තාත්තා අපිට වැඩිය ආදරය කළේ පොත්පත්වලට | සිළුමිණ

තාත්තා අපිට වැඩිය ආදරය කළේ පොත්පත්වලට

මහාචාර්ය මැන්දිස් රෝහණදීර

(අගෝස්තු 25 වැනි දිනට යෙදුණ විශිෂ්ට ඉතිහාසඥයකු, පුරාවිද්‍යාඥයකු හා සාහිත්‍යවේදියකු වූ මහාචාර්ය මැන්දිස් රෝහණදීරයන්ගේ 9 වැනි ගුණ සමරුව නිමිත්තෙනි)

මගේ තාත්තා කොයි වගේ කෙනෙක්ද යන්න මා නිතර සිතන දෙයකි. ඔහු රටම පිළිගත් අතිප්‍රමාණික උගතකු බවට හඳුන්වන බව ඇත්ත ය. ඉගැන්වීම, පර්යේෂණ, පොත්පත් ලිවීම, දේශන ආදිය හැර ඔහුට වෙනත් ජීවිතයක් නැතැයි මට සිතුණේ යමක් තේරෙන වයස වන විට ය. මා නිතර දකින්නේ මොනවා හෝ පොත් ගොන්නක් පෙරළමින්, බිත්තිවල ඇති කුරුටු අකුරු සටහන් ලේඛන (සෙල්ලිපි) කියවමින් එක්කෝ මොනවා හෝ ලියමින් සිටි මගේ තාත්තා ය. ගෙදර ඉන්නා විට කන්නට බොන්නට හය හත් සැරයක් තාත්තාට අඩ ගැසීමට අම්මාට නිතර සිදුවූ බව මට මතක ය. එක්කෝ ඔහු තමා හමුවීමට එන හාමුදුරුවරු, පත්තරවල අය හෝ තවත් අය හා කතාවේ ය. ඒ කතාබහ වල්පල් නොව ඉතිහාසය, සාහිත්‍යය ගැන කතා බහ ය. අපේ අම්මා තාත්තා හොඳින් තේරුම් ගත් නිසා තාත්තාගේ මුඵ ශාස්ත්‍රීය සේවය කරදරයක් නැතිව සිදුවූ බව මට දැන් වැටහේ. එනිසාම අප හතරපස් දෙනාගේ වැඩ ගැන වැඩිපුරම වෙහෙසුණේ අම්මා ය.

මගේ තාත්තා මා අදත් දකින්නේ හද්දා පිටිසර අව්‍යාජ හා නිහතමානි ගැමියකු ලෙස ය. ඔහු මිනිසුන්, සතාසීපාවා ඇතුළු හැම දෙනාටම, ගහ කොළවලට, රට ජාතියට හා තම ආගමට ආදරය කළ සුන්දර ගැමියෙකි. ආචාර්ය , මහාචාර්ය පදවි මෙන්ම සම්මාන පිට සම්මාන ලබමින් රට රාජ්‍යවල ගෞරවයට පවා ලක්වූවද එතුමා මියයන තෙක්ම ඒ අහිංසක ගැමිකම හා නිර්ව්‍යාජත්වය සහිත අයකු ලෙස ම දුටුවෙමි. ඒ තරම් නිර්ව්‍යාජ නිහතමානීකමක් ඔහුගේ දරුවන් වන අපට ළඟා කර ගන්නට තවමත් හැකිවී ඇත්දැයි මම බොහෝ විට මගෙන්ම විමසමි.

තාත්තා සතුන්ට ඉතා ආදරේ ය. ඔහුගේ වාහනයේ ඇතුළත හෝ ඩිකියේ බැළලියක් පැටවු දැමූ අවස්ථා මට මතක ය. අම්මා හෝ අපි උන් ඉවත් කරන්නට ගියත් තාත්තා ඊට ඉඩ නොදේ. අප කුඩා වියේ ගෙදර තිබුණේ එකම වාහනයකි. තාත්තා ඒ බළල් අම්මා හා පැටවුන් වාහනයේ ඩිකියේ කාඩ්බෝඩ් පෙටිටියක තබාගෙන ඉගැන්වීමට සරසවියට යයි. පැටවු ලොකු වන තෙක් එසේම ය. ඒ අපේ තාත්තාගේ සත්ත්ව කරුණාව ය.

අතිප්‍රමාණ උගතකු, පර්යේෂකයකු වූ මගේ තාත්තාව මා දකින්නේ රැඩිකල් ශාස්ත්‍රීය පර්යේෂකයකු හා වියතකු ලෙස ය. කොයි ජගතා කීවත් සාධක සහිතව නැත්නම් තාත්තා ඒ මත පිළිගන්නේ නැත. පෘතුගීසීන් ලංකාවට පැමිණියේ 1505 දී යන්න සම්පූර්ණයෙන් වැරදි බව පෙන්වමින් එය 1517 බව සනාථ කරන්නට ඔහු සමත් වූයේ ඒ නිසා බව මට දැන් වැටහේ.වරක් තාත්තා පරණවිතානයන් පොළොන්නරු රජවරු ගැන කියා තිබු මතයකට එරෙහි මතයක් ඉදිරිපත් කිරීමෙන් පත්තරවල විවේචන පිට විවේචන පළවූවා මට මතක ය. තාත්තා ඒවායින් සැලුණේ නැත. නිශ්ශංකමල්ල මහ කයිවාරුකාර රජෙකි යනුවෙන් බොහෝ අය උගතුන් පවා කරන උපහාසය සම්පූර්ණයෙන්ම වැරදි බව සනාථ කරමින් තාත්තා “කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල “ නම් පොතක් ලිවුවේ ය.

තනතුරුවලින් ඉහළට යන්නට යන්නට, පොතපත හා නව මත ආදිය නිසා ජනප්‍රියත්වයට හා ගෞරවයට පාත්‍ර වන්නට වන්නට තාත්තා තව තවත් නිහතමානී වූ බව මට අදත් අමතක කළ නොහැකිය. එය හරියට ගෙඩි පිරි ගසක් පහතට නැමෙන්නාක් සේ ය. ඔහු අප ගැන නොබැලුවා නොවේ. “ පුතේ ඉගෙනීම තමයි ලොකුම ධනය“, “උගතමනා ශිල්පයමයි මතු රැකෙනා“ ඔහු නිතර කියූ ඒවාය. තම පියා නැතිවූ පසු පවුලේ බඩ පිස්සා වූ තමාට ඉගැන්වීමට වැඩිමහලු සොහොයුරන් ඉගෙනීම නවතා කුලී වැඩට ගිය හැටි තාත්තා අපට අනන්තවත් කියා ඇත. ඒ වෙනුවෙන් සහෝදර සහෝදරියන්ගේ දරුවන් ගෙදරට ගෙනැවිත් කොළඹ පාසල්වලට යවා ඉහළට ඉගැන්වීමට කටයුතු කළා පමණක් නොව තාත්තා අහල පහල හා තම දුප්පත් නෑදෑයන්ගේ දරුවන්ට පවා ඉගෙනීමට අත දුන්නේ ය. මා ආනන්ද විද්‍යාලයේ ඉගෙනගත් කාලයේ එහි බෝඩිමේ සිසුන්ට නිවාඩු කාලයේ ගෙදර යෑමට ඉඩ දෙන්නේ බෝඩිම් ගාස්තු ගෙවා නිම කළොත් පමණි. එසේ මුදල් නැතිකම නිසා ගෙදර යාමට නොහැකි සිසුන් කීප දෙනෙකුටම තාත්තා බෝඩින් ගාස්තු ගෙවා දැම්මේ වරක් දෙවරක් නොවේ.

මෙරට දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක හා සිදුවීම්වල ප්‍රධාන චරිතයක් වූ තාත්තා, 1956 බණ්ඩාරනායක මහතා ඇති කළ දේශපාලන විප්ලවයේ ප්‍රධාන බලකරුවන් වූ සඟ, වෙද, ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු විය. ඔහු බණ්ඩාරනායක පවුලේ සමීප හිතවතකු විය. 1978 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව නිර්මාණය කළේ ඔහු බව මා දැනගත්තේ පුවත්පතක ලිපියකිනි. සිරිමාවෝ බණ්ඩාරනායක යුගයේදී තාත්තා හඳුන්වා තිබුණේ “ මැතිනියගේ පුරෝහිතයා ”ලෙස ය. ඔහු මේ කතාව අම්මා සමඟ කියා මහ හඬින් සිනාසෙනු මට මතක ය.

පර්යේෂණ හා ශාස්ත්‍රීය මතවලදී කෙතරම් රැඩිකල් ප්‍රතිපත්තියක් දැරුවද දේශපාලන කටයුතුවලදී තාත්තා වැදගතකු හා රැඩිකල් බවින් තොර විය. මා දන්නා තරමට තිස්සමහාරාමය හා අවිස්සාවේල්ල ආසනවල ක්‍රියාකාරී සංවිධායක තනතුරු තාත්තා දරා තිබේ. 1989 මෙරට භීෂණ සමයේ කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ල.නි.ප. පක්ෂයෙන් නාම යෝජනා ද ලැබුණද තාත්තා එය ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකාවේ දේශපාලනය ක්‍රමය ප්‍රචණ්ඩ වීම හා ප්‍රජාතන්ත්‍රවාදී බවෙන් ගිලිහීම තාත්තාට රුචි නොවූ බව මට මතකය. ඒ නිසා පසුකාලීන ශ්‍රී ල.නි.පක්ෂය හා බණ්ඩාරනායක පවුලත් අනතුරුව මහින්ද රාජපක්ෂ පවුලත් සමඟ සබඳතා දිගටම තබා ගත්තද තාත්තා දේශපාලන කටයුතුවලින් මුළුමනින්ම ඈත් වී ශාස්ත්‍රීය අංශයටම යොමු විය.

තාත්තාගේ අව්‍යාජ හා නිහතමානී බව ගැන අපූරු කථාවක් මට දැන් සිහිවේ. ඔහු ඉපදුණේ දරුවන් හත් දෙනෙකුගෙන් යුතු ඉතා දුප්පත් පවුලක බාලයා ලෙස දකුණේ බෙලිඅත්තේ පල්ලත්තර නම් ඈත දුෂ්කර ගම්මානයකය. මගේ තාත්තා හතර වසරේදී ඔහුගේ පියා මියගොස් ඇත්තේ උණසන්නිපාතය සෑදී නිවෙසේදීම ය. දවාලට පාසලෙන් ලැබෙන බත් හා පරිප්පු හැර පාසලට යන තාත්තාට හෝ අනෙක් සහෝදර සහෝදරියන්ට වතුර උගුරක්වත් නැත. මේ නිසා පාසලේ දී ක්ලාන්තය සෑදී වැටුණු වාර ගණන අපමණ ය. පියා මළ පසු සහෝදරයන් කළේ මල්ලීට උගැන්වීමට තමන් කුලී වැඩට යෑම ය. තාත්තා මේ කතාව පුවත්පතකට ද කියා තිබිණි. කෙතරම් ඉහළ කෙනෙකු වුවත් තාත්තා තම අතීතය අමතක කළේ නැත. අද යන්තම් යමක් හරිහම්බ කරගන්නා අය තමන් රත්තරන් හැඳි කටේ ගහගෙන උපන්නාක් සේ රඟපාන රටක හා සමාජයක තාත්තා කොතරම් නිර්ව්‍යාජ හා නිහතමානී චරිතයක්දැයි මම නිතරම සිහි කරමි. තාත්තා තමාගේ පමණක් නොව අම්මාගේ පවා කිසිදු දුප්පත් නැතිබැරි නෑයකු, සහෝදරයකු කිසිවිටක අමතක කළේ නැත. හැකි සෑම විටම මඟුලට, මරණයට හා දානයට පවා ගියේ අනෙක් වැඩ අතපසු කරගෙන ය.

තාත්තාගේ මතකය කටපාඩම හා ධාරණ ශක්තිය කෙතරම් උසස් ද යන්න වැටහුණු අවස්ථා අපමණ ය. ඔහු බොහෝ විට සාලයේ හෝ ගෙයි ඇතුළත තම කාමරයේ විවිධ අය සමඟ ශාස්ත්‍රීය සාකච්ඡා පවත්වයි. ඇතැම් විට ප්‍රශ්න කරනු ලැබූ විට සංදේශ සාහිත්‍යවල එන කවි එය අයත්වන වර්ණ කොටස ගැන කටපාඩමෙන් කියයි. සංස්කෘත, පාලි, ශ්ලෝක තේරුම් සමඟ කියයි. වරක් පුවත්පතක් හා සාකච්ඡා කරමින් සිටිය දී එම ලේඛකයා ඇසූ ප්‍රශ්නයක දී මගේ තාත්තා බරණ ගණිතයාගේ නීල කොබෝ සංදේශයේ හා ගිරා සංදේශයේ කවි දෙකක් ඉදිරිපත් කරමින් කෝට්ටේ එවකට තිබූ දේවාල ගැන සාධක ගෙන හැර දක්වමින් විස්තරයක් කළ අයුරු මට අද මෙන් මතක ය. අපේ ගෙදර සාකච්ඡා මණ්ඩපයක් බඳු විය. එය නිරන්තර උගතුන්ගෙන් තොර නොවීය. බස රැසදේ සිරි සීවලී, තොටගම වාචිස්සර, හේන්පිටගෙදර ඤාණසිහ වැනි එකල සිටි ප්‍රබල හා ඉහළ පෙළේ හිමිවරු මා මුල්වරට දැක්කේ අපේ ගෙදරදී ය. දේශපාලන සබඳතා නිසා 56 බලවේගයේ මේ අය නිතර තාත්තා හමුවීමට පැමිණිය හ. තාත්තා ගීත කවි තාලයට කියන්නට ඉතා ආශා කළ සැටි අපට මතක ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වසර 35 ක සේවා කාලයෙන් පසු විශ්ව කෝෂයේ ප්‍රධාන කර්තෘ ලෙස ද, රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස ද, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ද ඔහු සේවය කරන ලදී. තාත්තාගේ ජීවිතය සහ ශාස්ත්‍රීය පර්යේෂණ ගහට පොත්තත්, පොත්තට ගහත් මෙන් විය. ඔහු මියගොස් වසර නවයක් පිරෙන මේ මොහොතේත් ඉතිහාසය, පුරාවිද්‍යාව හා සිංහල සාහිත්‍ය යන විෂයයන් ගැන කතා කරන හැම විටම මගේ තාත්තාගේ නම මහාචාර්ය මැන්දිස් රෝහණධීර යන්න සඳහන් වන්නේ මතක් වන්නේ ඒ නිසා බව මම විශ්වාස කරමි.

තාත්තා විශ්‍රාම ගිය පසුව වුවද කිසි විටෙක තම ශාස්ත්‍රීය පර්යේෂණ පොත පත ලිවීම නතර කළේ නැත. ඔහු වෙනදා මෙන්ම දිවා රෑ පුරාම වෙනදාටත් වඩා වේගයෙන් වැඩ කළ බව මම දනිමි. කෙසේ හෝ සෙල්ලිපියක්, පුරා වස්තුවක් හමුවූ පුවතක් ආරංචි වුවහොත් වහා එහි ගොස් එහි අනුරුවක් පිටපතක් ගෙන එයි. කැඩුණු බිඳුණු සෙල්ලිපිවල කොටස් කෑලි තාත්තාගේ කාමරයේ ඕනෑ තරම් විය. මට මතක විදිහට ඓතිහාසික රම්බාවේ විහාරය කැණීම් හා රුහුණේ ඓතිහාසික තිස්සමහාරාම සිලාපස්ස පිරිවෙන් සමූහ කැණීම් සඳහා මුලපිරීම සිදු කළේ ඔහු විශ්‍රාම ගිය පසුව ය. අද වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වී කරන එම කැණීම් පර්යේෂණ රුහුණේ ඉතිහාසය පිළිබඳ ඉතා වැදගත් පුරාවිද්‍යා තොරතුරු හෙළි කරයි.

මෙම නව සොයා ගැනීම් ගැන මෙන්ම මගේ පියා ඉන් සතුටට පත්වූ කරුණක් වූවේ “අස්ගිරි තල්පත “ නම් අතිශය වැදගත් පෞරාණික කන්ද උඩරට තල්පත පිළිබඳ ස්වකීය පර්යේෂණයෙනි. ඔහු නිතර ඒ ගැන අප හා මෙන්ම උගතුන්, පුවත්පත් සමඟ කතා කළේය. “අස්ගිරි තල්පතේ ලංකා ඉතිහාසය හා ශ්‍රී ලංකාවේ මහා සංඝසාමි සංඝරාජ පරපුර” නමින් ඒ තල්පත ඉංග්‍රීසියෙන් ලියූ පර්යේෂණ ග්‍රන්ථ දෙක මෙතෙක් හෙළි නොවූ කන්ද උඩරට ඉතිහාසය, උඩරට බුදු දහමේ වගතුග හා ඉතිහාසය පිළිබඳ විශිෂ්ට සම්භාව්‍ය ග්‍රන්ථ දෙකක් සේ පිළිගැනුණු බව මට මතක ය. එකී විශිෂ්ට සේවාව අගය කරමින් අස්ගිරි මහා විහාරයේ නායක ස්වාමීන්වහන්සේ විසින් ශ්‍රී රෝහණ ජනරංජන ගෞරව සම්මානය පියා වෙත ප්‍රදානය කරන ලදී.

එක් පරිවර්තනයක්, ශාස්ත්‍රීය ග්‍රන්ථ නවයකුත්, චරිත කතා දෙකකුත් හා විචාර ග්‍රන්ථ දෙකක් ද කාව්‍ය විචාර ග්‍රන්ථ හා සංග්‍රහ දෙකක් ද මගේ පියා ලියා තිබෙන බව පසුව මම දැන ගතිමි. එතුමාගේ බස මෙන්ම කතාවේ වාග් චාතුර්යය ද අසන සෑම දෙනාගේ කියවන සෑම දෙනාගේ සිත් ඇද ගත් බව ඉතා ප්‍රකට ය. මගේ තාත්තාගේ ජීව ගුණය වූ නිහතමානී සන්සුන් බව ඒ හැම තැනම දිස්වෙතැයි මම සිතමි. ඔහු කිසි විටෙක කිසිවකුට පරිභව කර පහතට හෝ උපහාසයට ලක් කර වේදිකාවල දී තබා සාමාන්‍ය කථා බහේදී හෝ කටයුතු නොකළේ ය. කාගේවත් සිත් රිදවීම මගේ පියාගේ සිරිත නොවීය.

ඔහු පමණක් නොව මගේ මවගේ හා අප පවුලේ සැමගේ සිත් සදා වේදනාවට පත් කළ සිද්ධියකින් මේ ලිපිය නිමා කරන්නට කැමැත්තෙමි. ඒ මගේ ලොකු අයියා 1989 භීෂණ සමයේ ගෙය ඉදිරිපිට දී නාඳුනන අය විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමයි. පසු කාලයේ තාත්තා අත් වාරුව නැතිවූ අයියා ගැන කීප විටක්ම ශෝකයෙන් කතා කළ හැටි මට මතකය. ඔහු විසින් රචනා කරන ලද කවි පෙළ හඳුන්වා තිබුණේ අතුරුදන් වූ වරුණ තම අහිංසක පුතුට හා ඔහු සේම අකාලයේ මිලින කොට කපා හෙළු දහස් ගණන් තරුණු කුසුම්වලට නිවන් සුව අත්වේවා කියා ය.

Comments