
ගහට පොත්ත මෙන් ඇලී ජීවිතය බෙදා ගත් දෙදෙනෙකුගේ වෙන්වීම සිදුවන ඒ මොහොත අතිශයින් හැඟුම්බරය. ලංසු තබන්නා හඬ නගා මිලක් නියම කරත්දී සුනඛයාගේ ගෙල බැඳි කර පටියේ කෙළවර අල්ලාගෙන සිටින ස්වාමියා දෙනෙතට නැඟෙන කඳුළු කැට පිටතට යා නොදී රඳවා ගන්නට දරන ආයාසය ඔවුන් දෙදෙනාගේ බැඳීමේ තරම කදිමට කියාපායි. ජීවිත කාලය පුරා කිසිදු දිනක මුහුණ නොදුන් මොකක්දෝ නුහුරු යමක් සිදුවන්නට යන බව ඉවෙන් මෙන් දැනගත් සුනඛයා ස්වාමියාට කිට්ටු වන්නට වෙර දරයි. මේ දෙදෙනා අතර පවත්නා බැඳීම පිළිබඳ කිසිවක් නොදන්නා ඉල්ලුම්කරුවන් මොනර කොළ ගණනින් ලංසු තබන්නේ සුනඛයාගේ හිමිකාරත්වය දිනා ගැනීමටය. “ඈවරයි, දෑවරයි,
තුන් ඈවරයි. තීන්දුයි..” දස වසරක් හෝ ඊට කිට්ටු කාලයක් සුනඛයා හා උගේ ස්වාමියා අතර පැවැති සබඳතාව හමාර වන්නේ එසේය. එතෙක් වේලා ස්වාමියාගේ ඇස් තුළ තෙරපෙමින් තිබූ කඳුළු කැට පිටතට පනින්නේ තවදුරටත් වේදනාව දරා ගැනීමට ශක්තියක් ඔහුට නැති බැවිනි. කඳුළු පිරි දෙනෙතින් ස්වාමියා දෙස අවසන් බැල්ම හෙළන සුනඛයාගේ ගෙල බැඳි කරපටියේ කෙළවර අලුත් ස්වාමියා අතට පත්වන්නේ කෙනකුට සතුටත් තවකකුට වේදනා කන්දකුත් තුරුලු කරමිනි.
මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයේදී පසුගියදා සිදු කෙරුණු සුනඛ වෙන්දේසියේ පිටතට නොපෙණුනු හැඟුම්බර කතාව එයයි. එම කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ සුනඛයන් 25 දෙනෙකු වෙන්දේසි කිරීම සමාජය තුළ දැඩි කතිකාවක් ඇති කිරීමට හේතු දෙකක් බලපෑවේය. එකක් නම් අපරාධ මැඬලීම පිණිස පොලිස් දෙපාර්තුමේන්තුවට විශාල දායකත්වයක් ලබාදුන් මෙම සතුන් ඔවුන්ගේ ස්වාමින්ගෙන් වෙන්කර වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් හැඟුම්බර අදහස් සමාජ මාධ්‍ය තුළ පළ වීමය. අනෙක් කාරණය නම්, 1948 වසරේ පොලිස් නිල සුනඛ අංශය ඇති කළදා පටන් පැවැති කිසිදු වෙන්දේසියකදී නොවිකුණුනු මිලකට මෙහිදී සුනඛයකු අලෙවි වීමයි. සාමාන්‍ය වෙළෙඳපොළ වටිනාකම රුපියල් 40,000ක් පමණ වන ලැබ්රඩෝර් (Labrador) වර්ගයේ සුනඛයකු මෙම වෙන්දේසියේදී අලෙවි වූයේ රුපියල් 10,1000ටය. බ්රීත් නැමැති මෙම සුනඛයා මීට මාස හයකට පමණ ඉහතදී පොලිස් නිල සුනඛ කොට්ඨාසයට ලැබුණේ මහජන පරිත්‍යාගයක් ලෙසය. වයස අවුරුදු දෙකක් පමණ වන බ්රීත් පොලිස් රාජකාරි සඳහා පුහුණු කිරීමට අසීරු වීම නිසා වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ. සිම්බා නැමැති ලැබ්රඩෝර් වර්ගයේම සුනඛයකු රුපියල් 50,000ටත් රෙක්ස් නැමැති බෙල්ජියම් මැලනොයින් සුනඛයා රුපියල් 23,000ටත් රෙජී නැමැති රොට්වයලර් සුනඛයා රුපියල් 17,500ටත් ලිලී නැමැති ඩැල්මේෂන් සුනඛයා රුපියල් 16,000ටත් මෙහිදී වෙන්දේසි විය. අඩුම මිලකට වෙන්දේසි වූයේ රෝසි නැමැති ලැබ්රඩෝර් වර්ගයේ බැල්ලය. වයස අවුරුදු 10 ඉක්මවා සිටි ඇයට නියම වූ මිල වූයේ රුපියල් 1,100කි. මොවුන් ඇතුළු සුනඛයන් 25 දෙනා වෙන්දේසි කිරීමෙන් පොලිස් දෙපාර්තුමේන්තුවට ලැබී තිබුණු මුදල රුපියල් 3,15,800කි.
“වෙන්දේසියට යොමුකරන ලද බෙල්ජියම් මෙලනොයින් වර්ගයට අයත් හීරොස් අනුරාධපුර පොලිස් නිල සුනඛ ඒකකයට අනුයුක්තව වසර 10ක පමණ කාලයක් සේවය කර තිබෙනවා. අපරාධ පරීක්ෂණවලට මෙන්ම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් 400කට පමණ හීරෝස් දායකත්වය ලබාදී තිබෙනවා. මේ අතර සිටි ඇල්වින්ද ඉතා දක්ෂ ලෙස රාජකාරී කළ සත්ත්වයෙක්. හොරණ පොලිස් නිල සුනඛ ඒකකයේ සේවය කරමින් ඇල්වින් අපරාධ පරීක්ෂණ සිද්ධීන් 200ක් පමණ නිරාකරණය කිරීමට සහාය දක්වා තිබෙනවා.බෙට්කා කොම්පඤ්ඤවීදියේ නිල සුනඛ ඒකකයේ සේවය කළා. එයත් අපරාධ පරීක්ෂණ සිදුවීම් 110ක් පමණ කර තිබෙනවා. මේ වෙන්දේසි කළ සුනඛයන් අතරින් සිම්බා,බ්රැන්ඩෝ,එමා,ජෙරාඩ්,බ්රීත්,නික්ස් කියන සතුන් නිල සුනඛ කොට්ඨාසයට මේ රටේ ජනතාව පරිත්‍යාග කළ අයයි. ලිලී කියන්නේ අපේ මූලස්ථානයේ උපන් කෙනෙක්. අවුරුද්දක් පමණ වන ලිලී පුහුණුවට යොමු කිරීම අසීරුයි. අනිත් සතුන් සියලු දෙනා බෙල්ජියමෙන් ආනයනය කළ අයයි. කොච්චර කීවත් යමක් කියා දුන්න විදිහට නොකරන මිනිස්සු ඉන්නවා නේද?.ඒ වගේම කියන දේ නොතේරෙන බල්ලොත් ඉන්නවා. එයාලව පුහුණු කරන්න බැහැ. ඒ නිසා තමයි වෙන්දේසියට යොමු කරන්නේ” මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක සුගත් විජේසිංහ පවසයි.
පුහුණුව සඳහා සුනඛයකු වයස අවුරුද්දක් සම්පූර්ණ වීමට ප්‍රථම යොමු කළ යුතුය. මාස හයක පමණ කාලයක් මූලික පුහුණුව ලබා දීමෙන් පසු බල්ලාගේ විශේෂ දක්ෂතා හඳුනා ගැනීමක් සිදුකරයි. ඒ ඔස්සේ නිල සුනඛයා මත්ද්‍රව්‍ය සෙවීමේ රාජකාරිවලද අපරාධ මැඬලීමේ රාජකාරිවලද නැතහොත් ප්‍රභූ ආරක්ෂක රාජකාරිවලද යොදවන්නේ යන්න තීරණය කෙරෙයි. පුහුණුව ආරම්භයේ සිට රාජකාරි දිවිය අවසන් වනතුරු සුනඛයා රැක බලා ගැනීම පැවරෙන්නේ එකම නිලධාරියකුටය. මේ නිසාම වෙන්දේසියේදී හිතවතකු යොදවා තමන් පුහුණු කළ බල්ලා කීයකට හෝ මිලට ගැනීමට පසුබට නොවන නිලධාරියෝද සිටිති. බල්ලාගේ ලන්සු මුදල ඉහළ යනවිට ඒ සඳහා මුදල ගැන නොසිතා බිට් කරමින් මෙවරද නිලධාරීන් සිවු දෙනෙකුම තමන්ගේ බල්ලා තමන් ළඟම තියා ගන්නට කටයුතු කර තිබිණි.
“සමහර බල්ලෝ පුහුණු කරන්න බැහැ. කියන දේ අහන්නේ නැහැ. තවත් අය අසනීපයි. මහන්සි කරන්න අමාරුයි. වසර 10ක් පමණ අඛණ්ඩව සේවය කරලා ශරීර සෞඛ්‍ය දුර්වල වීම නිසා තවදුරටත් ජවයෙන් යුතුව සේවය කිරීමට නොහැකි අයත් ඉන්නවා. පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ පශු වෛද්‍යවරයා මේ සුනඛයන් නිරීක්ෂණය කරලා ඔවුන් සේවයෙන් ඉවත් කිරීමට නිර්දේශ ලබා දෙනවා. අපි මේ ලැයිස්තුව පොලිස්පතිතුමා වෙත යොමු කරනවා. එතුමාගේ නිර්දේශ මත පොලිස් මූලස්ථානයේ ස්ථාපිත දේපොළ කළමනාකරණ අංශයෙන් වෙන්දේසි කරන්න අවසර ලැබෙන සුනඛයන්ගේ නම් ගැසට් කරනවා. වෙන්දේසි කරන්න පැයකට විතර කලින් ඔවුන් මිලට ගන්න ඇවිත් ඉන්න අයට බල්ලෝ ටික පෙන්වනවා. එයාලගේ වර්ගය, තියෙන අසනීප,වයස ආදි සෑම කරුණක්ම පහදා දීමෙන් පස්සේ තමයි විවෘත වෙන්දේසිය පවත්වන්නේ. පොලිස් දෙපාර්තමේන්තුව මඟින් වෙන්දේසි මණ්ඩලයක් පත්කරනවා. මෙවර අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළේ සහකාර පොලිස් අධිකාරී පලහවඩනයි. මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත කුලසේකර පැවසුවේය.
මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයට අනුබද්ධව නිල සුනඛයන් 280 දෙනෙකු පමණ මේ වන විට සේවය කරති. මොවුන් ප්‍රභූ ආරක්ෂක කටයුතුවල මෙන්ම දිවයින පුරා පිහිටි පොලිස් නිල සුනඛ ඒකක 58කට අනුයුක්තව නොයෙකුත් අපරාධ මැඬලීමේ ක්‍රියාවන්හි නිරතව සිටිති. එක් සුනඛයකු නඩත්තු කිරීම සඳහා එම සතා මෙහෙයවන නිලධාරියාගේ වැටුපද සමඟ මාසයකට රුපියල් 80,000ක පමණ මුදලක් වැයවන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. සුනඛයාගේ ආහාරවලට පමණක් දිනකට වැය කරන මුදල රුපියල් 1,000කට ආසන්නය. රාජකාරියේ නිරත කාලයේදී හදිසි අසනීප තත්ත්වයක් මතුවී මරණයට පත්වුවහොත් එම සුනඛයාගේ අවසන් කටයුතු සිදු කරන්නේ පොලිස් ගෞරව සහිතවය.
රුපියල් 1,01,000ක මුදලකට බ්රීත් මිලට ගත් මහනුවර ධම්මික වෙඩික්කාර අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.“මගේ ළඟ ජර්මන් ෂෙපර්ඩ් බල්ලෝ දෙන්නෙක් හිටියා.ඒ අය අවුරුදු 14ක් විතර ජීවත් වුණා. බල්ලෙක් ඕන කියලා ළමයි නිතරම කිව්වා. ඒ නිසා තමයි මේ ඔක්ෂන් එකට ආවේ පුහුණු කළ බල්ලෙක් ගන්න. මේ බල්ලව දැක්ක ගමන් ළමයි එයාව ඕන කිව්වා. මුලින් රුපියල් 5,000ක අවම ලන්සුවකට තමයි බ්රීත්ව වෙන්දේසියට ඉදිරිපත් කළේ. ළමයි කිව්වා කොහොම හරි අපි ගමු කියලා. ඒ නිසා මමත් ගණන වැඩිකරලා ඉල්ලුවා. අන්තිමට ලක්ෂයත් පැනලා මිල ඉහළ ගියා. පොලිස් නිල සුනඛ අංශයේ වෙන්දේසියකදී බල්ලෙක් මේ වගේ මිලකට ගිය පළවෙනි අවස්ථාව මේක කියලා දැන ගත්තේ පසුවයි.”