
දෙහිවල සත්වෝද්‍යානය, පිළියන්දල කහපොළ ප්‍රදේශයට රැගෙන යෑමේ පුවතක් පසුගියදා මාධ්‍ය ඔස්සේ පළ විය. පසුගිය 20 වැනිදා ජාතික සත්වෝද්‍යාන සහ උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සමඟ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැත්වූ සාකච්ඡාවකදී මෙම අදහස ඉදිරිපත්වී තිබේ.
දෙහිවල සත්වෝද්‍යානයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චිට උපදෙස් දී ඇති අතර දෙහිවල පිහිටි සත්වෝද්‍යානය පිළියන්දල කහපොළට රැගෙන යෑමට හේතු ලෙස මෙහිදී පෙන්වා දී තිබෙන්නේ වඩාත් ඉඩකඩ ඇති භූමි ප්‍රදේශයක සත්වෝද්‍යානය ඉදි කිරීමෙන් සතුන්ට යහපතක් සිදු වන බවයි. සතුන් කූඩු කර නැරඹීමේ ක්‍රමවේදය වර්තමානයේ යල් පැන ගිය ක්‍රමවේදයක් බැවින් නවීන ලෝකයට ගැළපෙන පරිදි සකස් කිරීම අත්‍යවශ්‍ය බවත් එය සත්ව හිංසනයක් සිදු නොවන ආකාරයෙන් සිදු කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දල කහපොළට රැගෙන යෑමට, විරෝධය පාමින් එහි සේවක සේවිකාවන් 26 වැනි බදාදා දහවල් කෑම පැයෙන් පැය ½ කදී නිහඬ විරෝධයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි. එහෙත් එය අත්හිටුවනු ලැබුවේ සංචාරක අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි විසින් කහපොළට රැගෙන යෑම අමාත්‍යවරයා යෝජනාවක් වශයෙන් පැවසුවද එය තවමත් ස්ථිර අදහසක් වී නොමැති බව සේවක සේවිකාවන්ට දැනුම් දුන් නිසා ය. අගෝස්තු 31 වැනි දින (හෙට දින) දෙහිවල සත්වෝද්‍යානයේ වෘත්තීය සමිති නායකයන් මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
ජාතික සත්වෝද්‍යානය දෙහිවල ස්ථාපිත කර වසර 84 ක් ගත වී ඇත. මෙහි වපසරිය අක්කර 23 කි. මුලින් ම සත්ව කූඩු යටතේ සතුන් රඳවා තැබූවද අද වනවිට ‘සත්ව අරණ’ යන සංකල්පය ක්‍රියාත්මක වන්නේ සත්ව කූඩු සංකල්පය පැරණි සංකල්පයක් වන බැවිනි. 1982 ට පෙර මෙය වනජීවී අමාත්‍යාංශයට අයත් වුව ද එතැන් සිට ජාතික සත්වෝද්‍යාන පනත යටතේ දෙපාර්තමේන්තුව ස්ථාපිත කෙරිණි. වර්තමානයේ ජාතික සත්වෝද්‍යාන සහ උද්භිද උද්‍යාන අයත් වන්නේ සංචාරක අමාත්‍යාංශයටයි. මේ වනවිට ජාතික සත්වෝද්‍යානය දෙහිවලට පමණක් සීමා වී නැත. පින්නවල වාගොල්ල, හම්බන්තොට රිදීගම සෆාරි උද්‍යානය සහ හොරණ ගෝනපොළ ගොවිපොළ දක්වා මෙය පුළුල් වී තිබේ. ජාතික සත්වෝද්‍යානයක් පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ විනෝදාස්වාදයයි. එසේ වුව ද ඊට පරිබාහිර අරමුණු කීපයක් ද මෙමගින් අපේක්ෂිතය. අධ්‍යාපනික දැනුම ලබාදීම, පර්යේෂණ කටයුතු සහ සතුන් අභිජනනය කිරීම එවැනි අරමුණු කීපයකි. එහෙත් මේ වනවිට සංවෘත සංවෝද්යාන කෙරෙහි පක්ෂ මෙන් ම විපක්ෂ අදහස් ද මතු වී තිබේ. බොහෝ දෙනෙකුගෙන් එල්ලවන විරෝධතාව වනුයේ සතුන් කූඩු කර සිටීමෙන් සත්ව හිංසනයක් වන බව ය. වැඩි ඉඩකඩ සහිත භූමියක ‘සත්ව අරණ’ සංකල්පය යටතේ සත්වෝද්‍යාන ඉදි කිරීමට පියවර ගනු ලැබුවේ එබැවිනි. නව සංචාරක අමාත්‍යවරයා පිළියන්දල කහපොළට ජාතික සත්වෝද්‍යානය රැගෙන යෑමට අදහස් කළේ එම නිසා විය යුතු ය.
“ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ දෙහිවල සත්වෝද්‍යානය, රිදීගම සෆාරි උද්‍යානය සහ පින්නවල වාගොල්ල සත්වෝද්‍යානය තිබෙනවා. මෙම සත්වෝද්‍යානවල නවතා දමා තිබෙන ඉදිකිරීම් යළි ආරම්භ කරලා මේවා දියුණු කර ගන්නේ නැතිව අලුතින් ම ස්ථානයක් පටන් ගැනීම අපරාධයක් හැටියටයි අපි නම් දකින්නේ. අලුත් තැනක් හදනවා කියන්නේ කොයි තරම් ලොකු වියදමක් ද? රටේ සල්ලි නාස්ති වෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රටේ මුදල්, ජාතික ධනය නාස්ති වීම වැළැක්වීමට පියවර ගනිද්දී මේ වගේ වෙලාවක අලුත් ඉදිකිරීමකට අත ගහන එක සුදුසු නැහැ. දෙහිවල සත්වෝද්‍යානයේ අඩුපාඩු තිබෙනවා. ඒ අඩුපාඩු පෙන්වා දෙන්න අපි සූදානම්. අපි කැමැතියි නව අමාත්‍යතුමා දෙහිවල සත්වෝද්‍යානයේ සංචාරයකට සහභාගි වෙනවා නම්” යනුවෙන් දෙහිවල සත්වෝද්‍යානය කහපොළට රැගෙන යෑමට එරෙහිව අදහස් පළ කළේ ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යානයේ පොදුජන සේවක සංගමයේ සභාපති ක්‍රිෂාන්ත ක්රිස්ටෝපර්ය.
දෙහිවල සත්වෝද්‍යානයේ භූමි ප්‍රමාණය අක්කර 23 කි. පිළියන්දල කහපොළ භූමි ප්‍රමාණය අක්කර 72 කි. අක්කර 23 ට වඩා 72 විශාල බව අපි දනිමු. මාගේ මතකයේ හැටියට පින්නවල වාගොල්ලේ සත්වෝද්‍යානයේ භූමි ප්‍රමාණය අක්කර 50 කි. එහෙත් හම්බන්තොට රිදීගම සෆාරි උද්‍යානයේ වපසරිය අක්කර 500 කි.
අක්කර 72 ට වඩා 500 විශාල බව ද අප විසින් පිළිගත යුතු ය. සතුන්ට නිදහස භුක්ති විඳිමින් ජීවත් වීමට රිදීගම සෆාරි උද්‍යානය තිබියදී තවත් උද්‍යානයකට අත ගැසීමේ දැඩි අවශ්‍යතාවක් පැන නඟින්නේ නැති බව අපගේ අදහස ය. අනෙක, අධ්‍යාපනික හා පර්යේෂණ කටයුතු සඳහා පැමිණෙන අයට දුම්රියෙන් හෝ බස් රියෙන් පැමිණීමේ පහසුව තිබෙන්නේ දෙහිවල ජාතික සත්වෝද්යානයටය. මෙහිදී නරඹන්නන්ගේත් දැනුම රැස් කරන්නන්ගේත් ප්‍රවාහන පහසුකම් කෙරෙහිද අවධානය යොමු කිරීම වටී.
සාමාන්‍යයෙන් සංවෘත සත්වෝද්‍යාන මගින් සතුන්ගේ නිදහස සීමා වන බවට චෝදනා කළ ද ඉන් සැලසෙන වාසි කීපයක් කෙරෙහි සත්ව විද්‍යාඥයන් අවධානය යොමු කරන්නේ ඕනෑම දෙයක හොඳ - නරක, වාසි - අවාසි තිබෙන බව අපට සිහිපත් කරමිනි. වනාන්තරයේ ජීවත් වන සතුන් විලෝපිතයන්ට ගොදුරුවීමේ දැඩි අවදානමක් පැවතුන ද සත්වෝද්‍යාන තුළ ජීවත්වන සතුන්ට එවැනි අනතුරු නොමැති වීම හේතුවෙන් මෙම සත්වයන්ගේ ආයු කාලය වැඩිවීම එක් යහපත් කරුණකි. වනාන්තර තුළ සිටින ඇතැම් සතුන් වඳ වී යෑමේ තර්ජනයට ලක් වුව ද සත්වෝද්‍යාන තුළ සිටින සතුන් අභිජනන ක්‍රියාවලිය මගින් බෝකර ආරක්ෂා කර ගැනීමට හැකි වීම තවත් වාසිදායක කාරණයක් ලෙස දැක්විය හැකි ය.
ඇතැම් සතුන් සත්වෝද්‍යාන තුළ නොසිට වනාන්තර තුළ ජීවත්වූයේ නම් මරණයට පත්වී මුළුමනින් ම වඳවී යා හැකිය. එමෙන් ම විවිධ පර්යේෂණ හා අධ්‍යාපනික කටයුතු සඳහා පැමිණෙන අයට සත්ව චර්යාවන් නිරීක්ෂණය කර ගැනීමට සත්වෝද්‍යාන තුළ සිටින සතුන්ගෙන් මහත් පිටිවහලක් ලැබෙනු ඇත. වනයේ සිටින සතුන්ට සමීප වී නිරීක්ෂණය කළ නොහැකි වූවත් සත්වෝද්‍යාන තුළ දිවි ගෙවෙන සතුන්ගේ සමීපයට ගොස් නිරීක්ෂණය කළ හැකිවීම එම වාසියයි.
මේ අනුව සංවෘත සත්වෝද්‍යාන යන සංකල්පය මුළුමනින්ම බැහැර කළ යුතු නැත. එහෙත් වර්තමානයේ දී බොහෝ සත්වෝද්‍යාන පවත්වාගෙන යනු ලබන්නේ විනෝද සහ ක්‍රීඩා කටයුතු විෂය මූලික කර ගනිමිනි. එබැවින් බලධාරීන් ගේ ප්‍රමුඛ අරමුණ වී තිබෙන්නේ ප්‍රදර්ශන මගින් මුදල් ඉපයීම සහ ලාභය තර කර ගැනීමය.
ජෛව සංරක්ෂණය උදෙසා ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ හිමිවී තිබෙන්නේ අවැදගත් ස්ථානයකි. එම නිසාම ‘සත්ව අරණ’ සංකල්පය යටතේ වුව ද සතුන්ට නොගැළපෙන සීමිත ඉඩකඩ වෙන් කර තැබීම, සතුන් අධික ප්‍රමාණයක් ගාල් කිරීම සහ සත්ව භාරකරුවන්ට විධිමත් ආකාරයට නිසි අධ්‍යාපනයක් ලබා නොදීම හේතුවෙන් ඔවුන් සතුන් කෙරෙහි දක්වන නොසැලකිල්ල වැනි අඩුපාඩු රැසක් සත්වෝද්‍යාන තුළ දැකගත හැකි ය.
නව අමාත්‍යවරයා මෙවැනි අඩුපාඩු කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් එය ඉතා වැදගත් වනු ඇත. සත්වෝද්‍යානයක් යනු තවදුරටත් සතුන් කොටු කර තබා ගනිමින් විනෝදය සඳහා මුදල් උපයා ගන්නා මධ්‍යස්ථානයක් නොවන බව අවබෝධ කර ගත යුතු ය. එමෙන් ම සත්වෝද්‍යාන තුළ සැබෑ ලෙසම සත්ව සංරක්ෂණයක් සිදු විය යුතු බව ද සිහි තබා ගැනීම වටී. මෙය බලධාරීන්ට අවධාරණය කරදීම ප්‍රථමයෙන් ම සිදු කළ යුතු කාර්යයකි.
මීට අමතරව දෙහිවල සත්වෝද්‍යානයේ ලංකාවට ආවේණික දිවියන් නැත. මේ වනවිට දිවියන්ගේ කූඩු හිස්ව පවතී. ඔටුවෝ නැත. චීටා සතුන් ද නැත. සත්වෝද්‍යානය මාරු කිරීමට පෙර එහි අඩුපාඩු සම්පූර්ණ කර ගැනීම වඩා වැදගත් පියවරක් වශයෙන් සඳහන් කළ හැකි ය.
“ජාතික සත්වෝද්‍යාන සංචාරක අමාත්‍යාංශයෙන් ඉවත් කරලා වනජීවී අමාත්‍යාංශයට පවරනවා නම් හුඟක් හොඳයි. කෝච්චිය යන්න ඕනේ රේල් පාරෙ මිසක් බස් පාරේ නෙමෙයිනේ. කහපොළට ගෙන යෑම සම්බන්ධයෙන් අපේ අකමැත්ත ප්‍රකාශ කරලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලිඛිතව දන්වා තිබෙනවා. විෂය භාර අමාත්‍යවරයාටත් යැව්වා. අගෝස්තු 21 දාතමින් අපි යැවූ ලියුමට අමාත්‍යාංශ ලේකම්ගේ දැනුම් දීම මත අතිරේක ලේකම්වරයාගේ අත්සනින් අපිට පිළිතුරක් ලැබුණා. එහි සඳහන් වුණේ දෙහිවලින් කහපොළට රැගෙන යෑම ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව. ඒ අය මෙතෙක් කියලා තිබුණු නිසා අපිත් අපේ නිහඬ විරෝධය තාවකාලිකව නැවැත්තුවා. ඇත්තටම අපි වර්ජනයකට නොගිහින් නිහඬ විරෝධයකට යන්න තීරණය කළේත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිසා. එතුමා රට භාර ගත්ත ගමන් අපි වර්ජනය කරන්න හොඳ නැහැනේ. හෙට අමාත්‍යවරයා හම්බවෙන්න යනවානේ. සාකච්ඡාව සාර්ථක වෙයි කියලා අපි විශ්වාස කරනවා” යනුවෙන් ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යානයේ පොදුජන සේවක සංගමයේ සභාපති ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝපර් සඳහන් කළේය.
ලංකාවේ සත්වෝද්‍යාන වැඩි දියුණු කළ යුතුය. වෙනස්කම් සිදු කළ යුතු ය. එහෙත් කොරෝනා වසංගතය හේතුවෙන් අඩපණ වූ ආර්ථිකයක් ඇති අපේ රටේ මෙය ඊට සුදුසු කාලය දැයි විචාර බුද්ධියෙන් විමසා බැලීම වටී.