අම්බලන්ගොඩ ජනතාවගේ හද දිනූ ජනතා සේවකයා ඇල්. සී. ද සිල්වා | සිළුමිණ

අම්බලන්ගොඩ ජනතාවගේ හද දිනූ ජනතා සේවකයා ඇල්. සී. ද සිල්වා

- ඡන්ද පෙත්සමක් නිසා 1968 ඔක්තෝම්බර් මාසයේ දී එල්.සී ද සිල්වාට අධිකරණය මගින් ආසනය අහිමි කළා
- 1970 දී අම්බලන්ගොඩ ආසනයට ඉදිරිපත් වී විශාල ඡන්ද සංඛ්‍යාවකින් ආසනය දිනා ගත්තා

ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ අම්බලන්ගොඩ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇල්. සී. ද සිල්වාගේ ජන්ම ශත සංවත්සරය අගෝස්තු 31 වෙනිදා ට යෙදී තිබිණ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

1970 මහ මැතිවරණයේ දී ගාලු දිස්ත්‍රික්කයේ බලපිටිය, අම්බලන්ගොඩ, බද්දේගම ආසන සම සමාජ පක්ෂයට සහ රත්ගම ආසනය කොමිනියුට්ස්‌ පක්ෂයට අයත්‌ විය. ඒ අතුරින්‌ අම්බලන්ගොඩ මන්ත්‍රී එල්‌. සී.ද සිල්වා ජනප්‍රියම මන්ත්‍රීවරයා විය. ගාල්ල මැතිවරණ කොට්ඨාසයේ මන්ත්‍රීවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ ආචාර්ය විජයානන්ද දහනායක ද අක්මීමන හබරාදූව බෙන්තර ඇල්පිටිය සියලුම ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු විය. එවකට ගාල්ල මහ දිසාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් ය.

වතුගෙදර සුළු නගර සභාව බලපිටිය මැතිවරණ කොට්ඨාසයට අයත් වේ. වතුගෙදර පින්නදූවේ පදිංචිව සිටි එල්‌. සී. ද සිල්වා නොකඩවා වාර කිහිපයක්‌ වතුගෙදර සුළු නගර සභාවේ සභාපතිවරයා වශයෙන්‌ පත්විය. ඉන්‌ අනතුරුව 1965 දී කුල බේදය නොතකා බලපිටිය ආසනයේ ජනතාව ඔහු බලපිටිය මන්ත්‍රීවරයා වශයෙන්‌ පත්‌කර ගනු ලැබීය. රජය සමඟ කොන්ත්‍රාත්‌ පවත්වාගෙන යෑමේ හේතුව මත ඉදිරිපත් වූ ඡන්ද පෙත්සමක් නිසා 1968 ඔක්තෝම්බර් මාසයේ දී එල්.සී ද සිල්වාට අධිකරණය මගින් ආසනය අහිමි කරනු ලැබීය. 1970 දී අම්බලන්ගොඩ ආසනයට ඉදිරිපත් වී විශාල ඡන්ද සංඛ්‍යාවකින් ආසනය දිනා ගැනීමට ඒ මහතාට හැකි විය. නමුත් ‌ ජේ. ආර්‌. ජයවර්ධන ජනාධිපතිවරයා බලයට පත්වීමෙන්‌ පසුව එම නීතිය ඉවත්‌ කිරීම නිසා අද පාර්ලිමේන්තුවට පත්‌ වන මන්ත්‍රීවරුන්‌ට රජය සමඟ කොන්ත්‍රාත්‌ පවත්වාගෙන යෑමට බාධාවක්‌ නැත.

1964 දී මුදල් ඇමති ආචාර්ය එන්. එම්. පෙරේරා විසින් එල්.සී. ද සිල්වා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබීය. ඒ සඳහා ලැබෙන දීමනා පවා ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබීය. ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ සේවක මණ්ඩලය සඳහා දිනකට දෙවතාවක් තේ පානය කිරීමට ලබා දුන්නේ සේවක සුබ සාධනය ගැන උනන්දුවක් දැක්වූ නිසාය. එමෙන්ම ඒ මහතාගේ අම්බලන්ගොඩ කාර්යාලයට පැමිණෙන හැම කෙනෙකුටම කිරි තේ එකක් නම් වැරදුණේ නැත.

එල්‌. සී. ද සිල්වා මෙම ලියුම්කරුට හමුවුයේ 1969 යේ අවසානයේ දීය. අම්බලන්ගොඩ මන්ත්‍රීවරයා වශයෙන්‌ පත්‌ වීමෙන්‌ පසුව 1970 දී ඔහු සමඟ සම්බන්ධතාව වැඩි විය. ඔහු අවංක කාර්යශූර මන්ත්‍රීවරයකු මෙන්ම අවංක දානපතියකු විය. කොයි කවුරු වුවත්‌ ඉල්ලා සිටින උදව්වක්‌ කිරීමට ඔහු පසුබට වුයේ නැත. ව්‍යාපාරිකයෙක්‌ වුවත්‌ මුදල්‌ අත නොතිබුණත්‌ තමන්ගේ මෑණියන්ගෙන්‌ ඉල්ලා හෝ මුදලක්‌ දිය යුතු පුද්ගලයාට ලබා දීම ඔහුගේ සිරිතක්‌ විය. තමන්ගේ මැතිවරණ කොට්ඨාසයේ දුප්පත්‌ පුද්ගලයන්ගේ අවමංගල අවස්ථාවන්‌ හිදී මිනී පෙට්ටිය පවා ලබා දීමට ඔහු කටයුතු කළ අන්දම ඒ මේ ලියුම්කරු දනී. ඒ වකවානුවේ දී මන්ත්‍රීවරයකුගේ වැටුප රුපියල්‌ 1500.00 ක්‌ යැයි ඔහු මේ ලියුම්කරුට පවසා ඇත.

‘මට හම්බවෙන පඩිය රුපියල්‌ 1500.00යි. ඒක බන්‌ මට පැට්ට්‍රල්‌ ගහන්නත්‌ මදි. ආණ්ඩුවෙන්‌ පැට්ට්‍රල්‌ දෙනවා නම්‌ හොඳයි‘ කියා ඔහු පැවසු බව මෙම ලියුම්‌කරුට මතකය. රුපියල්‌ 1500 ක්‌ ලැබුණත්‌ ඔවුන්‌ කරනු ලැබු සේවය අද සිටින පුද්ගලයන්ට ලක්ෂ ගණනක්‌ ලැබුණත්‌ ඉටු කරනවා දැයි සිතා බැලිය යුතුය.

ඔහු හෙක්ටර්‌ කොබ්බෑකඩුව ඇමතිතුමාගේ ඉතා විශ්වාසවන්ත පුද්ගලයෙක්‌ විය. බටපොළ, අලුත්වල, අම්බලන්ගොඩ, පොල්වත්ත ප්‍රදේශ වල කෘෂිකර්ම මධ්‍යස්ථාන 03 ක්‌ ඉදි කර ලංකා බැංකු ශාඛා 03 ක්‌ විවෘත කරනු ලැබුවේ ඒ අනුවය. අම්බලන්ගොඩ පොල්වත්ත, ගෝනාපීනුවල, අලුත්වල යන ප්‍රදේශවල කුඹුරු අක්කර දහස්‌ ගණනක්‌ පුරන්‌ වී තිබුණේ කරදිය ගැලීම සහ වතුර හිඟකම නිසාය. මෙසේ තිබුණු කුඹුරු වල අයිතිකාරයන්ට ලංකා බැංකුව මගින්‌ ණය ලබා දී පුරන්‌ කුඹුරු අස්වැද්දීමට පියවර ගැනීමෙන්‌ එම පළාත්‌ වල ජනතාවගේ ආර්ථික දියුණුව ඇති කරනු ලැබීය .

මීටියාගොඩ ප්‍රදේශයේ අක්කර දහස්‌ ගණනක්‌ වසර 50කට වැඩි කලක් ප්‍රයෝජනයට ගත හැකි පිඟන්‌ මැටි ඉල්ලමක්‌ තිබෙන බව භූ විද්‍ය සමීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින්‌ සිදු කරනු ලැබූ පරීක්ෂණයක දී හෙළි කර ගනු ලැබිය. ඒ මගින්‌ මිටියාගොඩ පිඟන්‌ මැටි කර්මාන්ත ශාලාවක්‌ ආරම්භ කිරීමට හැකියාව ලැබුණේ කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමති ටී. බී. සුබසිංහගේ සමඟ තිබුණු සම්බන්ධතාව නිසාය. මෙසේ ලබා ගන්නා කිරි මැටි පිරිසිදු කර අගමැතිනියගේ උපන් ගම වන බලංගොඩ ආරම්භ කරනු ලැබූ පිඟන් කම්හලට ගෙන යනු ලැබවේ මිටියාගොඩ මැටි කම්හල මගිනි.

1971න්‌ පසුව එවකට විපක්ෂ නායක ජේ. ආර්‌. ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්‌ ප්‍රංශයට ගිය අතර එම කණ්ඩායමේ සාමාජිකයකු වශයෙන්‌ එල්‌. සී. ද සිල්වා ද එම ගමනට සහභාගි විය. 1970 යුද හමුදා සහ පොලිසියේ නිලධාරීන්‌ විසින්‌ මරා දමන ලැබු කතරගම රූපසුන්දරිය පේමාවති මනම්පේරි සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස එහි දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු සෝබෝන්‌ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක්‌ විසින්‌ පෙළපාළි ගිය බව එල්. සී. ද සිල්වා මේ ලියුම්කරු සමඟ පවසා තිබුණි. පේමාවති මනම්පේරි සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ පරීක්ෂණ කඩිනම්‌ වුයේ ඉන්‌ පසුවය.

එල්.සී. ද සිල්වාගේ දෙවන පුත්‍රයා චිත්‍රා ද සිල්වා ලංකා තුනී ලෑලි සංස්ථාවේ සේවය කරන අතරතුරදී රුමේනියාවේ වැඩිදුර අධ්‍යාපනයට ගොස්‌ සිටිය දී එල්. සී. ද සිල්වා, සිය පුත්‍රයා හමුවීමට රුමේනියාවට ගිය අතර ඔහුට පුත්‍රයා හමු වීමට සිදු වුයේ රාජ්‍ය අමුත්තකු වශයෙන්‌ ය. ශ්‍රී ලංකාවේ අගමැතිනිය ගමන්‌ කරන අවස්ථාවේ දී මාර්ග වසා තැබීම ගැන අපි විරුද්ධව කතා කළත්‌ රුමේනියාවේ ජනාධිපතිවරයා ගමන්‌ කරන විට එම ප්‍රදේශයේ සියලුම මාර්ග පැය ගණන් වසා තබන බව ද ඔහු මෙම ලියුම්කරු සමඟ පවසා ඇත. කෙසේ වෙතත්‌ එවකට බණ්ඩාරනායක අගමැතිනියට ලබා දී තිබු ආරක්ෂාව අනුව අද රාජ්‍ය නායකයන්ට ලැබෙන ආරක්ෂාව 100% ක්ම වැඩිය. එල්. සී. ද සිල්වා අම්බන්ගොඩ මන්ත්‍රීවරයා වශයෙන්‌ කටයුතු කරන කාලයේ දී හැම මාසයකටම වරක්‌ අම්බලන්ගොඩ ආසනයේ කිසියම්‌ උත්සවයක්‌ ඔහු විසින්‌ සංවිධානයක කරනු ලැබීය. ඒ හැම දිනයකදීම පැමිණෙන සියලු මැති ඇමතිවරුන්ට, රජයේ නිලධාරීන්ට රස මසවුලින්‌ යුත්‌ ආහාර වේලක්‌ සපයනුයේ එල්. සී.ද සිල්වාගේ පින්නදූව නිවසේ දී ය. බණ්ඩාරනායක අගමැතිනියගේ පවුලේ දරුවන්‌ පවා එම‌ අවස්ථාවන්ට සහභාගි වුහ.

සම සමාජ නායකයන්‌ අතර මෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියටද එල්. සී. ද සිල්වා විශ්වාසවන්ත පුද්ගලයෙක්‌ විය. මැතිනියගේ අලි ඇතුන්‌ එල්. සී. ද සිල්වා ගේ දැව කර්මාන්ත වලට ගෙන විත්‌ එම සතුන්‌ වෙනුවෙන්‌ ගෙවීම්‌ කරන විට ‘‘එල්‌ සී මෙච්චර සල්ලි“ කියමින්‌ බණ්ඩාරනායක මැතිනිය ද පුදුම වනවා යැයි ඔහු පවසන්නේ ඔහුගේ අවංකභාවය පිළිබඳවය.

1975 අවසානය වන විට එන්‌ එම්‌ පෙරේරා මුදල්‌ ඇමතිවරයා වශයෙන්‌ ධනපති පන්තියට එරෙහිව යෝජනා කරනු ලැබු බදු වලට අමතරව සමාජවාදි ගමනේ දී අම්බලම්‌ නැත යන කියමනට විරුද්ධව පීලික්ස් ඩයස්‌ බණ්ඩාරනායක ඇතුළු ධනපති කණ්ඩායම මෙහෙයවනු ලැබු අරගලයට මැතිනියද මැදිහත්‌වීම නිසා 1977 දී 6 න්‌ 05 ක බලයන්‌ සහිත රජයක්‌ පිහිටුවා ගැනීමට ජේ.ආර්‌ ජයවර්ධනට හැකියාව ලැබුණි.

එන්‌.එම්‌ කොල්වින්‌ ලෙස්ලි යන ඇමතිවරුන්‌ ඇමති තනතුර වලින්‌ ඉවත්‌ වන ලෙස අගමැතිනිය විසින්‌ බල කරනු ලැබු අවස්ථාවේ දී මාස ගණනාවක් තිස්සේ එයට අදාළ ලිපි හුවමාරුව කරනු ලැබුවේ එල්. සී. ද සිල්වා හරහා බව ඔහු මේ ලියුම්කරු සමඟ පවසා ඇත.

1965 රජය කාලයේ දී රේගුව, ධීවර සංස්ථාව, දැව සංස්ථාව, නැව්‌ සංස්ථාව තුළ සිදු වූ දුෂණ සොයා බැලීමට අගමැතිනිය විසින්‌ පත්‌ කළ කොමිටි වල සභාපතිවරයා වශයෙන්‌ පත්‌ කරනු ලැබුවේ එල්. සී. ද සිල්වාය. එම කමිටු වල ලේකම්‌වරයා වශයෙන්‌ ජනාධිපති නීතිඥ ඩී. එස්‌. විජේසිංහ කටයුතු කරනු ලැබීය.

අදට වඩා ආදර්ශවත්‌ පරිත්‍යාගශීලීන්‌ වශයෙන්‌ එදා දේශපාලඥයන්‌ කටයුතු කළ අන්දම වර්තමානයේ දී ජීවත්‌ වන අයට දැන ගැනීම සඳහා මෙසේ සටහන් කිරීමට සිත් විය.

පියසේන වතුදුර - දිගාමඩුල්ල සංචාරක

Comments