
තොණ්ඩමන් පරපුරේ පාරම්පරික උරුමයක් වූ නුවරඑළිය, රම්බඩ, වැවන්ඩන් බංගලාවේ පසුගිය අඟහරුවාදා පෙරවරු 2.30 ට පමණ ඇතිවූ ගින්නකින් විනාශ විය. එම නිවසේ තිබූ වසර 150 කටත් වඩා පැරණි ලීබඩු ඇතුළු දේපළ සියල්ලම අළු බවට පත්විය.
බ්‍රිතාන්‍ය ජාතීන් මෙරට පාලනය කළ අවදියේ 1883 දී මෙම බංගලාව ඉදිකර ඇත. ඉන්දියාවේ සිට කුලී කම්කරුවකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණි 13 හැවිරිදි කුමාරවේල් තොණ්ඩමන් හෙවත් කරුපයියා තොණ්ඩමන්ගේ දහඩිය කඳුළේ ප්‍රතිඵලයක් ලෙස ඉදිවී තිබුණු මෙම බංගලාව තොණ්ඩමන් පරපුරේ ඉතිහාසගත ගොඩනැගිල්ලකි.
ඒ කාලයේ කුලී කම්කරුවන් සමඟ මෙරටට පැමිණි කරුපයියා තොණ්ඩමන් ආරම්භයේ වෙළඳ සැලක සේවකයකු ලෙසත් පසුව තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර වැවන්ඩන් වතුයායේ කංකානි (කම්කරු වැඩ පරීක්ෂක) ලෙස සේවයට එක්ව ප්‍රධාන කංකානි ලෙසත් කටයුතු කරමින් පසු කලෙක වැවන්ඩන් වතුයායත්, බංගලාවත් අයිතිකරගෙන ඇත.
වැවන්ඩන් බංගලාව ඉංග්රීසින්ගේ පාලන සමයේ ඉදිකරන ලද්දකි. එම වතුයායේ අයිතිකාරිණිය වන එංගලන්ත ජාතික ඕවන් මෙනවියගෙන් කරුපයියා තොණ්ඩමන් මෙම බංගලාව සහ වතුයාය මිලදී ගෙන ඇත. එදා පටන් ඔහුගේ පරිපාලන ගොඩනැගිල්ල ලෙස කරුපයියා තොන්ඩමන් පවත්වාගෙන යන අතරතුර 11 වැනි වියෙහි පසු වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් 1924 දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත. කරුපයියා තොණ්ඩමන් රෝගාතුරව 1940 දී මිය යෑමෙන් පසු එම වතුයායේ පාලනය ඔහුට බාර විය.
මේ රටේ රජුන් තනන්නා ලෙස ප්‍රචලිත සෞම්‍යමූර්ති තොණ්ඩමන් මේ රටේ ආණ්ඩු පිහිටුවීම සඳහා දේශපාලන සාකච්ඡා රැසක් පවත්වා ඇත්තේ ද මේ බංගලාවේදීය. දේශපාලන මෙන්ම වෘත්තීය අරගල රැසක තීන්දු තීරණ රැසක් ගත් වතු කම්කරු ජනතාවගේ දෛවය වෙනස්කළ මාලිගාවක් ලෙස වතුකරයේ ජනතාව මෙම බංගලාව හඳුන්වයි.
මෙම බංගලාවේ ගින්න ඇති වූ සැණින් එහි සේවකයන් වහාම රාජ්‍ය ඇමති ජීවන් තොණ්ඩමන්ටත්, සෙන්දිල් තොණ්ඩමන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාන්ඩි රාමේෂ්වරන්ටත් දැනුම් දී ඇති අතර මේ සියල්ලන්ම උදෑසන 5.30 ට පෙර එම ස්ථානයට පැමිණ තිබේ. ඒ වනවිටත් ගිනි නිවන හමුදාව, පොලිසිය හා හමුදාව එක්ව ගින්න පාලනය කර තිබිණි.
වසර 150 කට අධික කාලයක් පැරණි මෙම බංගලාව ගිනි ගැනීමට හේතු වූ කරුණ සොයන්නට විවිධ පාර්ශ්වයන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. තොණ්ඩමන් යන නාමය වතු වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ප්‍රධානියා වන අතර ලංකා කම්කරු කොංග්‍රසය නැමති එම වෘත්තීය සමිතිය හා ගැටෙන වෙනත් වෘත්තීය සංවිධාන රාශියකි. එවන් ගැටුමක් මුල් කරගෙන සිදුකරන ලද සාපරාධි ක්‍රියාවක්ද යන්නත් විමර්ශනවල එක් පියවරක් වනු ඇත.
මෙසේ ගිනිගත් බංගලාවේ සියලු මේස පුටු අල්මාරි රෙදිපිළි ඇතුළු සියලු දේ සහිත කාමර සියල්ලක්ම පාහේ විනාශ වුවද එහි දේව යාඥා කාමරයට හෝ කුස්සියට කිසිඳු හානියක් සිදුව නැත. එතුළින් පැහැදිළි වන්නේ මෙම ගින්න කුස්සියෙන් හෝ දේව කාමරයෙන් හටගත් එකක් නොවන බවයි.
කෙසේ වෙතත් මෙම ඉතිහාසගත බංගලාව විනාශවීම ගැන කා තුළත් ඇත්තේ දුකකි, වේදනාවකි. හේතුව එය පුරාවිද්‍යාත්මක වටිනාකමක් හා සමාන දේපළක් වූ නිසා පමණක් නොව වතු කම්කරුවන්ගේ දෛවය වෙනස් කරන්නට අවශ්‍ය තීන්දු තීරණ රැසක් ගන්නට ඉවහල් වූ ස්ථානයක් නිසාවෙනි.