තෙවැනි ඇසින් ශ්‍රී ලංකාව | Page 2 | සිළුමිණ

තෙවැනි ඇසින් ශ්‍රී ලංකාව

දෘශ්‍ය රූප සංක­ල­නයේ රිද්මය සොයා යන තෙවන ඇසක් සතු වූවකු තුළ රසික හද සසල කර­වන ජීව­ගු­ණ­යත්, හැඟීම් කුළු­ග­න්වන නිය­මා­වක් හා ඊට අදාළ අර­මුණ සහ උපාංග අතර සමෝ­දා­න­යෙන් නිමැ­වෙන රටා­වක් නැති නම් රිද්ම­යක් සතු නම් හෙතෙම ප්‍රතිභා සම්පන්න නිර්මා­ණ­ශීලී ඡායා­රූප ශිල්පි­යකු බව අවි­වා­ද­යෙන් පිළි­ගත හැකිය.

 

මෙකී ගුණ­ය­න්ගෙන් සුපු­ස්පිත ඡායා­රූ­පා­ව­ලි­යක් පසු­ගිය දා අපේ ඇස ගැටිණ. ඒ ලෝක ඡායාරූප දිනයට සමගාමීව පැවැති සිව්වන රාජ්‍ය ඡායා­රූප උළෙ­ලේ­දීය. පසු ගිය 19 වැනිදා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා ගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඉතා උත්ක­ර්ෂ­වත් අයු­රින් පැවැති මෙම ඡායා­රූප උලෙළ පැවැ­ත්විණි.

සමස්ත ලෝක වාසීන් මුහුණ දී සිටින COVID-19 ව්‍යස­නය හේතු­වෙන් මෙවර රාජ්‍ය ඡායා­රූප තර­ගයේ ද ස්වභා­වය තර­මක් වෙනස් මුහු­ණු­ව­රක් ගත්තේය. මෙවර එහි තේමාව වූයේ “COVID-19 හමුවේ ජන ජීවි­තය” යන්නය.

මීට අම­ත­රව විවෘත අංශය සඳ­හාද අව­ස්ථාව ලබා දී තිබුණි. ඒ අනුව දිව­යිනේ නන්දෙස සිටින ඡායා­රූප ශිල්පීන් ශිල්පි­නි­යන් විශාල ප්‍රමා­ණ­යක් ඡායා­රූප ඉදි­රි­පත් කර තිබුණි. ඒවා අත්දැ­කීම් බහුල ප්‍රවීණ විනි­ශ්චය මණ්ඩ­ල­යක් මඟින් විනි­ශ්ච­යට ලක්කර තිබුණි.

ඒ අනුව “කොවිඩ් 19 සමඟ ජන ජිවි­තය”යන තේමාව යටතේ පැවැති ඡායා­රූප අංශයෙන් නුවන් සමාධි ඉදිරිපත් කළ ‘විෂමතාවය (Disparity)’ නම් ඡායාරූපයට ප්‍රථමස්ථානය හිමි විය. මෙහි දෙවනස්ථානය හිමි වූයේ ‘කොරෝනාවලින් එහා ගිය විශ්වාසය (Belief Beyond Corona)’නම් ඡායාරූපය ඉදිරිපත් කළ ජයනාත් ඉලංගකෝන්ට ය. තෙවැනි ස්ථානය ‘මනස නිදහසේ ලිහිල් කිරීම (Relaxation of The Free Mind)’ නම් ඡායාරූපය ඉදිරිපත් කළ සාලිය කුමාර ජයසේකරට හිමිය.

විවෘත අංශයේ ප්‍රථම ස්ථානය හිමි වූයේ සුදානන්ත් කේතීෂ්වරනාදන් ඉදිරිපත් කළ ‘THE HUT’ නම් ඡායාරුපයටය. එම අංශයේ දෙවැනි ස්ථානය ‘අපි නොදත් ලෝකය’ ප්‍රියන්ත මීගොඩ දිනාගත් අතර, තෙවැනි ස්ථානය ‘ආරක්ෂිතයි (SAFE HAVEN)’නම් ඡායාරූපය ඉදිරිපත් කළ එන්. සුභාෂණ කොස්තා දිනා ගත්තේය. තෝරාගත් සෙසු තරගකරුවන් සඳහා කුසලතා සහතික පිරිනැමිණි.

මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් රාජ්‍ය ඡායා­රූප උප­දේ­ශක සභාවේ සභා­පති ප්‍රසන්න හෙන්නා­යක කියා සිටියේ “ශ්‍රී ලාංකේය සමා­ජය විසින් කැම­රා­ක­රු­වකු ලෙස හඳු­නා­ගෙන සිටින පුද්ග­ලයා තුළ ශ්‍රේෂ්ඨ කලා­ක­රු­වකු සැඟවී සිටින බව බොහෝ දෙනකු නොදන්නා බවය. එවැනි පුද්ග­ල­යන් හඳු­නා­ගෙන ඔවුන්ගේ ඡායා­රූ­ප­වල ගැබ්ව ඇති ඡායා­රූ­ප­මය වටි­නා­කම් සහ කලා­ත්මක ගුණය ඉහ­ළට ඔසවා තැබීම තම සභාවේ කාර්ය­භා­රය වන අතර ලොව­පුරා ප්‍රබල කලා මාධ්‍ය­යක් ලෙස ගෞර­ව­යට පාත්‍ර වූ ඡායා­රූප ශිල්පයේ නිරත වන ශ්‍රී ලාංකි­ක­යන්ට රාජ්‍ය ගෞරව පිරි­නැ­මී­මෙන් ඔවුන් දිරි­මත් කිරීම උළලේ මුඛ්‍ය පර­මා­ර්ථය වන බවය.

ඡායා­රූ­ප­ක­ර­ණය ශිල්ප­යක්, කලා­වක් මෙන් ම ප්‍රබල ව්‍යාපා­ර­යක් වන බව පැවසූ හෙතෙම එය කර්මා­න්ත­යක් සහ ව්‍යාපා­ර­යක් වශ­යෙන් දශක ගණ­නා­වක් කිසිඳු රාජ්‍ය අනු­ග්‍ර­හ­යක් නොල­බාම විශිෂ්ට සේවා­වක් සප­යන බවය. එබැ­වින් ඡායා­රූප ශිල්පය හා බැඳුණු සිය­ලුම අංශ පිළි­බ­ඳව සැල­කි­ලි­මත් වෙමින් ඔවුන්ගේ ගැටලු සහ ප්‍රශ්න විස­ඳී­මට සක්‍රී­යව දායක වෙමින් ලබා දිය යුතු රාජ්‍ය අනු­ග්‍ර­හය ලබා ගැනී­මට උප­කාරී වීම රාජ්‍ය ඡායා­රූප උප­දේ­ශක සභාවේ කාර්ය­භා­රය වන බවත්, මෙවර රාජ්‍ය ඡායා­රූප උළෙල covid-19 වසං­ගත තත්ත්ව­යන් හේතු­වෙන් තත්‍ය­සම (virtual) තාක්ෂ­ණ­යට අනුව සංවි­ධා­නය කළ බවයි. ඒ සඳහා උප­දේ­ශක සභාවේ සාමා­ජි­ක­යින් කළ කැප­වීම අගය කළ යුතු බවය.

ඡායා­රූප කලාවේ නිරත ශ්‍රී ලාංකේය ඡායා­රූප ශිල්පීන්ගේ නිර්මා­ණ­ශී­ලී­ත්වය විනි­විද භා­ව­ය­කින් යුක්තව දැකිය හැකි පරි­ණත විනි­ශ්චය මණ්ඩ­ල­ය­කින් එම නිර්මාණ අග­ය­මින් නිසි වටි­නා­කම් ලබා දී තිබීම මෙහි විශේෂත්වයයි.

ජාතික මෙන්ම ජාත්‍ය­න්තර වශ­යෙන් සම්මා­න­යට පාත්‍ර වූ ඡායා­රූ­ප­ක­ර­ණය පිළි­බඳ ජ්‍යෙෂ්ඨ­යකු වන ගුණ­දාස හෙට්ටි­ආ­රච්චි ශූරීන් වෙත ඡායා­රූ­පා­භි­මානි ගෞරව සම්මා­නය මෙහි දී පිරි­නැ­මිණ.

“COVID-19 හමුවේ ජන ජීවි­තය” ප්‍රථම ස්ථානය දිනාගත් සේයාරුව - නුවන් සමාධි

නිසල රූප රාමුව කෙරෙහි අප­රි­මිත ගෞර­ව­යක් දක්ව­මින් එහි කලා­ත්මක මෙන්ම තාක්ෂ­ණික මෙහෙ­ව­රක යෙදෙන ගුණ­දාස හෙට්ටි­ආ­රච්චි මහතා 1938 මාතර දිස්ත්‍රි­ක්කයේ කැක­න­දුර ග්‍රාමයේ ජන්ම­ලා­භය ලැබී ය. මොටා­ගෙ­දර රජයේ විද්‍යා­ලය, කළු­බෝ­විල බුද්ධ­ඝෝෂ විද්‍යා­ලය සහ වැල්ල­වත්ත අර්තුසා යන විද්‍යා­ල­ව­ලින් අධ්‍යා­පන ලැබූ හෙතෙම රජයේ ලලිත කලා ආය­ත­න­යට බැඳී ඡායා­රූ­ප­ක­ර­ණය පිළි­බඳ දෑ අවු­රුදු ඩිප්ලෝ­මා­වක් හැදෑ­රීය. එය ඔහුගේ ජීවි­තයේ හැර­වුම් ලක්ෂය බවට පත් විය. පසුව විල්සන් හෑගොඩ සූරීන්ගේ චින්ත­න­යෙන් පොහො­සත් වූ ‘කැමරා ළමා සමා­ජය’ට වර්ෂ 1964 දි සම්බන්ධ වීමට ඔහුට වාස­නාව උදා­විය. ශාස්ත්‍රීය අධ්‍යා­ප­න­යෙන් ශික්ෂිත හෙතෙම ප්‍රායෝ­ගි­කව ඡායා­රූ­ප­ක­ර­ණයේ නියැ­ළෙ­මින් ලාංකේය ඡායා­රූප ක්ෂේත්‍රයට ඉටු කළ විශිෂ්ට මෙහෙ­වර ඇත්තෙන්ම අගය කළ යුතුය.

වැල්ල­වත්ත ඇක්මී ඡායා­රූ­ප­ගා­රය හා මර­දාන ඩොනල්ඩ් සහ සමා­ගම ආදි කීර්ති­මත් ආය­ත­න­යන්හි සේවය කිරී­මෙන් සිය ශිල්පීය කුස­ල­තා­වය වඩ­වා­ගත් හෙතෙම පොටෝ ටෙක්නිකා (photo technica) ආය­ත­නයේ අධි­පති ෆෙඩ්.ආර් මල්වැන්න යටතේ සිනමා කැමරා තාක්ෂ­ණය පිළි­බ­ඳව හැදෑරුවේය. පසුව ශ්‍රී ලංකා පොලිස් දෙපා­ර්ත­මේ­න්තුවේ ඇඟිලි සල­කුණු අංශයේ සම්පත් දාය­ක­යකු වශ­යෙන් වසර 35ක පමණ කාල­යක් ජාතික මෙහෙ­ව­රක නිරත විය.

ජාතික මෙන්ම ජාත්‍ය­න්තර වශ­යෙන් ඡායා­රූ­ප­ක­ර­ණය පිළි­බඳ කීර්තිය හිමි­ක­ර­ගත් හෙට්ටි­ආ­රච්චි මහතා සිය නිර්මා­ණා­ත්මක ඡායා­රූප ලෝකයේ බොහෝ රට­වල ප්‍රද­ර්ශ­නය කිරී­මට සමත් විය.

ඉන් හසල අත්දැ­කීම් සම්භා­ර­යක් කැටි­කො­ට­ගත් හෙතෙම AFIAP හෙවත් ජාත්‍ය­න්තර ඡායා­රූප කලා සංග­මය විසින් පිරි­න­මන සම්මා­න­යෙන් ද, HON FAG හෙවත් පාකි­ස්තාන ඡායා­රූප ශිල්පීන්ගේ සංග­මයේ ගෞරව සම්මා­න­යෙන් ද පිදුම් ලැබීය. වර්ෂ 1987 දී බ්‍රිතාන්‍ය රාජ­කීය ඡායා­රූප සංග­මයේ සාමා­ජි­ක­ත්වය ලබා­ගත් හෙට්ටි­ආ­රච්චි මහතා කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ජන­ස­න්නි­වේ­දන අධ්‍ය­ය­නාං­ශය ගෞරව සම්මා­න­යෙන් ද ශ්‍රී ලංකා ජාතික ඡායා­රූප කලා සංග­මයේ ANPS සහ FNPAS යන ගෞරව සම්මා­න­යෙන් ද පිදුම් ලැබීය.

හෙට්ටි­ආ­රච්චි මහතා ෆොටෝ ෆොකස් (Foto Focus) නමින් 1968 දී කොළඹ කොටුවේ චිත්‍රා­ගා­ර­යක් ආරම්භ කළ අතර, දේශීය ඡායා­රූප කලා­වට මෙන්ම වාණිජ අංශ­යට සේවා­වන් ලබා දීමේ පුරෝ­ගා­මි­යකු විය. 2018 දී හෙට්ටි­ආ­රච්චි මහතා විසින් ඡායා­රූප ක්ෂේත්‍ර­යට සිදු කරනු ලැබූ විසල් මෙහෙ­වර අග­ය­මින් සංස්කෘ­තික කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුව කලා­භූ­ෂණ රාජ්‍ය සම්මා­න­යෙන් පිදුම් ලැබීය. මේවන විට 82 වියේ පසු­වන ජී.හෙට්ටි­ආ­රච්චි මහතා රාජ්‍ය ඡායා­රූප උප­දේ­ශන සභාවේ සක්‍රීය සාමා­ජි­ක­යකු වශ­යෙන් වසර ගණ­නා­වක සිට කට­යුතු කර­මින් සිටී.

ස්වකීය ජීවි­තය ඡායා­රූප කලාව, ශිල්පය හා කර්මා­න්තය වෙනු­වෙන් කැප කළ ජී.හෙට්ටි­ආ­රච්චි ශූරීන්ට ඡායා­රූ­පා­භි­මානි ගෞරව සම්මා­න­යෙන් පුදනු ලැබීම පිදිය යුත්තන් පුදනු ලැබීම මොන­වට පසක් කර­න්නකි.

මෙම උලළේදී රූපා­ව­ලෝ­කන ශාස්ත්‍රීය සංග්‍ර­හය එළි­දැ­ක්වීම ද සිදු විය. මේ අව­ස්ථාව සඳහා ඡායා­රූප ශිල්පින් මෙන්ම රාජ්‍ය ඡායා­රූප උප­දේ­ශක සභාවේ සභා­පති ප්‍රසන්න හෙන්නා­යක, ශ්‍රී ලංකා කලා මණ්ඩ­ලයේ සභා­පති මහා­චාර්ය ජය­සේන කෝට්ට­ගොඩ ඇතුළු සම්භා­ව­නීය අමු­ත්තන් රාශි­යක් පැමිණ සිටි­යහ.

දෙවන ස්ථානය දිනාගත් සේයාරුව - ජයන්ත් ඉලංගකෝන්
තෙවන ස්ථානය දිනාගත් සේයාරුව - සාලිය කුමාර ජයසේකර
කුසලතා සම්මාන දිනාගත් සේයාරුවක් - සෝමසුන්දරම් සුරේෂ්
කුසලතා සම්මානය දිනාගත් සේයාරුවක් - උදාර ඔෂාන් නිශ්ශංක
කුසලතා සම්මානය දිනාගත් සේයාරුවක් - සින්නු රාමදාස්

 

 

 

 

 

Comments