
ශ්‍රී ලාකේය බිතු සිතුවම් කලාව අධ්‍යයනය කිරීමේදී අවබෝධ වන ප්‍රධාන කරුණ වනුයේ හුදී ජනයා තුළ බුද්ධාලම්බන ප්‍රීතිය සහ ධර්ම උපදේශ පිණිසත් ඒවා නිර්මාණය කළ බවකි. එම ස්වභාවය වෙනස් කරමින් විහාර සිතුවම් කලාවේ එතෙක් නොවූ අපුර්ව නිර්මාණ සම්ප්‍රදායක් හඳුන්වා දුන්නේ ජෝර්ජ් කීට්‌ගේ ගෝතමී විහාර සිතුවම්ය. 'කියවන මුද්දර' මෙවර තේමාව ඇතැම් විචාරකයන් 'ආසියාවේ පිකාසෝ' ලෙසින් හඳුන්වන ඒ අපූර්ව සිත්තම්කරුවා කියැවීමයි.
ඇන්ග්ලිකන් ලබ්ධික සුදු ජාතික මධ්‍යම පාන්තික පවුලකට දාව මහනුවර දිස්ත්‍රික්කයේ අම්පිටිය ග්‍රාමයේදී වසර 1901 අප්‍රේල් 17 දා ජෝර්ජ් පරසිවල් ස්ප්‍රවල් කීට් මෙලොව එලිය දුටුවේය. ඔහුගේ පියා රජයේ මිනින්දෝරුකරුවකු වන හෙන්රි කීට්ය. මහනුවර ප්‍රධාන ඉංග්‍රීසි පාසලක් වූ ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද කීට්, නිරන්තරව බටහිර සමාජය ඇසුරු කළ ද, ඒ හා සමානව නිරන්තර බොදු ඇසුර ද ප්‍රිය කළේය. ජෝර්ජ් කීට් කුඩා කල සිටම මහනුවර මල්වතු විහාරය ආශ්‍රිතව හැදීවැඩීම ඔහුගේ දිවියේ හැරවුම් ලක්ෂයකට පුරෝගාමී වූයේය.
කුඩා අවදියේ සිටම අධ්‍යාපනය සඳහා එතරම් උනන්දුවක් නොදැක්වූ කීට් ළදරුවා සිතුවම්කරණය සහ කියැවීම සඳහා විශේෂ සඳහා කැමැත්තක් දැක්වීය. සිංහල, පාලි හා සංස්කෘත භාෂා හැදෑරීමට ඔහු මහත් කැමැත්තක් දැක්වීය. පින්නවල ධීරානන්ද හිමියන්ගේ ඇසුරින් සහ බොරැල්ලේ ගෝතමී විහාරාධිපති පොල්වත්තේ මේධාලංකාර හිමියන්ගේ අවවාද අනුශාසනා නිරතුරුවම ලබමින් ඔහු දේශීය සංස්කෘතිය හා දේශීය අනන්‍යතාව පිළිබඳ පුළුල් දැක්මක් ලැබ ගත්තේය.
ඔහු සිය දෙවන විවාහයෙන් අනතුරුව ඉන්දියාවේ පදිංචියට ගිය අතර, එහිදී ඔහු සමීපව ඇසුරු කළ මිතුරන් වූයේ මහා කලාකරුවන් වන රවි ශංකර් හා උදය ශංකර් වැන්නවුන්ය. කලා විචාරකයින් පවසන පරිදි ජෝර්ජ් කීට්ගේ කලාව බිහිවන්නේ මහා භාරතයේ එන මිත්‍යා කතා හා ජනප්‍රවාද, බෞද්ධ ජාතක කතා, දකුණු ඉන්දීය කෝවිල් මූර්ති, අජන්තා සීගිරි තාත්වික චිත්‍ර සහ සොයන්, පිකාසෝ වැනි යුරෝපීය චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ ආභාසයෙනි. පසුව ඔහු තමන්ටම ආවේණිකවූ රමණීය චිත්‍ර ශෛලියක් නිර්මාණය කර ගත්තේය.
සැබැවින්ම බටහිරයන්ගේ ගෞරව සම්මානයට පාත්‍ර වූ ජෝර්ජ් කීට්ගේ සැබෑ ස්වරූපය නිර්වජ්‍ය සිංහල ගැමිකම බව ඔහු ඇසුරු කළ වූවෝ දනිති. සිය දිවියේ පසු කාලීනව මහනුවර සිරිමල් වත්තේ ජීවත් වූ ඔහු නිරතුරුවම ගැමියන් ඇසුරු කළ නිදහස්කාමියකු විය.
ජෝර්ජ් කීට් පිළිබඳ සිංහල ජන සමාජයේ පොත්පත් පුවත්පත්වල සටහන් වූයේ අල්ප වශයෙන් වුවද ඔහු ජාත්‍යයන්තර වශයෙන් රටේ කීර්තිය ඔප් නැංවූ අපගේ සම්පතක් විය. ඉන්දියාව, ලන්ඩනය, යුරෝපය හා ඇමරිකාව වැනි රටවල් ගණනාවක සිතුවම් ප්‍රදර්ශන පවත්වා ඇති ජෝර්ජ් කීට්ගේ සිතුවම්, ලොව පුරා කලාගාරවල, කෞතුකාගාරවල සහ පෞද්ගලික එකතු වශයෙන් ලාංකීය අභිමානය තව දුරටත් ඉහල නංවමින් පවතින්නේය.
ලාංකේය විහාර බිතුසිතුවම් කලාව පිළිබඳව විමර්ශනය කිරීමේදී ජෝර්ජ් කිට් හා බැඳුනු ගෝතමී විහාරයේ සිතුවම් විශේෂ වැදගත්කමකින් යුක්තය. ජනාකීර්ණ බොරැල්ල නගරයට ආසන්නයේ නිහඬ පරිසරයක පිහිටා තිබෙන ගෝතමී විහාරය, දීර්ඝ ඉතිහාසයකට හිමිකම් නොකියන නමුදු විශිෂ්ඨ ඉතිහාසයකට හිමිකම් කියයි. ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් රට මුදවා ගැනීමට වෙහෙසුණු, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජික ශ්‍රීමත් ජේම්ස් පීරිස් මැතිඳුන්ගේ මෑණියන් වූ අපලොනියා ද සොයිසා පීරිස් මැතිණිය විසින් වර්ෂ 1900 දී මෙම පුජනීය ස්ථානය සසුනට පුදන දෙන ලදී. ගෝතමී විහාරයේ සිතුවම් නිර්මාණය කිරීම සඳහා ජෝර්ජ් කීට්ට ඇරයුම් කරන ලද්දේ හැරල්ඩ් පීරිස් මහතාය. ඔහු අපලොනියා ද සොයිසා පීරිස් මැතිණියගේ මුනුපුරෙක් වූ අතර, සිය මිත්තනියට පින් පිණිස ගෝතමී විහාරයේ බිතුසිතුවම් නිර්මාණය කල බව සඳහන්ය.
කීට් විසින් ප්‍රථමයෙන් ගෝතමී විහාරයේ සිතුවම් රේඛා චිත්‍ර ලෙස නිර්මාණය කළ නමුදු, තෙල්වත්තේ ශ්‍රී අමරවංශ හිමියන්ගේ ඉල්ලීම පරිදි එම රේඛා සිතුවම් වලට වර්ණ මුසු කළ බව සඳහන්ය. එලෙස වර්ණ ගැන්වුවද විහාරයේ සිතුවම්, රේඛාව මත පදනම් විය. ප්‍රවීණ සිතුවම් නිර්මාණ ශිල්පියකු සහ විචාරකයකු වන ඇල්බට් ධර්මසිරි ගෝතමී විහාරයේ සිතුවම් හඳුන්වනුයේ රේඛා මධුර්යය (linear harmony) වශයෙනි. මේ කටයුත්ත කිසිදු මුදලක් අය නොකර සිදු කිරීමට තරම් කීට් කාරුණික විය.
ගෝතමී විහාරයේ චිත්‍ර නිර්මාණය සඳහා කීට්හට තවත් සුවිශේෂී සිත්තරකු වූ එල්. ටී. පී. මංජු ශ්‍රී ද සහාය වී තිබේ. ජෝර්ජ් කීට් විසින් නිර්මාණය කරන ලද බුදු සිරිතේ එන රාහුල කුමරු දායාද ඉල්ලීම, දම්සක් පැවතුම් සුත්‍රය, සම්බුද්ධ පරිනිර්වාණය යන සිතුවම් වලට පහලින් ඇති නෙලුම් පත් සහ නෙලුම් මල් සහිත ලියවැල් රටා නිර්මාණය කරන ලද්දේ මංජු ශ්‍රී විසිනි.
වසර 1943 වූ කලි ලංකේය කලා ඉතිහාසයේ අද්විතීය කාලයකි. හතලිස් තුනේ කණ්ඩායම (Group 43), වසර 1943 අගෝස්තු මස 29 වැනි දින කොළඹ කුරුඳුවත්තේ ගිල්ඩ්ෆෝඩ් චන්ද්‍රවංකයෙහි වූ ලයනල් වෙන්ටඩ් කලා ශිල්පියාගේ නිවහනෙහිදී රැස්ව පිහිටුවා ගත් කලා පවුල එම සුවිශේත්වයට මුලික කරුණයි.
වසර 1930 ජනවාරියේදී පැවති ජෝර්ජ් කීට්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් නැරඹූ එවකට ලංකාවේ චිලී රටේ තානාපතිවරයා ලෙස කටයුතු කළ නොබෙල් සම්මානලාභී කවියකු වන පැබ්ලෝ නෙරූදා විසින් මෙසේ සටහනන් කොට ඇත. "කීට් ශ්‍රේෂ්ඨ සිත්තරකුගේ ජීවමාන හරය යැයි මම සිතමි. ඔහුගේ සියලු නිර්මාණවල, මෙතරම්මැ තරුණ කලාකරුවකුට අතිශයින් අනර්ඝ ගුණාංග වන පරිණත බවෙන් ලබන සංයමය, කාර්ය සාධනයෙහි සිත්ගන්නා සුලු ස්ථාවරත්වය දක්නට ලැබෙයි. අපූර්වාකාරයෙන් වර්ණ භාවිතා කරද්දී වුවද, අවධානයෙන් යුතුව මුර්තිධර පරිමා (plastic volume) විසුරුවද්දී වුවද, විශේෂයෙන්ම සිංහල ජනයා විත්‍රණයේදී කීට්ගේ සිත්තම් නාට්‍යමය පලසක් ජනනය කරයි.
මෙම විශ්ව කීර්තිධර සිත්තරාට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අචාර්ය උපාධියත්, කලා කීර්ති ගෞරව නාමයත්, ශ්‍රී ලංකා ජනරජය විසින් ප්‍රදානය කිරිම කලාව වෙනුවෙන් ඔහු කළ අද්විතීය සේවාව ඇගයීමකි.
බොරැල්ල ගෝතමි විහාරයේ සිතුවම් සිංහල ජනතාවට ජෝර්ජ් කීට්ගේ සිත්තම් කුසලතාව හඳුනා ගැනීමට ඇති හොඳම ස්ථානයයි. එම සිතුවම් පදනම් කරගෙන වසර 1983 මැයි 05 වැනිදා වෙසක් උළෙල වෙනුවෙන් නව මුද්දර හතරක් නිකුත් කර තිබේ.
මහමායා දේවියගේ සිහිනය - වටිනාකම ශත 35
සිද්ධාර්ත කුමාර උපත - වටිනාකම ශත 50
සසර කලකිරීම - වටිනාකම රු.5.00
ගිහි ගෙයින් නික්මීම - වටිනාකම රු.10.00
එමෙන්ම ජෝර්ජ් කීට්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් වසර 2001 අප්‍රේල් 24 වැනිදා ඔහුගේ සිතුවම් සහිත නව තැපැල් මුද්දරයක් නිකුත් කර ඇත. හංස ජාතකය ලෙසින් නම් කර ඇති එම සිතුවම සහිත මුද්දරයේ වටිනාකම රු.13.50 කි.
වසර 1990 මැයි 22 වැනිදා මංජු ශ්‍රී මහතා නමින්ද සමරු මුද්දරයක් නිකුත් කර ඇති අතර, ශ්‍රීමත් ජේම්ස් පීරිස් වෙනුවෙන්ද සමරු මුද්දරයක් වසර 1981 දෙසැම්බර් 20 වැනි දින නිකුත් කර තිබීම ජෝර්ජ් කීට්ගේ කලාව සහ සෞන්දර්යය රසාස්වාදය මුද්දර මඟින් හඳුන්වා දීමට මහඟු උත්තේජනයකි.
කලාවේ නිමි වළලු ප්‍රසාරණය සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කරමින් සිටි ජෝර්ජ් කීට් වසර 1993 ජුලි 31 වැනිදා දැයෙන් සමු ගත්තේ කලා ලෝකයේ ඔහුගේ හිඩැස පිරවීම සඳහා කාලයට අවකාශය ලබා දෙමිනි. අපගේ මෙම උත්සාහය මඟහැරී ගිය එම සංස්කෘතික මෙහෙවර යළි පණ ගැන්වීම වෙනුවෙනි.