
ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් සඳහා නොමිලේ රජයේ ප්‍රතිකාර ලබාදෙන මහරගම පිළිකා රෝහල (අපේක්ෂා රෝහල) සඳහා දිවයිනේ නන් දෙසින් සුවිශාල ජන පිරිසක් දිනපතා එහි සායනවලට පැමිණෙති. මෙයින් බොහෝ පිරිසක් කොළඹ එන්නේ ඈත දුෂ්කර ප්‍රදේශවල සිටය. ඇතැම්විට දින දෙක තුනේ අඛණ්ඩ ප්‍රතිකාරවලට යොමු වනවිට නවාතැන් නැතිවීමෙන් ඔවුන් මහත් අසීරුතාවට ලක්වන අවස්ථා ඇත. මෙසේ අසරණ වන ජනතාව ගැන සිතා මේ වන විට මහරගම අපේක්ෂා රෝහල හා ඒ අවට ප්‍රතිකාර ලබන රෝගීන්ට තාවකාලිකව නතරවීම සඳහා සුවපහසු නවාතැන් තුනක් ඉදිකර තිබේ. මේ ඒ නවාතැන් ගැන පිළිබඳ කතාවයි.
මේ තුන අතරින් පැරණිම නිවහන වන්නේ මහරගම අපේක්ෂා රෝහලට අනුබද්ධ විහාරස්ථානයයි. එය 1982 පූජ්‍ය වෑගන්තලේ රාහුල ලොකු හාමුදුරුවන් විසින් ස්ථාපිත කරන ලද්දකි. මේ සම්බන්ධයෙන් පූජ්‍ය වෑගන්තලේ සීවලී හිමියන් මෙසේ පැවසූ අතර දැනට මේ විහාරයේ කටයුතු බලා ගන්නේ උන්වහන්සේ විසිනි.
“ඒ කාලේ පිළිකා රෝගීන් සඳහා සහන සලසන්න කිසිඳු සිද්ධස්ථානයක් හෝ සංවිධානයක් තිබුණේ නැහැ. මුළු පිළිකා රෝහලේ පිළිකා රෝගීන් 250 පමණයි සිටියේ. ඒත් clinic වලට එන අයට හා දුර පළාත්වලින් රෝගීන් බලන්න එන්න තැනක් තිබුණෙ නැහැ. පූජ්‍ය වෑගන්තලේ රාහුල හාමුදුරුවෝ කියන්නේ මගේ බාප්පා. උන්වහන්සේ ඒ රෝගීන්ට නතර වෙන්න හෝල් එකක් හදලා දුන්නා. ඔවුන් බොහෝ ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන බව දැනගත්තාම තුන්වේලම කන්න දුන්නා. ලොකු හාමුදුරුවෝ බොහොම දුක් වින්ඳා. පිණ්ඩපාත චාරිකාවෙ යෙදිලා තමයි කෑම හොයා ගත්තේ. මුලින්ම අපේ විහාරස්ථානයෙන් කළේ පිළිකා රෝහල් අසාධ්‍ය රෝගීන්ට පිරිත් හා ධර්ම දේශනා කිරීමයි. නායක හාමුදුරුවෝ ඉන් බැහැරව ගිහින් තමයි මේ සා කටයුත්තට අතගැසුවේ. මුල් යුගයේ රෝහලට අවශ්‍ය අබලි ට්‍රොලි ප්‍රතිසංස්කරණය, වෛද්‍ය උපකරන බෙහෙත් ලබාදීම ආදියත් කළා. ලොකු හාමුදුරුවෝ 2007 අපවත් වුණා. කාලයක් යද්දි රෝගීන් වැඩිවීමත් සමඟ පහසුකම් අඩුවුණා. ඒ නිසා මහල් 4 සුවමංසල හැදුවා. දැන් ඇඳන් 75ක් පමණ තියනවා. වෛද්‍ය පරීක්ෂණ සඳහා මෙහි පැමිණෙන අයට ආහාරපාන නවාතැන් සියල්ල ලැබෙනවා. හැබැයි අපි හොයා බලනවා කරුණුවල සත්‍ය අසත්‍ය බව. රෝහලෙන් රෝගීන් වෙනුවෙන් නිකුත් කරන රෝග විනිශ්චය කාඩ්පත බලනවා. පිළිකා රෝගියකුට වෙදකම වගේම හෙදකමත් අවශ්‍යයයි. විශ්‍රාම ශාලාවේ රෝගීන්ට වගේම ළඟ ඉන්න කෙනාටත් නවතින්න පුළුවන්.
රෝගීන්ට පොත්පත් කියවීම, ආගමික කටයුතුවල යෙදීම, රූපවාහිනිය නැරඹීම, භාවනා කිරීමටත් පුළුවන්. අපගේ ආයතනයට උපකාරයක් කිරීමට ඔබට අවශ්‍ය නම් දුරකථන අංක 0112851967 විමසිය හැකිය.
පිළිකා රෝගීන් වෙනුවෙන් නවාතැන් සපයන දෙවැන්න මහරගම තරුණ බෞද්ධ සංගමයේ බෞද්ධ මන්දිරයේ පිහිටි නිවහනයි. මේ සම්බන්ධව සිළුමිණට අදහස් දක්වමින් එහි ලේකම් ඊ.අයි.පී.පී. සමරසේකර මෙසේ පැවසුවේය.
‘මුලින් අපි මේ කටයුතුවලට වෑගන්තලේ රාහුල හාමුදුරුවන්ට උදව් කරමින් සිටියා. එතන කුඩා ඉඩමක් තිබුණ නිසයි මෙතන ගොඩනැගිල්ලේ නවාතැන්පලක් හැදුවේ. රෝගීන්ට සුව පහසුව ජීවත්විය හැකි පරිදි. පිරිමි අයට, ගැහැනු අයට හා ළමුන්ට වෙන් වශයෙන් හැදුණු කාමර තුනක් තියනවා. ඊට අමතරව වෙනම මුළුතැන්ගෙයක්. විශාල ප්‍රමාණයේ කෑම කාමරයක්. රෝගීන්ට වන්දනා කිරීම සඳහා බුදු මැදුරක්. විදුලිය නැති අවස්ථාවලදී භාවිත කළ හැකි ජෙනරේටරයක් මෙහි ඇත.
පිළිකා රෝගීන් 42,000 වෙනුවෙන් මේ වන විට නේවාසික පහසුකම් සපයා ඇත. ආර්ථික අපහසුතා ඇති රෝගීන් වෙනුවෙන් නොමිලේ ඖෂධ වර්ග ලබාදීම සිදුකරයි.
‘අපි සාමාන්‍යයෙන් නේවාසික රෝගියකු සඳහා රු. 3000 විතර වියදමක් දරනවා. අවශ්‍ය ලියකියවිලි ලෙස රෝගී කාඩ්පත, භාරකරු හැඳුනුම්පත අප පරීක්ෂා කරනවා. ඉස්සර නම් කොළඹ සීමාවේ අයට නවාතැන් දෙන්නෙ නැහැ. දැන් ඉඩකඩ තියන නිසා කොළඹ දිළිඳු අයටත් අපි නතරවෙන්න ඉඩ ලබා දෙනවා.
මහරගම තරුණ බෞද්ධ සංගමය මුල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ලබාදිය හැකි පින්වතුන් මහරගම තරුණ බෞද්ධ සංගමය, 25, විද්‍යාකර මාවත, මහරගම ලිපිනයට හෝ 0112839956, 0113151850 ඇමතීමෙන් ආධාර ලබාදිය හැකිය.
මහරගම පිළිකා රෝහලින් ප්‍රතිකාර ලබා රෝගීන් වෙනුවෙන් සුබ සාධනය සැලසීම සඳහා අලුතින්ම සැකසුණු ආයතනය, මහරගම නෝමර්න් වීරසූරිය අනුස්මරණ නිවහනයි. මහරගම අපේක්ෂා රෝහලට මුහුණලා පිහිටි මේ ආයතනය තරු හෝටලයක සිරි ගන්නා අතර කළමනාකරු ලයනල් රණතුංග මහතා අපට මෙසේ කීය.“මේ ආයනය ආරම්භ කළේ නුගේගොඩ International Construction Consotrum Pvt Ltd සේරම් මහත්මයයි. ඔහුගේ අක්කගේ මහත්තයා පිළිකා රෝගයකින් නැතිවෙලා. ඔහුට පින් පිණිසත් අසරණ රෝගීන්ගේ සුවසෙත වෙනුවෙනුත් මෙය හදලා 2019 සැප්තැම්බර් 26 රෝගීන් බඳවා ගැනීමට පටන්ගත්තා.
ලෙඩාට හා ඔහුගේ ළඟම ඥාතියාට නැවතිය හැකි කාමර 36 තියනවා. එම කාමර යාබද නාන කාමර සහිතව සුඛෝපභෝගීවත්, පිරිසුවත් හදලා තියනවා. උඩම තට්ටුවේ බුදු මැදුරක් හා භාවනා ප්‍රදේශයක් හදලා තියනවා. රෙදි සෝදලා දෙන්න වෙනමම ලොන්ඩ්‍රියක් තියනවා.
වෛද්‍ය නිර්දේශ අනුව තමයි අපි බඳවා ගන්නේ. බෙහෙත් තියන කාලෙට ලෙඩ්ඩු පිරිලා. බෙහෙත් අඩු කාලෙට ඩේඩුත් අඩුයි. කිමෝ තෙරපි වගේ ප්‍රතිකාර සඳහා නතරවන රෝගීන්ට ප්‍රතිකාර අවශ්‍ය දින ගණන තීරණය කරන්නේ රෝහලෙන් තමයි. පසුගිය දෙසැම්බරයේ බෙහෙත් තිබුණා. රෝගීන්ගෙන් කාමර පිරුණා.
දානපතියන්ටත් අවශ්‍ය නම් දානේ බාරගන්න හැකියි. උදේ දානේට රු. 4,500, දවල් දානෙට රු. 4,500, රෑ දානෙට රු. 5,000. සේරම 85 දෙනයි ඉන්නේ. මුදල් ගෙව්වාම මෙහෙ තමයි උයලා දෙන්නේ. මුදල් වෙනුවට බඩු ගෙනත් දෙන්නත් පුළුවන්. පිළිකා රෝගීන්ට දෙළුම් අනුමත කරනවා. අපි පිටින් දානේ ගේන අයට ඇතුළේ ජංගම දුරකථන භාවිත කරන්න ඉඩ දෙන‍්නෙ නැහැ. රෝගීන්ගේ ඡායාරූප ගන්න දෙන්නෙත් නැහැ. සමහර අයගේ එවැනි ඡායාරූප අරන් F.B. දාලා එම රෝගීන් අපහසුතාවයට පත්වූ අවස්ථා තියනවා. මෙයට ආධාර කරන්න කෙනෙකු කැමති නම් නෝර්මන් වීරසූරිය අනුස්මරණ නිවහන, 73, අපේක්ෂා රෝහල, මහරගම (දුරකථන අංක 0112745800) විමසිය හැකිය.
ජීවිතයේ අවිනිශ්චිතතාව හොඳින්ම පසක් කරගෙන ජීවත්වීමට තව මොහොතක් හෝ ජීවිතය අයදින අපේක්ෂා රෝගීන් වෙනුවෙන් නවාතැන්, ආහාරපාන සපයන කොයි කාටත් අත්වන්නේ පින් වැඩෙන පින්කමකි.
සේයාරූ - ටී.ඩී. සිරිසේන
(මහරගම සමූහ)