
අපේ රටේ 1971 දී හා 1988 – 89 වකවානුවේදී තරුණ කැරලි හා නැගිටීම් දෙකක් සිදුවිය. ඊට ප්‍රධාන හේතුව තරුණ අසහනය හා විරැකියාවයි. විශේෂයෙන් අඩු ආදායම්ලාභී දුප්පත් තරුණ තරුණියන්ට ගමේත් රටේත් නිසි පිළිගැනීමක් නොමැතිවීමත් ඔවුන්ට මූල්‍ය ශක්තියක් නොතිබීමත් අතදීමට මනා තාක්ෂණික පුහුණුවක් දීමට කවුරුවත් ඉදිරිපත් නොවීමත් නිසා මෙම තරුණ නැගිටීම් හා විප්ලව ඇති වූ බව සමාජ විශ්ලේෂකයන්ගේ අදහසයි.
පසුගිය කාලයේ පැවැති රජයන් තරුණ අසහනයට විවිධ පැලැස්තර විසඳුම් දැමුවත් ස්ථිරසාර විසඳුමක් ලබාදීමට අසමත් විය. මේ නිසා තරුණ අසහනය වර්ධනය වන්නට ද විය.
නමුත් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සුසංයෝගයෙන් යුත් වත්මන් රජය මෙරට තරුණ අසහනය අවම කිරීමට හා ඔවුන්ට හොඳ අනාගතයක් උදාකර දී සමෘද්ධිමත් රටක් ගොඩ ගැනීමට නව වැඩපිළිවෙළක් යෝජනා කර තිබේ.
ඒ අනුව මෙරට ප්‍රථම වරට අපොස සාමාන්‍ය පෙළ අසමත් ගමේ දරිද්‍රතාවයෙන් අන්තයටම පත්ව සිටින පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයකට රජයේ ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක කර තිබේ.
‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්රකාශනය යථාර්ථයක් කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක ඉහළ සමාජ සුබසාධනයක් උදෙසා අඩු ආදායම්ලාභී පවුල්වල අඩු අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන්ට ස්ථාවර ආදායම් මාර්ගයක් ලබාදීම පිණිස මෙම වැඩපිළිවෙළ යටතේ තරුණයින් ලක්ෂයකට රැකියා ලබාදීම ඉදිරි මස සිට ඇරැඹීමට රජය කටයුතු කරයි.
මෙම අඩු ආදායම්ලාභී රැකියා ලක්ෂය ලබාදීම සඳහා සුදුස්සන් තේරීමේදී සෑම ග්‍රාම නිලධාරි වසමකම දරිද්‍රතාවයෙන් ඉහළම කොටස තෝරා ගැනීමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට නියෝග කර ඇත.
මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන පරමාර්ථය සෞභාග්‍ය දැක්මේ ‘දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම’ බවත් එම සංකල්පය යටතේ එක් තිරසර හා ප්‍රධාන උපාය මාර්ගයක් ලෙස අඩු ආදායම්ලාභී පවුල්වල සිටින සාපෙ අසමත් අයට විධිමත් වෘත්තීය පුහුණුවක් ලබාදීමෙන් පසු රජයේ රැකියාවක් ලබාදීම සිදුකරන බවත් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ජනාධිපති බහුකාර්ය සංවර්ධන කාර්ය බළකායේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි මහතා පවසයි.
ඒ අනුව මේ තරුණ පිරිස් තෝරා ගැනීම පිණිස දැන් සියලු කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ජනාධිපති කාර්යාලය මගින් සිදු කරනු ලැබේ.
මෙම වැඩපිළිවෙළට අදාළව දැනට ඉල්ලුම්පත් ලක්ෂ 6 ½ ක් ලැබී ඇති බවත් ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව කිසිම දේශපාලන බේදයකින් තොරව ගම්වල සිටින වැඩිම දරිද්‍රතාවයෙන් අන්ත අසරණවූ සමෘද්ධි ආධාර නොලබන තරුණ පිරිස මේ සඳහා තෝරා ගෙන ලබන 2දා සිට පත්වීම් ලබාදෙන බවත් නන්ද මල්ලවආරච්චි මහතා පවසයි.
ඒ මහතා තව දුරටත් පවසන පරිදි මේ වැඩපිළිවෙළේදී වයස්ගත රෝගාතුර දෙමාපියන් හෝ ආබාධිත පුද්ගලයන් සිටින පවුලක කිසිම රැකියාවක් නොකරන තරුණ අයට මෙහිදී ප්‍රමුඛත්වය ලැබේ. එමෙන් ම සමෘද්ධි ආධාර ලැබීමට සුදුසු නමුත් නොලැබෙන තරුණ පිරිස පිළිබඳවත් මෙහිදී වැඩි අවධානය යොමුවේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු 2020 ජනවාරි - පෙබරවාරිවලදී මෙම රැකියා ලක්ෂය ලබාදීම පිණිස ඉල්ලුම්පත් කැඳවුවත් 2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මැතිවරණ කොමිසමේ නියමය අනුව එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම නැවැත්වීමට සිදුවිය. දැන් නව රජය පිහිටුවීමෙන් පසු ජනාධිපතිවරයා මේ අඩු ආදායම්ලාභී අයට විවිධ ක්ෂේත්‍ර 25 ක් යටතේ මනා පුහුණුවක් ලබාදී රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ දැන් ක්‍රියාවට නංවා ඇත.
පසුගිය ජනවාරි පෙබරවාරි මාසවල මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබාදුන් අයදුම්පත්‍රවල විස්තර අනුව ඒවා පිළිබඳව සොයා ලබන මස සිට පත්වීම් ලබාදීම සිදුකරනු ලැබේ.
මෙම රැකියා ලබාදීමෙන් පසු එම පවුල් දිළිඳු බවින් මුදවා ගැනීම හා ශ්‍රම බළකායේ නිපුණතා මගින් සමෘද්ධිමත් රටක් ගොඩනැගීමේ කාර්යයට සඵලදායි ලෙස මේ පිරිස දායක කර ගැනීමට කටයුතු කරන බවත් බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් නන්ද මල්ලවආරච්චි මහතා පවසයි.
එක පවුලකින් ඉහත සුදුසුකම් සපුරා ඇති වයස 18 - 40 අතර එක් ඉල්ලුම්කරුවෙකු ගැන පමණක් සලකා බලනු ලැබේ. අයදුම්කරුවන් පදිංචි ගම් ආශ්‍රිත ප්‍රදේශවල පවතින රැකියා අවස්ථා සහ අයදුම්කරුවන් ඉල්ලා ඇති පුහුණු ක්ෂේත්‍ර සියල්ලම සැලකිල්ලට ගෙන අදාළ පත්වීම් කරනු ලැබේ.
තමා පදිංචි ප්‍රදේශ තුළ හෝ ආසන්න ප්‍රදේශවල ඇති පුහුණු මධ්‍යස්ථානවල දී මෙම පුහුණු සිදු කරනු ලැබේ. මෙම පුහුණුව බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුව මගින් විධිමත් අයුරින් ලබාදෙනු ලැබේ.
සාර්ථක පුහුණුවකින් පසු පදිංචි ප්‍රදේශයේ හෝ ආසන්න ප්‍රදේශවල රැකියාවල නිරත කිරීමට අපේක්ෂිතය. ඒ අයට මාස හය (06) ක අඛණ්ඩ පුහුණු කාලය තුළ මසකට රුපියල් 22500 ක දීමනාවක් ගෙවනු ලැබේ. සාර්ථක පුහුණුවීමකින් පසුව තමාට ලැබෙන ක්ෂේත්රයට අදාළව, තමාගේ ස්ථිර පදිංචි ප්‍රදේශය තුළ රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන (PL 1) රජයේ ස්ථිර තනතුරකට පත්වීමට පුහුණුලාභීන්ට අවස්ථා ලැබේ.
වසර 10 ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සපුරාලීමෙන් පසුව රජයේ විශ්‍රාම වැටුප් හිමිකම ලැබෙන බව ජනාධිපති කාර්ය සාධක බළකාය පවසයි. ජාතික ආධුනිකත්ව මණ්ඩලය පුහුණු වැඩපිළිවෙළ මෙහෙයවයි.
මේ වැඩපිළිවෙළ පිළිබඳව අපට අදහස් දැක්වූ මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ මගින් දුප්පත් පවුල්වල ට සිය ශක්තියෙන් ම නැගී සිටීමට අවස්ථාවක් ලැබෙන බවයි. එමෙන් ම මේ නව ශ්‍රම බළකායේ නිපුණතාව මගින් සමෘද්ධිමත් රටක් බිහිවනු ඇති බව ද ඇමැතිවරයා පවසයි.
දුප්පත් පවුල්වලට සමෘද්ධිය ලබාදීමට වඩා ඔවුන්ට තම පවුලේ සාමාජිකයකුට රැකියාවක් ලබාදීම මගින් ඔවුන්ට දිගටම දියුණුවක් ඇති කර ගන්නට පුළුවන්. සමෘද්ධිය ලබාදෙන විට යැපුම් මානසිකත්වය ඇතිව අනුන් මත යැපෙන්නට මේ පවුල්වල තරුණ පරපුරටත් සිදුවෙනවා. නමුත් රැකියාවක් දුන් විට ඒ ගැටලුව අවම ස්වශක්තියෙන් නැගී සිටීමට අවස්ථාව ලැබෙනවා. එවිට පවුලේ ආර්ථික ප්රවර්ධනයක් ඇතිවේවි. මෙය තරුණ පිරිසට ලැබුණු හොඳ අවස්ථාවක්. අපේ රටේ සාමාන්‍ය පෙළ අසමත් තරුණ තරුණියන් බොහොම දෙනෙක් අසහනයකින් සිටින්නේ ඒ ඒ අයට රජයේ තබා පෞද්ගලික ආයතනවලටත් රැකියා නැති කමින් කොරෝනා උවදුරත් සමඟ ඒ තත්ත්වය තවත් දරුණු වුණා. ඒ නිසා මේ අවස්ථාව අපේ තරුණ පරපුරට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක්. ඔවුන් කළ යුත්තේ අදාළ පුහුණුව හරියට ලබාගෙන අදාළ රැකියාව හරියට සිදුකර ඒ ඒ ආයතනවල ස්ථිර පත්වීම් ලබාගෙන තම පවුල දුප්පත්කමින් මුදවාගෙන රටට ජනතාවට උපරිම සේවයක් සිදු කිරීමයි.
මේ වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිතුමා ඉතා උනන්දුවෙන් කටයුතු කරනවා. එතුමට අවශ්‍ය මේ යටතේ සුදුසුම පිරිස තෝරා ඒ අයට රැකියා ලක්ෂය ලබාදීම බව ද කබ්රාල් මහතා පැවසීය. මේ වැඩසටහන පිළිබඳව අදහස් දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ සම්මානිත මහාචාර්ය සරත් කොටගම මහතා පවසන්නේ මේ වැඩපිළිවෙළ මගින් මෙතෙක් කල් අභිමානයක් නැතිව තිබූ තරුණ පිරිසකට සමාජ අභිමානයක් මෙන් ම නැගී සිටීමට අත හිත දීමක් සිදුවෙන බවයි.
“මේ අයට අධ්‍යාපනය නොතිබුණාට ලොකු සහජ හැකියාවන් උපන් දක්ෂකම් තිබෙන්න පුළුවන්. ඒ දක්ෂතාව දියුණු කළ හැකි, ඔවුන් කැමැති වෘත්තියක් තුළින් ඉහළට ගොස් ඉදිරියේදී ඒ ක්ෂේත්‍ර ඔස්සේ නැගිටීමටත් මේ වැඩපිළිවෙළ උපයෝගි වෙනවා.
මෙහිදී මේ ලක්ෂයට ඇතුළත් වන සමහරු දේශපාලන හිතවත්කම් අනුව පත්වීම් ලබන්න පුළුවන්. නමුත් ඒ අය කළ යුත්තේ ඒ සම්බන්ධකම් හා අඩු ආදායම් මට්ටම් වෙනස්කර ජීවිතය ජය ගැනීමට කටයුතු කිරීමයි. ඒ සඳහා ඔවුන්ගේ මනසේ වර්ධනයක් ඇති කර පුහුණුවක් ලබාදීමත් වැදගත්.
මෙතෙක් කල් මේ තරුණ පිරිසට කවුරුවත් හරියට සැලකුවේ නැහැ. ඒ වගේ ම මේ අයට හොඳ වෘත්තිය පුහුණුවක් දුන්නෙත් නැහැ. ඒ නිසා ඒ අය ත්‍රිරෝද රියදුරු වගේ දියුණුවක් නැති රැකියාවල ද නිරත වෙන්න ඇති. නමුත් ඒවාට වඩා මේ වැඩපිළිවෙළ ඒ තරුණ පිරිසගේ ජීවිත ඉදිරි ගමනට ඉමහත් ප්‍රයෝජනයක් වන බව ද මහාචාර්ය කොටගම පවසයි.
මේ පිළිබඳව කරුණු දක්වන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හිටපු ලේකම් හා සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ මේ වැඩපිළිවෙළ මගින් රට තුළ තිරසර සංවර්ධන සමාජ දර්ශක ඇති කළ හැකි බවයි.
අද අපේ රටේ ශ්‍රම බළකායේ පුරප්පාඩු රැසක් පවතිනවා. ඒ සමඟම විරැකියාවක් තිබෙනවා. මේ වැඩසටහන මගින් අපේ රටේ විරැකියාවත් අඩු වී ශ්‍රම බළකාය වැඩිවී රටේ සංවර්ධනය වැඩි වනවා. හැබැයි මේ වැඩපිළිවෙළට පසු විපරමක් අත්‍යවශ්‍යයි.
අද අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු රැසක් පවතිනවා. අද රෝහලක ටැප් එකක් ලයිට් එකක් කැඩුණාම හදාගන්න කෙනෙක් නැහැ. නමුත් මේ ලක්ෂයට අයත් පුහුණුව ලැබූ පුද්ගලයකු මගින් එවැනි විවිධ රෝහල්වල පවතින අඩු පාඩු සකස් කිරීමට යෙදවිය හැකියි.
රජය අදහස් කරන්නේ විශේෂයෙන් මේ අයට සාත්තු සේවා පවිත්‍රතා සේවා සහායක, ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන සහායක, විදුලි කාර්මික, ජල නළ කාර්මික යන ක්ෂේත්රවලට අදාළ පුහුණුව දී රැකියාවලට යොමු කිරීමටයි. ඒ අනුව මේ වැඩපිළිවෙළ හරියට නියාමනය කළොත් සෞඛ්‍ය නියාමනය ක්ෂේත්‍රයේ ආයතනවලටත්, රටටත් ලොකු සහනයක්.
මේ වැඩපිළිවෙළ පිළිබඳව කරුණු දක්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන විද්‍යා හා පාරිසරික විද්‍යා මහාචාර්ය හේමන්තී රණසිංහ මහත්මිය පවසන්නේ මෙම වැඩපිළිවෙළ මෙරට තරුණ ප්‍රශ්න හා තරුණ අසහනය අවම කිරීමට ඉතා හොඳ වැඩපිළිවෙළක් බවයි.
නමුත් මෙම වැඩපිළිවෙළ දේශපාලනීකරණය වීම වැළැක්විය යුතු ය. දේශපාලන බේදයෙන් තොරව සුදුසුම දුප්පත්ම අය මීට තෝරා ගැනීම ජනාධිපති කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ලොකු වගකීමක්.
නැත්නම් මේ තරුණ තරුණියන් රැකියාවට ඇවිත් තම දේශපාලන අවශ්‍යතා හා පුළුවන්කාරකම් මත රාජකාරි අතපසු කිරීම හෝ නොකර සිටීම කළහොත් මේ වැඩපිළිවෙළේ පරමාර්ථ ඉටු වෙන්නේ නෑ.
මේ වැඩපිළිවෙළ මගින් රැකියා දෙන පිරිස කරන කටයුතු පිළිබඳව නිසි පසු ඇගැයීමක් හා අධීක්ෂණයක් සිදුකිරීම අත්‍යවශ්‍ය බවත් කිව යුතුයි.
විශ්ව විද්‍යාලවලට පසුගිය කාලයේ පත්වීම් ලැබ පැමිණි සමහර අය තම දේශපාලන මති මතාන්තර හිතේ තබාගෙන කටයුතු කිරීම නිසා පරිපාලනයට බාධා එල්ල වුණු බවත් මේ පත්වීම් ලබන අය එසේ නොකළ යුතු බවත් මහාචාර්යවරිය පෙන්වා දෙන්නේය.
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය පරිපාලන ලේකම් තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ (විශේෂ ව්‍යාපෘති) චන්න ගුණරත්න මහතා පවසන්නේ මේ වැඩපිළිවෙළ ඉතා කාලෝචිත වැඩපිළිවෙළක් බවයි.
පවුල් ඒකකවල මෙතෙක් කල් තිබුණු නොවිසඳුණු ගැටලු විසඳා ගැනීමටත් පවුලේ ආර්ථික ප්‍රවර්ධනයටත් මේ වැඩපිළිවෙළ හේතු වෙනවා.
ඒ සමඟම මෙතෙක් කල් සමාජ පිළිගැනීමක් නැතිව තිබූ තරුණ පිරිසට අදාළ වෘත්තිය පිළිබඳව පුහුණුවත් සමඟ සමාජ පිළිගැනීමත් මේ මගින් ලැබෙනවා.
තරුණ අසහනය නැති කිරීමට මෙතෙක් කල් තරුණ සේවා සභාව මගින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළත් මේ තරම් තරුණ පරපුරේ දියුණුවට කෙළින් ම ඉවහල් වන මෙවැනි වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක වුණේ නැහැ. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඇතුළු රජය ක්‍රියාත්මක කරන මේ වැඩපිළිවෙළ අපේ යෞවන සමාජවල ක්‍රියාකාරී සාමාජිකයින් වන තරුණ තරුණියන්ගේ රැකියා විරහිත බව නැති කිරීමට ද ඉවහල් වන බව ද චන්න ගුණරත්න මහතා පවසයි.
මේ පිළිබඳව අපට කරුණු දැක්වූ සර්වෝදය ව්‍යාපාරයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න මහතා පවසන්නේ මෙය ඉතා හොඳ වැඩපිළිවෙළක් බවයි.
මේ අය විභාගවලින් සමත් නොවුණත් මේ හැම තරුණයකුටම තරුණියකටම කිසියම් ක්ෂේත්රයක් ගැන කුසලතාවක් තිබෙනව; තිබෙන්න පුළුවන්. අද තිබෙන තත්ත්වය අනුව ඒ අයගේ තිබෙන දස්කම් හා නිර්මාණශීලිත්වය අනුව සේවා ආර්ථික අවස්ථාවකට යොමු වෙන්න පුළුවන්. ඒ අනුව සාම්ප්‍රදායික රජයේ රැකියාවලට මේ අය ගන්න එකට එහා ගිහිල්ලා සැලසුම් සහගතව එක එක අයදුම්කරුවන්ගේ තිබෙන කුසලතාවන් හා හැකියාවන් තක්සේරු කරලා ඒ අය නව ව්‍යවසායකයන් මට්ටමට යොමු කළ යුතුයි.
රජයෙන් ලැබෙන රස්සාවකට එහා ගිය වැඩපිළිවෙළක් මේ සමඟ ක්‍රියාත්මක විය යුතුයි. රජයේ රැකියා දැන් සංතෘප්ත වෙලා තිබෙන්නේ. මේ අයට සුදුසු පුහුණුව දී අලුතින් රැකියා උත්පාදනය කිරීම සඳහා මේ අය අලුත් ව්‍යවසායකයෝ ලෙස සමාජයට ලබාදෙන්න පුළුවන් නම් ඉතා වැදගත්.
ඒ මගින් අපේ වැටුණු ආර්ථිකය ඉහළ නංවන්න දායකත්වයක් ලැබිය යුතුයි.
මේ තරුණ පිරිස සිටින භූගෝලීය ප්‍රදේශයේ සම්පත් පිළිබඳව බද්ධ කරලා තොරතුරු තාක්ෂණය එකතු කරලා කරන අලුත්ම රැකියා උත්පාදන වැඩසටහනක් බවට මෙය පත් කරන්න පුළුවන් නම් රටට තවත් සෙතක් වේවි. මේ අවස්ථාවේදී දෙන පුහුණුවත් විවිධ තරුණයන්ගේ දක්ෂතා හා ප්‍රදේශයේ තිබෙන අවශ්‍යතා අනුව සුදුසු ලෙස ලබාදිය යුතු බව ද වින්යා ආරියරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ හිටපු ලේකම් ෂෙහාන් කෝෂිල කන්නන්ගර මහතා පවසන්නේ මේ වැඩපිළිවෙළ මගින් අපේ රටේ දුප්පත් අඩු අධ්‍යාපන සුදුසුකම් ඇති තරුණ පරපුරේ අනාගතය සුරක්ෂිත හා වැඩදායි බවට පත් කරන බවයි.
අපේ රටේ අද සමහර තරුණයන්ට අඩු අධ්‍යාපන මට්ටම් හා අඩු ආදායම් තත්ත්ව නිසා සමාජ විරෝධී කටයුතුවලට යොමුවී තිබෙනවා. මත්ද්‍රව්‍යවලට යොමු වෙලා. ඒවා විකුණන ඇතැම් තරුණයින් ඊට යොමු වෙන්නේ ඒ අයට හරි ආදායමක් ජීවන වෘත්තියක් හා වෘත්තීය පුහුණුවක් නැති නිසා. ඒ අනුව මේ නව වැඩපිළිවෙළ අපේ තරුණ පරපුරට හොඳ පුහුණුවක් දී රැකියා දෙනවා. එවිට තම ජීවිත ගැටලු අවම කර ගැනීමට ලොකු පිටුබලයක් වෙනවා. ගමත් රටත් දියුණුවට එයත් රුකුලක්.
අපේ යෞවන සමාජවල සිටින වැඩිපුර ක්‍රියාශීලී සමහර තරුණ තරුණියන්ට රස්සාවල් නැහැ. අධ්‍යාපනයත් අඩුයි. නමුත් ඒ අය ක්රියාශීලීයි. මේ අනුව මේ වැඩපිළිවෙළ මගින් එවැනි ක්‍රියාශීලී තරුණ පරපුරක් ඇති ශ්‍රම බළකායක් අපේ රාජ්‍ය සේවයට යොමුවීම මගින් ඒ පිරිසේ පමණක් නොව රටේත් දියුණුව ස්ථිරයි” ඔහු කීය.