
රට වටා ඇති මුහුදින් නිසි ප්‍රයෝජන ගන්නට තවමත් අප සමත්ව නැත්තේ ඒ සඳහා ක්‍රමවේද නැතිවා නොවේ. බොහෝ අවස්ථාවලදී ධීවර කටයුතු සම්බන්ධව වගකීම් බාර ගන්නා අය විසින්ම එහි සංවර්ධනය අඩාල කිරීම නිසාය.ශ්‍රී ලංකාව වටා ඇති මුහුදට අමතරව ප්‍රධාන ධීවර වරායන් 23ක්ම තිබේ. වර්ග සැතපුම් 25,332ක් වන මේ පුංචි රටට ප්‍රධාන ධීවර වරායන්වලට අමතරව කුඩා ධීවර වරායන් මෙන්ම බෝට්ටු නැංගුරම්පොළවල් රැසක්ද ධීවර කර්මාන්තය පිණිස ස්ථාපිතව තිබේ. මේ සියලු ධීවර වරායන් හරහා මෙරටට අවශ්‍ය සියලු මත්ස්‍ය අස්වැන්න ලබා දිය හැකිය.
රට වටේට ඇති මුහුදින් විශාල මත්ස්‍ය අස්වැන්නක් ලබා ගත හැකිය. ඒ හරහා උපයාගත හැකි ආදායමද අතිවිශාලය.
එම ආදායම කෙසේ වුවත් පසුගිය ‘යහපාලන‘ රජය බලයට පත් වී කෙටි කලකින් ලංකා ධීවර සංස්ථාවේ සේවකයන්ට ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක් හඳුන්වා දුන්නේය. මූලික වියදමක් හෝ නිෂ්පාදන වියදමක් හෝ නොමැති ලංකා ධීවර සංස්ථාව එතඑම් බංකොළොත් තත්ත්වයක පැවතුණි. ධීවර වරාය ඇතුළු ධීවර ක්ෂේත්රයට මෙතරම් කණකොකා හැඬීමට හේතු වූ සාධක මොනවාද යන්න විමසා බැලිය යුතුය.
ධීවර ක්ෂේත්රයේද ඇති පදමට යටි මඩි ගැහිලි වාර්තා වී තිබේ. ‘හැංගි හැංගි බැන්ද වෙස්‘ මේ වන විට හෙළිව තිබේ.
මූලික වියදම් හෝ නිෂ්පාදන වියදම් නොමැති ආයතනයක් රජයට විශාල බරක් වූයේ කෙසේද යන්න විමසා බැලීමේදී හේතු සාධක රැසක් එළියට ඇදෙන නමුත් මේ අවස්ථාවේදී සමාජයේ වැඩි අවධානයක් යොමු වූ එක් සිදුවීමක් පමණක් ගෙන සලකා බැලීම සුදුසු යැයි අපි සිතමු.
ධීවර වරායන්ගේ කඩා වැටීමට හේතු සාධක වී ඇති කොළඹ නගරයේ ම ඇති ප්‍රධාන ධීවර වරාය බොහෝ දෙනාගේ ඇස් වසමින් කුණු කොල්ලයකට විදේශීය සමාගමකට බදු දීම නිසයි.
සාමාන්‍ය වංචාවකට වඩා බොහෝ ලෙසින් සලකා බැලිය යුතු වංචාවක් ලෙස මෙය හඳුන්වා දිය හැක්කේ ඇස් පනාපිටම කළ සොරකමක් නිසයි. වර්තමානයේ ජංගම දුරකතනයක් රුපියල් 3000සිට ඉහළ මිලකට ගත හැකියි. එහෙත් රුපියල් 30කට පමණ අලුත්ම දුරකතනයක් ලබා දෙන්නේ නම් ඒ ගැන කිව හැක්කේ කුමක්ද? මේ සිදුවීමද ඒ හා සමානය.
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව යටතේ ඇති මෝදර ධීවර වරාය (මුතුවාල් ධීවර වරාය) බදු දීමට ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් කටයුතු කර තිබෙන්නේ 2014 වසරේදීය. ඒ සඳහා කිසිදු ආකාරයක විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර නැත. සමස්ත වරායම බදු දී ඇත්තේ රුපියල් 125000.00ක මාසික කුලියකට වීම අප පෙර කී ලෙසින් නවතම ජංගම දුරකතනයක් රුපියල් 30කට ලබා දීමක් හා සමානය. මෝදර, මට්ටක්කුලිය, කාකදූපත ප්‍රදේශවල ලෑලිවලින් ආවරණය කළ තහඩු සෙවිළි කළ කුඩා කඩ කාමරයක් කුළියට ගත්තද මසක කුළිය රුපියල් 100,000ක් පමණ වනු ඇත. එම නිසා මේ මහා පරිමාණ වංචාව නිසා රජයට සිදු ව ඇති පාඩුව අතිවිශාලය.
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් මෝදර ධීවර වරාය මාසිකව රුපියල් 125000.00කට බදු දී ඇත්තේ SEA GULF UK නම් විදේශීය සමාගමටය.
කොළඹ නාගරික බල ප්‍රදේශයට අයත් අක්කර 1ක් හා පර්චස් 30.56ක් මේ බදු දීමට අයත් වන අතර ඊට අමතරව හෙක්ටයාර් 1.4කින් යුක්ත වටිනා ජල බේසමක්ද මේ වරායට අයත්ය. බදු දී ඇත්තේ මේ සියල්ලම වීම පුදුම උපදවන සුළුය.
රජය සතු දේපළක් බදු දීම සඳහා පැහැදිලි නිර්ණායක සහිත ක්‍රමවේදයක් ඇත. පළමුව ඒ සම්බන්ධව තක්සේරු වාර්තාවක් ලබා ගත යුතුය. අනිවාර්යෙන්ම තක්සේරුවට වඩා වැඩි වටිනාකමකට බදු දිය යුතුය. එම තක්සේරුවද රජය පිළිගත් ආයතනයකින් ලබා ගත යුතුය. එහෙත් මෙවන් අතිවිශාල දේපළක් බදු දීමේදී නම් අනිවාර්යෙන්ම තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුවක් ලබා ගැනීමද අනිවාර්යය වේ. එසේම බදු දීමට අදාළව පිළිගත් සමාගම්වලින් ටෙන්ඩර් කැඳවිය යුතුය.
එසේම අදාළ බදු ආදායම එහි නඩත්තුව, සේවක වැටුප්, හා සංසන්දය කළ යුතුය. එහෙත් මෝදර ධීවර වරාය බදු දීමේදී මේ කිසිදු නිර්ණායකයක් හෝ ක්‍රමවේදයක් අනුගමනය කර නොමැත.
2014 වසරේ ඔක්තෝබර් මස 30 වැනිදා සිට වසර 25 කාලයකට එවකට ධීවර ඇමැතිව සිටි වෛද්‍ය රාජිත සේනාරත්න විසින් මෙම ධීවර වරාය බදු දී ඇති අතර තවත් වසර 20ක් පමණ ගිය පසු එම මුදලේ වටිනාකම කෙතරම් අව ප්‍රමාණ වනු ඇතිද යන්න ගැන විමසිය යුතුය.
කිසිදු ආකාරයක ටෙන්ඩර් කැඳවීමක් මේ බදු දීමේදී අනුගමනය කර නොමැත. එසේම වසර 25ක කාලය තුළ වෙනත් තෙවන පාර්ශ්වයකට බදු දිය නොහැකි බවට සඳහන් කර නොමැත. එම නිසා මේ අපැහැදිලි වගන්ති අනුව තුන්වන පාර්ශ්වයකට එය බදු දීමට හැකිය. එසේම බදු දීමේදී විදේශීය සමාගමට එම වගන්ති වෙනස් කර ගත හැකි ආකාරයට ගිවිසුම සකස් කර ඇති බවද පෙනී යයි. රජයේ තක්සේරුව පසෙක තබා පෞද්ගලික තක්සේරුකරුවකු විසින් මේ වරාය තක්සේරු කර ඇත්තේ මිලියන 283කටය.
මේ මහා වංචාව ගැන දිගින් දිගටම පැමිණිලි ලැබීම නිසා විගණකාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් විගණන විමසුමක් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිට යොමු කර ඇත. ඒ 2015 වසරේ ජූනි මස 18 දින LP/B/CFHC/2014/22 අංකය යටතේය.
විගණකාධිපතිගේ විගණන විමසුමේ මේ සියලු අකටයුතුකම් දූෂණ වංචාවන් ගැන පැහැදිලිව සඳහන් කර ඇත.
ඒ අනුව මේ බදුදීමට අදාළව ගැනුම්කරු තෝරාගත් ආකාරය ගැන කිසිදු පැහැදිලිතාවක් දැකගත නොහැකි බව විගණන විමසුමේ දක්වා ඇත. එසේම අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක්ද ඒ සඳහා ලබා ගෙන නොමැති බවද විගණන විමසුමේ දක්වා ඇත.
එසේම රජයේ තක්සේරුකරුවකුගෙන් තක්සේරු වාර්තාවක් ලබා ගත යුතු නමුත් එවැන්නක් ලබා නොගෙන පෞද්ගලික තක්සේරුකරුවකුගෙන් ලබා ගත් ව්‍යාජ වාර්තාවක් මත මෙම බදු දීම සිදු කර ඇති බවත් විගණන විමසුමේදී අනාවරණය කර තිබේ. ඒ අනුව 2015 (2016 විය යුතුයි) ජනවාරි මස 08 වැනිදා තක්සේරු දෙපාර්තමේන්තුවෙන් මෝදර ධීවර වරාය බදු දීමට අදාළව තක්සේරු වාර්තාවක් ඉල්ලා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලිපියක් යොමු කර ඇත.
2016.02.25 දිනැති අංක CM/CMC/LM/1806 යටතේ තක්සේරු වාර්තාවක් යොමු කරන මහ කොළඹ (කා.හා) පළාත් තක්සේරුනරු ජී.එස්. විජේවර්ධනයන් වරාය රුපියල් එක් මිලියන හත්සිය දහසකට (17,00,000.00) එනම් රුපියල් ලක්ෂ 17කට මාසිකව බදු දිය හැකි ලෙසින් තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එය වරාය බදු දී ඇති රුපියල් 125,000.00 මුදල මෙන් 14 ගුණයකට ආසන්නය.
පෞද්ගලික තක්සේරුකරුවකුගෙන් ලබා ගත් වරායේ වටිනාකම වන මිලියන 283 ව්‍යාජ බවත් එහි ආසන්න වටිනාකම මිලියන 445ක් බවත් හෙළි කර ඇත. එසේම වරාය බදු දීමේදී කළමනාකරු ඇතුළු එවකට සේවය කළ ප්‍රධාන සේවකයන් 8 දෙනාගේ වැටුප් සම්බන්ධව කිසිදු අවධානයක් යොමු කර නැති අතර ඔවුන්ගේ වාර්ෂික වැටුප් සඳහා පමණක් රුපියල් 45,26,194.00ත් වැය වන බවත් මෙහිදී හෙළි කර ගෙන ඇත. එහෙත් වරාය බදු දීමෙන් වාර්ෂිකව හිමි වන්නේ (මාසිකව 125000.00 X 12 ක්) රුපියල් 150,00,000.00ක් පමණක්. ඒ අනුව මේ මානව සම්පතට ගෙවිය යුතු වැටුප් හා දීමනා නිශ්ක්‍රීය ලෙසින් සලකා ඇති බවත් විගණන වාර්තාව මඟින් හෙළි කර ඇත.
වරාය බදු ගත් විදේශීය සමාගම විසින් එහි කොන්දේසි එළි පිටම කඩා දැමුවත් ඒ ගැන කිසිම පියවරක් ගැනීමට සංස්ථාව කටයුතු කර නොතිබීමද විශාල ගැටලු උපදවන්නකි. ගිවිසුමට අනුව කිසිදු ගොඩනැගිල්ලක් කඩා දැමීමට හැකියාවක් නැත. එහෙත් විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි දෙකක් මේ සමාගම විසින් කඩා ඉවත් කර දමා ඇත.
කෙසේ හෝ වේවා මේ වන විට බළලුන් මල්ලෙන් එළියට පැමිණ තිබේ. රාජ්‍ය දේපළ අවභාවිතය සෙල්ලමකට ගත නොහැකිය. දැන් නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුය. මෙවන් මහා පරිමාණ වංචාවන් ඉදිරියේදී තවත් සිදු වීමට ඉඩ නොදිය යුතුය.
ඡායාරූප - සමන්ත වීරසිරි