බුහු­මන් නොලබාම අව­සන් ගමන් ගිය කොරෝනා රෝගියෝ | Page 3 | සිළුමිණ

බුහු­මන් නොලබාම අව­සන් ගමන් ගිය කොරෝනා රෝගියෝ

සු­ගිය ඉරු­දින ලංකාවේ 12 වැනි කොරෝනා මර­ණය වාර්තා විය. 12 වැනියා ලෙස කොරෝනා හේතු­වෙන් මිය ගියේ කුරු­ණෑ­ගල වෑඋඩ පදිංචි වී සිටි එෆ්. ආර්. රිසානා නම් 47 හැවි­රිදි කාන්තා­වයි. පිළිකා රෝග­යට ගොදුරු වී සිටි ඈ ඉන්දි­යාවේ ගොස් තිබුණේ පිළිකා රෝග­යට ප්‍රති­කාර ලබා ගැනී­ම­ටය. මීට අම­ත­රව ඈ දිය­වැ­ඩියා රෝග­යෙන් ද පෙළුණු කාන්තා­වකි. අගෝස්තු 20 වැනිදා ලංකා­වට පැමිණි ඇයව ඉරණවිල නිරෝ­ධා­යන මධ්‍ය­ස්ථා­න­යෙහි නිරෝ­ධා­ය­න­යට ලක් කර තිබුණි. එහිදී ඇයට කොවිඩ් 19 වයිර­සය ආසා­ද­නය වී ඇති බවට තහ­වුරු විය. ඉන් අන­තු­රුව ඇයව අංගොඩ අයි.ඩී.එච්. රෝහ­ලට ඇතු­ළත් කරනු ලැබීය. 23 වැනි ඉරිදා පෙර­ව­රුවේ ඈ මිය ගියාය. එදින ම පස්ව­රුවේ ඇගේ අව­සන් කට­යුතු අන්ත­ර්ජා­තික නිරෝ­ධා­යන නීති­රී­ති­ව­ලට අනු­කූ­ලව කොටි­කා­වත්ත සුසා­න­භූ­මි­යේදි සිදු විය.

ලංකාවේ 12 වැනි කොරෝනා මර­ණය වාර්තා වූයේ 11 වැනි කොරෝනා මර­ණය වාර්තා වී දින 83කට පසුව වීම විශේ­ෂ­ත්ව­යකි. 11 වැනි කොරොනා මර­ණය සිදු වූයේ ජුනි 01 වැනි­දාය. ඔහු ද කුරු­ණෑ­ගල රිදී­ගම කටු­පි­ල­ගොල්ල ග්‍රාමයේ පදිං­චි­ක­රු­වෙකි. ඔහු කුවේට් සිට මෙර­ටට පැමිණ තිබුණේ මැයි 16 වැනි­දාය. මින්නේ­රිය යුද හමුදා නිරෝ­ධා­යන මධ්‍ය­ස්ථා­නයේ නිරෝ­ධා­ය­නය වෙමින් සිටි­යදී ඔහුට කොරෝනා වයි­ර­සය ආසා­ද­නය වී ඇති බව තහ­වුරු වූයේ මැයි 26 වැනි­දාය. එනම් ඔහු මෙර­ටට පැමිණ 10 වැනි දින­යේ­දීය. ඉන්ප­සුව ඔහුව හෝමා­ගම මූලික රෝහ­ලට ඇතු­ළත් කෙරිණි. දිය­වැ­ඩි­යාව ‍රෝගයෙන් පෙළුණු ඔහු ඊට දින 2කට පසුව අසාධ්‍ය තත්ත්ව­යට පත් වූ බැවින් මැයි 28 වැනි දින ඔහුව දැඩි සත්කාර ඒක­ක­යට ඇතු­ළත් කළ අතර ජුනි 01 වැනිදා අලු­යම ඔහු මර­ණ­යට පත් විය. 45 හැවි­රිදි වියේ පසු වූ ඔහු සූප­වේ­දි­යකු ලෙස සේවය කර ඇත. ජාත්‍ය­න්තර නිරෝ­ධා­යන නීති­රී­ති­ව­ලට අනු­කූ­ලව හෝමා­ගම සුසා­න­භූ­මි­යේදි ඔහුගේ අව­සන් කට­යුතු සිදු කෙරිණි.

10 වැනි කොරෝනා මර­ණය මෙර­ටින් වාර්තා වූයේ මැයි 25 වැනි­දාය. එනම් 11 වැනි මර­ණ­යට දින 06කට පෙර ය. ලංකාවේ 10 වැනි කොරෝනා මර­ණය ලෙස වාර්තා වී තිබෙන්නේ 51 හැවි­රිදි පයා­ගල ප්‍රදේ­ශයේ පදිංචි කාන්තා­වකි. ඇය ද කුවේට් සිට මෙර­ටට පැමිණ ත්‍රිකු­ණා­ම­ලය මන්කි බ්‍රිජ් නිරෝ­ධා­යන මධ්‍ය­ස්ථා­නයේ නිරෝ­ධා­ය­න­යට ලක්වෙ­මින් සිටි අයෙකි. ඇය හෘද රෝග­යෙන් පෙළුණු කාන්තා­වක බ ව අනා­ව­ර­ණය වී ඇත.

10 වැනි කොරෝනා මර­ණය සිදු වීමට දින 20කට පෙර, එනම් මැයි 05 වැනි දින ලංකාවේ 9 වැනි කොරෝනා මර­ණය වාර්තා විය. ඊට ගොදුරු වූයේ මෝදර ප්‍රදේ­ශයේ පදිංචි කාන්තා­වකි. 52 හැවි­රිදි වියේ පසු වූ ඈ මාස­යක පමණ කාල­යක් අස­නීප තත්ත්ව­යෙන් පසු වී තිබේ. මැයි 04 වැනි දින ශ්වසන රෝගි තත්ත්වය උත්සන්න වීමෙන් ඇයව කොළඹ ජාතික රෝහ­ලට ඇතු­ළත් කෙරිණි. එහිදී ඈ කොරෝනා රෝග­යට ගොදුරු වී ඇති බව තහ­වුරු විය. ඉන් අන­තු­රුව මැයි 05 දා අලු­යම 1.00ට ඇයව අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒක­ක­යට ඇතු­ළත් කරනු ලැබීය. එදින දවල් 12.50ට පමණ ඈ මිය ගියාය.

ඈ මර­ණ­යට පත්වී­මට පෙර දින, එනම් මැයි 04 වැනි දින ද කොරෝනා හේතු­වෙන් කාන්තා­වක් මිය ගියාය. එම මර­ණය වාර්තා වන්නේ 8 වැනි මර­ණය ලෙසිනි. ඈ පොල්පි­ති­ගම ප්‍රදේ­ශයේ පදිංචි 72 හැවි­රිදි කාන්තා­වකි. කො‍රෝනා රෝග­යට ගොදුරු වී‍මත් සමඟ හෝමා­ගම මූලික රෝහ­ලට ඇයව ඇතු­ළත් කර තිබේ. වකු­ගඩු රෝග­යෙන් පීඩා විඳි­මින් සිටි ඇයට රෝගි තත්ත්වය සහ වෘද්ධ­භා­වය නිසාම ජීවි­තෙ­යන් සමු ගැනී­මට සිදු වූයේ කොරෝනා සමඟ සටන් වැදී­මට අසීරු වීමෙනි.

ලංකාවේ 7 වැනි කොරෝනා මර­ණය ලෙස සට­හන් වී තිබෙන්නේ මෙරට වැඩි වශ­යෙන් කතා­බ­හට ලක් වූ අය­කුගේ මර­ණ­යයි. ඔහු ගල්කිස්ස ප්‍රදේ­ශයේ පදිංචි මැණික් ව්‍යාපා­රි­ක­යෙකි. ඔහු මිතුරන් සමඟ ව්‍යාපා­රික අව­ශ්‍ය­තා­ව­කට විදේ­ශ­ග­ත වී මෙර­ටට පැමි­ණී­මෙන් පසු පුද්ග­ලික රෝහ­ලක රසා­ය­නා­ගා­ර­ය­කින් කොරෝනා වැළඳී ඇති­දැයි පරීක්ෂා කර ගෙන තිබිණි. එහිදි ඔහුට කොරෝනා ආසා­ද­නය වී ඇති බවට තහ­වුරු විය.

එහෙත් ඔහු ඒ බව සඟවා ගෙන සිය පවුලේ සාමා­ජි­ක­යන් හා මිතු­රන් සමඟ සාමාන්‍ය ලෙස දිවි ගෙවීය. අව­සා­න­යේදී පොලිස් නිල­ධා­රින් සහ මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන් ඔහු සොයා රැගෙ­න­විත් අංගොඩ අයි.ඩී.එච්. රෝහ­ලට ඇතු­ළත් කරනු ලැබීය. 44 හැවි­රිදි වියේ පසු වූ ඔහු රෝගය වැළ­ඳුණු බව දැන­ගත් වහාම රෝහ­ල්ගත වූයේ නම් සම­හ­ර­විට ඔහ‍ුගේ ජීවි­තය බේරා ගැනී­මට ඉඩ තිබිණි. ඔහුගේ බිරි­ඳ­ටත් දරු­ව­කු­ටත් මිතු­ර­කු­ටත් ඔහු­ගෙන් කො‍රෝනා ආසා­ද­නය වී තිබූ නිසා රෝහ­ල්ගත කෙරුණු අතර ඔවුහු සුවය ලබා රෝහ­ලෙන් පිටව ගියහ. මෙම පුද්ග­ල­යාගේ මර­ණය, ලංකාවේ 7 වැනි කොරෝනා ‍මරණය ලෙස වාර්තා වූයේ අප්‍රේල් 09 වැනි­දාය.

ඊට දින 3කට පෙර, එනම් අප්‍රේල් 06 වැනිදා 6 වැනි කොරෝනා මර­ණය වාර්තා විය. මෙලෙස මිය ගියේ 80 හැවි­රිදි දෙහි­වල පදිං­චි­ක­රු­වෙකි. ඔහුට කොරෝනා ආසා­ද­නය වූ බව තහ­වුරු වූ පසුව අයි. ඩී. එච්. රෝහ­ලට ඇතු­ළත් කරනු ලැබීය. එහිදී ඔහු මර­ණ­යට පත්විය.

ලංකාවේ 5 වැනි කො‍රෝනා මර­ණය ලෙස වාර්තා වූයේ වැලි­කන්ද රෝහලේ ප්‍රති­කාර ලැබූ 44 හැවි­රිදි පුද්ග­ල­යෙකි. ඉතා­ලියේ සිට පැමිණි ඔහු නිව්මෝ­නියා තත්ත්වය උත්සන්න වීමෙන් මර­ණ­යට පත් විය. ඔහු හෝමා­ගම ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙකි. ඔහුගේ මර­ණය වැලි­කන්ද රෝහලේ කොරෝනා නිසා මිය ගිය පළමු මර­ණය ලෙස සට­හන් වී තිබේ. 5 වැනි කොරෝනා මර­ණය අප්‍රේල් 04 වැනිදා සිදු විය.

ඊට දින 2 කට පෙර, එනම් අප්‍රේල් 02 වැනි දින ලංකාවේ 4 වැනි කොරෝනා මර­ණය වාර්තා විය. මෙලෙස මර­ණ­යට පත් වූයේ 58 වැනි වියේ පසු වූ රත්ම­ලාන ප්‍රදේ­ශයේ පදිංචි හේමාල් සිල්වා නමැ­ත්තාය. ඔහු බිරිඳ සමඟ ඉන්දි­යාවේ සිට මෙර­ටට පැමි­ණෙන අව­ස්ථා­වේදී කටු­නා­යක ගුවන් තොටු­පොළ පරි­ශ්‍ර­යේදී ඉතා­ලි­යෙන් පැමිණ කල­හ­කාරි ලෙස හැසි­රුණු ශ්‍රී ලාංකි­ක­යන් පිරි­ස­කට මැදි වූ බව ඔහු පවසා තිබේ. ඒ අනුව ඔහුට කොරෝනා වෛර­සය ආසා­ද­නය වූ බවට අනු­මාන කෙරිණි. හේමාල් සිල්වාත් ඔහුගේ බිරි­ඳත් කොරෝනා වෛර­සය ආසා­ද­නය වීමෙන් අංගොඩ අයි.ඩී.එච්. රෝහ­ලට ඇතු­ළත් කරනු ලැබීය. හේමාල් සිල්වා මිය ගිය අතර ඔහුගේ බිරිඳ සුවය ලබා නිව­සට ගියාය.

ශ්‍රී ලංකාවේ 3 වැනි කොරෝනා මර­ණය ලෙස සට­හන් වී තිබෙන්නේ අප්‍රේල් 01 වැනිදා මර­ණ­යට පත් වූ මර­දානේ පදිංචි මුස්ලිම් ජාතික පිරි­මි­ය­කුගේ මර­ණ­යයි. 72 හැවි­රිදි ඔහු ජය­ව­ර්ධ­න­පුර රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටින විට කොරෝනා වැළඳී ඇති බව තහ­වුරු විය. ඉන්ප­සුව ඔහුව අංගොඩ අයි. ඩී. එච්. රෝහ­ලට ඇතු­ළත් කිරී­මට පිය­වර ගැනිණි. එහෙත් අප්‍රේල් 01 වැනිදා රාත්‍රියේ ඔහුව රෝහ­ලට ඇතු­ළත් කිරීම සඳහා බාහිර රෝගි අංශයේ තබා­ගෙන සිටින අව­ස්ථා­වේදී ඔහු මර­ණ­යට පත් විය. අධි රුධිර පීඩ­නය, දිය­වැ­ඩි­යාව, වකු­ගඩු අක­ර්මන්‍ය වීම වැනි රෝග ගණ­නා­ව­කින් පෙළුණු ඔහුගේ අව­සන් කට­යුතු මුල්ලේ­රි­යාව උඩු­මුල්ල ආදා­හ­නා­ගා­ර­යේදී සිදු කෙරිණි.

ඊට දින 2කට පෙර, එනම් මාර්තු 30 වැනි දින ශ්‍රී ලංකාවේ 2 වැනි කොරෝනා මර­ණය වාර්තා විය. ඔහු මීග­මුව පෝරු­තොට පදිංචි වී සිටි මොහො­මඩ් ජම­ල්ඩීන් නමැති මුස්ලිම් ජාති­ක­යෙකි. ශ්වසන ආබා­ධ­ය­කට ප්‍රති­කාර ගැනීම සඳහා මීග­මුව පෞද්ග­ලික රෝහ­ල­ක­ට ගිය ඔහුව පුද්ග­ලික රෝහ­ලෙන් මීග­මුව මූලික රෝහ­ලට එවා තිබිණි. මීග­මුව රෝහලේ 20 වැනි වාට්ටුවේ ප්‍රති­කාර ලැබූ ඔහුගේ රෝගි තත්ත්වය අසාධ්‍ය වූ බැවින් දැඩි සත්කාර ඒක­ක­යට මාරු කරනු ලැබීය. ඔහු කොරෝනා ආසා­දි­ත­යකු බව තහ­වුරු වූයේ මාර්තු 30 වැනිදා පස්ව­රු­වේය. ඔහුව අංගොඩ අයි. ඩී. එච්. රෝහ­ලට මාරු කිරී­මට පෙර මීග­මුව රෝහ­ලේදි මර­ණ­යට පත් විය. ඔහු මුස්ලිම් ජාති­ක­යකු වුවද මීග­මුව මඤ්ඤො­ක්කා‍හේන සුසාන භූමි­යේදි ආදා­හ­නය කෙරුණේ ජාත්‍ය­න්තර නිරෝ­ධා­යන රෙගු­ලා­සි­ව­ලට අනු­වය. විදේ­ශ­යක සිට මෙර­ටට පැමිණි කිසි­වකු ඔහු සමී­පව ඇසුරු කර නොති­බු­ණද මිය යෑමට දින 20කට පෙර යාප­නයේ සංචා­රය කර ඇති බවත් එහිදී කො‍රෝනා වයිරසය ශරී­ර­ගත වන්නට ඇති බවත් අනු­මාන කෙරිණි.

ලංකාවේ ප්‍රථම කොරෝනා මර­ණය ලෙස වාර්තා වී තිබෙන්නේ මාර­විල හාල්ද­ඬු­වන ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­ව­කුගේ මර­ණ­යයි. ඉලං­ග­පේ­ඩිගේ ධර්ම­සිරි ජනා­නන්ද නම් ඔහු 60 හැවි­රිදි වියේ පසු­වන සංචා­රක මඟ පෙන්ව­න්නකු ලෙස කට­යුතු කළ අයෙකි. අව­සාන වතා­වට ජර්මන් ජාතික සංචා­ර­ක­යන් පිරි­ස­කට මඟ පෙන්වූ ඔහුට කොරෝනා වයි­ර­සය ආසා­ද­නය වූයේ එකී සංචා­ර­ක­ය­න්ගෙන් යැයි අනු­මාන කෙරිණි. ඔහු ලංකා­වෙන් වාර්තා වූ 4 වැනි කොරෝනා රෝගි­යාය. අංගොඩ අයි. ඩී. එච්. රෝහලේ ප්‍රති­කාර ලැබූ ඔහුව දැඩි සත්කාර ඒක­ක­යට ඇතු­ළත් කර තිබුණේ දිය­වැ­ඩියා රෝග­යෙන් පෙළුණු ඔහුට වකු­ගඩු බද්ධ කිරීමේ සැත්ක­මක් ද කර තිබූ නිසාය. එහෙත් මාර්තු 28 වැනි දින ඔහු මර­ණ­යට පත් වූයේ ලංකාවේ ප්‍රථම කොරෝනා මර­ණය ලෙස වාර්තා­වක් තබ­මිනි. කොටි­කා­වත්ත සුසාන භූමියේ ආදා­හ­නා­ගා­ර­යේදි අන්ත­ර්ජා­තික නිරෝ­ධා­යන රෙගු­ලා­සි­ව­ලට අනු­කූ­ලව ඔහු‍ෙග් අව­සන් කට­යුතු සිදු කෙරිණි.

ලංකාවේ මෙතෙක් සිදු වූ කොරෝනා මරණ ගැන විමසා බැලී­මේදී 9 වැනි මර­ණ­යෙන් පසුව සිදු වූ මරණ අතර යම් කාල පර­ත­ර­යක් තිබෙන බව පැහැ­දි­ලිය. එහෙත් මුල් මරණ 7ම වාර්තා වී තිබෙන්නේ දින­යක්, දින දෙක තුනක් වැනි ඉතා කෙටි කාල පර­ත­ර­යක් තබ­මිනි. මේ අනුව ශ්‍රී ලංකාව කොරෝනා රෝගය ඉතා සාර්ථ­කව පාල­නය කළ බව පැහැ­දි­ලිව දැක ගත හැකිය.

 

Comments