පුරන් කුඹුරු අස්වද්දන්න වැව් පිළිසකර කර දෙන්න | සිළුමිණ

පුරන් කුඹුරු අස්වද්දන්න වැව් පිළිසකර කර දෙන්න

අප සතු ප්‍රධානතම මාහැගි ස්වාභාවික සම්පත ලෙස අභ්‍යන්තර ජල මුලාශ්‍ර සැලකිය හැකිය. වැව්, අමුණු, මහා පරිමාණ ජලාශ ආදියෙන් සමන්විත මේ ජල සම්පත ලොව අන් කවර හෝ ජාතියක් සතු නොවන තරමේ ධන නිධානයකි. මේ බොහෝ වැව්, අමුණු පෙර රජ දවස පටන් පැවැත වර්තාමානයට දායාදව පවතී. එහෙත් අවාසනාව නම් මෙසේ මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පවතින වැව්, අමුණු රැකගැනීමට නිසි ඒකාබද්ධ වැඩපිළිවෙළක් නැති වීමය. වැව් සඳහා අයිතිවාසිකම් කීමට ආයතන ගණනාවක් පැවතුනද ඒ කිසිවකින් වර්තමානය වන විට සිදුවන අවංක මෙහෙවර අල්ප වී ඇති බව සැගවිය නොහැකි සත්‍යයක්ව පවතී.

මෙරට වැඩිම වැව් ප්‍රමාණයක් වියළි කලාපය කේන්ද්‍රීයව පවති. ඒ වසර පුරාම මෙම කලාපයට වැසි නොවැටෙන හෙයිනි. වැසි වැටෙන කලට ඒකරාශි කොට තබා වසර පුරාම ජලය ප්‍රයෝජනයට ගැනීම එහි අරමුණ වී ඇත. මෙහෙයින්ම වියළි කලාපයේ හැම ගමකම පාහේ වැව් බැඳීමට අතීතයේ වෑයම් කොට ඇති අන්දම හඳුනාගත හැකි පොදු ලක්ෂණයකි. සමහර ගමක වැව් කිහිපයකි. කෘෂිකාර්මික කටයුතු, සත්ව පාලනය ආදිය සඳහා පමණක් නොව ස්නානය, පානීය ජලය සපයා ගැනීම ආදි කටයුතු සඳහා ද වැව් ජලය ප්‍රයෝජනවත් වී ඇත. රජරට කලාපයේ අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල ආදි ප්‍රදේශවල මෙරට වැව් පද්ධතියේ වැඩිම වපසරිය දැකගත හැකිය. උතුරු පළාතේ ද වව්නියාව, මුලතිව්,කිලිනොච්චිය ආදි ප්‍රදේශ වල විශාල වැව්, අමුණු ප්‍රමාණයක් අදටත් ශේෂව පවතී.

වර්තමානය වන විට මේ බොහොමයක් වැව්, අමුණු උපද්‍රව ගණනාවකට මැදිව ඇත. සැබෑ ජනතා අවශ්‍යතාවයට සරිලන සේ වැව් ප්‍රතිසංස්කරණය නොවීම මෙකල්හි පොදු ප්‍රවණතාවයක් බවට පත්ව තිබේ. බොහෝ විට සිදුවනුයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට බාර දීමය. එය මෙම

ක්‍රියාවලිය අසාර්ථක වීම සඳහා පැහැදිලි පාර කැපීමකි. ඉකුත් දශක දෙකක පමණ කාලයක සිට කොන්ත්‍රාත්කරුවන් හරහා සිදුවන වැව් අලුත්වැඩියාවන් විවිධ මගඩි වලින් ගහනව පවතී. යැපෙන්නවුන්ගේ යහපතට හේතුවන පරිදි වැව ප්‍රතිසංස්කරණය කිරීම පසෙකලා වෙනත් පරිබාහිර පිරිස් සතුටු වන සේ එම කාර්යය සිදුවන වග පැහැදිලිව පෙනෙන්නට තිබේ.

මෙරට වැව් ප්‍රතිසංස්කරණ කාර්ය සඳහා ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව ආදි මුල්‍ය ආයතන මුල්‍ය ප්‍රතිපාදන සැපයීමට වරින් වර ඉදිරිපත් වෙයි. එහෙත් බොහෝ විට මෙතෙක් සිදුව ඇත්තේ මෙම අරමුදල් නිසි ලෙස භාවිත නොවීමය. යම් යම් අවස්ථාවලදී යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සහ තාක්ෂණික මග පෙන්වීමෙන් වැව් අලුත්වැඩියා කෙරුණු අවස්ථාවන් කිහිපයක් ද මෑතකදී වාර්තා වී තිබේ. සාපේක්ෂව ගත් කල්හි එය ඉතා සාධනීය ප්‍රතිඵලදායක මැදිහත් වීමක් ලෙස දැකගත හැකි විය. පවිටු අපේක්ෂාවන්ගෙන් කිලිටු නොවුණු එවැනි මැදිහත්වීමක් මෙරට වැව් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට හොඳින්ම ගැළපෙන වග පෙනී ගොස් ඇත.

ඒ ඒ ආයතන අතර පවතින ප්‍රතිඵල විරහිත, ව්‍යාජ කඹ ඇදීම ද මෙරට වැව් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අවුරා ඇති බලවත් බාධකයකි. මහවැලිය සතු වැව් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට මුල්වී අලුත්වැඩියා කළ නොහැකි වී තිබේ. එයට මහවැලි නිලධාරින්ම සිටිය යුතුය. සමහර තැනෙක ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු සකස් කළ ද අලුත්වැඩියා අධීක්ෂණය කිරීමට මහවැලි හෝ වාරිමාර්ග නිලධාරීන් අවශ්‍ය වී තිබේ. මේ නිරර්ථක කල්මැරිල්ල හේතුවෙන් සමහර තැනක වැව් හැදිල්ල මුළුමනින්ම මඟහැරුණු අවස්ථාවන් ගැන ද අසන්නට ලැබේ. මේ නිලධාරිවාදයෙන් ගොවීන්ට අත්වන යහපතක් නැත. ඒකාබද්ධ ප්‍රවේශයක් මෙරට වැව් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අවැසි වන්නේ මෙවැනි පසුබිමකය.

මෙරටේ සැකසෙන සෑම ඉදිකිරීම් ඇස්තමේන්තුවකින්ම අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුට සියයට පහළොවක, විස්සක හෝ විසිපහක ලාභයක් සහිතව සැකසීම පිළිගත් සම්මත ක්‍රමය වී තිබේ. ඇස්තමේන්තුගත මුදලෙන් වැඩි පිරිවැයක් ඉදිකිරීම් කටයුතු සඳහා යොදවා සාධාරණ ලාභයක් උපයා ගැනීමට කොන්ත්‍රාත්කරුට එමගින් අවකාශ සලසා දී තිබේ. එහෙත් වැව් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී මෙම පිළිවෙත බොහෝ විට කඩතොළු වීම බරපතළ ගැටලු සහගත තත්වයකි. වැසි කාලයක් ආසන්නයේ වැවක රොන්මඩ හෑරීම වැනි රැවටීම් මගින් සිදුවනුයේ ඒ සඳහා නිදසුන් සැපයීමකි.

වැව් හැදීමේ මගඩි තුළ සමහර තැනෙක සිදුව ඇත්තේ ඉදිකිරීම් සඳහා අවම පිරිවැයක් දරණ විට ගෙඩි පිටින් මුදල් යටිමඩි ගැසීමය.

කොන්ත්‍රාත්කරු හැරුණු විට හදන වැවක පංගුකරුවන් ගණනාවකි. අධීක්ෂණ ආයතන ප්‍රධානියා, ඉංජිනේරුවරයා, ඉංජිනේරු සහකාර, තාක්ෂණ නිලධාරි, කේෂත්‍ර නිලධාරි, කළමනාකරණ සහකාර ගේ සිට ලිපිගොනු එහේ මෙහේ ගෙනයන කාර්යාල කාර්ය සහායක ආදීන් ඒ අතර වේ.

ජපන් ජබර, සැල්වීනියා, පන් ආදි විවිධ අහිතකර ජලජ ශාක වැව් තුළ අප්‍රමාණව වර්ධනය වී තිබීම, වැවක අත්‍යවශ්‍ය අංග සේ පිළිගැනෙන වාන, සොරොව්ව, රළපනාව, වැව් බැම්ම ආදිය අබලන් වීම, තට්ටු ගණනාවක් රොන්මඩ ඒකරාශි වීම, වැව් රක්ෂිත අනවසරයෙන් අල්ලා ගැනීම ආදී පොදු ගැටලු ගණනාවකින් මෙරට වැව් පද්ධතිය පීඩාවට පත්ව ඇත. ගම්මැද්දක ඇති සමහර වැවකින් කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ප්‍රයෝජනයට නොගත්ත ද පාරිසරික සමතුලිතතාවය සඳහා එමගින් සැලසෙන පිටිවහල අතිමහත් එකකි. අතීතයේ වන සතුන්ගේ ප්‍රයෝජනය සඳහා ද වැව් බැන්ද ජාතියක් ලෙස අප ප්‍රකටව ඇත. එහෙයින් කිසිදු වැවක් වල්වැදී, ගොඩවී විනාශවීමට ඉඩදීමට හැකියාවක් නැත. අනුරාධපුරයේ ප්‍රධානතම වාරි ජලාශය සේ සැලකෙන කලා වැව කේන්ද්‍රීයව මහවැලි ව්‍යාපාරය ආරම්භ කරන විට “එච් කලාපය” තුළ ග්‍රාමීයව පැවැති වැව්, අමුණු නොසලකා හැරීම නිරායාසයෙන්ම සිදු වූවකි.

එසේ නොසලකා හැරුණු වැව් 125 ක් පමණ මේ වන විට විවිධ උපද්‍රව වලට ලක්වී විනාශ වීමේ අවධානමට ලක්ව ඇත. ඒ වැව් නිරුපද්‍රිතව තිබුණේ නම් එච් කලාපයේ යල කන්නයේ වගාවන් මගහැරී, කුඹුරු වල් වදින්නේ නැත. වැවක් යනු සපුරාම පාරිසරික පද්ධතියකි.

වැවක් හැදීම හුදු ඉදිකිරීම් කාර්යක් පමණක් නොව පාරිසරික ක්‍රියාවලියක් යථාවත් කිරීම වග වටහා ගන්නෝ විරල වී තිබේ. සාම්ප්‍රදායික ගමේ වැව බාරව සිටි වෙල්විදානේ අද එහි නැත. සමහර ගොවි සංවිධාන නියෝජිතයන් ද නිලධාරින්ගේ, දේශපාලඥයන්ගේ අතවැසියන් වී සිටිති. එහෙයින්ම ග්‍රාමීයව හැදෙන වැව් සැබෑ හැඟීමෙන් රැක බලා ගැනීමට ඉදිරිපත් වන අය ගම්මැදි වල ද හිගවී තිබේ. එනිසාම වැව හදන අතරේ එය රැකීමට පිරිසක් ගමෙන්ම නිර්මාණය කිරීම දැඩි කාලීන අවශ්‍යතාවක් වී ඇත.

යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය වැනි ආයතන සම්බන්ධ කොටගෙන වැව් හැදීමේ පිරිසිදු ක්‍රියාන්විතයක් දියත් කිරීමට දැන් කාලය පැමිණ ඇත.

ඇතැම් දේශපාලඥයන්ගේ, නිලධාරින්ගේ, කොන්ත්‍රාත්කරුවන්ගේ ඉල්ලමක් වී ඇති මෙරට වැව් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඔවුනගෙන් මුදා ගැනීමේනිර්ව්‍යාජ මෙහෙයුමක් අද අවශ්‍ය වී තිබේ. එසේ නොවන තාක් වැව් හැදීමට යොදන අරමුදල් මගින් රටේ ණයබර වැඩිවීම විනා අත්වන යහපත අල්ප වීම වැළකිය නොහැකිව තිබේ.

Comments