කුකුළු නිෂ්පාදකයන්ගේ ගැටලු නිසා අහස උසට නඟින බිත්තර මිල | Page 2 | සිළුමිණ

කුකුළු නිෂ්පාදකයන්ගේ ගැටලු නිසා අහස උසට නඟින බිත්තර මිල

ලංකාවේ කුකුළු මස් හා බිත්තර ව්‍යාපාරය බෙහෙවින් ලාබ ලබන මෙන්ම රජයට බදු අය වන ආදායම් මාර්ගයක් වන අතර මෙම ව්‍යාපාරය හරහා සෘජු හා වක්‍ර ආදායම් මාර්ග උපයන මිලියනයකට ආසන්න ජිවිත ප්‍රමාණයක් කොරෝනාවේ අතුරු විපත් හමුවේ මේ වන විටත් දැඩි ජීවන අරගලයකට මුහුණ දුන් බව නොරහසකි.

කොවිඩ් වසංගත පාලනයට පසුගිය කාලයේ රට පුරා පැනවූ ඇඳිරි නිතිය නිසාවෙන් බොහෝ පළාත්වල බිත්තර සියයට 60 ක ප්‍රමාණයක් ඉතුරු වූයෙන් එදා බිත්තරයක් සිල්ලර මිලට විකිණූයේ රුපියල් 8-10 වැනි ඉතා අඩු මිලකටය. බිත්තර ලාබදායි අඩු වියදමකින් වේල පිරිමසා ගත හැකි ආහාරයක් නිසාවෙන් පසුගිය කාලයේ බොහෝ දෙනෙක් බිත්තර ආහාරයට එක්කර ගැනීමට හුරු විය. අදත් බිත්තරවලට විශාල ඉල්ලුමක් පැවතුණද පසුගිය කාලයට සාපේක්ෂව මේ වන විට බිත්තරයක මිලද අතිශයින්ම ඉහළ ගොස් ඇත. මේ වන විට කොළඹ මැනිං වෙළෙඳ පොළේ බිත්තරයක තොග මිල රුපියල් 21.50 ත් දුඹුරු බිත්තරයක මිල රුපියල් 22.50 ත් වෙයි. මේ අනුව බිත්තරයක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 23- 24 ක් පමණ වෙයි.

එදා වැලේ වැල් නැතුව සිටි මේ කුකුළු මස්, බිත්තර ව්‍යාපාරිකයන් දැන් අතිශයින්ම ලාබ ලබන තත්ත්වයකට පත්ව ඇතැයි පාරිභෝගිකයන් මැසිවිලි නඟන්නේ අඩු ලාබදායි පෝෂ්‍ය ආහාරයට හෙණහුරා ලැබූ නිසාය.

“ කෙරෝනා වසංගත කාලයේ බිත්තර මිල ගොඩාක්ම අඩුවුණා. අපිට මතක ඇති කාලයක එහෙම බිත්තරයක මිල අඩු වුණේ නැහැ. මේ නිසා ගෙවල්වල ඇති තරම් බිත්තර ගෙනත් තියා ගන්න පුළුවන් වුණා. ඇඳිරි නීතිය තිබුණත් මස් මාළුවල අඩුවක්් දැණුනේ නැහැ.

ඒත් දැන් බිත්තරයක් ලොකු ගණනකින් වැඩි වෙලා. මේ මිල දරා ගන්න බැහැ. එක පාරටම රුපියල් 10 කින් විතර මිල ඉහළ ගිහින්. දැන් බිත්තරයත් රුපියල් 23 කට වඩා ගණන්. සමහර තැන්වල විවිධ මිල ගණන්වලට විකුණනවා. ඒ වගේම වෙනදා තරම් බිත්තරය රස නැහැ. බිත්තර විවිධ ප්‍රමානයෙන් වගේම ගුණාත්මක බවිනුත් අඩු බවයි අපිට පේන්නේ. .....“ මේ පාරිභෝගිකයෙකු

වන කුරුණැගල මාලතී සෙනෙවිරත්න මහත්මියගේ අදහසයි.

පාරිභෝගිකයෝ සිතන පරිදි බිත්තර වෙළෙන්දෝ දැන් පොහොසත්වීද? කොරෝනාවෙන් පසු බිත්තර මිල මෙසේ ක්ෂණිකව ඉහළ ගියේ ඇයි? මේ සියල්ලටම විසඳු ම් ගෙනෙන ඔවුන්ගේම කතාවක් ඇත්තේය. බිත්තරය කාගේත් පෝෂණිය ආහාරයක් නිසාවෙන් ලංකාවේ ආහාරයට පමණක් නොව හෝටල් ක්ෂේත්‍රයටද දෛනික පරිභෝජනයට බිත්තර ලක්ෂ 70-75 ක් පමණ අවශ්‍ය වෙයි.

නමුත් පසුගිය කාලයේ බිත්තරවලට ඇති විශාල ඉල්ලුම් හේතුවෙන් මේ විට බිත්තර ඉල්ලුම ලක්ෂ 85 දක්වා ඉහළ ගොස් ඇත්තේය.

එහෙත් කොතරම් බිත්තර මිල ඉහළ ගියද අවශ්‍ය ඉල්ලුමේ තරමට සැපයුම ලබා දෙන්නට බිත්තර වෙළෙන්දන්ට නොහැකි වී ඇති අතර මේ වන විටත් ඉල්ලුමට දිය හැක්කේ බිත්තර ලක්ෂ 65 ක ප්‍රමානයකි. බිත්තර මිල ඉහළ යාම පිටුපස බොහෝ දෙනා නොදන්නා අඳුරු කතාවක් ඇත්තේය. ඒ කොරෝනාවෙනුත්, කුකුළු ආහාර නිපදවීමට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන බඩ ඉරිඟු අහිමි වීමෙන් සිදු වූ අතුරු විපාකයන් නිසාය.

“ බිත්තර මිල වැඩී වීමට හේතු කිහිපයක් බලපෑවා. ප්‍රධාන හේතුව තමයි , කුකුළු ආහාර නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන බඩ ඉරිඟු නොමැතිකම.

කුකුළු ආහාර කිලෝ 100 ක් හදන්න බඩ බරිඟු කිලෝ 60 ක් යනවා. බඩ ඉරිඟු එකතු කිරිමෙනුයි, ඒ ආහාරය ශක්ති ජනක වෙන්නේ.

ඒ වගේම බිත්තරයේ කහ මදයේ වර්ණය ගෙන දෙන්නේ බඩ ඉරිඟු එකතු කිරීමෙන්. අවුරුද්දකට බඩ ඉරිඟු ලක්ෂ 6 ක් නිෂ්පාදනය කළ යුතු වුණත් දේශීයව නිෂ්පාදනය කරන්නේ ලක්ෂ 3 යි. ඒ මහා කන්නයේ හෙක්ටයාර් 80,000ක 90% ක් හා යල කන්නයේ හෙක්ටයාර් 20,000 ක 10% ක් වශයෙන්. නමුත් පසුගිය කාලයේ සේනා දළඹු ප්‍රශ්නය නිසා අපේක්ෂිත නිශ්පාදනය ලැබුණේ නැහැ. ඒ වගේම බඩ ඉරිඟු ගොවීන්ට වතුර ප්‍රශ්නය ආවා. යල කන්නයට වතුර නැති නිසා ඒ හේන් ලදු කැළැ වෙනවා. මේ නිසා පසුගිය රජයෙන් නීතියක් දැම්මා ලදු කැළෑ වගා නොකරන ලෙස.

මේ නිසා කුකුළු ආහාර නිශ්පාදනයට අවශ්‍ය බඩ බරිඟු නොමැති වුණා. පසුව සමහර වෙළෙන්දන් භට විකල්පයක් ලෙස සුණු සහල් යොදා ගත්තා.

පසුව රුපියල් 35 ට තිබුනු සුණු සහල් කිලෝව රුපියල් 65 ක් දක්වා වැඩි වුණා.

අපි මේ ප්‍රශ්නය ගැන දිගින් දිගටම අපි රජය සමඟ කතා කළා. මේ වන විට බඩ ඉරිඟුවලට උපරිම සිල්ලර මිලක් නියම කළත් ගොවීන් ඒ්වා සඟවා ගත්තා.

කොරෝනා කාලයේ මේ ප්‍රශ්නය උග්‍ර වුණා පමණක් නෙමෙයි, බිත්තර විකුණා ගන්නත් බැරිවුණා. මේ වන විට මේ ප්‍රශ්නයට විසදුමක් වශයෙන් බඩ ඉරිඟුවලට ආදේශකයක් සපයමින් තිරිඟු ලංකාවට ගෙන්වීමට තීරණය කළා. මේ වන විට තිරිඟු මෙටිරික් ටොන් 1,85,000 ක් මේ මස අගදී ලංකාවට ගේනවා. ඒත් තිරිඟු ගෙන්වීම මේ ප්‍රශ්නයට ආදේශකයක් නොවෙයි...“. ඒ සමස්ත ලංකා කුකුළු මස් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකරය.

සමස්ත ලංකා කුකුළු මස් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසන්නේ තිරිඟු ගෙන්වීමෙන් බිත්තර ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවයි.

මේ වන විට බිත්තර වලට හොඳ වෙළෙඳ පොළක් නිර්මාණය වී ඇත්තේය. ඒ මැද පෙරදිග වෙළෙඳ පොළයි.

නමුත් ඒ වෙළෙඳ පොළට සරිලන පරිදී බිත්තර නිශ්පාදනයට හැකියාව ලැබේද යන්න ප්‍රශ්නයකි.

සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු නොමැති වීම නිසා ගුණාත්මකව හොඳ බිත්තරයක් නිශ්පාදනයට නොහැකි වන අතර බිත්තරයක අපේක්ෂිත වර්ණයන් ගැන්වීමට රසායනිකද එක් කරන්නට සිදුවන බවයි.

“ බිත්තර මිල ඉහළ යාමට සත්ත්ව කැම ප්‍රශ්නය තමයි ප්‍රබලව බලපෑවේ. ජනතාව හිතන්නේ අපි වැඩි මිලට දෙන්නේ ලාභ තියාගෙන කියලයි.

දැන් අපිට ගොඩාක් ප්‍රශ්න. කුකුළන්ට දෙන කැම වලට බඩ ඉරිඟු නොදැමීම නිසා බිත්තර කහ මදයේ වර්ණය ලැබෙන්නේ නැහැ.. මේ නිසා බිත්තර කහ මදයේ අපේක්ෂිත වර්ණය ගන්වලා විකුණන්න කැරටීන් කියන කෘතිම රසායනිකය ගන්වන්න සිදු වෙනවා. මේ රසායනිකය කිලේ 1 ක් රුපියල් 20,000 ක් වෙනවා.

එහෙම නැතිනම් මෙරිගෝල් කියන දාස් පෙතියා මලින් සකස් වූ ස්වභාවික රසායනිකය හෝ පාවිච්චි කරන්න සිදු වෙනවා. බඩ ඉරිඟු ගෙනාවොත් මේ මිල යම් ප්‍රමානයකින් අඩු කරන්න පුළුවන් වෙයි. අමුද්‍රව්‍ය මිල ඉහළ නිසා අපි පාඩුවට තමයි බිත්තර මස් දෙන්නේ. සාමාන්‍යයෙන් බඩඉරිඟු සීසන් එක ජනවාරියේදි කැඩෙනවා. ඒ වෙන කොට තොග වෙළෙන්දෝ බඩඉරිඟු රැස් කර ගන්නවා. ඒ බඩඉරිඟු ඔවුන් ළඟ තියාගෙන වැඩි මිලට විකුණනවා....“

ඒ කුලියාපිටියේ බිත්තර වෙළදාමේ නියුතු ව්‍යාපාරිකයකු වන එස්. එම්. ඒ. ඩබ්ලිව් මායාදුන්නේය.

සත්ව ආහාර නිශ්පාදනයේ මිල ඉහළ යාම නිසා මේ වන විටත් මේ කර්මාන්තය දැඩි කඩා වැටීමකට ලක්ව ඇත.

විශේෂයෙන්ම සත්ත්ව ආහාර නිෂ්පාදනයේදි දැඩි අවශ්‍යතාවයක් පවත්නා බඩ ඉරිඟු මිල අධිකව ඉහළ යාම නිසාත් ආනයන ගැටලු මතුවිම නිසාත් මේ තත්ත්වය මතුව ඇත.

තවත් පැත්තකින් මේ අරගලය දිනා ගැනීමට නොහැකි නිසා බොහෝ කුකුළු ගොවිපළ රැසක් වැසී ගොස්ය. එය සියයට 40 ක් පමණය.

සමහරක් පිරිස් ගොවිපළේ සතුන්ගේ කෑම වියදම් දැරීමට නොහැකි නිසා විකුණා දමා ඇත්තේය.

මේ වන විට මවු සතුන්ගේ දැඩි හිඟයක් පවතින්නේ මේ හේතුව නිසාය.

එදා බිත්තර සඳහා වූ මවු සතෙකුගේ වියදම රුපියල් 150 ක් වුවද අද එය රුපියල් 300 කි. දිනකට කිකිළියකට නියමිත ප්‍රමිතියේ සලාක ආහාරය ලබා දුනහොත් වසරකට බිත්තර 300 ක් පමණ ලබා ගත හැකි වුවද දැන් මේ ප්‍රමානය සියයට 30 කින් පහත බැස ඇත.

“ අපිට ෆාම් කරගෙන යන්න බැරි තත්ත්වයක් උදාවුණා. මට දවසකට රුපියල් 15,000 ක් පමණ අතින් වියදම දරන්න සිදුවුණා.

අපිට එක් දවසකට කුකුලෙකුට පමණක් ආහාර දීමට රුපියල් 15.50 ක වියදමක් දරන්න සිදු වෙනවා.

දැන් ගොඩාක් බිත්තර ෆාම් නතර වෙලා. ඒ අයගේ බැංකු ණය ගොඩ ගැහැලා. මේ නිසා කුකුළෝ විකුණන්න සිදුවුණා. මගේ ෆාම් එකේ 3000 ක් විතර විකිණුවා. එදා මම දවසකට බිත්තර 10,000 ක් විතර ගත්තා . අද ලැබෙන්නේ 6000 ක් පමණයි. මේ ප්‍රශ්නය හැම තැනම තියෙනවා.

මේ නිසා බිත්තර ඉල්ලුමට අනුව ලබා දෙන්න බැහැ. බිත්තර මිල ඉහළ යාමට ඒ ප්‍රශ්නයත් බලපැවා. ඒ වගේම බඩ ඉරිඟු කිලෝ

එකක් ලැබෙන්නේ රුපියල් 90 කට. රුපියල් 55 කට ලැබුණොත් කිසිම කතාවක් නැතුව රුපියල් 16-18 කට බිත්තර දිය හැකියි. තිරිඟු ලංකාවට ගෙන්වීමෙන් මේ ප්‍රශ්නයට විසදුම් දෙන්න බැහැ.

තිරිඟු පිටි ආහාරයට එක් කළත් බිත්තර කහ මදය වර්ණ ගැන්විමට

රසායනික පාවිච්චි කරන්න සිදු වෙනවා. මේ තිරිඟු ලංකාවට පැමිණි පසු අපි කුමක් කරනවද කියා තාම විසදුමක් නැහැ.....“ඔහු සමස්ත ලංකා කුකුල් මස් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ අධ්‍යක්ෂවරයෙකු වූ ඩී.ඩබ්ලිව්. පී මුණසිංහ මහතාය.

මේ නිසා බිත්තර මිල සහනය කවදා ලැබේදැයි අපේක්ෂා කළ නොහැක.

බිත්තර ගොවීන්ගේ මේ ව්‍යාපාරය කොරෝනාවෙන් පසුවටද නොවිසඳෙන ප්‍රශ්න ගණනාවකි.

විශේෂයෙන් ඔවුන් පීඩා විඳින සත්ත්ව ආහාර මිල ගණන් අවම විම මේ ප්‍රශ්නයෙන් ගැලවීමේ එකම මාර්ගයකි. රජයට වාර්ෂිකව රුපියල් බිලියන 10 ක් බදු වශයෙන් ගෙව්වද තමන්ට කිසිදු සහනාධාරයක් නොලැබෙන බව ඔවුහු චෝදනා නගති.

රජයට විශාල වශයෙන් ලාභ හිමිවන මේ කර්මාන්ත වැටෙන්නට නොදී රැක ගැනිම රජය සතු වගකීමක් බව මේ අය ප්‍රකාශ කරති.

අද වන විට වාර්ෂිකව එක් අයකුගේ බිත්තර භාවිතය බිත්තර 115 කි. ලංකාවේ බිත්තර නිෂ්පාදනයෙන් සියයට 30 ක් යැවෙන්නේ සුපිරි වෙළෙඳ සැල්වලටය.

බිත්තර අඩු මුදලට ලොකු පොඩි කාටත් ප්‍රෝටීන් බහුල ආහාරයකි. එහෙත් කුකුළු නිශ්පාදකයන්ගේ ගැටලු තවමත් විසදි නැත්තේය. ලොකු පොඩි කාගේත් බත්පතට එක්වන මේ බිත්තරයේ මිල අවම කරන්නට ගුණාත්මකව හොඳ බිත්තරයක් ලබා දිමට මේ ගැටලුවලට විසදුම් ලබා දිය යුතුය.

 

Comments