
තේජා ගුණවර්ධන
ලංකා - චීන මිත්‍ර සංගමයේ ආරම්භක සභාපතිනිය ඇයයි
ඇගේ ජිවිත කාලය ඇතුළත ඇය දැරූ එකම තනතුර වුයේ 1974-1977 දක්වා පකිස්ථානයේ හා ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිධුරය පමණකි
මේ රටේ වාමාංශික ව්‍යාපාරය තුළ නොමැකෙන කාර්ය භාරයක් ඉටු කළ, සමාජ සාධාරණය වෙනුවෙන් නැඟී සිටි අභීත සෙන්පතිනියක වු තේජා ගුණවර්ධන වාමාංශික ව්‍යාපාරයේ මුල් කාලයේ දී වාමාංශික ව්‍යාපාරය ගොඩනැඟීම සඳහාත් ආසියා අප්‍රිකා කලාපයේ රටවල් වල අධිරාජ්‍ය විරෝධී යටත් විජිත විරෝධී අරගල වලට සහාය දැක්වීම සඳහාත් ඉටු කළ ඉමහත් කාර්ය භාරය පිළිබඳව වත්මන් පරපුරේ බොහෝ දෙනෙකුට දැනුමක් නැත.
තේජා ගැන මා පළමු වරට දැනගත්තේ වයස අවුරුදු 14ක සිසුවකු වශයෙන් ගාල්ලේ පාසැලක ඉගෙන ගන්නා කාලයේ දී තේජාට විරුද්ධව පවරා තිබු ට්‍රයින් නඩුව පිළිබඳව පළ වූ පුවත්පත් වාර්තා කියැවීමෙනි. ට්‍රයින් නමින් සතිපතා පුවත්පතක් පළ කළ තේජා මේ රටේ ප්‍රථම ලාංකික අග්‍රාණ්ඩුකාරවරයා වූ සර් ඔලිවර් ගුණතිලක මහතා එම පත් වීමට මාසයකට පෙර මුදල් ඇමතිව සිටිය දී ණය ගිවිසුමකට එළඹීමෙිදී කොමිස් මුදලක් ලබා ගැනීමෙන් සිදු කරන ලද දුෂණයක් පිළිබඳ ව ප්‍රවෘත්තියක් පළ කර තිබුණි. එම ලිපිය පළ කිරීම සම්බන්ධයෙන් තේජාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සාපරාධි අපහාසයක් සිදු කිරීම පිළිබඳ නඩුවක් පවරා තිබුණි. ලංකා අධිකරණ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අපරාධ නඩුවක් විභාගයට ගත් ප්‍රථම අවස්ථාව එයයි. එම නඩුවේ තේජා වෙනුවෙන් පෙනී සිටියේ ලෝක ප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික රාජ නීතිඥයකු වූ ඩී. එන්. ප්‍රිටිය. ප්‍රිටි බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයට එරෙහිව සටන් කළ විවිධ රටවල ජාතික නායකයන්ට විරුද්ධව පවරා තිබු නඩු ගණනාවක පෙනී සිටි විශිෂ්ට නිතීවේදියෙකි. ඔහු පෙනී සිටි නඩු අතර කීනියාවේ නිදහස් සටන මෙහෙයවු ජෝමෝ කීනියාටා ට සහ පසු කාලයේ සිංගප්පුරුවේ අගමැති වූ ලී කුවන් යූට විරුද්ධව පවරා තිබු නඩු ද වේ.
පසු කාලයේ රාජ නීතිඥ ප්‍රිටි ලියු එතුමන්ගේ අපදානයෙහි තේජා පිළිබඳව වෙනම ම පරිච්ඡේදයක් වෙන් කොට ඇත. තේජා ඉතා ඉහළ මට්ටමේ චරිත ශක්තියකින් යුත් විශිෂ්ට නායිකාවක ලෙස එහි විස්තර කොට ඇත. මේ නඩුව පැවරෙන විට තේජා වයස අවුරුදු තිස් පහක තරුණ කාන්තාවකි, තමාට මොන දඬුවමක් ලැබුණත් තමා ලියා ඇති දේ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් හෝ කනගාටුව පළ කිරීමක් නොකරන ලෙසත් එහි වචනයක් හෝ කොමාවක් පවා වෙනස් නොකරන ලෙසත් තමා කර ඇති චෝදනා අකුරටම ඔප්පු කරන ලෙසත් ඇය තමාට කියා සිටි බව ප්‍රිටි සඳහන් කරයි.
තේජාට විරුද්ධව පවරා තිබු නඩුව මේ රටේ වමේ දේශපාලන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් විය. ඒ පිළිබඳව රට පුරා ජනතාව මහත් උනන්දුවකින් බලා සිටි අතර එය එදා පැවති ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කරන ලද චෝදනා පත්‍රයක් බවට ද පත් විය. නඩුවේ තීන්දුව ලබා දෙන දවසේ අලුත්කඩේ උසාවි භූමිය පුරා දහස් ගණන් ජනතාව රැස්ව සිටි අතර, ඒ නිසා තීන්දුව දීම විනිසුරු මඩුල්ල තුන් හතර වතාවක් කල් දැමූ බව ද විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය මත තේජා නඩුවෙන් නිදහස් කරන ලද අතර නිදහස ලැබූ ඇය දහස් ගණන් ජනතාවගේ කර පිටින් අධිකරණ භූමියේ සිට පෙළපාලියකින් බැහැරට රැගෙන ගිය බවද ප්‍රිටි සඳහන් කර ඇත.
තේජා ධනවත් පවුලකට අයත් කාන්තාවකි. මානගේ පියදාස නම් වු ඇගේ පියා ලංකා ජාතික සම්මේලනයේත් මහා බෝධි සමාගමේත් බෞද්ධ පරමවිඥානාර්ථ සමාගමේත් සාමාජිකයකු විය. එළිසබෙත් පොන්වීර නම් වූ තේජාගේ මව අධ්‍යාපනඥයකු වූවාය. 1935 දී ලන්ඩන් මැටිරිකියුලේෂන් විභාගයට පෙනී සිටි තේජා ඒ සඳහා පෙනී සිටි විෂයයන් වුයේ ඉංග්‍රිසි භාෂාවල ප්‍රංස භාෂාවල ලතින් භාෂාවල භූගෝල විද්‍යාව හා ගණිතයයි. 1939 දී ඇය ලංකා විශ්වවිද්‍යාල ආයතනයෙන් ඉංග්‍රිසි භාෂාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගෙන තිබුණි. භාෂා ගණනාවක් පිළිබඳව හසළ දැනීමක් තිබු ඇය 1960 දී කියුබානු විප්ලවය පිළිබඳ හැදෑරීම සඳහාම ස්පාඤ්ඤ භාෂාව ද හදාරා තිබුණි.
සරසවි අධ්‍යාපනය නිම කිරීමෙන් පසු සමාජ ක්‍රියාකාරිනියක බවට පත් වූ ඇය 1939 සිට 1945 දක්වා ලංකා මහිලා සමිතියේ ලේකම් වශයෙන් ද 1948 සිට 1958 දක්වා මහිලා සමිතියේ උප සභාපතිනිය හා ප්‍රධාන ජාතික සංවිධායිකාව ලෙස ද කටයුතු කළාය. මහිලා සමිති ව්‍යාපාරයට ඇය කළ මෙහෙවර පිළිගැනීමක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායකගේ නිර්දේශය මත 1950 දී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් එහි පුද්ගල හුවමාරු වැඩසටහන යටතේ ග්‍රාමීය සුබසාධන, අධ්‍යාපන, සංස්කෘතික සහ සමාජ විද්‍යාත්මක ක්‍ෂේත්‍රයන්ට අදාළ අධ්‍යයන සංචාරයක් සඳහා ඇය තෝරා ගෙන තිබුණි.
ඇමරිකා අධ්‍යයන සංචාරය නිම කොට පෙරළා පැමිණි වහාම මෙරට ජනතාවගේ ප්‍රගතිය වෙනුවෙන් සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කිරීමට නම් මේ රටේ ප්‍රගතිශීලි ජනතා ව්‍යාපාරය තුළ ක්‍රියාකාරී කොටසක් රඟ පෑ යුතු බව තේජා අවබෝධ කර ගත්තාය. ශ්‍රී ලංකාවේ ජනතාව සහ සමාජවාදී රටවල් අතර මිත්‍රත්වය ඇති කරලීමත් එවක සමාජවාදී රටවල ජනතාව ලබා තිබු සුවිශේෂි ජයග්‍රහණයන් පිළිබඳව ලාංකේය ජනතාව දැනුවත් කිරීමත් සඳහා ඇය පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කළාය.
1950 දී ඇති කළ ලංකා - චීන මිත්‍ර සංගමයේ ආරම්භක සභාපතිනිය වුයේ ඇයයි. ලංකාවේ හා චීනයේ ජනතාව අතර මිත්‍රත්වය වර්ධනය කිරීම සඳහා කාලය හා මුදල් වැය කරමින් ඇය 1950 සිට 1959 දක්වා වසර 10ක් ලංකා - චීන මිත්‍ර සංගමයේ සභාපති වශයෙන් ද 1959 සිටි 1975 දක්වා තවත් වසර 16ක් උප සභාපති වශයෙන් ද කටයුතු කළාය. 1970 - 1974 දක්වා කාලය තුළ ඇය ලංකා - උතුරු වියට්නාම් මිත්‍ර සංගමයේ ද ලංකා - උතුරු කොරියා මිත්‍ර සංගමයේ ද ලංකා - කාම්බෝජ සංස්කෘතික පර්ෂදයේ ද උප සභාපතනිය වශයෙන් කටයුතු කළාය.
1952 සිට 1962 දක්වා ඇය ලංකා සාම මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළා ය. 1955 දී ඕස්ට්‍රේයාවෙි වියනා නුවර ලෝක සාම මණ්ඩලයේ කාර්යාල මණ්ඩලීය සාමාජිකාවක වශයෙන් ඇය තෝරා ගනු ලැබුවාය. ජපානයේ හිරෝෂිමා නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාර මගින් සිදු කරන ලද මහා මිනිස් ඝාතන වලට එරෙහිව 1958 - 1962 දක්වා කාලය පැවති ජාත්‍යන්තර සම්මේලන 5 කට සහභාගි වු ලාංකික නියෝජිත පිරිස් වල නායකත්වය දරන ලද්දේ ඇය විසිනි.
ඇය 1956 දී ඊජිප්තුවේ කයිරෝ නුවර පිහිටුවන ලද ආසියා - අප්‍රිකා සහයෝගිතා ලේකමි කාර්යාලයේ ආරම්භක සාමාජිකාවක වුවා ය. 1955 සිට 1958 දක්වා කාලයේ ලංකාවේ ආසියා - අප්‍රිකා සහයෝගිතා සංවිධානයේ සභාපති වුයේ ඇය යි. 1961 දී කයිරෝ නුවර පවත්වන ලද ආසියා - අප්‍රිකා කාන්තා සම්මේලනයට ඇය සහභාගි වූ අතර, 1958 -1964 කාලය තුළ ඊජිප්තුවේ ටැන්සානියාවේ හා සයිප්‍රසයේ පවත්වන ලද ආසියා - අප්‍රිකා සහයෝගිතා සම්මේලන වල දි අධිරාජ්‍යවාදයට හා යටත්විජිතවාදයට එරෙහි ආසියා - අප්‍රිකා සහයෝගිතාව ගොඩනැඟීම සඳහා වැදගත් කාර්ය භාරයක් ඉටු කළාය. කොළඹ දී පවත්වන ලද ආසියා ආර්ථික සමුළුවේ ආරම්භක රැස්වීමේත් 1963 දී කොරියාවේ පියොං යාං නුවර දී පවත්වන ලද දෙවන ආසියා ආර්ථික සමුළුවේත් මුලසුන දරන ලද්දේ ඇයයි. එසේම 1966 දී චීනයේ පීකිං නුවර පවත්වන ලද ආසියා අප්‍රිකා ලේඛක සමුළුවේදීද ඇය ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළාය. ලංකා කොමියුනිස්ට් පක්ෂයේ කාන්තා සංවිධානය වූ ලංකා කාන්තා පෙරමුණේ ද ජීවනාලිය වුයේ ඇයයි.
මට තේජා පළමු වරට මුණ ගැසුණේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පක්ෂ කණ්ඩායම නියෝජනය කරමින් ලංකා කොමියුනිස්ටි පක්ෂයේ සම්මේලනයට සහභාගී වීම සඳහා 1963 දී කොළඹට පැමිණි අවස්ථාවේදීය. ඒ චීන රුසියානු න්‍යායික මතභේද උත්සන්නව පැවති කාලයයි. ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය තුළ ඇති වූ සෑම බෙදීමකදීම ඇය ප්‍රතිපත්ති මුලික ස්ථාවරයක් දැරුවාය. ඇය සැම විටම ගත්තේ දුබලයාගේ දිළින්දාගේ සටන්කාමියාගේ නැගී එන බලවේගයන්ගේ පැත්තය. ලෝක සාමය, අධිරාජ්‍ය විරෝධී අරගල, සමාජවාදි ලෝකයේ ජයග්‍රහණ සහ සමාජවාදි කඳවුර තුළ ඇති වූ න්‍යායික මතභේද ගැන ඇය විසින් ලියන ලද පොත් රාශියක් වේ. ඇය විසින් පළ කර ඇති පොත් අතර න්‍යෂ්ටික යුද්ධ තර්ජනයට එරෙහිවල කියුබානු විප්ලවයේ විජයග්‍රහණය පිළිබඳව, කොන්ගෝවෙි ජන නායක පැට්රික් ලුමුම්බා මරා දමමින් කරන ලද අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණය ගැන, ඉන්දු - චීන සබඳතා ගැන, චීනයේ මහජන කොමියුනි ගැන, සෝවියට් දේශය තුළ සංසෝධනවාදය හිස එසවීම ගැන හා චීනයේ සංස්කෘතික විප්ලවය පිළිබඳව ලියන ලද කෘති වේ. මේ සියල්ල ඉංග්‍රිසියෙන් පළ කොට ඇති ගැඹුරු අධ්‍යයනයන් සහිත නිබන්ධයන්ය.
රටේ සාම්ප්‍රදායික නැටුම්කරුවන් ඉදිරියට ගෙන ඒමට මහත් වෙහෙසක් දැරූ ඇය ජාතික කලා පෙරමුණ පිහිටුවීමට මුලපිරුවා ය. අද හේවුඩ් කලායතනය නමින් හැඳින්වෙන පෙරදිග නැටුම් හා සංගීත විද්‍යාලය පිහිටුවීමෙහි ලා මුලිකත්වය ගත් කොමිසන් සභාවේ සමාජිකත්වය දැරූ ඇය මේරට සංස්කෘතික ජීවිතයේ සංවර්ධනයට වැදගත් මෙහෙවරක් ඉටු කළා ය. 1975 දී සිංහල හා ඉංග්‍රිසි භාෂාවලින් පළ කරන ලද රාවණා වංශයේ නැටුම් කලා පිළිබඳව ලියන ලද කොහොඹ කංකාරිය ඇගේ සංස්කෘතික හා මානව විද්‍යාත්මක ක්‍ෂෙත්‍රයන්හි 42 වසරක පර්යේෂණයන්හි මුදුන් පෙත්ත සටහන් කරයි. එය විශිෂ්ට කලා කෘතියකි.
තේජා ලංකා ඉතිහාසයේ මුල් කාලය පිළිබඳව විශාල ලෙස පර්යේෂණ කළාය. ඇගේ පර්යේෂණ බොහොමයක් පැවතුණේ අත් පිටපත් ලෙස ය. ඉතිහාසය පිළිබඳව ඇගේ ලිපි සමහරක් සඟරා වලට ලියන ලද ලිපි වශයෙන් ද සම්මන්ත්‍රණ වලදී ඉදිරිපත් කරන ලද පත්‍රිකා වශයෙන් ද එළි දැක ඇත. 1978 දී කෞතුකාගාර මානව විද්‍යා සංගම් රැස්වීමට ඇය ඉදිරිපත් කළ එක් නිබන්ධයක් වූයේ ‘ලංකාවේ ප්‍රාග් ඉතිහාස යුගයට උත්සව තුළින් විහිදෙන ආලෝකය‘ යන්නයි. 1987 දී රාජකීය ආසියාතික සංගමය හමුවේ ඇය කළ දේශනයේ තේමාව වූයේ ‘ලංකාවට බුදු දහමේ සම්ප්‍රාප්තිය පිළිබඳ කවුළු දොරක්‘ යන්නයි. සිය පර්යේෂණයන් හා අධ්‍යයන තුළින් මත ගැටුමට ලක්වන කරුණු ඉදිරිපත් කිරිමට ඇය කිසිවිටෙකත් නොපැකුළුණාය.
තුළනාත්මක සමය සමාන්තරයන් පිළිබඳව ඇය ගැඹුරු අධ්‍යයනයන් කර ඇති ඇය බොහෝ කලක් පරම විඥානාර්ථ සමාගමේ සාමාජිකාවක් ලෙස කටයුතු කළාය.
තේජා සිය ජිවිත කාලය තුළ බලය, ප්‍රසිද්ධිය හෝ තනතුරු නො සෙව්වාය. ඇය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ සිරිමාවෝ බණ්ඩාරනායක යන අගමැතිවරුන් දෙදෙනාගේ ළඟම මිතුරියක වුවාය. එහෙත් ඇගේ ජිවිත කාලය ඇතුළත ඇය දැරූ එකම තනතුර වුයේ 1974 - 1977 දක්වා පකිස්ථානයේ හා ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ධුරයයි.
ලංකාවේ වාමාංශික කාන්තා ව්‍යාපාරයේ පුරෝගාමී නායිකාවකි; විවිධ විෂයයන් පිළිබඳව පළ කරන ලද පොත් ගණනාවක කතුවරියකි; විශිෂ්ට ගණයේ ඉතිහාසඥවරියකි; තමාගේ ම උසස් තත්ත්වයේ කලා කෘති නිර්මාණය කර ඉදිරිපත් කිරීම පමණක් නොව ජනතාවගේ උන්නතියට හේතුවන උසස් මට්ටමේ කලා කෘතීන් බිහිකිරීමට වෙනත් කලාකරුවන් දෑරු උත්සාහයන්ට ද නොමසුරුව අත හිත දුන් ප්‍රතිභා පූර්ණ කලාකාරිනියකි; පුවත්පත් හා සඟරා ගණනාවක් සංස්කරණය කළ ජනමාධ්‍යවේදිනියකි; විවිධ ආගම් හා දර්ශනවාද පිළිබඳව දැනුමක් හා අවබෝධයක් තිබු කාන්තාවකි; ඕනෑම මතවාදයක් පිරික්සා බලා විමර්ශනය කිරීමට නොපැකිළුණු අභීත පර්යේෂිකාවකි.
ඉකුත් අඩ සියවස තුළ සිය සමාජ දේශපාලන ක්‍රියාකාරිත්වයෙන් තේජා ගූණවර්ධන ඉටු කළේ යුග මෙහෙවරකි.
නීතිඥ කල්‍යාණන්ද තිරාණගම