා අනාගත අපේක්ෂාවන් පිළිබඳවත් ඔහුගේ පවුලේ තොරතුරු පිළිබඳවත් මෙලෙස සටහන් කරන්නේ නව වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධනයන් පත්කිරීම කෙතරම් යුක්ති සහගත දැයි තක්සේරු කර ගැනීම ඔබට ම බාර කරමිනි.
මාතර මාකඳුර මහ විද්‍යාලයෙන් පස් වැනි පන්තිය දක්වා අධ්‍යාපනය හැදෑරු මහින්ද යාපා අබේවර්ධනයන් ඉන්පසු ද්විතීවික අධ්‍යාපන කටයුතු සඳහා මාතර රාහුල විද්‍යාලයට ඇතුළත් වී ඇත. උසස් පෙළ විභාගය සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු කලා විෂයන්ගෙන් උපාධියක් දිනා ගත්තේය. හෙතෙම එකල සිටම දේශපාලනයට වැඩි ඇල්මකින් කටයුතු කළේය. ඉඩම්හිමි වැවිලිකරුවකු වු මහින්ද යාපාගේ පියා එම ප්‍රදේශයේ ගම්සභාවේ උප සභාපතිවරයකු ලෙසද කටයුතු කර ඇත. මහින්ද යාපා අබේවර්ධනයන්ගේ බාප්පාද (පියාගේ සොහොයුරා) එකල එම ප්‍රදේශයේ ගම්සභාවේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කර ඇති බවද ඒ කාලය තමන්ට එතරම් මතක ඇති කාලයක් නොවන බවද මහින්ද යාපා සඳහන් කළේය. ගැහැනු සහෝදරියන් සිවු දෙනෙකු හා පිරිමි සහෝදරයන් සිවු දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වුයේද මහින්ද යාපාය. මහින්ද යාපාගේ බාල සොහොයුරකු වන සරත් යාපා අබේවර්ධන දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇති ව්‍යාපාරිකයෙකි. තවත් බාල සහෝදරයකු නීතීඥයකු ලෙස කටයුතු කරන අතර අනෙක් සහෝදරයා ගේදොර වතුපිටි රැකබලා ගනිමින් කටයුතු කරන බව මහින්ද යාපා සිහිපත් කළේ සහෝදර ප්‍රේමයෙනි.
![]() |
මහින්ද යාපා අබේවර්ධනයන් සිය බිරිඳ සහ දූ දරුවන් සමඟ |
විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස එකල ශිෂ්‍ය සංගම්වලට සම්බන්ධ වී දේශපාලනයට අවතීරණය වූ මහින්ද යාපාට සිය පියාගෙන් ලැබුණ දේශපාලන ආභාසයද ඔහු වෘත්තීය දේශපාලනඥයකු කරන්නට ඉවහල් වී තිබේ. එකල මාතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිසේන හෙට්ටිගේ මහින්ද යාපාගේ කිට්ටු නෑදෑයෙකි. ඔහුගේ දේශපාලන කටයුතුවලට උදවු කරන්නට ගොස් ලැබු දේශපාලන පන්නරයද මහින්ද යාපා සිහිපත් කරන්නේ අභිමානයෙනි. මහින්ද යාපාගේ මිතුරන් අතරින් වැඩි දෙනෙකුද දේශපාලනයට සම්බන්ධ වීම මොහුගේ දේශපාලන ගමන ශක්තිමත් කීරීමට හේතු වී ඇත. එදා තරුණ මහින්ද යාපා ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ දේශපාලන දර්ශනය සමඟ අත්වැල් බැඳගත්තේ සිය මිතුරු සමුහයේ ඒකමතික තීන්දුවකට අනුවය. ඒ තීන්දුවත් සමඟ 1983 වසරේ හක්මන මැතිවරණ බලප්‍රදේශයේ අතුරු මැතිවරණයට මුහුණ දීමට මහින්ද යාපාට අවස්ථාව උදා විය. හා හා පුරා කියම්න් හක්මන අතුරු මැතිවරණයේ එජාප අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වු මහින්ද යාපා අබේවර්ධනයන්ට බහුතරයගේ සහාය ලැබීම නිසා හක්මන ආසනයේ මන්ත්‍රීවරයා වන්නට වාසනාව ලැබුණි.
පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදීද තම ආසනයේ ජනතා ගැටලු විසඳීමට හඬ නැගූ මහින්ද යාපා චචනයේ පරිසමාප්තියෙන් ම දේශප්‍රේමීයකු බව ඔප්පු කරමින් කටයුතු කීරීම ඔහුගේ දේශපාලන හිතවාදීන්ට මහත් අභිමානයක් විය. එය වඩාත් කැපී පෙනුණේ 1987දී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්දියාව සමඟ අත්සන් කළ ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමට අත්සන් ලබාගත් අවස්ථාවේදීය. ඒ මොහොත මහින්ද යාපා අදත් සිහිපත් කරන්නේ ඉමහත් කනස්සල්ලෙනි.
"ජේ.ආර් අපෙන් අහලා අපිව දැනුවත් කරල නොවෙයි ඉන්දු ලංකා ගිවිසුම සුදානම් කළේ. ඒ ඔක්කොම ඒ අයට හිතවත් පිරිසක් එක්ක කරලා අන්තිමට අපිට අත්සන් කරන්න කීවා. අපේ අනෙක් මන්ත්‍රීවරු ඒකට අත්සන් කළා. නමුත් මම ඒ ගිවිසුමට එරෙහිව ඒක අත්සන් කළේ නෑ. මමත් එක්ක තවත් දෙන්නෙක් ඒකට අත්සන් කිරීමෙන් වැළකී සිටියා. එදා අපිට හිතුණා මේ ගිවිසුම රටට අහිතකර, රට පාවා දෙන ගිවිසුමක් කියලා. මේ රටේ ඉපිද මේ රටේ හැදුණු වැඩුණු අය විදියට මේ රට කාටවත් පාවා දෙන්න අපි සුදානම් නෑ. එහෙම කරන්න කාටවත් ඉඩ දෙන්නත් බෑ." මහින්ද යාපා ඒ අමිහිරි අතීතය ආවර්ජනය කළේ එසේය. මේ සිදුවීමෙන් පසුව මහින්ද යාපා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ලිපියක් මඟින් ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාට දැන්වීය. ඒ ලිපිය ආපසු හරවා එවූ ජේ.ආර්, මහින්ද යාපා පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට කටයුතු කළේද ඒකාධිපති වියරුවෙන්ය."ඒ අවධිය රට තුළ ජවිපෙ මීනි මරණ අවධියක්. රට පුරා තිබුණේ මහ භීෂණකාරී තත්ත්වයක්. එහෙම වුණත් රට පාවා දෙන්න මගේ අත එසවුණේ නෑ. බියක් චකිතයක් ඒ වෙලාවේ තිබුණත් ඊට වඩා මට මගේ රට ගැන හැඟීමක් තිබුණා. මගේ ජීවිතයට මොනවා වුණත් කමක් නෑ කියලා තමයි මම ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වුණේ"
![]() |
1983 වසරේ සිට සෑම මැතිවරණයකදීම මහින්ද යාපා අබෙිවර්ධනයන්
පරිහරණය කරන ජීප් රථය භාවිතා කරන ජීප් රථය
|
ත්‍රාසය භීතිය පොදි බැදගෙන රට වෙනුවෙන් රට පැත්තේ හිටගත් මහින්ද යාපා එදායින් පසුව එජාපයට එරෙහිව ශ්රීලනිපය සමඟ දේශපාලනයට අවතීරණය වූයේ සිය ආධාරකරුවන් සියලු දෙනාගේම ආශිර්වාදය සමඟය. ඉන්පසුව පැවැති හැම මැතිවරණයකදීම ජයග්‍රහණය කළ මහින්ද යාපා අබේවර්ධනයන් 2000 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයේදී දකුණු පළාත් සභාවට තරග කර එය ජය ගෙන දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය. මුලදී හක්මන ආසනය නියෝජනය කළ ඔහු පසුව වැලිගම ආසනයට පැමිණියද පැවැති කිසිදු මැතිවරණයකදී පරාජය වූයේ නැත. වසර තිහකට ආසන්න කාලයක් කිසිවිටෙක ජනතාව අත් නොහල මහින්ද යාපා අබේවර්ධනයන් වරක් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය. එකල කෘෂිකාර්මික දියුණුව උදෙසා හොඳ බීජ නිෂ්පාදනයට මුල් තැන දුන් හෙතෙම ගුණාත්මක බීජ ගොවියාට ලබා දී වැඩි අස්වැන්නක් ලබා ගත හැකි පසුබිමක් නිර්මාණය කළේය. දකුණු පළාත තුළ වඩාත් ප්‍රචලිතව ඇති කුරුඳු, ගම්මිරිස්, තේ වැනි බෝග සම්බන්ධයෙන්ද මහින්ද යාපා පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීද විශාල අරගල කරමින් ඒ නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ගොවියාට ලබා දීමට නිරතුරු වෙහෙස ගත්තේය.
ඉකුත් යහපාලන ආණ්ඩුවට එරෙහිව මහින්ද රාජපක්ෂයන් සමඟ එක්ව ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කරමින් මහින්ද යාපා ගම්මිරිස් ප්‍රතිඅපනයන ක්‍රියාවලියකට යොමුව දේශීය ගම්මිරිස් හා අනෙකුත් කුළුබඩු වර්ගවල ප්‍රමිතිය හෑල්ලු කර ඇති ආකාරය විටින් විට පෙන්වා දෙමින් දේශීය කුළුබඩුවල ගුණාත්මක බව රැකගැනීමේ වැයමක නිරත වූ ආකාරයද කිසිවකුටත් අමතක කළ නොහැකිය.
මහින්ද යාපා අබේවර්ධනයන් දරුවන් පස් දෙනෙකුගේ පියෙකි. එක් දියණියක් හා පුතණුවන් සිවු දෙනෙකු සිටින ඔහුගේ බිරිඳද නීතිඥවරියකි. දියණිය පෞද්ගලික ආයතනයක ගණකාධිකාරිණියකි. පුතණුවන් දෙදෙනකු වෛද්‍යවරුන්ය. එක් පුතකු බැංකු නිලධාරියකු වන අතර අනෙක් පුතා ඉංජිනේරුවරයෙකි. මේ අනුව මහින්ද යාපාට දේශපාලනයෙන් හරිහම්බ කර ගන්නට දෙයක් නැත. ඒ නිසාම ඔහුගේ දේශපාලන භූමිකාව අවංකය; පරාර්ථකාමීය.
ඔහු කතානායක ධුරය ගැන මෙසේ කියන්නේය.
ලෝකයේ කිසිම රටක කථානායක ධුරය කවුරුත් කැමැත්තෙන් බාරගෙන තිබෙන අවස්ථා ඉතාම විරලයි. නමුත් මම කථානායක ධුරය බාර ගන්න කැමති වුණා. ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන්න මේ තනතුරෙන් ලොකු සේවයක් කරන්න පුළුවන්." මහින්ද යාපා සඳහන් කළේ අධිෂ්ඨානශීලිවය. මන්ත්‍රීවරයකු, ප්‍රධාන අමාත්‍යවරයකු, ඇමතිවරයකු, නියෝජ්‍ය ඇමතිවරයකු, කාරක සභා සභාපතිවරයකු ලෙස තනතුරු දරා ඇති මහින්ද යාපාට කථානායක ධුරය අභියෝගයක් විය නොහැකිය. එංගලන්ත පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායකවරයාද පත්කර ඇත්තේ බලහත්කාරයෙන් බව සිහිපත් කරන මහින්ද යාපා අබේවර්ධනයන් තමන් කැමත්තෙන් බාරගත් මෙම තනතුර සමඟ තමන්ගේ දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කිරීමට අනෙකුත් අමාත්‍යවරුද තමන්ට සහාය ලබා දෙන බවට එකඟත්වය පළ කර ඇති බවද සිහිපත් කළේය.
ශ්‍රී ලංකා ජන සමාජයේ තුන්වැනි පුරවැසියා ලෙස සැලකෙන්නේ කථානායකවරයාය. එමෙන්ම එම තනතුර දරන්නාට විශේෂ ගෞරවයක්ද හිමිය. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සුවිශාල වගකීමක් පැවැරෙන කථානායකවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ විනය පවත්වා ගෙන යෑම ගැනද වගකිව යුතුය. පාර්ලිමේන්තු විවාදවලදී ඒ ඒ දේශපාලන පක්ෂය සඳහා කාලය බෙදාදීම වර්තමාන සම්ප්රදාය වුවද ඉදිරියේදී පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර මන්ත්‍රීවරුන් පදනම් කරගෙන කතා කාලය වෙන් කර දීමට තමන් අපේක්ෂා කරන බවද මහින්ද යාපා සඳහන් කළේය.
දේශපාලනය විනෝදාංශයක් කරගත් මහින්ද යාපා ලැබෙන විවේකයේදී පිහිනීමට යොමු වන බවද කැකුළු හාලේ බත් සමඟ කිරි හොද්ද තම ප්‍රියතම ආහාරය බවද අප සමඟ කීවේ සිනාසෙමිනි. මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී ලැබෙන රස බොජුන් පිළිබඳව සමාජයේ පවතින කතාබහ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නව කථානායකවරයා " ඔය අවලාද නඟන අයට මම ගාණේ පාර්ලිමේන්තුවේ කෑම මාසයක් ලබා දෙන්න මම කැමතියි. කාලා බලන්න කියන්නකෝ ඔය කියන තරම් රස බොජුන්ද කියල" යැයිද කීවේය. විදේශ රටවල් හැටකට ආසන්න ප්‍රමාණයක සංචාරය කර ඇති බව කියන මහින්ද යාපා අබේවර්ධනයන් එම රටවලදී ලබාගත් අත්දැකීම් කථානායකවරයා ලෙස තම කටයුතුවලට වඩාත් ප්‍රයෝජනයට ගත හැකි බවද සිහිපත් කළේය. මෙවර පාර්ලිමේන්තුවේ බහුතරයක් නවකයන් බැවින් ඔවුන්ට පාර්ලිමේන්තු සම්ප්රදාය විනය හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව විධිමත් පුහුණුවක් ලබාදීමේ කටයුතු ලබන 26 දා සිට ආරම්භ කරන බවද පැවසීය."පාර්ලිමේන්තුවේ විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂය රටේ ඒකීය භාවය, ස්වෛරීත්වය ආරක්ෂා කොට රට සෞභාග්‍යවත් හා සදාචාර සම්පන්නව ගොඩ නැඟීමට කැපවෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයක් තිබුණත් රටට ජනතාවට අහිතකර කිසිවක් නොකරනු ඇතැයිද එවැන්නක් කරන්නට ඉඩක් නොලැබෙනු ඇතැයිද නව කථානායක මහින්ද යාපා අබේවර්ධනයන් පැවසුවේය.