
මාතලේ - ලග්ගල වූ කලී ලංකාවේ සුවිශේෂී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. උතුරින් නාඋල හා ඇලහැර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයත් දකුණින් මහනුවර හා නැගෙනහිරින් විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් ද මායිම් වී තිබේ.
බටහිරින් අඹන්ගඟ කෝරලයත් රත්තොටත් මායිම් කරගත් මේ සුවිශේෂි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වනාහි රාවණ ඉතිහාසය හා බැඳෙන්නේ කරුණු කාරණා ගණනාවක් නිසාය.
මෙහි ජීවත්වෙන්නන් ඉතා සරල ජීවන රටාවකට හුරුවී සිටීම මෙන්ම සාම්ප්‍රදායික හේන් ගොවිතැනින් ජීවිකාව ගෙන යෑම වැනි කාරණා අදටත් මේ ගම්මාන වල දැකගත හැකිය.
සංවර්ධනයේ අරුණලු වැටෙමින් පවතින ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රණමුරේ හා නාරංගමුව ආදි ගම්මාන වල බොහෝ පිරිසක් නූතනත්වය වැලඳ ගනිමින් සිටිති. එහෙත් තවමත් පැරණි ක්‍රමවේද ඔස්සේ සරල ජිවිකා ගෙවන්නන් රණමුරේ හා නාරංගමුව ගම් වල සොයා ගැනීම අපහසු නැත.
වසරේ කන්න දෙකක් කුඹුරු ගොවිතැනින් දිවි සරිකර ගන්නා මේ ගැමියන් අතර මැදි කන්නයක හේන් වගා සිදු කරති. වසර මුළුල්ලේ නොනැවති ගලා බසින දිය කදුරු මේ මිනිසුන්ට මහත් අස්වැසිල්ලකි. හේනේ කුරක්කන්, බඩඉරිගු, මුං, තල, මිරිස්, වට්ටක්කා, වැටකොළු ආදී බොහෝ දෑ ඔවුහු වගා කරති.
පැරැන්නන් විසින් ආරක්ෂා කරගෙන ආ විවිධ ශාන්තිකර්ම මෙන්ම විවිධ ඇදහිලි ක්‍රම අදටත් ලග්ගල ගැමියා තුළින් දැකගත හැකිය. මේ ගැමියන්ගේ ආහාර මෙන්ම බීජ කල් තබා ගන්නා ක්‍රමවේද ගැන දැනුවත් කිරීම මෙහි අරමුණයි.
ඉපැරණි ශිෂ්ටාචාරයකට උරුමකම් කියන පැරණි ගැමියන් විසින් සරල මෙන්ම විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ බීජ කල්තබා ගැනීම් සිදුකර ඇති බවට ඉතිහාසයෙන් බොහෝ සාක්ෂි සපයාගත හැකිය.
අස්වනු නෙළා නිවසට රැගෙන ආපසු එ්වා එක්වර ආහාරයට නොගන්නා ගැමියා ඉන් කොටසක් දෙවියන් බුදුන් උදෙසා පුද කරනු ලබති. ලග්ගල එය හඳුන්වනු ලබන්නේ ‘අඩුක්කු පිදීම‘ යනුවෙනි. ගමේ එක ස්ථානයකට එක්වන ගැමියන් සිය අස්වැන්නෙන් කොටසක් රැගෙන එනු ලබයි.
එකම තැනක හිඳ එක්ව පිළියෙල කර ගන්නා දේ දානය අඩුක්කු පිදීම ලෙස ලග්ගල ගැමියා හඳුන්වනු ලබයි. සනුහරේ නෑ යකුන් පිදීම, බණ්ඩාර දෙවියන් හෙවත් රාවණා දෙවියන් පිදීම මෙහිදී සිදු කරනු ලබයි. වදුරු වසංගත වලින් ගම්මාන ආරක්ෂා කර ගැනීම මෙන්ම වන සතුන්ගෙන් වන උවදුරු නැති කර ගැනීම අඩුක්කු පිදීමේ අරමුණ වෙයි.
වැසි සමය ළංවන්නට පෙර හේනෙන් ගෙනා ධාන්‍ය වියළා ආරක්ෂා කර ගැනිම මෙන්ම වැඩි කොටස් අලෙවි කර නිවෙස්වලට අවශ්‍ය බඩුමුට්ටු රැගෙන ඒම වැනි කටයුතු ගමියන් විසින් සිදු
අහාර කල්තබා ගැනීම සේම බීජ කල් තබා ගැනීම ලග්ගල ගැමියා විසින් නිවැරදි ලෙසටම ඉටු කරනු ලබයි.ඊට හේතුව වී ඇත්තේ ඊළඟ කන්නය සඳහා අවශ්‍ය බීජ තමන් විසින්ම සකසා ගැනීම සිදු කළ යුතු බැවිනි. දර ළිපට උඩින් සැකසු දුම් මැස්ස තට්ටු තුනකින් අතීතයේ පැවති බව ලග්ගල ගැමියන් අපට කීවේය.
නිතර දැල්වෙන ළිපේ දුම්මැස්සේ පළමු තට්ටුවේ දඩමස් දමන අතර දෙවැනි තට්ටුවේ ඇත්තේ ගොඩගසා ඇති අතර අවස්ථා තට්ටුවේ ලබන කන්නට ගැනීමට වියළෙන ධාන්‍ය වර්ග පවතියි.
කාලයේ ඇවෑමෙන් එවැනි දුම් මැසි ලග්ගල ඇත්තේ බොහෝ කලාතුරකින් බව ද වත්මනේ ලග්ගල වැසියෝ අපත් සමඟ කියා සිටියේය. වසර ගණනාවක් ගතවෙත්ම පරිවර්තනීය යුගයක් පසුකරමින් සිටින ලග්ගල ගැමියාගේ පැරණි ක්‍රමවේද ක්‍රමිකව වියැකී ගියද තවමත් ඉන් කොටසක් හෝ පවත්වා ගැනීමට නූතන පරම්පරාව පියවර ගැනීම ද සතුටට කරැණකි.
හේනෙන් ගෙනා සිය අස්වැන්න මිදුලේ කිහිපවරක් වේළා නිවසේ වියළි ස්ථානයක ගැටගසා තැබෙන මේ ධාන්‍ය වර්ග වලින් ඔවූහු එළඹෙන කන්නයට බීජ සකසා ගනිති.
ඉතිරිය පවුලේ ආහාර අවශ්‍යතාවන්ට යොදා ගනිති. ලග්ගල පැරැන්නන් කියා සිටියේ පැරණි ක්‍රමවේද ඔස්සේ අද වන විට හේන් ගොවිතැන් කිරීම දුෂ්කර කාර්යයක් බවට පත්වී ඇති බවයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නීති රීති ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා බව ද ඔවුහු කියා සිටියහ.
කැළෑ එළි පෙහෙලි කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් බවට පත්වීමත් සමඟ තමන්ට හිමි භූමි වල පමණක් වගා කටයුතු සිදු කිරීමට ගොවීහු මේ වන විට පෙලඹී සිටිති. කෙසේ වෙතත් නකල්ස් අධි සංවේදි පරිසර පද්ධතියේ සිට ඈත් වන්නට පිහිටි භූමිවල එවැනි නීතියක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ලග්ගල ගැමියා තුළ විරෝධයක් ද නොපවතියි.
ඊට හේතුව වී ඇත්තේ වර්තමානය වන විට ජනයාගේ අවශ්‍යතා වැඩිවීම මෙන්ම යැපුම් කෘෂිකර්මාන්තය වාණිජ මට්ටමට පැමිණ තිබීම ආදී කරුණු ගණනාවක් අද වන විට ලග්ගල ගැමියා වටහාගෙන ඇති බැවිනි.
වසර ගණනාවකට පෙර ලග්ගල ගම්මාන රැසක ජනයා එනසාල් වගාවන්ට නැඹුරු වී සිටි බවත් පසුකාලීනව එනසාල් වගා කළ භූමි රජයට පවරා ගැනීමත් සමඟ ලග්ගල ගැමියන් විවිධ වගා කටයුතු සිදු කළ බව අපට කීවේ දුම්බර මිතුරෝ පරිසර සංවිධානයයි. එහි සභාපති ආනන්ද කණහැරආරච්චිට අනුව සාම්ප්‍රදායික ගැමි ජිවන රටාවන්ට හුරුවූ ලග්ගල ගැමියා වනාහි ඓතිහාසික ජන මුලාශ්‍ර රැසක් සඟවාගත් පිරිසකි.
ඓතිහාසික රාවණ පුවතට මෙන්ම කුවේණියගේ නෑ පරපුරට නෑකම් කියන ලග්ගල ගැමියා පිළිබඳ පර්යේෂණ රැසක් සිදුකිරීමට නියමිත බව ද හෙතෙම කියා සිටියේය.
වසර පන්දහසකට වැඩි ඉතිහාසයක සිට පැවැත එන පිරිසක් යැයි හඳුන්වනු ලබන ලග්ගල ගැමියා මෙන්ම ඔවුනගේ ජීවන රටාවන් පිළිබද වෙනමම අධ්‍යයනයක් සිදු කළ යුතු බව ද ආනන්ද කනහැර ආරච්චි කියා සිටියේය.
වසරේ එක් සමයකට සීමාවන සියඹලා, දෙහි මෙන්ම අල වර්ග ද ලග්ගල ජනයා කල් තබාගත් ආහාර වර්ග අතරින් කිහිපයකි. සියඹලා ලුණු වල දමා අසුරා තබා ගැනීම, දෙහි සීතල සහිත ස්ථාන වල වළලා තැබීම, ලුණු දෙහි දැමීම, අල වර්ග පොළවේ වළලා තැබීම, දෙල්, කොස් වැනි ගෙඩි විශේෂ කපා පවනේ හෝ දුමේ වේලා තබා ගැනීම වැනි කාරණා අදටත් ලග්ගල ගැමියන් තුළින් දැකගත හැකිය.
ශීතකරණ හෝ වෙනත් නූතන කල් තබාගන්නා ක්‍රමවේද නැති සමයේ මස් හෝ මාළු වර්ග ද සති ගණනක් නරක් නොවී තබා ගැනීම සඳහා ලග්ගල ගැමියා භාවිත කළ ක්‍රම කිහිපයකි.
මාළු හා මස් වියළා තබාගැනීම, ලුණුවල දවටා කෙසෙල් හෝ කොළපත් (පුවක් කොළ) වල අසුරා තැබීම, තම්බා ලුණු දමා තබා ගැනීම වැනි ක්‍රම ඔවුන් භාවිත කර තිබේ.
අද වනවිට ද ලග්ගල බොහෝ ගැමියන් මේ ක්‍රමවේද එකක් දෙකක් හෝ කිහිපයක් අනුගමනය කරන අතර එවා තුළින් අදටත් පැරන්නන් විසින් ආරක්ෂා කරගෙන ආ ආහාර මෙන්ම බීජ කල්තබා ගත් ආකාරය ඔවුහු ඉදිරියටම රැගෙන යති.