
කොළඹ නගරයේ පැරැණි ක්‍රීඩා සමාජ පිළිබඳ පසුගිය දිනවල නැඟුණු හාහූවේ දිගුවක් ලෙස ගෙවී ගිය දින කිහිපයේද තවත් ක්‍රීඩා සමාජ පිළිබඳව කතාබහක් කරළියට ආවේය. ඒ, කොළඹ 07, නිදහස් චතුරස්‍රය ආසන්නයේ නිදහස් මාවතෙහි අංක 25 දරන ස්ථානයේ පිහිටි එයිටි (80) ක්ලබ් සහ ඊට ආසන්නවම මෙට්ලන්ඩ් පෙදෙසේ අංක 31 දරන ස්ථානයේ පිහිටි ජිම්කානා ක්‍රීඩා සමාජය පිළිබඳවයි.
ශ්‍රී ලංකාවේ අබිමානය විදහා දැක්වෙන නිදහස් චතුරස්‍රය ආසන්නයේ පිහිටා තිබෙන එයිටි ක්ලබ් මෙරට තවත් එක් පැරැණිතම සමාජයක් ලෙස සැලැකේ. විසිවන සියවසේ මුල් කාලයේදී පමණ මහනුවර නගරයේදී ආරම්භකර ඇති එයිටි සමාජය 1941 වර්ෂයේදී කොළඹ නගරයේ වර්තමානයේ පිහිටා තිබෙන ස්ථානයට ගෙනැවිත් තිබේ. 1941 වසරේ සිට 60 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් සභාපතිත්වය දරා ඇති එයිටි සමාජයේ 1950 වසරේ සභාපතිත්වයට පත්ව ඇත්තෙ මෙරට දේශපාලනයේ ප්‍රකට චරිතයක් වූ සර් ජෝන් කොතලාවලයි. එසේම දකුණේ දේශපාලනඥයෙක් වූ මොන්ටිගෝ ජයවික්‍රම ද 1962 වර්ෂයේ එයිටි ක්ලබ්හි සභාපතිත්වය දරා තිබේ.
වසර සියයකට අධික පැරැණි ඓතිහාසික ගොඩනැඟිල්ලක වර්තමානයේද පවත්වාගෙන යන එයිටි ක්ලබ්හි වත්මනෙහි පැනනැඟි ඇති අර්බුදකාරි තත්ත්වය උදාවී තිබෙන්නෙ මෑතකාලීනව එහි පරිපාලනය සපැමිණි බලධරයන්ගේ අවිධිමත් පරිපාලනය නිසා බව එයිටි කල්බ් වෙත පිවිසෙන ඕනෑම අයෙකුට ගම්‍ය වේ. එය මනා ලෙස පසක් වන්නෙ පැරැණි ගොඩනැඟිල්ලද අබලන් තත්ත්වයකට පත්ව තිබෙන ආකාරය දුටු විටයි. එහෙත් ගිය වර්ෂයේ සභාපතිත්වයට පත් වත්මන් සභාපති අමල් ද මෙල් ප්‍රමුඛ පරිපාලනය වෙර දරන්නෙ එයිටි ක්ලබ් අතීතයේ පැවැති අභිමානනීය තත්ත්වයට පත්කරලීමටයි. ඒ පිළිබඳව අමල් ද මෙල් මහතා පවසන්නෙ නාගරික සංවර්ධන අධිකාරිය සමඟ එක්ව පැරැණි ගොඩනැඟිල්ල නිසි පරිදි අලුත්වැඩියාකොට එයිටි සමාජය මනා පරිපාලනයකින් යුක්තව ඉදිරියට පවත්වාගෙන යෑමට කටයුතු කරන බවයි.
"අපේ ක්ලබ් එකේ ගොඩනැඟිල්ලෙ තියෙන අඩුපාඩු නිසා තමයි රජයේ අවධානය යොමුවෙලා තියෙන්නෙ. අපි ඒ පිළිබඳව ඉදිරි සතියේම නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරින් සමඟ සාකච්ඡාකොට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා."
ටෙනිස්, ස්නුකර් වැනි ක්‍රීඩාවන් සඳහා මේ වන විටත් ඉඩපහසුකම් සහිත එයිටි සමාජය 'ලෝන් බෝල්' නමැති නවමු ක්‍රීඩාවක්ද ක්‍රීඩා සමාජ අතර ප්‍රචලිත කිරීමට ඉදිරි මාසයේදී සූදානම්ව සිටී. කොළඹ නගරයේ මනරම් පරිසරයක පිහිටි පර්චස් 257ක රජයට අයත් භූමියක පිහිටා තිබෙන එයිටි සමාජයේ ඉඩමට අදාළ බදු ගිවිසුමද පසුගිය කාලයේ අවසන්ව ඇත. වත්මන් සභාපතිවරයා පවසන්නෙ,
"ක්ලබ් එක පිහිටි මුළු භූමි ප්‍රමාණය පර්චස් 257ක්. එහි ගොඩනැඟිල්ල පිහිටි ඉදිරිපස භූමිය පර්චස් 200යි. පිටුපස පර්චස් 57ක් ලෙස බදු ගිවිසුම් දෙකකින් යුක්තයි. පර්චස් 200 බදු කාලය 2017 අවසන් වුණේ. පර්චස් 57 බදු කාලය 2007 අවසන් වෙලා තියෙන්නෙ. ඒත් අපි පෙර පැවැති බදු මුදල්ම ගෙවමින් සිටින්නෙ. ඉදිරිපස පර්චස් 200ට 2020 දක්වාම බදු ගෙවලා තියෙන්නෙ."
ගොඩනැඟිල්ලෙ තිබෙන අඩුපාඩු නිසාවෙන් රජයේ අවධානය යොමු වූවා සේම පර්චස් 57 භූමියට බදු වාරික එක්රැස් වීම නිසාවෙන් මේ වන විට හිඟ බදු වාරික ප්‍රමාණයක්ද එක්රැස්වී ඇති බවයි.
"ගිය වසරේ ඔක්තෝබර්වල මම සභාපති වෙමින් ක්ලබ් එක බාරගන්නා විට මිලියන 27ක පමණ බදු මුදලක් එකතුවෙලා තිබුණා. පස්සෙ වත්මන් ආණ්ඩුකාරතුමා සමඟ පැවැති සාකච්ඡාවකදී හිඟ වාරික ගෙවන්න වසරක සහන කාලයක් දුන්නා. පසුගිය මාස පහක කාලය තුළදී මිලියන 2.7 ගාණේ මාස පහක් ගෙව්වා. ඔය අතරේ තමයි කොවිඩ් වසංගතය ආවේ. ඒක අපිටත් තදින්ම බලපෑවා. ඒ අතරේ නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක් කරලා තිබුණා ගොඩනැඟිල්ල අලුත්වැඩියා කළ යුතුයි කියා. අපිට ගෙවන්න තිබෙන ඉතිරි හිඟ වාරික මුදල් 2021 අගෝස්තු මාසය වන විට ගෙවීමට සැලැසුම් කරලා තියෙන්නෙ. ගිය මාසෙත් ලක්ෂ පහක මුදලක් ගෙව්වා. අපි කියන්නෙ අපිට දීලා තියෙන නියමිත කාලයට හිඟ මුදල් ගෙවාගන්න බැරි වුණොත් එයිටි ක්ලබ් භූමිය රජයට පවරාගන්නා ලෙසයි."
![]() |
කොළඹ, තුම්මුල්ලෙ පිහිටි ක්වින්ස් ක්‍රීඩා සමාජයේ ඉහළින් දිස්වන ආකාරය
|
මෙලෙස එයිටි ක්ලබ් පිළිබඳ කතිකාවක් සිදුවෙද්දී එයිටි සමාජයට ආසන්නවම පිහිටි ජිම්කානා ක්‍රීඩා සමාජය පිළිබඳවද පසුගිය දිනවල කතාබහක් කරළියට ආවේය. 1863 වසරේ ආරම්භ කර ඇති මෙරට තිබෙන පැරැණිතම ක්‍රීඩා සමාජයක් ලෙස සැලැකෙන ජිම්කානා ක්‍රීඩා සමාජය යනු ක්‍රීඩාවන් කිහිපයකටම අයත් ප්‍රධාන ක්‍රීඩා සමාජ එකතුවකින් සැදුම්ලත් ක්‍රීඩා සමාජයකි. බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සුදු ජාතිකයන්ගේ සුහද හමු සහ ක්‍රීඩා කටයුතු සඳහා එක්රොක් වූ ජිම්කානා නමින් ප්‍රචලිත 'සමාජ' මෙරට පමණක් නොව රටවල් රැසකම පවතී.
කොළඹ 07, මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ජිම්කානා ක්‍රීඩා සමාජයේ ලේකම් ටී. බී. ඩයස් ඇතිවී තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව අපට මෙලෙස පැහැදිලි කළේය.
"මෙහෙමයි, ඇත්තටම වර්තමානයේ ජිම්කානා ක්‍රීඩා සමාජයට කිසිම ප්‍රශ්නයක් පැන නැඟිලා නැහැ. ජිම්කානා ක්‍රීඩා සමාජය පිහිටි භූමියට අදාළ සියලු බදු මුදල් ගෙවලා තියෙන්නෙ. පසුගිය දිනවල පළවූ පුවත් අසත්‍යයි."
ජිම්කානා ක්‍රීඩා සමාජය යනු ක්‍රිකට්වලින් ප්‍රචලිත කලම්බු ක්‍රිකට් ක්ලබ් (සීසීසී), රගර් හා හොකී සඳහා ප්‍රකට සීඑච් ඇන්ඩ් එෆ්සී සහ ටෙනිස් හා ස්කොෂ් ක්‍රීඩා සඳහාම වෙන්වූ කලම්බු ක්වින්ස් සමාජය යන ක්‍රීඩා සමාජ කීපයක එකතුවකි.
ඒ අනුව මේ වන විට යම් ආකාරයක ගැටලුකාරි තත්ත්වයකට මුහුණ දී ඇත්තෙ 1899 වසරේ ආරම්භ කර 1959 වසරේදී ජිම්කානා සමාජයට එක්ව ඇති කොළඹ, තුම්මුල්ල හන්දියේ පිහිටා ඇති ටෙනිස් හා ස්කොෂ් ක්‍රීඩාව සිදු කරන ක්වින්ස් ක්‍රීඩා සමාජයයි. වත්මනෙහි ගැටලුකාරි තත්ත්වයක් ක්වින්ස් ක්‍රීඩා සමාජයට පැන නැඟී ඇත්තෙ 2016 වසරේ එවකට පැවැති රජයේ බදු මුදල් ඉහළ නැංවීම නිසාවෙන් බව ජිම්කානා ක්‍රීඩා සමාජයේ ලේකම් ඩයස් පැවැසීය. හෙතෙම වැඩිදුරටත් පවසන්නෙ,
"2016 වසරට පෙර ක්වින්ස් ක්ලබ් එකේ වාර්ෂික බදු මුදල වුණේ රුපියල් හාරලක්ෂ අසූදාහයි. 2017 එහි බදු වාරිකය එක්වරම මිලියන 48ක් දක්වා ඉහළ දැම්මා. මාසයකට ලක්ෂ 40ක් පමණ. හැබැයි ඊට පෙර හාරලක්ෂ අසූදාහයි වර්ෂයකටම ගෙව්වෙ. මොනතරම් අසාධාරණද... එතැනින් තමයි ක්වින්ස් ක්ලබ් එකට බදු ගැටලුව පැන නැඟුණේ. අපි ඒ සඳහා පැවැති රජයෙන් කීප වරක්ම ඉල්ලීම් කළා. මෙය ටෙනිස් ක්‍රීඩා කරන ක්ලබ් එකක්... දෙසීයක පමණ සාමාජිකයන් සංඛ්‍යාවක් සිටින්නෙත් කියා. ඒත් වැඩක් වුණේ නෑ. සාමාන්‍යයෙන් මේ ක්ලබ් එකට ලක්ෂ පහකවත් ආදායමක් නැහැ."
අනතුරුව එලෙස බදු මුදල් ඉහළ දැමීම නිසාවෙන් ක්වින්ස් ක්‍රීඩා සමාජයටද ඔටර් ක්‍රීඩා සමාජයට සහ එයිටි ක්ලබ් සඳහා පැන නැඟි තිබෙන අර්බුදයට මුහුණ දීමට සිදුව තිබේ.
"ඔය තත්ත්වයත් සමඟ නාගරික සංවර්ධන අධිකාරියෙන් අපටත් දැනුම් දුන්නා ක්වින්ස් ක්‍රීඩා සමාජ භූමියත් පවරා ගන්නවා කියලා. ඔන්න ඕක තමයි සිදුවී තිබෙන තත්ත්වය. නමුත් මාධ්‍යයේ පළවුණේ ජිම්කානා ක්ලබ් ගැනයි. ඇත්තටම එයින් අපි දැඩි අපහසුතාවකට පත්වුණා. අපි දැන් නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරින් සමඟ සාකච්ඡාකොට ටෙනිස් ස්පෝට් ක්ලබ් එකක් ලෙස අපට ගෙවිය හැකි සාධාරණ බදු මුදලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා" යැයි පවසන ලේකම්වරයා කිසිදු සාධාරණයකින් තොරව ඉහළ දැමූ බදු මුදල පිළිබඳව වත්මන් රජයෙන් සාධාරණයක් බලාපොරොත්තු වන බවයි.
අතීතයේ අක්කර දහයක පමණ භූමියක පිහිටා තිබූ ක්වින්ස් ක්‍රීඩා සමාජය මේ වන විට අක්කර දෙකක පමණ භූමියක පිහිටා ඇත.
අප මේ පිළිබඳව තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායකගෙන් විමසූ විට, එයිටි ක්ලබ්හි බදු ගිවිසුම් කාලය අවසන්ව ඇති බැවින් ඔවුනට ඉවත් වීමට දැනුම් දුන්නත්, අස්කිරීමේ දැන්වීම නිකුත් කර නොමැති බවයි.
වර්තමානයේ මෙලෙස කොළඹ නගරයේ ක්‍රීඩා සමාජවලට අත්වී තිබෙන ඉරණම පිළිබඳව සර්ව සාධාරණ ලෙස තීන්දු තීරණ ගැනීම වගකිවයුතු පාර්ශ්වවල යුතුකමකි.
ඡායාරූප - විපුල අමරසිංහ