
ජීවිතයේ අවිනිශ්චිත භාවය පිළිබඳ නිදසුන් ඕනෑතරම් තිබුණද හිතවතකුට අවසන් ගෞරව දක්වන්නට ගිය ගමන තමන්ගේද අවසන් ගමන වෙතැයි එම ඉරණමට මුහුණ දුන් කිසිවකු සිහිනෙනුදු නොසිතන්නට ඇත. පසුගිය 22 වැනිදා එවැනි අවාසනාවන්ත ඉරණමක් සනිටුහන් කළ දිනයකි. එදින ප්‍රදේශ 3කදී සිදුවූ මාරක රිය අනතුරු 3කින් 8 දෙනකුට දිවි අහිමි වූ අතර 10 දෙනකු තුවාල ලැබීය. කුරුණෑගල- කොළඹ ප්‍රධාන මාර්ගයේ අලව්වේදී මෝටර් රියක් ටිපරයක ගැටීමෙන් 5 දෙනකු මරුමුවට පත්වූ අතර එදිනම ඇල්ල වැල්වාය මාර්ගයේ රාවණා දිය ඇල්ල අසලදී වෑන් රියක් ප්‍රපාතයට වැටීමෙන් තිදෙනකු මරුමුවට පත්වී තිදෙනකු තුවාල ලැබීය. එදිනම තලාව තඹුත්තේගම ප්‍රධාන මාර්ගයේ පයින්ඩිකුලමේදී කැබ් රියක් දුම්රියේ ගැටී 7 දෙනකු බරපතළ තුවාල ලැබීය.
ඒ අතරින් කුරුණෑගල කොළඹ මාර්ගයේ අලව්ව වළකුඹුර ප්‍රදේශයේදී අලුයම හතරට පමණ මෝටර් රථයක් සහ ටිපර් රථයක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ මාරක අනතුරින් දිවි අහිමි වූ පුද්ගලයන් 5 දෙනාම වයස අවුරුදු 30ට අඩු තරුණයන් වීම දැඩි ඛේදනීය තත්ත්වයකි. එම තරුණයන්ගෙන් තිදෙනකු පෞද්ගලික ඉදිකිරීම් සමාගමක මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ වදාකඩ කොටසේ සේවය කළ මිණුම් සහායකයවරුන් වන අතර එක් තරුණයකු එම සමාගමේම රියැදුරකු ලෙස සේවය කරමින් සිටි අයෙකි. අනෙක් තරුණයා ඇඟළුම් කම්හලක සේවය කරමින් සිටි අයෙකි. ඔවුහු 21 වැනිදා රාත්‍රියේ මිතුරකුගේ පියකුගේ අවමඟුලට සහභාගී වීම සඳහා වරකාපොල ප්‍රදේශයට ගොස් නැවත පැමිණෙමින් සිටියදී එම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබේ. එලෙස අවාසනාවන්ත ලෙස දිවි සැරිය නිමා කළේ පුත්තලම කොට්ටුකච්චිය මැල්ලන්කුලමේ පදිංචිව සිටි වර්ණකුලසූරියගේ තාරුක අදීෂ පෙරේරා(22), වැලිමඩ අඹගස්දෝව නිකඅත්තනගොඩ පදිංචිව සිටි මල්ලවආරච්චිගේ ශ්‍රීමාල් මනෝජ්(26), කෑගල්ල නෙළුන්දෙණිය උඩුකුඹුරේ පදිංචිව සිටි දිල්ෂාන් ජයසංක(23)යන මිනුම් සහායකයන් තිදෙනා, එම සමාගමේම රියදුරකු ලෙස සේවය කළ ඉබ්බාගමුව වඩුපොල සුනිල් පතිරණලාගේ මිහිර සචිත්‍ර පතිරණ(29) සහ ඇඟළුම් කම්හලක සේවය කළ ඉබ්බාගමුවේ පන්නල වීරකෝන් මුදියන්සේලාගේ චරිත කෞශල්‍ය මධුෂාන් (24)යන අයය. චරිත මධුෂාන් මෙම ගමනට එක්වී ඇත්තේ ඔහුගේ මිතුරා වන මිහිර සචිත්රගේ ඉල්ලීමටය. අනතුරට ලක්වූ ඔවුන් ගමන් ගත් මරුටි වර්ගයේ මෝටර් රථය ද මිහිරට අයත් වූවක් වන අතර රිය පදවා ඇත්තේ ද ඔහු විසින් බව අනාවරණය වී තිබේ.
රියැදුරුට නින්ද යෑම හේතුවෙන් එම මාරක අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැක කරයි. වැලි පිරවූ ටිපර් රථය මාර්ගයේ නියමිත දෙසින් ධාවනය වී ඇති බවත් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථය මාර්ගයේ දකුණු පසට ධාවනය වී රිපර් රථය සමඟ මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුවී තිබේ. ටිපර් රථයේ රියැදුරු යටියන්තොට ප්‍රදේශයේ පදිංචි නිහාල් පුෂ්පකුමාර ජයසේන පොලිසියට කර ඇති ප්‍රකාශය අනුව ඔහු මඩකලපුවේ සිට වැලි රැගෙන කොළඹ දෙසට රිය ධාවනය කරමින් සිටියදී අනතුරට පත්වූ මෝටර් රථය විදුලි පහන් අවලෝකනය නොකර වේගයෙන් ඉදිරියට පැමිණ තිබේ. එය දුටු වහාම ඔහු ටිපර් රථය නවතා ඇතත් මෝටර් රථය විශාල ශබ්දයක් නඟමින් ටිපර් රථයේ ගැටී ඇත.
![]() |
රාවණා දිය ඇල්ල අසලදී ප්‍රපාතයට
පෙරළුණු වෑන් රථය
|
තරුණ ජීවිත 5ක් අකාලයේ රටට අහිමි කළ ඒ මාරක අනතුර එසේ සිදුවද්දී එදිනම උදෑසන 6ට පමණ තවත් මාරක අනතුරක් ඇල්ල වැල්ලවාය ප්‍රදේශයේදී සිදු විය. ඒ, ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට නුදුරින් පිහිටි වංගුවක් ආසන්නයේදී වෑන් රියක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ දුරක් ප්‍රපාතයට පෙරළී යෑම නිසා එම වෑන් රථයේ ගමන් ගත් තිදෙනකු ජීවිතක්ෂයට පත්වී තවත් තිදෙනකු තුවාල ලැබීමෙනි. ලංකා විදුලි බල මණ්ඩලයේ බදුල්ල ශාඛාවේ තැණීම් අංශයේ සේවය කළ විදුලි අධිකාරිවරුන් දෙදෙනකු සහ ඔවුන් ගමන් ගත් කුලී පදනම යටතේ ලබාගෙන තිබූ වෑන් රථයේ රියදුරු එසේ ජීවිතක්ෂයට පත්විය. ඒ අනුව එම අනතුර නිසා දිවි අහිමි වූයේ පස්සර මාඔස්සාගොල්ලේ පදිංචිව සිටි ඩබ්. එම්. සුබසිංහ හා ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ටී.ජී. උදය කුමාර යන විදුලි අධිකාරිවරු දෙදෙනාට සහ වෑන් රථයේ රියදුරු බදුල්ලේ අළුගොල්ලේ පදිංචිව සිටි ඒ. එම්. විමලසේන යන අයටය. අනතුර හේතුවෙන් හිසට බරපතළ තැලීම් සිදුවූ විදුලි අධිකාරි ආර්.එම්. දිල්හාන් වැල්ලවාය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර සුළු තුවාල ලැබූ ලලිත් ප්‍රසන්න සහ අජිත් පුෂ්පකුමාර යන විදුලි අධිකාරිවරුන් දෙදෙනා බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබයි.
එම විදුලි අධිකාරිවරු පස්දෙනා පෙරදින රාත්‍රියේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි හිතවත් විදුලි අධිකාරිවරයකුගේ ඥාතියකුගේ අවමඟුල් අවස්ථාවකට සහභාගි වීමට ගොස් ඇති අතර 22 වැනිදා උදෑසන ආපසු එමින් සිටියදී වෑන් රථයේ රියැදුරුට නින්ද යෑම හේතුවෙන් උදෑසන 6.25ට පමණ එම අනතුර සිදුවී තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක් පමණ බෑවුමකට වැටුණු රථය ගසක වැදීමෙන් නැවතී ඇති බවත් එසේ නොවන්නට තවත් අඩි 3000කට වඩා වැඩි බෑවුමකට රථය වැටීමට ඉඩ තිබූ බව ද පොලිසිය පවසයි.
22 වැනිදා අලුයම 3ට පමණ තලාව තඹුත්තේගම ප්‍රධාන මාර්ගයේ පයින්ඩිකුලම ප්‍රදේශයට පිවිසෙන දුම්රිය හරස් මාර්ගයේ ඔස්සේ ධාවනය වූ කැබ් රථයක් මන්නාරම සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ දුම්රියක ගැටීමෙන් තවත් අනතුරක් සිදු විය. ඒ හේතුවෙන් කැබ් රථයේ ගමන් ගත් හත් දෙනකු බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබුවන් ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් පස්දෙනකු තලාව ප්‍රදේශයේ ඥාතියකුගේ නිවසේ පැවති සාදයකට සහභාගි වී එහි සිටි තවත් ඥාතීන් දෙදෙනකු ද සමඟ ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ. තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනකු ද වේ.
![]() |
පයින්ඩිකුලම දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටුණු කැබ් රථය
|
22 වැනිදා සිදුවූ එම මාරක රිය අනතුරුවලට අමතරව 23 වැනිදා රාත්‍රී 8.30ට පමණ මහනුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලගෙදර මඩවල බෑවුමේදී මෝටර් රථ දෙකක් හා කන්ටේනර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනකු මරුමුවට පත්ව තවත් පස් දෙනකු තුවාල ලබා තිබේ. අනතුර සිදුව ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ සිට කුරුණෑගල දෙසට සාදික්කා තොගයත් රැගෙන ගමන් ගනිමින් තිබූ කන්ටේනර් රථයක් මඩවල බෑවුමේදී මෝටර් රථයක ගැටී ඉදිරියට ධාවනය වෙමින් තවත් මෝටර් රථයක ගැටී ඒ මතට පෙරළීමෙනි. කන්ටේනර් රථය මුලින්ම ගැටුණු මෝටර් රථය පැදවූ කාන්තාව සහ එහි සිටි ඇගේ දියණිය තුවාල ලබා තිබේ. අනෙක් මෝටර් රථයට අනතුරින් දැඩි හානි සිදුව තිබෙන අතර එහි එකම පවුලේ මව, පියා හා දරුවන් දෙදෙනකු පැමිණ තිබේ. රිය පැදවූ පියා සහ ඔහුගේ සිඟිති දියණිය මෙම අනතුරින් මරුමුවට පත්විය. පියා ගලහ ප්‍රදේශයේ පදිංචි හෝටල් කළමනාකරුවකු වන ගලහ නිල්අඹේ පදිංචි චතුර සුරේෂ් ගණේපොල (36)වන අතර ඔහුගේ දියණිය දුලානි සෙනාලි දෙහැවිරිදිය.