
මගේ සිතට වැදගත් අදහසක් පහළ විය. බෞද්ධ ළමයින් ඔවුන්ගේ ආගම දිවයිනේ තිබෙන හැම පන්සලකම විශේෂ දිනවල නියමිත පැය ගණනක් උගත යුතුය. ඔවුන්ගේ මවුපියන්ගේ ආගමෙහි මුලික කරුණු පවා ඔවුන්ට නොඉගැන්වුවහොත් ඔවුන් හොඳ බෞද්ධයන් වෙතැයි කෙසේ බලාපොරොත්තු විය හැකිද?“
එය හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා විසින් ඔහුගේ දිනපොතේ සටහන් කරන ලද්දකි. ඕල්කට්තුමා විසින් බෞද්ධ පාසල් පිහිටුවා ඒවායේ නඩත්තු කටයුතු සඳහා බෞද්ධ අරමුදලට ආධාර සපයමින් ගමින් ගමට දේශනා පවත්වමින් ගියේය. එසේ යන අතරතුරේ බෞද්ධ හැඩගැස්මකින් තොර බාල පරපුර දුටු ඕල්කට්තුමා විසින් ඔහුගේ සිතට පහළ වූ අදහසක් මේ අයුරින් සිය දිනපොතේ සටහන් කළේය. ක්රිස්තියානුවරුන් ඔවුන්ගේ ළමයින්ට ආගම ඉගැන්වීම අතපසු නොකරද්දී බෞද්ධයෝ පමණක් ඔවුන්ගේ දරුවන්ට එය කුමක් නිසා අතපසු කරද්ද? ඕල්කට්තුමා එකල ගම් නියම්ගම් පුරා දේශන පවත්වමින් යන අතරේ මේ ගැන කල්පනා කළේය. ඔහු තම සිත තුළ පැළපැදියම් වෙමින් තිබූ අදහස ක්‍රියාවට නැංවීම සඳහා තෝරාගනු ලැබුවේ ඕල්කට්තුමා විසින් මෙරටට පැමිණ පළමුවරට පන්සිල් සමාදම් වූ විහාරස්ථානයයි. ඒ, ගාල්ල වැලිවත්ත විජයානන්ද විහාරස්ථානයයි.
එවකට ගාල්ලේ පරම විඥානාර්ථ සමාගමේ ලේකම් ධුරයට විජයානන්ද විහාරස්ථානයේ ප්‍රධාන දායකයකු වූ ධර්මසේන ජිනදාස සුබසිංහ පත්ව සිටියේය. ඕල්කට්තුමා විසින් තම අදහස ධර්මසේන ජිනදාස සුබසිංහට දන්වනු ලැබීය. ජිනදාස සුබසිංහ විසින් මේ පිළිබඳ විහාරාධිපති අක්මීමන ධම්මාරාම හා පරිවේණාධිපති පයාගල සිරිසුමන තිස්ස යන හිමිවරුන් සමඟ සාකච්ඡා කළහ.1889 වර්ෂයේ විජයානන්ද ඉරුදින දහම් පාසල මුල්වරට ආරම්භ කළේය. කෙසේවුවද පරිවේණාධිපති සිරිසුමන තිස්ස හිමියන්ගේ අසනීප වුහ. එපමණක් නොව දහම් පාසල ඉතා උනන්දුවෙන් පවත්වාගෙන ගිය සුබසිංහට දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකාර තනතුරක් ලැබ කඩුගන්නාව ප්‍රදේශයට යෑමට සිදු විය. මේ නිසා දහම් පාසලේ ඉගැන්වීමේ කටයුතු නතර කිරීමට සිදු විය. මේ බව ගාල්ලේ ඥණෝභාෂ හිමියන් විසින් රචිත බොදු පුබුදුව ග්‍රන්ථයේ සඳහන්ව ඇත. සිරිසුමන හිමියන් අපවත් වී මාසයකුත් පහළොස් දිනක් ගෙවි යද්දී එවකට විජයානන්ද පිරිවෙනේ ඉගෙනුම ලබමින් සිටි ඇහැලේපොළ ජිනෝරස හිමියන් දහම් පාසල යළිත් පිහිටුවීම සඳහා ඩී. ජේ සුබසිංහ, ජී. සමරකොන්, ඊ.එච් තෙබෙරිස් ද සිල්වා යන අය සමඟ සාකච්ඡා කළහ. ජිනෝරස හිමියන් පිරිවෙනේ අවසන් වර්ෂයේ ඉගෙනුම ලබමින් සිටියදී විජයානන්ද දහම් පාසල මුලින් ආරම්භ කළ අවදියේදී එහි ප්රධානාචාර්යවරයා වශයෙන් කටයුතු කළහ. උන්වහන්සේ මෙකී දහම් පාසල නැවතත් ආරම්භ කිරීම සඳහා මුලිකත්වය ගනු ලැබීය. දහම් පාසලේ ස්ථිර පැවැත්ම සඳහා විජයානන්ද සභාව නමින් සමිතියක්ද පිහිටුවනු ලැබීය. ඉක්බිති ක්‍රිස්තු වර්ෂ 1895ක් වූ අගෝස්තු මස 03 වැනි ඉරුදින විජයානන්ද ඉරිදා බෞද්ධ පාඨශාලාව උත්සවාකාරයෙන් යළි ආරම්භ කරනු ලැබීය. පසුව විජයානන්ද දහම්පාසලේ මුල්කාල සීමාව අත්හැර දහම් පාසල ආරම්භ කරනු ලැබූ දිනය 1895 අගෝස්තු මස 03 වැනිදා වශයෙන් සලකනු ලැබීය.
ඒ අනුව ගතවූ වසර 125ක කාලය තුළ මෙකී දහම්පාසල් ඉතිහාසය තුළ සුවිශේෂි වූ සිද්ධීන් සංවත්සර වාර්තාවල සඳහන්ව ඇත.1897 වර්ෂයේ පැවති සංවත්සර වාර්තාවේ ජයමංගල ගාථා කියවීම පිළිබඳ මේ අයුරින් සඳහන්ව ඇත.
බෞද්ධයන්ගේ මංගල අවස්ථාවලදී ඉරිදා පාඨශාලාවේ ළමුන් ලවා ජයමංගල ගාථා කියවීම මුලින්ම ආරම්භ කරනු ලැබුවේ ජේමිස් එදිරිවීර දොස්තරය. ජේමිස් මහතා තමන්ගේ වියදමින් ළමුන් අට දෙනෙකුට ඒ අවස්ථාවට සුදුසු ඇඳුම් මස්සවා දුන්නා පමණක් නොව ළමුන්ට රුපියල් 04 බැගින් පරිත්‍යාග කළේය. මේ නිසා විජයානන්ද සභාවට මහත් ලාභයක්ද සිදු විය. එපමණක් නොව විජයානන්ද දහම් පාසල ආරම්භ කොට පස්වසරක් ගතවීමෙන් පසු දහම් පාසලේ කළමණාකරු ඩී.ජේ සුභසිංහ මහතා විසින් ගාල්ල නගරයේ තවත් දහම් පාසල් තුනක්ද මාතලේ නගරයේ දහම් පාසලක් ආරම්භ කළ බව ක්‍රි.වර්ෂ 1902 වර්ෂයේ මුද්‍රිත දහම් පාසල් වාර්තාවේ සඳහන් වේ. එම වාර්තාවට අනුව 1901 වසරේ මාගාල්ලේ සුදර්මාරාමය, මිනුවන්ගොඩ පරමානන්ද විහාරය, ගල්වඩුගොඩ පරම විචිත්‍රානන්ද විහාරය යන විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් සමඟ සාකච්ඡා කොට ඒ විහාරස්ථානවල දහම් පාසල් ආරම්භ කරනු ලැබීය. මාතලේ විද්‍යාවර්ධන සමිතිය සමඟ සාකච්ඡා කොට එහි විද්‍යානන්ද නමින් දහම් පාසලක් ආරම්භ කරනු ලැබීය.
විජයානන්ද දහම් පාසලේ දියුණුව සඳහා 1895 වර්ෂයේ අගෝස්තු මස 03 වැනි දින ආරම්භ කළ විජයානන්ද සභාවේ මුල්ම නිලධාරි මණ්ඩලය ගැනද සංවත්සර වාර්තාවල සඳහන්ව තිබේ. පැවිදි අනුශාසක ලෙස ඇහැලේපොල ජිනෝරස හිමියන්, ගිහි අනුශාසක ලෙස ඩී. ජේ සුබසිංහ, සභාපතිවරයා ලෙස එස්. ඒ. ඉසැඩ් සිරිවර්ධන, ලේකම් ලෙස ජී. සමරකෝන්, උප ලේකම් ලෙස ඊ.එච් තෙබෙරිස් සිල්වා සහ භාණ්ඩාගාරික ලෙස සී. පි ජයසුන්දර යන පත්ව තිබුණි.
වර්තමානයේ විජයානන්ද දහම් පාසලේ සිසු දරු දැරියන් 600 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබන අතර ගුරුවරු ගුරුවරියන් 30 දෙනෙකු ස්වෙච්ඡාවෙන් අධ්‍යාපනය ලබා දෙති. ගුරුවරු, විවිධ පර්යේෂකයන්, විශ්වවිද්‍යාල සිසු සිසුවියන් දහම් පාසල පිළිබඳ තොරතුරු ලබාගැනීමට මෙකී ස්ථානයට පැමිණෙති. දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය දරනු ලබන්නේ ශ්රාස්ත්රපති නාකියාදෙණියේ ඤානුත්තර හිමියින් විසිනි.
අපි පසුගිය ඉරුදින එම දහම්පාසලට ගොඩවැදුණු අවස්ථාවේ විජයානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශ්රාස්ත්රපති නාකියාදෙණියේ ඤානුත්තර හිමියෝ මෙසේ පැවසූහ.
“ මේ දහම් පාසලේ නමට ගැළපෙන විදියට ලොකු ගෞරවයක් ලබා දෙන්න අපි කටයුතු කරමින් යනවා. වසර 125ක් සමරන මේ අවස්ථාවේ ජාතික මටිටමින් වැදගත් මෙවැනි ආයතනයක් පිළිබඳ බොහෝ දෙනෙකු වැඩි සැලකිල්ලක් දක්වලා නැති බව කනගාටුවෙන් කියන්න ඕන. මේ දහම් පාසල සියලු දහම් පාසල්වල මවු දහම් පාසල නිසා මෙයට රජයෙන් මෙන්ම පෞද්ගලික අංශයේ සහයෝගය ලැබිය යුතුයි. නමුත් අපි බලාපොරොත්තු වූ අයුරින් ඒ සහයෝගය ලැබුණු බව පෙන්නේ නැහැ. මේ නිසා අපි දහම් පාසල් සංවර්ධන සමිතියක් ගොඩනඟාගෙන භෞතික පහසුකම් වැඩිදියුණු කිරීමට තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට සැලසුම් කළා. ඒ ගොඩනැඟිල්ලේ මහල් දෙකක මේ වනවිට ඉදිකිරීම් කටයුතු අවසන් කර තිබෙනවා. වහලය නිමකර ගන්න තියෙනවා. මේ ගොඩනැඟිල්ල ඕල්කට් අනුස්මරණ ගොඩනැඟිල්ල ලෙස නම් කර 125 වැනි සංවත්සරය අවස්ථාවේ විවෘත කිරීමට සැලසුම් කොට තිබුණා. රජයත් මුල් කාලයේ මේ සඳහා මැදිහත් වුණා. නමුත් කොරෝනා වසංගතය නිසා රජයට මෙන්ම අපි කාටත් එය ක්‍රියාත්මක කිරීමට බැරිවුණා. මෙකී ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමෙන් පසු එහි කොටසක කෞතුකාගාරයක් ආරම්භ කිරීමට සැලසුම් කොට තිබේ. දහම්පාසල් සංවර්ධන කමිටුවේ සභාපති ලාල් රත්නායක කීවේ මෙවැනි කථාවකි.
“දැනට දහම් පාසලේ ඉන්න දරුවන් සංඛ්‍යාව අනුව ඉඩකඩ මදි. ඒ නිසා තමයි තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට සැලසුම් කළේ. එහි තුන්වැනි මහලයේ වහලය ගසා වැඩ අවසන් කිරීමට තියෙනවා. අපේ දහම් පාසලේ තියෙන කෞතුක භාණ්ඩ පොත්පත්, ලේඛන, බුද්ධ රූප සංරක්ෂණය කරගෙන කෞතුකාගාරයක් පිහිටුවීමට සැලසුම්කොට තියෙනවා. දරුවන් දහමින් පෝෂණය කිරීම තමයි අපේ අරමුණ”
දහම් පාසලේ ගුරුවරියක ලෙස සේවය කරන බී. එම් සුජීවා ප්‍රියදර්ශනී මෙසේ පැවසුවාය.
“දැනට වසර 32ක් තිස්සේ මම දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදෙනවා. මමත් ඉගෙන ගත්තේ මෙම දහම් පාසලෙන්. අපේ දහම් පාසලට වසර 125ක් පිරීම අපිටත් විශාල සතුටක්. මේ දහම් පාසලෙන් ඉගෙන ගත් අය අද සමාජයේ උසස් තැන්වල ඉන්නවා. වෛද්‍යවරු, නීතිඥයන්, දේශපාලඥයන් ඒ අතර ඉන්නවා”.
1895 අගෝස්තු 03 දින දහම් පාසල් දිනය ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කොට තිබේ. එම දිනය නිමිති කරගෙන සෑම වර්ෂයකදීම දිවයිනේ එක් දිස්ත්‍රික්කයක් තෝරාගෙන දහම් පාසල් දින සැමරුම් ජාතික වැඩසටහන හා ජාතික මහෝත්සවය පවත්වනු ලබයි. මෙවර 125 වැනි දහම් පාසල් දින සැමරුම් උත්සවය පැවතියේ හම්බන්තොට කසාගල රජමහා විහාරස්ථානයේදීය. බොදු පිළිවෙත් සුරකින දැහැමි සමාජයක් උදෙසා 125 වන දහම් පාසල් දින සැමරුම් ජාතික මහෝත්සවය ශ්යාමොපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රුහුණු මාගම්පත්තුව ඇතුළු ගිරුවාගම දොළොස් දහස් රට ප්‍රධාන අධිකරණ සංඝනායක කසාගල රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය තලම්පෝරුවේ ඉන්දසිරිසුමන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහානායක ස්වාමීන් වහන්සේලාගේ ගෞරවනීය සහභාගීත්වයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙරට ලියපදිංචි මුළු දහම් පාසල් සංඛ්‍යාව 11034කි. දහම් පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව 2 258 382කි. මුළු දහම්පාසල් ගුරුභවතුන් සංඛ්‍යාව 131,948කි. කෙසේවුවද වත්මන් රජය මඟින් දහම් අධ්‍යාපනයට මෙන්ම දහම් පාසල් ගුරුවරුන්ටද නිසි තැනක් ලබා දී ඇත්තේ දහම් පාසල් විෂය අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයකු යටතට පත්කිරීමෙනි.