ධර්ම ශාස්ත්‍ර උල්පත | Page 2 | සිළුමිණ

ධර්ම ශාස්ත්‍ර උල්පත

ලංකාවේ මෑත අතී­තයේ සිදු වූ ධර්ම ශාස්ත්‍ර පුන­ර්ජී­ව­නය අප්‍ර­ති­හත පුද්ගල පරි­ශ්‍ර­ම­යක ප්‍රති­ඵ­ල­යකි. වැලි­විට සර­ණං­කර සංඝ­රාජ හිමි­පාණෝ එහි නිය­මු­වා­ණෝය. ධර්ම ශාස්ත්‍ර අන්ත පරි­හා­නි­ය­කට පත්ව තිබූ මහ­නු­වර රාජ­ධානි සම­යෙහි උන්ව­හන්සේ විසින් අනේක ප්‍රකාර දුක් කම්ක­ටොලු උසු­ල­මින් දියත් කරන ලද ධර්ම ශාස්ත්‍ර පුන­ර්ජී­වන ව්‍යාපා­රය සිය වසක පමණ කාල­යක් ඇතු­ළත දීප ව්‍යාප්තව ධර්ම ශාස්ත්‍රා­ලෝ­කය පැති­රවූ ප්‍රදී­ප­ස්ථ­ම්භ­යක් බවට පත් විය.

ලංකාවේ ප්‍රදේශ නාම විවිධ කරුණු හේතු කොට ගෙන ප්‍රසි­ද්ධි­යට පත්ව තිබෙන අතර මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ තුම්පනේ ප්‍රදේශ නාමය ප්‍රසි­ද්ධි­යට පත්ව තිබෙන්නේ මෝඩ­ක­ම්ව­ල­ටය. එවන් සර­ද­ම­කට බඳුන් වූ තුම්පනේ ප්‍රදේ­ශයේ වැලි­විට නම් ග්‍රාමයේ කුල­තුංග නම් මුදලි කෙනෙ­කුට දාව කුල­තුංග බණ්ඩා කුමරු උපත ලද්දේ 1698 වර්ෂයේ ජුනි මස 19 වන දිනය. එර­මු­දු­ලි­යද්දේ උපා­ස­ක­රා­ල­ගෙන් සිංහල හෝඩිය සහ නම් පොත, මඟුල් ලකුණ ආදි මූලික පොත් පෙළ කියවා ගෙන මුරු­ද්දෙ­ණියේ හේරත් ගෙදර ගුරු­න්නා­න්සේ­ගෙන් වැඩි දුර ඉගෙ­නුම ලැබූ බව එක් ප්‍රවා­ද­ය­කින් පැව­සෙන අතර රාජ සේවයේ නිර­තව සිටි සිය දෙටු සොහො­යුරා සමඟ රජ මාලි­ග­යෙහි විසූ බව තවත් ප්‍රවා­ද­ය­කින් පැවසේ. ළමා වියේ සිටම ගිහි ගෙයි රැඳෙන රිසි­යක් නොපෙන්වූ කුල­තුංග බණ්ඩා 1714 වර්ෂයේ සොළොස් හැවි­රිදි වියේදී සූරි­ය­ගොඩ කිත්සි­රි­මෙ­වන් රාජ­සු­න්දර සාමීන් සමී­ප­යෙහි සර­ණං­කර නමින් සසුන් බිටම පිවි­සිණ. එවක තම ශාස්ත්‍ර පිසා­සය සන්සි­ඳ­විය හැකි එකදු භික්ෂු­වක නොවූ­යෙන් කිසි­යම් වර­ද­කට මාකෙ­හෙ­ල්වල සිර­ගත කරනු ලැබ සිටි ලෙව්කේ රාල වෙතින් රාජ උද­හ­සට ලක් වීමේ තර්ජන තිබි­ය­දීත් බාලා­ව­තා­රයේ නාම කාණ්ඩය හදාළ බවත් ඒ සඳහා අප­මණ වෙහෙ­සක් දැරූ බවත් සංඝ­රාජ සාධු චරි­යා­වෙහි දැක්වේ. ඒ විස්ත­ර­යට අනුව සර­ණං­කර සාම­ණේ­රයෝ ‘ඒ මහ­කෙ­හෙ­ල්වල ගමට සමී­පව තිබෙන අල­ගල්ලේ කන්දේ අඹ ගස මුල ගල් ලෙණෙහි පැංචකු සමඟ අප්‍ර­සිද්ධ වෙසින් පොරො­ත්තුවැ සිටැ ගෙනැ, ඒ ප්‍රස්ථා­වට පිණ්ඩ­පාත කිරීම නැතත් පාත්‍ර­යෙන්ම වළ­ඳන නිසා තමන් වහ­න්සේට යැපෙන පම­ණට ඒ ගම්වැසි සැදැ­හැ­ති­යන් විසින් පාත්‍ර­යෙන් ගෙන­වුත් දෙන භෝජ­නය ළඟින සිටින මඳින් මඳ­වත් දෙවේ­ල­ටම දෙමින්, ඇතැම් විටෙක අව­ශි­ෂ්ටය දිය වත් කොට තළු තැටි­යෙන් කැඳ වශ­යෙන් වළඳා’ ජීවත් වූහ. මෙසේ අප­මණ දුක් ගැහැට විඳි­මින් ලෙව්කේ රාල වෙතින් ලද ඉගෙ­නුම අව­සන් වූ කල සර­ණං­කර සාම­ණේ­රයෝ පල්කු­ඹුරේ අත්ථ­දස්සි සාම­ණේර ගුරුන් වෙත පැමි­ණි­යහ. පල්කු­ඹුරේ අත්ථ­දස්සි සාම­ණේර හිමි ලෙව්කේ රාලගේ ගුරු වූ වට­බු­ලුවේ මහ­සා­මිගේ ප්‍රධාන ශිෂ්‍ය­යාය. උන්ව­හන්සේ වෙතින් සර­ණං­කර හිමියෝ බාලා­ව­තා­රයේ ඉතිරි කොටස හදාර නිම කළහ. ධර්ම ශාස්ත්‍ර අධ්‍ය­යන ආර­ම්භයේ පටන් සර­ණං­කර හිමි­යන් ඇසුරේ තවත් සද්ධි­ව­හා­රික සාම­ණේ­ර­ව­රුන් දෙන­මක් වූ අතර යථා කාලයේ තවත් සද්ධි­වි­හා­රි­ක­යකු එක් වීමත් සමඟ සිල්වත් සිවු නම­කගේ සමා­ග­ම­යක් නිර්මා­ණය විය. සිටි­නා­ම­ළුවේ ධම්ම­ජෝති, ඉලි­පැ­න්ග­මුවේ සහ කදි­රා­ගොඩ යන සාම­ණේර හිමි­වරු ඒ සමා­ග­ම­යට අයත් වූහ. පිණ්ඩ­පා­ත­යෙන් යැපෙ­මින් සතර කෝර­ලයේ සහ සත්කෝ­ර­ලයේ පින්කම් සඳහා වැඩ­ම­කළ මේ සාම­ණේ­ර­ව­රුන් කෙරෙහි පැහැ­දුණු පිරිස් උන් වහ­න්සේ­ලාගේ සම­ග­ම­යට එකතු වූහ. එසේ එකතු වූ පිරිස් ධර්ම­ශාස්ත්‍ර අධ්‍යය­න­යෙහි පූර්ණ­කා­ලී­නව නිමග්න වීමට කට­යුතු සැල­සීම නිසා පැවති සීමිත ග්‍රන්ථ පිට­පත් කිරීම මෙන්ම ඒවාට ව්‍යාඛ්‍යාන සම්පා­ද­නය කිරී­මද බහුල වශ­යෙන් සිදු­විය. සම­හර ග්‍රන්ථ අලු­තෙන්ම ලිය­විණ. සද්ධර්ම සාරාර්ථ සංග්‍ර­හය, භේසජ්ජ මංජුසා සන්නය, අභි­ස­ම්බෝධි අලං­කා­රය, රූප මාලාව, මධු­රාර්ථ ප්‍රකා­ශනි, මුනි­ගු­ණා­ලං­කා­රය, අභි­ස­ම්බෝධි අලං­කා­රය උන්ව­හන්සේ අතින් සම්පා­ද­නය වූ ග්‍රන්ථ­යෝය.

සිල්වත් සමා­ග­මයේ සාමා­ජික භික්ෂුන් වහන්සේ අනු­ක්‍ර­ම­යෙන් වැඩි වත්ම සර­ණං­කර හිමි­යන් හඟු­ර­න්කෙ­තට වැඩම කොට දමු­ණු­වැව අසල කුටි පෙළක් තනවා ධර්ම ශාස්ත්‍ර ඉගැ­න්වීමේ කට­යුතු තවත් ව්‍යාප්ත කිරීම නිසා උන්ව­හ­න්සේගේ උත්සා­හය දිනෙන් දින සපල වනු දුටු මල්වතු අස්ගිරි විහාර වාසී ගණි­න්නා­න්සේලා නරේ­න්ද්‍ර­සිංහ රජු වෙත සාවද්‍ය කරුණු පැමි­ණිලි ලෙස ඉදි­රි­පත් කළහ. එවක කන්ද උඩ­ර­ටට සේන්දුව සිටි ජාකොමේ ගොන්ස­ල්වේස් ප්‍රමුඛ කතෝ­ලික පූජ­ක­ව­රුන්ද ස්වකීය ආග­මික ප්‍රචා­රක කට­යු­තු­ව­ලට සර­ණං­කර හිමි­යන්ගේ ධර්ම ශාස්ත්‍ර පුන­ර්ජී­වන ව්‍යාපා­රය බාධා­වක් බව පෙනී ගිය හෙයින් සර­ණං­කර හිමි­යන් පිළි­බඳ රජුට ගතු කී බව පැවසේ. මේ ව්‍යාජ තොර­තුරු අවි­චා­ර­වත් ලෙස පිළි­ගත් නරේ­න්ද්‍ර­සිංහ රජ සර­ණං­කර හිමි­යන් ලග්ග­ලට පිටු­වා­හල් කළේය.

මෙසේ කාලය ගෙවී යන අතරේ ඉන්දි­යාවේ සිට පැමිණි බමු­ණකු කී සරල ශ්ලෝක­යක අරුත පහදා දීමට සමත් කිසි­වකු මහ­නු­වර නොවූ­යෙන් ඊට එකම සුදුස්සා සර­ණං­කර හිමි­යන් බව පළි­පාන මොහො­ට්ටා­ල­ගෙන් දැන ගත් නරේ­න්ද්‍ර­සිංහ රජ සර­ණං­කර හිමි­යන්ට පණි­වුඩ යවා ගෙන්වා ගෙන්වා ගත්තේය.

ඒ අව­ස්ථාවේ ඉතා විච­ක්ෂණ ලෙස ශ්ලෝකයේ අරුත පහදා පාලි සිංහල සංස්කෘත භාෂා­ව­ලින් උන්ව­හන්සේ බණ කියා සිය­ල්ලන් විස්ම­යට පත් කළ බව පැවසේ. සර­ණං­කර හිමි­යන්ගේ පාණ්ඩි­ත්‍යය ගැන පැහැ­දුණු රජ­තුමා එතැන් පටන් සර­ණං­කර හිමි­යන්ට ස්වකීය ධර්ම ශාස්ත්‍ර පුන­ර්ජී­වන ව්‍යාපාර නොම­සුරු සහ­යෝ­ගය ලබා දුන්නේය. සසු­න්ගත වී දොළොස් වස­රක් ගත වන විට සියලු සතුරු බල­වේග පරා­ජය වී සර­ණං­කර හිමි­යන්ගේ ධර්ම ශාස්ත්‍ර පුණ­ර්ජී­වන ව්‍යාප­ර­යට පූර්ණ රාජ්‍ය අනු­ග්‍ර­හය හිමි විය. සර­ණං­කර හිමි­යන්ට විරු­ද්ධ­වා­දී­කම් කළ උභය විහා­ර­වාසී සාම­ණේ­ර­ව­රුන් ද සිල්වත් සමා­ග­මට එක්වී­මෙන් දිනෙන් දින සර­ණං­කර හිමි­යන්ගේ ව්‍යාපා­රය ශීඝ්‍ර­යෙන් ව්‍යාප්ත වන්නට විය. නරේ­න්ද්‍ර­සිංහ රජුගේ අන්ග්‍ර­හය යටතේ අම්බැක්ක අසල නිය­ම­කන්ද නම් ස්ථානයේ පිරි­වෙ­නක් තනවා ධර්ම ශාස්ත්‍ර අධ්‍යා­ප­නය තව­දු­ර­ටත් ව්‍යාප්ත කිරී­මට සර­ණං­කර හිමියෝ සමත් වූහ.

මේ සියලු කට­යුතු මෙසේ සිදු­වන අත­ර­වා­රයේ ලක්දිව භික්ෂු උප­ස­ම්ප­දාව ප්‍රති­ෂ්ඨා­ප­නය කිරීම සඳහා කිහිප විටක්ම අ‍ෙන්ක ප්‍රකාර උත්සාහ දරූ සර­ණං­කර හිමියෝ අව­සා­නයේ තම උත්සා­හය මස්ත­ක­ප්‍රාප්ත කර ගැනී­මට සමත් වූහ. පන්ස් පස්වන වියේදී උප­ස­ම්ප­දාව ලද සර­ණං­කර හිමියෝ කීර්ති ශ්‍රී රාජ­සිහ රාජ්‍ය සමයේ දී සංඝ­රාජ පද­වි­යට පත් වූහ.

මෙසේ කට­යුතු කර­ගෙන යන අත­ර­වා­රයේ නැව­ත ව­රක් රාජ නිර­ප­රදේ රාජ උද­හ­සට ලක් වන සඟ රජ හිමියෝ පෙර පරි­දිම තම ශාස්ත්‍ර ඥානයේ මහි­ම­යෙන් නිර්දෝෂී බව ඔප්පු කිරී­මට සමත් වූහ. සර­ණං­කර හිමි­යන්ගේ ධර්ම ශාස්ත්‍ර පුන­ර්ජී­වන ව්‍යාපා­රය රුහුණ, සතර කෝර­ලය, සතර කෝර­ලය පුරා ව්‍යාප්ත විය. තම සද්ධි­වි­හා­රික සිටි­නා­ම­ළුවේ ධම්ම­ජෝති හිමි­යන් ප්‍රමුඛ කොට ගෙන දකුණු ප්‍රදේ­ශයේ ව්‍යාප්ත වූ ධර්ම ශාස්ත්‍ර ව්‍යාපා­රය විසි­වන සිය­වසේ මෙරට සිදු වූ මහත් ශාස්ත්‍ර පුන­ර්ජී­වන ව්‍යාපා­ර­යට ප්‍රතිෂ්ඨා විය. එන­යින් සර­ණං­කර සංඝ­රාජ හිමියෝ නූතන ශාස්ත්‍ර පුන­ර්ජී­වන ව්‍යාපා­රයේ ආදි කර්තෘ ලෙස සදා බුහු­ම­ණට ලක්විය යුත්තෝය.

Comments