
යටත්විජිත සමයේ ආරම්භ වූ ක්‍රීඩා සමාජ කිහිපයක්ම තවමත් කොළඹ නගරයේ දක්නට ලැබේ.
කොළඹ හත, බෞද්ධාලෝක මාවතේ, 380/1 ස්ථානයේ පිහිටි ඔටර් ඇක්වටික් ක්ලබ් හෙවත් ඔටර් ජල ක්‍රීඩා සමාජයද මෙරට තිබෙන යටත්විජිත සමයේ ආරම්භ වූ පැරැණිම ක්‍රීඩා සමාජයක් ලෙස සැලැකේ.
1933 වර්ෂයේ මුලින් ගල්කිස්සේදී ආරම්භ කර ඇති මෙකී ක්‍රීඩා සමාජය වර්තමානයේ තිබෙන කොළඹ හතට රැගෙනවිත් ඇත්තෙ 1956 වර්ෂයේයි. පිහිනුම් ක්‍රීඩාවට අපමණ දායකත්වයක් සපයන ඔටර් ක්‍රීඩා සමාජය සතුව ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකයක්ද වේ. ඊට අමතරව මේ වන විට පිහිනුම් තටාක තුනකින්ද සමන්විත ඔටර් ක්‍රීඩා සමාජය තුළ ටෙනිස්, බැඩ්මින්ටන්, ස්කොෂ්, බිලියඩ් සහ ස්නුකර්, කායවර්ධන, බාස්කට් බෝල්, ටේබල් ටෙනිස් වැනි ක්‍රීඩා ඉසව් රැසකටම ඉඩපහසුකම් සහිතය. එලෙස ක්‍රීඩා රැසකටම පහසුකම් සහිත කොළඹ නගරයේ තිබෙන එකම ක්‍රීඩා සමාජය ලෙසද මෙය සැලැකේ.
අක්කර දෙකකට අධික භූමි භාගයක් පුරා පැතිර තිබෙන ඔටර් ඇක්වටික් ක්‍රීඩා සමාජය පිළිබඳව පසුගිය දිනවල කරළියට ආයේ ක්‍රීඩා සමාජය පවත්වාගෙන යන රජය සතු ඉඩමට අදාළ බදු නොගෙවීම නිසා ක්‍රීඩා සමාජයට එම ඉඩමෙන් ඉවත් කරගන්නා ලෙසට එකී භූමියෙහි නිසි බලධාරි ලෙස කටයුතු කරන තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කළ 'අස්කිරීමේ දැන්වීම' නිසාවෙනි. එම දැන්වීමෙන් දන්වා තිබුණේ 2020 සැප්තැම්බර් 30 වැනි දින හෝ එදිනට පෙර ක්‍රීඩා සමාජය එකී භූමියෙන් ඉවත්කරගන්නා ලෙසටයි.
මේ පිළිබඳව කරුණු ගවේෂණය කළ අප තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක මහත්මිය හමුවූ මොහොතේ මෙසේ පැවැසුවාය.
"ගිය වර්ෂයේ සැප්තැම්බර් 30 වැනිදා මෙහි තිස් අවුරුදු බදු ගිවිසුම අවසන් වුණා. රජයේ වෙනත් අවශ්‍යතාවක් සඳහා මේ භූමියට ඒ වන විට ඉල්ලුමක් නොතිබූ නිසාත්, හිඟ මුදලක් තිබූ නිසාත් අපි ක්‍රීඩා සමාජයේ බලධාරින්ට වර්ෂයක කාලයක් ලබා දුන්නා හිඟ බදු මුදල් ගෙවන්න. ඒ කියන්නෙ ලබන සැප්තැම්බර් 30 දක්වා. පාලනාධිකාරිය හිඟ මුදල්වලින් යම් ප්‍රමාණයක් ගෙවීම් කළා. ඒත් තවත් මිලියන 31කට අධික මුදලක් ගෙවිය යුතුව තිබෙනවා."
මේ අතරේ කොළඹ නගරය තුළ වත්මන් රජය සිදු කිරීමට නියමිත ශීඝ්‍ර සංවර්ධන සැලැස්මට අනුව නාගරික සංවර්ධන අධිකාරියේ නගර සැලැස්මට අනුව ඉඩම් අවශ්‍යතාද පැන නැඟී ඇති බවකි.
"මේ භූමිය සඳහාත් නාගරික සංවර්ධන අධිකාරිය සතුව සැලැස්මක් තිබුණා. ඒ අතරේ මෙහි හිඟ බදු වාරික විශාල මුදලක් එකතු වීම නිසාත් එම භූමිය නැවත පවරා ගැනීම සඳහා අපි කටයුතු කළා. අපි එහි පාලනාධිකාරිය කිහිප වරක්ම දැනුවත් කළා මේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන." ඒ ප්‍රියන්තා දිසානායකගේ අදහසයි.
එහෙත් අවසන ක්‍රීඩා සමාජ බලධරයින් අසරණ වී ඇත්තෙ එක්රැස් වී තිබෙන අධික බදු වාරික මුදල ගෙවා ගැනීමට නොහැකි වීම නිසාවෙනි. මෙරට විසූ සම්මානිත පුරවැසියෙක් වූ ආචාර්ය ආතර් සී. ක්ලාක් ඇතුළු කෘතහස්ථ දේශපාලනඥයෙක් වූ පීටර් කේනමන් වැන්නන් ද සාමාජිකත්වය දැරු ඔටර් ක්‍රීඩා සමාජයේ අතීතයේ සිට වර්තමානය දක්වා මෙරට ප්‍රභූ පැලැන්තියේ මෙන්ම සාමාන්‍ය පැලැන්තියේ බොහෝ දෙනෙක් සාමාජිකත්වය දරා තිබේ. මේ වන විටද සාමාජිකයන් සංඛ්‍යාව පන්දහසකට අධිකය. ඔටර් ක්‍රීඩා සමාජය ආරම්භ කිරීමේ ගෞරවය හිමි වන්නෙ ග්‍රේග් රොස්කොව්ස්කි, කුයින්ටස් සොයිසා, කේ. ඩබ්ලිව්. ඉබ්රම්සා සහ නිකි ඇන්තනි යන සිවු දෙනාටයි. 1933 ඔටර් ක්ලබ්හි මුල්ම සභාපතිවරයා ලෙස ඕ. බී. සිල්වා පත්වී ඇති අතර එතැන් සිට මේ දක්වා සභාපතිවරුන් 31 දෙනෙක් පත්ව තිබේ. වර්තමාන සභාපතිවරයා මහේන්ද්‍ර ද සිල්වායි.
ඔටර් ක්‍රීඩා සමාජයට මෙවැනි අභාග්‍ය තත්ත්වයක් උදාවීමට මූලික ලෙස බලපෑවේ කුමන හේතුවක්ද යන්න විමසූ කල ක්‍රීඩා සමාජයේ වත්මන් ලේකම් අනුෂ රොද්‍රිගු අපට කීවේ මෙවැනි කතාවකි.
"ඔටර් ක්‍රීඩා සමාජය වර්තමානයේ පවතින ස්ථානයට ගෙන ආවේ 1956 වර්ෂයේ. 1959 වර්ෂයේ බදු ගිවිසුම අත්සන් කරනවා. ඒ 1989 දක්වා. 1956 වර්ෂයේ සිට බලපැවැත්වෙන පරිදි. එම ගිවිසුමෙන් අපට වර්ෂයකට රුපියල් 222ක බදු මුදලක් ගෙවන්න තිබුණේ. 1989 දී මෙහි බදු ගිවිසුම නැවත අලුත් කළා 2019 සැප්තැම්බර් 30 දක්වා. වසර 30 කාලයකට. ඒ ගිවිසුමෙන් පසුවත් බද්ද ලෙස රු. 222ක මුදලක් තමයි ගෙව්වෙ. ඒත් 2005 දී බදු සංශෝධනයකින් මෙහි වාර්ෂික බද්ද ඉඩමේ වටිනාකමින් සියයට 4ක ප්‍රතිශතයක් දක්වා ඉහළ දැම්මා. වර්ෂයකට මුදලින් රුපියල් මිලියන හතක් ගෙවීමට. ඒත් එවකට සිටිය කමිටුව අධිකරණයට ගොස් එය සියයට දෙක දක්වා අඩුකරගෙන තිබුණා. මුදලින් ලක්ෂ 38ක් දක්වා. හැබැයි ඒ මුදල 2005 වර්ෂයේ සිට නොවේ, 1989 සිටම ගෙවිය යුතු බවටයි තීන්දු කර තිබුණේ."
එලෙස සිදුවූ බදු සංශෝධනය නිසාවෙන් ක්‍රීඩා සමාජයට ලැබුණු ආදායම අනුව එතරම් විශාල බදු මුදලක් ගෙවිය නොහැකි තත්ත්වය මත ක්‍රීඩා සමාජ අසරණ තත්ත්වයකට පත්වූ බව ලේකම්වරයා පැවැසීය. ඒ අනුව 1989 වසරේ සිට 2019 දක්වා වසර 30ක කාලයට වසරකට රුපියල් ලක්ෂ 38ක බදු මුදලේ එකතුව රුපියල් මිලියන 116ක් වී ඇත.
"අපි ඒ මිලියන 116න් මිලියන 86ක් සාමාජිකයන්ගේ මුදල්වලින් සහ ක්‍රීඩා සමාජයට ලැබුණ ආදායමෙන් පසුගිය කාලයේදී ගෙවා දැම්මා. ඉතිරි මුදල තමයි දැන් ගෙවන්න තියෙන්නෙ. ඉන් පස්සෙ අපි ඉතිරි මුදල් ප්‍රමාණය ගෙවන්න රජයේ බලධාරින්ගෙන් සහන කාලයක් ඉල්ලා ගත්තා. ඒත් අපිට සියලු මුදල් ගෙවාගන්න බැරිවුණා" යැයි කී ක්‍රීඩා සමාජ ලේකම්වරයා අනතුරුව හිඟ බදු මුදල ගෙවීම සඳහා ක්‍රීඩා සමාජයේ බලධාරින් විසින් සැලැස්මක් යෝජනා කළ බවද කීවේය.
ඒ අනුව ක්‍රීඩා සමාජ බලධාරින් විසින් යෝජනා කළ එකී මුදල් කන්දරාව ගෙවීම සඳහා ඔටර් ක්‍රීඩා සමාජ භූමියේ පවත්වාගෙන යන රථ ගාලෙහි රටේ සුපිරි වෙළෙඳසල් ජාලයක ශාඛාවක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියකට බදු දී ලැබෙන මුදලින් හිඟ බදු මුදල පියවා ගැනීමට සූදානමක් තිබී ඇත. ඒ සඳහා රජයේ සියලු වගකිවයුතු ආයතනවලින් අනුමැතියද ලැබී තිබූ බව කී ලේකම්වරයා,
"එහෙම තියෙද්දි තමයි කොවිඩ් වසංගතයට ක්ලබ් එක වැහුවේ. පසුව ක්ලබ් එක විවෘත වූ පසු පසුගිය ජුලි 06 වැනිදා ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ලිපියක් ලැබුණා ගෙවීම් කර නැති නිසා සැප්තැම්බර් 30 වැනිදා වන විට ඉඩමෙන් ක්‍රීඩා සමාජය ඉවත් කරගන්නා ලෙසට දැනුම් දීලා."
ඔටර් ක්‍රීඩා සමාජයේ ලේකම්වරයා පවසන්නෙ අනතුරුව රජයේ වගකිවයුත්තන් සියල්ල හමු වී තම ක්‍රීඩා සමාජයට උද්ගතව ඇති තත්ත්වය පැහැදිලි කළ බවයි. ඒ අනුව දැනට වාර්තා වන අන්දමට නාගරික සංවර්ධන අධිකාරිය මෙකී භූමිය පවරා ගැනීමට සූදානමක් ඇති බවයි. කොළඹ නගරයේ පැරැණිතම ක්‍රීඩා සමාජයක් වන ඔටර් ඇක්වටික් ක්ලබ්හි ඉදිරි අනාගතය කෙබඳු වේද යන්න තීන්දු කෙරෙන්නෙ නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරියේදී ගන්නා තීන්දු තීරණ අනුවයි. කෙසේ හෝ කොළඹ නගරයේ ඉඩකඩම් වත්මන් රජය සිදු කිරීමට සැරැසෙන ශීඝ්‍ර සංවර්ධනයට යොදා ගැනීමට සූදානම් වෙද්දී මෙවැනි පැරැණි ක්‍රීඩා සමාජවල අනාගතයටද සුබදායි ලෙස තීන්දු තීරණ ගැනීම බලධරයන්ගේ වගකීමක් ලෙස අපි අවධාරණය කරමු.
ඡායාරූප - සරත් පීරිස්