
සමාජයේ ජීවත්වන ලොකු කුඩා කොයි කාටත් එදිනෙදා ජීවත්වීමට අවශ්‍ය කරන එළවළු පලතුරු, හාල්, තුනපහ, මස්, මාළු ආදී අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපළේ මිල උච්චාවචනය කාටත් වැදගත් වන්නේ දින දෙක තුනකට වරක් නිරන්තරයෙන් ඒවා මිලට ගත යුතු නිසයි.
කොරෝනා සමයෙන් පස්සෙ පැවැත්වූ මහ ඡන්දයක් සමඟ කොළඹ මැනිං වෙළඳපළේ එළවළු පලතුරු මිල ගණන් පිළිබඳව සොයා බලන්න පසුගියදා අපි එහි සංචාරය කළේ කොළඹ 1 – 15 දක්වා වැඩි පිරිසක් එළවළු පලතුරු සිල්ලරට මෙන්ම තොග මිලට ගන්න පිටකොටුව මැනිං මාකට් එකට යන නිසයි. මැනිං වෙළෙඳපළින් තොගේට මිලට ගන්නා එළවළු පලතුරු වෙනත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට ගෙන ගොස් සිල්ලරට කෙරෙන වෙළෙඳාමෙන් තමයි මේ රෝල දිවවෙන්නේ.
මුලින් ම අපි ගියේ කෙසෙල් තොග වෙළෙඳපොළට. එහිදී හමුවූ පිළියන්දල රත්නපාල රංචාගොඩ මහතා (63) මෙෙස් පැවසීය. කෝලිකුට්ටු, ඇඹුල් කෙසෙල්, සීනි කෙසෙල්, ඇම්බුන්, ආනමාලු විවිධ ප්‍රදේශවල ඉඳලා අපට එවනවා. අකුරැස්ස, ඇඹිලිපිටිය වගේ ප්‍රදේශවල ඉඳලා මේ දිනවල ටිකක් වෙළෙඳාම අඩුයි. කොරෝනා නිසා හුඟාක් පාරිභෝගිකයෝ කොළඹ එන්නෙත් නෑ. කොරෝනාවලට කලින් සාමාන්‍ය වෙළෙඳාමක් තිබුණා. දැන් ටිකක් අඩුයි. ඉස්සර මාතර, අවිස්සාවේල්ල, පුත්තලම වගේ ප්‍රදේශවලින් වෙළෙන්දො ආවා. ටිකෙන් ටික සීමාව පටුවෙලා දැන් කොළඹ නගර සභා බල ප්‍රදේශයේ අය පමණයි බඩුගන්නේ. වැස්සක් වැටුණොත්, ඇඳිරි නීතිය ආවොත් කෙසෙල් මිල අඩු වෙනවා. අනිද්දාට වැඩියි. මේ දිනවල තොග මිල ගත්තොත් ඇඹුල් රු. 70, කෝලිකුට්ටු රු. 150, ඇම්බුන් රු. 130, සීනි 50 -70 වගේ වෙනවා සිල්ලර මිල ඇඹුල් රු. 110, කෝලි කුට්ටු රු. 250, ඇම්බුම් රු. 180, සීනි 80 වෙනවා.
සමහර වෙලාවට ඉතුරුවෙලා, නරක්වෙලා අහකදානවා. නැත්නම් කීයට හරි දීලා දානවා. අපි කොමිස් පිටනේ වෙළෙඳාම් කරන්නේ.
කඩවත, ජී.එච්. මහින්ද (55) කෙසෙල් වෙළෙඳාමේ යෙදෙන්නෙක් සෙනඟ ටිකක් අඩුයි. පසුගිය ටිකේ වෙළෙඳපළට ආවේ අඩුවෙන්. දැන් බඩු එනවා. වෙළෙඳාම අඩුයි බඩු ටිකක් මිලයි. ඒ නිසා විකිණෙන්නේ අඩුවෙන්. ඇඹිලිපිටිය, රුවන්වැල්ල, බළන්ගොඩ, මොනරාගල, යාපනය ඇතුළු හැම පළාතකින් ම කෙසෙල් ලැබෙනවා. තොග මිල ගණන් ගතහොත් කෝලිකුට්ටු රු. 200, සීනි කෙසෙල් 80, ඇම්බුන් 130, රත්කෙහෙල් 200, ඇඹුල් 60 වගේ මිලට යන්නේ. අපි ඉදෙන්න එත්රල් කියන බෙහෙත ගහනවා. ඒ සම්බන්ධ නම් ගැටලු තිබුණා. ඒත් අනිත් අය ඒක භාවිතා කරනවා. ඒ නිසා අපිත් භාවිතා කරනවා. කෙසෙල්වල සිල්ලර මිල ගණන් ගතහොත් කෝලිකුට්ටු 250, සීනි කෙසෙල් 100, ඇම්බුන් 150, රත්කෙහෙල් 250, ඇඹුල් 90 – 100 විතර වෙනවා.
මැනිං මාකට් එකේ ගස්ලබු වෙළෙඳාම් කරන කමල් රණසිංහ (අවු. 50) සිළුමිණට මෙසේ අදහස් දැක්වීය.
අපේ වෙළෙඳපළේ මිල තීරණය වන්නේ වෙන වෙන හේතු හින්දා නෙමෙයි. ගස්ලබු වැඩි කාලෙට මිල අඩුයි. ගස්ලබු අඩු කාලෙට මිල වැඩියි. අපට ලැබෙන පැපොල් කුරුණෑගල, වවුනියාව සිට අනුරාධපුරය, යාපනය දක්වා වැවෙනවා. දකුණු පළාතේ ගස්ලබු කොළඹට එනවා අඩුයි. සංචාරක පැත්ත පසුබාලා තියෙන නිසා අලෙවිය අඩුයි. ඒ නිසා මිලත් පහළ යනවා. සංචාරක කර්මාන්තය දියුණු වුණාම ගස්ලබුවලට හොඳ මිලක් ලැබෙනවා. ගිය සතියේ කිලෝවක් 30 – 40 ගියා. අද 50, 60,70. සමහරදාට කුණු වෙනවා. ගස්ලබු වර්ග ටැනින්, රෙඩ් ලේඩි, සන්රයිස්, සිත්තා කියලා වර්ග කීපයක් තියනවා. හෝටල්වලට ගෙනියන්නේ රතුපාට නිසා රෙඩ් ලේඩියි. සිල්ලර වෙළෙඳපළේ හොඳ ඉල්ලුමක් තියෙන්නේ ටැනින් වලට.
රුවන් හේමන්ත (55) අන්නාසි වෙළෙඳාමේ යෙදෙන්නේ අවු. 25 ඉඳලා. ගම්පහ, කිරිඳිවැල, රඳාවාන, ගිරිඋල්ල, කුලියාපිටිය වගේ ප්‍රදේශවලින් අන්නාසි මිලට ගන්නේ. තොගේට කිලෝව රු. 120 ගන්නේ. සිල්ලර මිල 130, 150, 200. හෝටල් ක්ෂේත්රයේ පසුබෑම තමයි අන්නාසි වෙළෙඳාම අඩුවීමටත් හේතුව. දවස ගානේ අපි පිටකොටුවට එනවා. ඒත් සමහරදාට වෙළෙඳාම හොඳ මදි.
හැට හැවිරිදි චන්දන තල්පාවිල සිල්ලර වෙළෙඳාමේ යෙදෙන්නේ එළවළු, පලාවර්ග, තක්කාලි, පචෝඩි වගේ චයිනීස් අයිටම්, කොරෝනා නිසා 50 ට අඩු වුණා. ඒ මදිවට, චන්දෙත් ආවා. අපේ බිස්නස් වැටුණා. තක්කාලි ඉක්මනට නරක් වෙනවා වතුර වැටුණාම. පචෝඩි ගෙනියන්නේ සුප්වලට.
පියසිරි මාරපන (60) මිරිස්, බටු, බෝංචි, කැරට්, පිපිඤ්ඤා, රාබු, දඹල, පතෝල, ගෝවා, අලු කෙසෙල්, දෙහි අලෙවි කරන්නෙක් එම එළවළුවල තොග හා සිල්ලර මිල සඳහන් කළා.
එළවළුවල සිල්ලර මිලයි, තොග මිලයි කියලා ලොකු වෙනසක් නැහැ. අපි අවුරුදු 30 විතර මේ වෙළෙඳාම කරගෙන යන්නේ.
මාතර ප්‍රියන්ත සාගරත් එළවළු වෙළෙඳාම සිදු කරගෙන යන අයෙක්. මෙහෙන් අරගෙන තමයි අපි එළවළු විකුණන්නේ.
ලීක්ස්, බෝංචි වගේ එළවළුත් වැස්ස වැඩි වුණාම ගාන අඩුවෙනවා. බෝංචි තොග මිල රු. 200, සිල්ලරේට විකුණන්නේ රු. 220.
මාලඹේ ඩබ්.එල්. චන්ද්‍රරත්න (55) විකුණන්නේ කැරට්, ලීක්ස්, පමණයි. එක එක දවසට එක එක මිල. ස්ථාවර මිලක් නැහැ. අවුරුදු 30 වෙළෙඳාම් කරලා තිබෙනවා. ගෙවල් දොරවල් හදාගෙන දරුවන්ට උගන්නගෙන ඉන්නවා. මේ දවස්වල එළවළු අලෙවිය අඩුවීමට හේතුව, විදේශ රටවලට එළවළු නොයැවීම හා සංචාරක හෝටල්වලට එළවළු මිලට නොගැනීමයි.
දුමින්ද සමන්කුමාර මැනිං මාකට් එකේ තොග වෙළඳාමේ යෙදෙන්නේ. මුරුංගා, බණ්ඩක්කා, බතල, ඇඹරැල්ලා වගේ එළවළුයි. මන්නාරම් කල්පිටි, ලොරිවලින්. මිලට අරගෙන සාමාන්‍ය කොමිස් මුදලක් තියාගන විකුණනවා. ලාභයක් ලැබෙනවා. පාඩුවෙන වෙලාවලුත් තියනවා. මන්නාරමේ කල්පිටි මුරුංගා රසයි ඇඹිලිපිටි මුරුංගාවලට වඩා තොග කිලෝව රුපියල් 70 වෙනවා. සිල්ලරේට රුපියල් 80 – 100 විකිණෙනවා.
ප්‍රියන්ත සාගර මාතර (52) අලුපුහුල්, වම්බටු, වැටකොළු, කරවිල, බීට්රූට් අලෙවි කරනවා. ඒවායේ තොග මිල ගත්තොත් පතෝල රු. 90, වැටකොලු රු. 70, වම්බටු රු. 70 ක්, කරවිල රු. 140ක්, අලුපුහුල් 30 විතර වෙනවා. සිල්ලර මිල ගත්තාම පතෝල 120, වැටකොලු 100, වම්බටු 100, කරවිල 160, අලුපුහුල් 50 පමණ වෙනවා.
මැනිං මාර්කට් එකේ කෙළවරක ගල් සියඹලා විකුණන එන්.එස්. ප්‍රේමසිරි (57) ළඟ බුලත් - පුවක් හුණු, දුම්කොළ, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, කරාඹුනැටි හේමත් මිලදී ගත හැකියි. පහුගිය කාලේ වෙළෙඳාම හොඳටම අඩුවුණා. දැන් ටිකක් වැඩියි. අම්පාරෙන් තමයි ගල්සියඹලා ගේන්නේ කිලෝව රු. 200 ට. ග්‍රෑම් 100 රු. 80 ට විකුණන්නේ කවරවල දාලා.
මැනිං මාර්කට් එක සමීපයේ රඹුටන් යායක් තිබුණා. නසාර් සවුකන් අලිමොහොමඩ් (47) එහි අලෙවිකරු මල්වානෙන් තමයි රඹුටන් ගෙනත් තිබුණේ. “දවසකට ගෙඩි 3000 විතර ගේනවා. ගෙඩි 25 ක් 100 ට දෙන්නේ. රු. 1500 විතර ලාභයක් තියනවා හවස් වෙද්දී ගෙඩි ටික විකුණලා ඉවරවෙනවා. කලින් මම මැංගුස්ටින් විකුණුවා. ඒ ඒ කාලෙට වැඩිපුර තියන දෙයක් අලෙවි කරනවා, උදේ ඉඳලා හවස් වෙනකම් වෙළෙඳාම් කරනවා. කොහොම හරි අපිට ජීවත්වෙන්න වියදමක් හොයාගන්න පුළුවන්.
සේයාරූ - සමන් ශ්‍රී වෙදගේ