
දකුණු ආසියාවේ පැය 24ම සමස්ත රටටම විදුලිය සැපයූ පළමු රට ලෙස අපි උදම් ඇනුවෙමු. එහෙත් 2009 වසරේ අපි විදුලිය සම්බන්ධයෙන් එවන් තවත් වාර්තාවක් තැබුවේ වාර්තා පොතේ පිටුපසිනි. ඒ සමස්ත දිවයිනටම පැයකට අධික කාලයක් විදුලිය විසන්ධි වූ රටවල් අතරට යෑමෙනි. එමෙන්ම ඒ වාර්තාව අලුත් කරන්නට 2015 වසරේත් 2016 වසරේදීත් අපි සමත් වුණෙමු. ඒ වාර්තාව වසර 4කට පසුව අලුත් කෙළේ ලෝක වාර්තාවක් තබන තත්ත්වයකටදැයි සිතන්නට පුළුවන. ඒ පසුගිය 17 වැනිදා දහවල් 12.35 සිට පැය 7 ½කට අධික කාලයක් දිවයිනටම විදුලි බලය ඇණ හිටි නිසාය.
2015 වසරේ මෙවන් දරුණු තත්ත්වයක් ඇති වූ අතර එයට නිසි විසඳුම් ලබා දෙන්නට අපේ විදුලි ඉංජිනේරුවෝ අසමත් වූහ. එම නිසා 2016 වසරේදීද එවන් තත්ත්වයක් ඇති විය. ඊට වසර 4කට පසුව වාර්තාගත ලෙසින් පැය 7 ½ක පමණ කාලයක් මෙලෙස විදුලිය ඇණ හිටියේ නම් අපේ විදුලි පද්ධතියේ කොතැනක හෝ විශාල දෝෂයක් තිබිය යුතුය. අපේ රටේ මහජනයා හා සම්බන්ධ වන ආයතන අතර වැඩිම ඉංජිනේරුවන් පිරිසක් ඉන්නා ආයතන 5 අතර විදුලි බල මණ්ඩලයද තිබෙන අතර මෙවන් තත්ත්වයක් මේ ලෙසින් දිගින් දිගටම සිදුවන්නේ නම් එහි වගකීමේ වැඩි කොටසක් ඔවුන් විසින් දැරිය යුතුමය.
පසුගිය 17 වැනිදා සිදුවූ විදුලිය බිඳ වැටීම සම්බන්ධව දිගින් දිගටම ආ කරුණු විභාග කර බැලීමේදී පෙනී යන්නේ මෙහි අලගිය වැලගිය තැන් සොයා ගැන්මට පවා විදුලි ඉංජිනේරුවන්ට නොහැකි වූ බවයි. පත්‍රය පාඨකයා අතට පත්වන විට එහි නිවැරැදි හේතුව සොයා ගන්නට හැකි වී තිබෙන්නට පුළුවන. එහෙත් මේ තත්ත්වය දිගින් දිගටම සිදු වන්නේ නම් ඒ සඳහා නිසි විසඳුමක් සපයා දිය යුත්තේ කවුද?
විදුලි බල මණ්ඩලය කාලයක් තිස්සේ විවිධ මාෆියාවන් සම්බන්ධව කතාබහට ලක්ව ඇති ආයතනයකි. වරෙක ගල් අඟුරු මාෆියාවක් ගැන කරුණු එළියට ආවේය. තවත් විටෙක පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලයට ගැනීම ගැන අක්‍රමිකතා එළියට ආවේය. මේ අතර විදුලි ඉංජිනේරුවන්ගේ විවිධ මාෆියාවන් ගැනද කරළියට ආ අවස්ථා අපමණය. විදුලි ජනක යන්ත්‍ර සම්බන්ධ දූෂණයන් ගැනද වෘත්තීය සමිති විසින් චෝදනා නඟා තිබුණි.
කෙසේ හෝ පසුගියදා රටම දැඩි අපහසුතාවකට පත් කරමින් සිදු වූ මේ විදුලිය ඇණ හිටීමේ වගකීම ගන්නට කිසිවෙක් මේ දක්වා ඉදිරිපත්ව නැත. විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාගේ සිට සියලු දෙනාම ඇඟ බේරා ගැනීමට හේතු සාධක ඉදිරිපත් කරනවා විනා මේ සිදුවීම වූයේ කෙසේද? නැවත එවැන්නක් ඇති නොවිමට කටයුතු කරන්නේ කෙසේද? යන්නට නම් විසඳුමක් සොයන බවක් නොපෙනේ. කෙරවලපිටිය නඩත්තු කටයුත්තක් අතරතුර සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ දෝෂයක් නිසා දහවල් 12.35ට විදුලිය විසන්ධි වූ බව විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පළමුව පැවසීය. එහෙත් පසුගිය 19 වැනිදා ඔහු පැවසුවේ කෙරවලපිටියේ සිදුවූ අත්වැරැද්දකින් එය සිදුවූ බවයි.
බලාගාරයේ සිදු වූ එම අත්වැරැදීම නිසා පද්ධතියේ වූ බිඳ වැටීමක් නිසා මේ තත්ත්වය හටගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය. එම බිඳවැටීම නිසා නොරොච්චෝලෙ තාප විදුලි බලාගාරයේ සමතුලිතතාවයද බිඳ වැටී සමස්ත පද්ධතියම අක්‍රිය වූ බව ඔහු පවසයි.
කෙසේ වුවත් එදිනම රාත්‍රී 8.00 පමණ වන විට කොළඹ, ගම්පහ, කුරුණෑගල හා දකුණු පළාතේ බොහෝ ප්‍රදේශවලට විදුලිය සැපයීමට හැකි වූ බව ද ඔහු පවසයි. සෙසු ප්‍රදේශවලට විදුලිය සැපයීමට හැකි වූයේ රාත්‍රී 10.00ට පමණ බවද ඔහු කීය. කෙසේ වුවත් නොරොච්චෝලෙ බලාගාරය යථා තත්ත්වයට පත් වන තුරු විදුලිය අඛණ්ඩව සැපයීමක් කළ නොහැකි බව පවසන හේරත් මහතා අනිවාර්යෙන්ම පැයක කාලයක් විදුලිය බලය අත්හිටුවීමට සිදුවන බව කීවේය.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලයේ පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ සිළුමිණට පැවසුවේ විදුලි බල පාලන පද්ධතියක් පවා ස්ථාපිත කර ඇති අවස්ථාවක මෙවන් සිදුවීමක් ඇති වීම කිසිසේත්ම සුළුකොට නොතැකිය හැකි බවයි. එවන් තත්ත්වයක් ඇති වන්නේ නම් විදුලි ඉංජිනේරුවන්ගේ සේවය කුමකටද යන පැනය ඔහු විමසා සිටියේය. මෙවන් ක්‍රියා තාක්ෂණික හොරකම් බව පෙන්වා දුන් ඔහු පවසන්නේ මේ සම්බන්ධව ජනාධිපති කොමිසමක් පත් කර විසඳුම් සොයා ගත යුතු බවයි.
එහෙත් මණ්ඩලයේ නිදහස් පොදු සේවක සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රභාත් පවසන්නේ මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවත් එය බිඳවැටීමක ප්‍රතිඵලයක් බවයි. කෙරවළපිටිය අක්‍රිය වූ විට නොරොච්චෝල පද්ධතියේ බිඳ වැටීමක් සිදුව ඇති බවත් එහි පාලනය ගිලිහී මේ තත්ත්වය ඇති වූ බවත් ඔහු පැවසුවේය.
නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ අක්‍රිය වීමක් ඇති වුවහොත් එය සමස්ත විදුලි බල පද්ධතියටම දැඩි සේ බලපවත්වනු ඇත. එයට හේතු වන්නේ සමස්ත විදුලි බල සැපයුමෙන් 32.66%ක් එනම් 1/3ක් පමණ විදුලිය ලබා දෙන්නේ නොරොච්චෝලෙ ලක්විජය බලාගාරයෙන් වීමයි. මෙරට සමස්ත විදුලිබලයෙන් 50.21%ක් ජලවිදුලියෙන් නිපදවන අතර ඩීසල් ඉන්ධන භාවිතයෙන් 4.15%ක්ද සුළං බලයෙන් 0.58%ක්ද නිපදවනු ලැබේ. නොරොච්චෝලෙ විදුලි බලාගාරයෙන් දිනකට මෙගාවොට් පැය 810ක (900ක්) පමණ විදුලි උත්පාදනයක් සිදු කෙරෙන අතර මෙරට දෛනික විදුලි බල නිෂ්පාදනය ගිගාවොට් පැය 35.44ක් වන අතර දෛනික (කාර්යබහුල) විදුලි ඉල්ලුම මෙගාවොට් පැය 2203.44ක් වේ.
එම නිසා යම් හෙයකින් නොරොච්චෝල බලාගාරය බිඳ වැටීමක් සිදුවුවහොත් සමස්ත ශ්‍රී ලංකාවටම එය බලපානා බව මෙයින් පැහැදිලිය.
නොරොච්චෝල බලාගාරයේ විදුලි ජනක යන්ත්‍ර 3ම මේ සිදුවීමත් සමඟම අක්‍රිය වී ඇත. යම් හෙයකින් මේ බලාගාරය අක්‍රිය වුවහොත් අක්‍රිය වූ හේතුව සෙවීමට පවා දින 3ක් පමණ ගත වන්නේ බලාගාරයේ අධික තාපය නිසා ඒ අසලටවත් යාමට නොහැකි වීම නිසයි. නොරොච්චෝල ලක්විජය බලාගාරය සිසිල්ව ඒ අසලට යාමට නම් දින 3ක් පමණ ගත වේ. එය ක්‍රියාකාරී තත්ත්වයට පත් කළ හැකි වන්නේ සිසිලනය කිරීමෙන්ද පසුවය. බලාගාර 3ම යථා තත්ත්වයට පත් කිරීමට නම් සතියක පමණ කාලයක් ගත වනු ඇත.
විදුලිය සැපයීම බිඳ වැටීම සම්බන්ධයෙන් විමර්ශනයට 7 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ අතර එහි ප්‍රධානත්වය මහාචාර්ය රාහුල අතලගේ දරන මේ කමිටුව පසුගියදා කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළ වෙත ගොස් විදුලිය විසන්ධි වීමට හේතු වූ බව කියන ස්ථානය නිරීක්ෂණ කරන ලදී. එම කමිටුව ලබන සඳුදා වනවිට සිය වාර්තාව ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම මේ විදුලිය විසන්ධි වීමට හේතුවූ කරුණු සම්බන්ධව විමර්ශනයක් පවත්වා දින තුනක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විසින්ද ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම් දී ඇත. කෙරවලපිටිය ප්‍රධාන විදුලි උපපොළේ නඩත්තු කටයුත්තක දී විදුලි අධිකාරිවරයෙකුගෙන් සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් විදුලිය විසන්ධි වීම සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි (සම්ප්‍රේෂණ) ආචාර්ය සුසන්ත පෙරේරා සිකුරාදා පස්වරුවේ නිල වශයෙන් නිවේදනව කෙළේය.
විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගීවූ අතර එහිදී ඇමැතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ පද්ධති පාලන ඒකකයේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි තර කරන ලෙසයි.
සමස්ත දිවයිනේම විදුලිබල සැපයුමේ ස්ථායිතාවය සුරැකෙන ප්‍රධානතම ස්ථානය වන පද්ධති පාලන මධ්‍යස්ථානය නිරන්තරයෙන් සුරක්ෂිත විය යුතු අතර රටේ අඛණ්ඩ විදුලි සැපයුම සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක හා සංවේදී මධ්‍යස්ථානයක් නිසි අයුරින් රැකගැනීම ජාතික වගකීමක් බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත. ඒ අනුව දැනට පද්ධති පාලන මධ්‍යස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටින නිලධාරීන්ට අමතරව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. කෙසේ වෙතත් විදුලිය ඇණ හිටීම නිසා කෝටි 500කට අධික පාඩුවක් සිදුව ඇති බවට මේ වන විට ගණන් බලා තිබේ. අවම වශයෙන් බත්තරමුල්ලේ ඉදි කර ඇති විදුලි බල පද්ධති පාලන මධ්‍යස්ථානයෙන් කරන්නේ කුමක්ද යන්න ජනතාවටද පැනයකි.
කෙසේ හෝ විදුලිය අර්බුදය තවමත් විසඳී නැත. මේ එහි පීල්ලෙන් ඉවතට ගිය එක් සිදුවීමක් පමණි. ජනතාවට පවා විදුලි සැර වැදීමට මණ්ඩලයේ මේ ක්‍රියාමාර්ග හේතු වී ඇත.