සුව හමුව | සිළුමිණ

සුව හමුව

පිළිතුරු සැපයීම :- කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක

යකඩ පෙති පාවිච්චිය සුදුසුද?

ප්‍රශ්නය :- මම අවුරුදු 40ක විවාහක කාන්තාවකි. මට දැනෙන අධික තෙහෙට්ටුව සමඟ වෛද්‍යවරයාගෙන් රුධිර පරීක්ෂාවක් කර ගන්නා ලෙස උපදෙස් ලැබිණි. එම රුධිර පරීක්ෂණ වාර්තා අනුව මගේ හිමොග්ලොබින් මට්ටම 8.1 කි. ඉන්පසුව Blood picture, culture වැනි පරීක්ෂණ කීපයක් සිදු කළ අතර හිමොග්ලොබින් අඩු වීමට හේතුව මන්දපෝෂණය නොවන බව ඒවායින් කියැවිණි. නැවතත් හිමොග්ලොබින් අඩු වීමට හේතුව සොයා ගැනීම සඳහා විවිධ පරීක්ෂණ සිදු කළත් ඒවායින් විශේෂ දෙයක් සොයා ගැනීමට නොහැකි විය. සාමාන්‍ය මට්ටමේ පැවතිණි.

අවසානයේදී තැලසීමියා පරීක්ෂණයක් ද සිදු කරන ලදී. එහෙත් එවැනි රෝගයක් හඳුනා ගත හැකි වූයේ ද නැත. දැන් සියලු පරීක්ෂණ නවතා දමා හිමොග්ලොබින් වර්ධනයට යකඩ පෙති පාවිච්චි කරමි. ඔබගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි.

මෝදර - රසිකා නිමාලි සල්ගාදු

පිළිතුර :- යකඩ පෙති ගැනීම තාවකාලික පිළියමක් පමණි. ඔබේ හිමොග්ලොබින් අඩු වීමට හේතුව නියත වශයෙන් සොයා ගත යුතුය. ඔබට සිදු කළ විවිධ පරීක්ෂණවලින් රෝගයක් හඳුනා ගෙන නැති වුවත් තවදුරටත් පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය වන්නේ හිමොග්ලොබින් අඩු වීමට හේතුව නිශ්චිත වශයෙන් හඳුනා ගත යුතු නිසාය. සමහරවිට ඇට මිදුළුවල රතු රුධිරානු නිපදවීම අඩුවීම, යකඩ අවශෝෂණය අඩු වීම, අධික රුධිර වහනය වැනි හේතු නිසාද හිමොග්ලොබින් අඩු විය හැකිය. එබැවින් කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමු වී අනිවාර්යයෙන්ම හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීමට බලපාන හේතුව සොයා ගැනීම ඉතා වැදගත් වේ.

නිතරම කුද්දටි එනවා

ප්‍රශ්නය :- මම 43 හැවිරිදි විවාහක පිරිමියෙකි. මගේ කිහිලිවල සහ ඉකිලිවල නිතරම කුද්දටි හට ගනී. තුවාල කිසිවක් නැතත් කුද්දටි ඇති වේ. බෙහෙත් ගත් විට සුව වේ. නිතර නිතර කුද්දටි හට ගන්නේ ඇයි?

රදාවාන - ජගත් රෝහණ ජයරත්න

පිළිතුර :- නිතර නිතර කුද්දටි හට ගැනීම සාමාන්‍යයෙන් බැහැර කළ යුතු කාරණයක් නොවේ. තුවාලයක් නැතිවත් කුද්දටි ඇති වන්නේ නම් කුද්දටි ආශ්‍රිත රෝගි තත්ත්වයක් විය හැකිය. සමහරවිට ශරීර අභ්‍යන්තරයේ කුද්දටි ඉදිමීමක් තිබේදැයි කියා පරීක්ෂා කර බැලිය යුතුය. ඇතැම් විට වසා ග්‍රන්ථීන් ආශ්‍රිත රෝගි තත්ත්වයක් විය හැකි වුවත් ඔබ එවා ඇති විස්තර අනුව එය ද නිශ්චිතව පැවසිය නොහැකිය. එබැවින් හැකි ඉක්මණින් කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවන්න. මෙය කුමන හෝ රෝගයක ලක්ෂණයක් විය හැකි නිසා සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.

අස්ථි දිරා යන නිසා බෝනික්කකු මෙන් සිටිය යුතුද?

ප්‍රශ්නය :- මම 62 හැවිරිදි විවාහක කාන්තාවක්මි. මට ඉතා දරුණු ආකාරයට ඇදුම හා හතිය ඇත. වසර 10කට වැඩි කාලයක් මම ඇදුම රෝගයෙන් පීඩා විඳිමි. මම ඒ සඳහා රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගනිමි. මෙම ප්‍රතිකාරවලදී මට ප්‍රෙඩ්නි‍සොලෝන් ඖෂධය ලබා දී තිබුණි. කෙසේ හෝ දැන් මගේ අස්ථි දිරා ඇත. අස්ථි දිරාපත් වීම නිසා වේදනාවක් ද ඇත. අස්ථි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු හමු වූ අතර ඔහු පැවසුවේ මට ඉතා ප්‍රවේශමෙන් කාලය ගත කළ යුතු බවයි. මගේ ශරීර කූඩුව ලාම්පුවේ මැන්ටලයක් වැනි යැයි පැවසූ එම වෛද්‍යවරයා, ගමන් බිමන් යෑමේදී වාහනයේ ආසනයට කොට්ට දමාගෙන යා යුතු බව උපදෙස් දුන්නේය. මගේ අස්ථි දිරායෑමට හේතුව දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රෙඩ්නිසොලෝන් ඖෂධය ගැනීම බව වෛද්‍යවරයා පැවසීය. මම දැන් බෝනික්කකු සේ නිවසට වී කාලය ගත කරමි. ඇදුම රෝගය සහ අස්ථි දිරා යෑමෙන් පීඩා විඳින මම වෛද්‍ය උපදෙසක් බලාපොරොත්තු වෙමි.

දෑලතුර - ශ්‍රියානි ජයමාන්න

පිළිතුර :- ඔබට දී ඇති ප්‍රෙඩ්නිසොලෝන් ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධයකි. මෙම ඖෂධය දිගුකාලීනව භාවිත කිරීමේදී ඔස්ටියො­්පොරො­්සිස් ඇති විය හැකිය. ඒ සමඟම අස්ථි වේදනාව නිසා ඔස්ටියෝ ආතරයිටිස් ඇති විය හැකිය. ප්‍රෙඩ්නිසොලෝන් ඇදුම හා හතියට ලබා දෙන ඖෂධයකි. එම ඖෂධය ඔබට ලබා දී තිබෙන්නේ එබැවිනි.

ඔබේ වයස අනුව ස්වාභාවිකව අස්ථි දිරායෑමේ තත්ත්වයක් ඇති වීම ද වැළැක්විය නොහැකිය. සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ ඔසප් වීම නැවතීමත් සමඟ අස්ථි දිරායෑම ඇරඹෙයි. ඔබට අස්ථි දිරායෑම ඇති වී තිබෙන්නේ ප්‍රෙඩ්නිසොලෝන් ඖෂධය නිසා පමණක් නොව ඔබේ වියපත්භාවය නිසා ද විය හැකිය. දැන් ඔබ කළ යුතු වන්නේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමු වී ඔස්ටියෝ ආතරයිටිස් නිසා ඇති වන ගැටලුවලට ප්‍රතිකාර ගැනීමයි. ඔබ නිවසේ පුටුවක වාඩි වී බෝනික්කකු සේ නොසිටින්න. එය අස්ථි දිරායෑම තව තවත් වේගවත් කරයි. වෛද්‍ය උපදෙස් අනුව තම සීමාවන් තුළ සිටිමින් චලන ක්‍රියාවන් හී යෙදෙන්න. චලන ඉරියව් නොමැති වීමෙන් ඔබේ රෝගි තත්ත්වය තවතවත් උත්සන්න විය හැකිය.

Comments