
- පාචීනාරාමය ලෙස සඳහන් වන්නේ කදුරුගොඩ විහාරය බව ඇතැමුන්ගේ අදහසයි
- ආචාර්ය පෝල්. ඊ. පීරිස් විසින් 1917 දී කන්තරෝඩය සම්බන්ධව ප්‍රථම කරුණු දැක්වීම හා කැණීම සිදු කරයි
- ආචාර්ය ශිරාන් දැරණියගල කදුරුගොඩ සම්බන්ධව අදහස් දැක්වීමේදී ප්‍රකාශ කරනුයේ මෙය ලංකාවේ හතරවැනි මානව ජනාවාස පෙදෙස නියෝජනය කරන බවයි
කදුරුගොඩ විහාරය පිහිටි කන්තරෝඩයට ළඟාවීමට යාපනය-කන්කසන්තුරේ මාර්ගයේ චුන්නාකම් හන්දිය (හුණුගම) දක්වා ගමන් කළ යුතුය. එමෙන්ම පලාලි සිට කන්කසන්තුරය මාර්ගයේ පැමිණ මාවඩ්ඩිපුරම් කෝවිල අසලින් හැරී ගම්මාන මැදින් සැතපුම් කිහිපයක් ගමන් කළ පසු මෙම කදුරුගොඩ විහාරයට පිවිසිය හැකිය.
කන්දරෝඩෙයි (කන්තරෝඩය) පිළිබඳව විවිධ මතවාද පවතින අතර මහාවංශයට අනුව ඝංඝමිත්තා තෙරණියගේ ලංකා ගමන හා සම්බන්ධ වේ. එනම් ලක්දිවට වැඩි මහරහතන් වහන්සේලා 60 නමක් මෙම පෙදෙසේ වැඩවාසය කළ හෙයින් උන්වහන්සේලා අපවත් වීමෙන් අනතුරුව එම ශාරීරික ධාතු නිදන්කොට මෙහි ස්තූප 60 ක් ඉදි කළ බව සඳහන්ය.
අක්කර 72 ක් පමණ වූ භූමි ප්‍රමාණයක් රක්ෂිත කලාපයක් ලෙස බ්‍රිතාන්‍යයන් විසින් එකල වෙන්කරනු ලැබීය. කදුරුගොඩ යන වචනයේ කදුරු (කඳුරු) යනු පාලි කන්දර නාමයට සමාන වූවකි. දියලු බිමක්, දිය ඇළක් යන අර්ථයක් ඉන් කියැවේ. දිය ඇළක් අසල ගොඩැල්ලක පිහිටි විහාරයක් යන්න මින් අදහස් වේ යැයි පැවසේ. ඒ අනුව කන්තරෝඩ වූයේ මෙම වචනයයි යන්න එල්ලාවල මේධානන්ද හිමි දක්වා ඇත. කන්දර කුඩ්ඩෙ යනුවෙන් පෘතුගීසි ලේඛනවල මේ ස්ථානය හඳුන්වයි. එය කදුරුගොඩ යන සිංහල වචනයේ පෘතුගීසි උච්චාරණය ලෙස සැලකේ. ඇතැමුන්ගේ අදහස වන්නේ මහනුවර යුගයේ රචිත විහාර හා පුදබිම් නාමාවලිය වන “නම් පොත” හෙවත් “විහාර අස්න” හි විස්තරය අනුව පාචීනාරාමය, ලෙස සඳහන් වන්නේ කදුරුගොඩ විහාරය බවය.
එවකට යාපනයේ දිස්ත්‍රික් විනිසුරු වූ ආචාර්ය පෝල්. ඊ. පීරිස් විසින් 1917 දී කන්තරෝඩය සම්බන්ධව ප්‍රථම කරුණු දැක්වීම සිදු කරනු ලැබූ අතර ඔහු මෙම භූමිය 1940 දී කැණීම් කරනු ලැබීය. විටින් විට විවිධ කාලවලදී මෙම ස්ථානයේ කැණීම් කටයුතු සිදුකර ඇති අතර එහිදී මතුකරගත් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් නටබුන් අතර දුර්ලභ කවන්ධ බුදු පිළිමයක කොටස් ද හමුවිය. 1970 දශකයේ දී ඇෙමරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය විමලා බෙග්ලි එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද කැණීමේ දී කානේලියන් පාෂාණයෙන් නිම වූ මුදුවක් හමු වූ අතර එහි මුද්‍රාවෙන් අශ්වාරෝහකයෙක් නිරූපණය කොට ඇත. ඊට අමතරව අක්ෂර සහිත මැටි බඳුන් කැබැල්ලක් සොයාගන්නට හැකිවිය. මෙම වළං කැබැල්ල හමු වූ ස්ථානය ඔවුන් නම් කරනු ලැබූයේ KTDA 14 ලෙසින්ය. මෙය සහයෝගිතා කැණීම් පර්යේෂණයක් විය.
විමලා බෙග්ලිගේ කැණීම් වාර්තාවේ කන්තරෝඩය, බෞද්ධගාමික නටබුන් සහිත භූමියක් ලෙස සඳහන් කොට ඇති අතර පොළෝ මට්ටමින් අඩි 12 ක් පමණ ගැඹුරින් ප්‍රාග් ඓතිහාසික අවශේෂ ලැබුණු බව ද සටහන් කර ඇත. මෙමගින් මුල් අවදියේ යකඩ යුගයේ සාධක ද දෙවන අවදියේ දී පූර්ව ඓතිහාසික සංස්කෘතික මෙවලම් ද තෙවැනි අවදියේ දී රූලේටඩ් මැටි බඳුන්, ලක්ෂ්මි කාසි, කොරල් කැබලි ද හමු වූ අතර සිව්වන අවදියේ දී බෞද්ධ නටබුන්හි සාධක ද ලැබුණු බව සඳහන්ය.
මෙහි දී සොයා ගත් අක්ෂර සහිත මැටි බඳුන් කැබැල්ල (වළං) බ්‍රාහ්මී අක්ෂර වලින් යුක්ත වූවකි. රූලේටඩ් වර්ගයේ වළං කැබැල්ලක් වූ මෙය එවකට යාපනය දිස්ත්‍රික්කයෙන් සොයාගත් පැරණිම අක්ෂර සහිත සලකුණ විය. මෙවැනි බ්‍රාහ්මී අක්ෂර සහිත වළං කැබැල්ලක් අනුරාධපුර ඇතුළු නගරයේ කළ කැණීමේ දී ද සොයා ගනු ලැබීය. එය ක්‍රි.පූ. 8 ට අයත් යැයි ආචාර්ය ශිරාන් දැරණියගලගේ අදහසයි.
කන්තරෝඩයෙන් හමු වූ මෙම වළං කැබැල්ලෙහි බ්‍රාහ්මී අක්ෂර 6 ක් සලකුණු කොට ඇත. මෙහි ප්‍රථම අක්ෂරය “මා” ලෙස හඳුනාගෙන ඇති අතර ආචාර්ය සද්ධාමංගල කරුණාරත්නගේ අදහස වූයේ එය සංකේතයක් යන්නය. මෙම සලකුණු අනුරාධපුරයෙන් හමු වූ අක්ෂර සලකුණුවලට සමානත්වයක් දරන බව විද්වතුන්ගේ මතයයි. තෝනිගල, පරමාකන්ද, පෙරියපුලියන්කුලම හා නැට්ටුකන්ද ආදි ස්ථාන වල පිහිටි ශිලා ලිපි අතර ද මේ හා සමාන සංකේත දක්නට ඇති බව සඳහන්ය. 1973 දී යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. ඉන්ද්‍රපාල විසින් කන්තරෝඩයෙන් හමු වූ වළං කැබැල්ලේ ඇති අක්ෂර වලින් “දතහපත” ලෙස අර්ථ ගැන්වෙන බව ප්‍රකාශ කරයි.එනම් දාඨාගේ (දතහපත) පාත්‍රය යන්න අදහසයි. මෙහි පාත්‍රයේ අයිතිකරු දත්තය. ඔහු ගිහියෙක් ද පැවිද්දෙක් ද යන්න නිශ්චිත නැත. දත්ත විසින් පුදන ලද පාත්‍රයක් විය හැකිය යන්න අදහසයි. මෙම කාල වකවානුවේ දී සෙල්ලිපි වල දක්නට ලැබෙන දතහ ලෙණෙ, ශමුදහ ලෙණෙ වැනි වචන වලින් ඒ බැව් ගම්‍ය වන බව කියැවේ.
පුරාවිද්‍යා කොමසාරිස් වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේගේ ප්‍රධානත්වයෙන් 1965 - 1968 අතර කාලයේ දී සිදුකළ කැණීම් මඟින් ඉතා වැදගත් සාධක මතුකර ගැනීමට හැකි විය. එහි දී ස්තූප 21 ක් නිරාවරණය කරගත් අතර ස්තූප 36 ක පාදම් මතුකර ගනු ලැබීය. මෙහි හමු වූ ස්තූප අතරින් විශාලම ස්තූපය වට අඩි විසිතුනහමාරක් වූ අතර කුඩාම ස්තූපය වට අඩි හයක් විය. මෙහි දී විද්‍යාමාන වන සියලු ස්තූප එකම ආකෘතියක ලක්ෂණ දැරීය. එමෙන්ම මෙහි හර්මිකා කිහිපයක් ද සොයා ගනු ලැබීය. ගරාදි වැට ඉන්දියාවේ සාංචි ස්තූපයේ සේ මනා ලෙස නිර්මාණය කර ඇත. වළලු නමයක ඡත්‍රාවලියක් හමු වූ බවත් ඡත්‍රය සවිකර තිබූ බවට එහි ඇති සිදුර සාක්ෂි සපයයි. මෙවැනි ස්තූප සමූහයක් එකම ස්ථානයකින් හමු වූ ප්‍රථම අවස්ථාව ලෙසට එල්ලාවල මේධානන්ද හිමි කඳුරුගොඩ විහාරය නම් කරනු ලබයි. කැණීමෙන් අනතුරුව ස්තූප කිහිපයක් පෙර පැවති තත්ත්වය උපකල්පනය කොට තහවුරු කර ඇත. එම තහවුරු කළ වර්ෂ ස්තූප පාදමේ 1975 සහ 1976 ලෙස සටහන් කොට තිබේ. මේ ස්තූප නිර්මාණ කාලය අනුව අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් යැයි සැලකේ. පූජා භූමියෙන් හමු වූ කැටයම් රහිත සඳකඩ පහණ, පාද ලාංඡන ශිලා ඵලක හා ගඩොළු පැරණිම යුගය නියෝජනය කරයි.
මෙම කැණීම් අවස්ථාව වන විට පැරණි ගොඩනැගිල්ලක කණු පාදම්ගල් රැසක් දක්නට ලැබුණු බව සඳහන්ය. කැණීමේ දී හමු වූ පුරාවස්තු අතර හුණුගලෙන් කළ කොත් පියන් රහිත ගල් කරඩු, බුදුපිළිම හතරක කොටස්, ලා කොළ පැහැති වීදුරු කොතක්, කුඩා වාමන රූපයක්, ගල් ගරාදි වැටක කොටසක්, පූර්ණ ඝට සහිත මුරගල්, පාද ලාංඡන ශිලාඵලක, බෝධිසත්ව හිසක්, වර්ණ ගැන් වූ දාර සහිත උළු, විවිධ පබළු වර්ග 26 000 පමණ , වළං හා පාත්‍රා කැබලි, සෙල්ලිපියක කොටසක්, උළු කැබලි විශාල ප්‍රමාණයක් ද, පළමු පැරකුම්බා, සහස්සමල්ල, ලීලාවති ආදි රාජ්‍ය කාලයන්ට අයත් හා විවිධ කාසි වර්ග ද දැක්විය හැකිය. පූර්ව අනුරාධපුර සමයේ සිට ක්‍රි.ව. 910 අතර කාල වකවානුවට අයත් පුරාවස්තු මෙම කැණීම තුළින් මතුකර ගැනීමට හැකිවිය. එසේම 1615 දී නිකුත් කළ පළමු වන ජෝර්ජ් රජුගේ තුට්ටු භාගයේ කාසියක් ද මෙම ස්ථානයෙන් හමුව ඇත.
එල්ලාවල මේධානන්ද හිමි විසින් රචනා කරන ලද "නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය" නම් වූ ග්‍රන්ථයේ කදුරුගොඩින් හමු වූ ශිලා ලේඛනය පිළිබඳව කරුණු අන්තර්ගත කොට තිබේ. මෙම සෙල්ලිපිය අත්තාණි කණුවක කොටසක් ලෙස සටහන් කරන අතර එය ක්‍රි.ව. 10 වන සියවසට අයත් සිංහල අක්ෂරයෙන් ලියන ලද්දකි. කණුවේ පැති තුනක අක්ෂර කොටා ඇත. අඩි දෙකයි අඟල් හතක් පමණ උසකින් යුත් මෙම ටැම් ලිපියේ මුදුනේ නෙළුම් මල් කැකුළු රූරා වැටෙන අයුරින් නිරූපණය කර ඇත. එමෙන්ම එක් පසෙක ධර්ම චක්‍රය සලකුණු කර තිබේ. ලිපියේ අන්තර්ගතය අනුව බෞද්ධ සිද්ධස්ථානයකට ලබාදුන් වරප්‍රසාද සහිත රාජාඥාවක් බව අවබෝධ වේ. ඔකාවස් රජ පරම්පරාවෙන් පැවත එන රුහුණු හා මායා යන දෙරටෙහි අධිපති ලෙස මෙහි සඳහන් රජුව හඳුන්වා ඇත. ලිපියේ සඳහන් භාෂාව අනුව 4 වන කාශ්‍යප (ක්‍රි.ව. 898-914) රජුගේ ආඥාවක් යැයි නිගමනය කෙරේ. වර්තමානයේ දී මෙම කදුරුගොඩ ටැම් ලිපිය යාපනය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
මේ ලිපියේ අක්ෂර අතර කුඩා අක්ෂර වලින් ලියා ඇතැයි සැලකෙන ලිපියක් මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් කියවා ඇති අතර එය 15 වන සියවසට අයත් යැයි කියැවේ. එය සුමංගල නම් තෙර නමක් ලියවා ඇති බවත් සෙනරත් පරණවිතානගේ අදහසයි. එමෙන්ම ඔහු සඳහන් කරනුයේ ලිපියේ උත්තර පස්සයේ වල්පිට දිසාවේ කදුරුගොඩ නාමය දැක්වෙතත් සුමාත්‍රාවේ පිටපතේ නාවෙහෙර බද යනුවෙන් දක්වා ඇති බවය. ඒ අනුව මේධානන්ද හිමි දක්වන්නේ කන්තරෝඩේ නටබුන් කදුරුගොඩ විහාරය විය යුතු බවත් එය නාගවිහාරය නම් පුදබිමකට සම්බන්ධ බවත්ය.
කදුරුගොඩ විහාරයේ පැවැත්ම 16 වන සියවස දක්වා මනාලෙස පවතින්නට ඇතැයි යන්න විහාර භූමියෙන් හමු වූ පුරාවස්තු අනුව නිගමනය කළ හැකිය. ඊට හේතු සාධක ලෙස පළමුවන පරාක්‍රමබාහූ, නිශ්ශංකමල්ල, ලීලාවතී හා බුවනෙකබාහු යනාදීන්ගේ රාජ්‍යත්ව සමයේ දී මෙම විහාරයට ලැබුණු අනුග්‍රහය ඉවහල් වන්නට ඇත. යාපනයේ පාලකයෙක් ලෙස කටයුතු කළ සංකිලි, වෙහෙර විහාර සමූල වශයෙන් විනාශ කළ බව සඳහන් වන බැවින් කදුරුගොඩ වෙහෙර ද එසේ විනාශ වන්නය ඇතැයි සැලකේ.
ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ දායකත්වය මත 2011 දී කැණීම් කටයුතු සිදුකරනු ලැබීය. එම කැණීම සඳහා ආචාර්ය සිරාන් දැරණියගල, ආචාර්ය නිමල් පෙරේරා, මහාචාර්ය ටී. පුෂ්පරත්නම් හා මහාචාර්ය රාසයියා ක්‍රිෂ්ණරාජ් යන විද්වතුන්ගේ සහභාගීත්වය සිදුවිය.
ආචාර්ය ශිරාන් දැරණියගලයන් කදුරුගොඩ සම්බන්ධව අදහස් දැක්වීමේ දී ප්‍රකාශ කරනුයේ මෙය ලංකාවේ හතරවැනි මානව ජනාවාස පෙදෙස නියෝජනය කරන බවයි. අනුරාධපුරය පළමු යුගය ලෙසත්, තිස්සමහාරාමය දෙවැන්නත්, මන්නාරමේ මාතොට හෙවත් මහාතිත්ථ වරාය ආශ්‍රිත පෙදෙස තෙවැන්න ලෙසත් කන්දරෝඩෙ (කදුරුගොඩ විහාරය) ආශ්‍රිත මානව ජනාවාස පෙදෙස සිව්වැන්නත් ලෙස දැරණියගලයන් පෙන්වා දෙයි.
ඡායාරූප අන්තර්ජාලයෙනි
රුක්ෂිලා වෙත්තමුණි